අලි මිනිස් ගැටුම කියන මාතෘකාව ඔබට හැමදාම දකින කුකුළගේ කරමලේ වගේ වෙන්න පුළුවන්. එතරම්ම ඒ ප්රශ්නය ගැන අපි කතා කරනවා. ඒ එක්ක අපි හැමදාම කතා කළේ අලි නිසා මිනිස්සුත්, මිනිස්සු නිසා අලිත් විඳින දුක් ගැන. ඒත් අද අපි කතා කරන්න යන්නේ අලි මිනිස් ගැටුම අතීතයට පමණක් සීමා කරන්න සූදානම් වෙන මිනිස්සු ඉන්න ගමක් ගැනයි. කොටින්ම කියනවා නම් ලංකාවේ මේ වෙද්දී සාර්ථක ලෙස ක්‍රියාත්මක වන විශේෂ අලිවැට තිබෙන්නේ මේ ගම්මානයේය.
ගල්ගමුව වෑගෙදර ගම්මානය කියන්නේ වසර ගණනාවක ඉඳලම දිනපතාම පාහේ වනඅලි ප්‍රහාරවලට ලක්වුණු යම් ආකාරයකින් දුෂ්කර ගම්මානයක්. වගා හානි, දේපළ හානි වගේම අලි පහරදීම් නිසා මිනිස් ජීවිතවලට වන හානි නිතරම වාර්තා වන අඳුරු කාලයක් වෑගෙදර ගම්වාසීන් පසු කළා. ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තය කරගත්ත වෑගෙදර ගම්මානයේ පවුල් 80කට අධික ප්‍රමාණයක් පදිංචිව සිටියත්, වනඅලි ගැටලුව නිසාම බොහෝ ගම්වාසීන් මේ ගම්මානය අත්හැරලා ගිහින් තියෙනවා. ඒ නිසා මේ වෙද්දි ගමේ ඉතිරිවෙලා ඉන්නේ පවුල් 30කට අඩු ප්‍රමාණයක්.
අලි නිසා කොයිතරම් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවුණත් වෑගෙදර ගමේ මිනිස්සුන්ට අලියා ගැන කිසිම වෛරයක් නැහැ. උගුලකට හෝ වෙඩි වැදිලා තුවාල වුණු අලියෙක් බේරගන්න එහෙමත් නැත්නම් වගා ළිඳකට වැටුණු අලියෙක් බේරගන්න ගමේ මිනිස්සු එකා වගේ එකතුවෙලා අදටත් මහන්සි වෙන්නේ ඒ නිසයි.
මේ විදියට වසර ගණනාවක් අලි ප්‍රශ්නෙන් පීඩා විඳින වෑගෙදර ගමට 2014 වසරේදී අලුතින් ග්‍රාම නිලධාරීවරයෙක් පත්ව එනවා. මේ සියල්ල වෙනස්වීම ආරම්භ වෙන්නේ එතැනින්. ඒ වෙනස්වීම ගැන දැනගන්න අපි අංක 66 වෑගෙදර ග්‍රාම නිලධාරී නුවන් ප්‍රසාද් ආරියරත්න මහතාව සොයා ගියා.
'වෑගෙදර ගම්මානය කියන්නේ කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත්තු මිනිස්සු ජීවත්වන ගමක් නිසා වනඅලි ප්‍රශ්නයත් එක්ක ඔවුන් විශාල අපහසුතාවන්ට ලක්වුණා. මේ ප්රශ්නය කොයිතරම් උග්‍රව තිබුණාද කියනවා නම් පවුල් 80කට වැඩි ප්‍රමාණයක් හිටපු මේ ගමේ දැන් ඉන්නේ පවුල් 30කටත් අඩු ප්‍රමාණයක්. මිනිස්සු හුඟදෙනෙක් ගම දාලා ගියා. අත්ඇරලා දාපු ගෙවල් තාමත් කැලේ තියනවා. වනඅලි ප්රශ්නය නිසා සම්පූර්ණයෙන්ම අත්හැරලා දාපු පුරුක්ගමුවාගම ගමේ නිවාස කැලෑවේ අදටත් දැකගන්න පුළුවන්. ඒ තත්ත්වය වෑගෙදර ගමටත් උදාවෙමිනුයි තිබුණේ. වනඅලි ප්‍රහාර නිසා හානියට පත්වුණු නිවාස ගැන දත්ත රැස්කිරීමට යාම, අලිවෙඩි ලබාගැනීම සඳහා අවසර ලිපි නිකුත් කිරීම මීට වසර කිහිපයකට කලින් මගේ දෛනික රාජකාරි වෙලා තිබුණා.
මේ අතරවාරෙදි ආර්ථිකය අතින් යම් මට්ටමක හිටපු පිරිස් පෞද්ගලික අලිවැටවල් ගහගත්තා. සමහර වෙලාවට අලිමංකඩවල් පවා අවහිර වෙන විදිහට මේ වැටවල් ගැහුවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට දුප්පත් මිනිස්සුන්ගේ ගෙවල්වලට වනඅලින්ගෙන් වෙන හානිය එන්න එන්න දරුණු වෙන්න පටන් ගත්තා. මේ නිසා ගමේ මිනිස්සු එකතු කරගෙන ප්රශස්ත මට්ටමේ අලිවැටක් හදන්න අපි එකතු වුණා. නමුත් අදාළ අංශ මේ ගැන දැනුවත් කළත්, ඒක සාර්ථක වුණේ නැහැ. මේ අතරවාරෙදි තමයි 2015 දෙසැම්බර් මාසේ 30 වැනිදා හදිසියේම වනඅලි ගොඩදෙනෙක් ගම්වැදිලා වෑගෙදර ගමට විශාල ප්‍රහාරයක් එල්ල කළේ. එතැනින් පස්සේ ගමේ මිනිස්සු 2016 ජනවාරි පළමුවැනිදා විශාල උද්ඝෝෂණයක් කළා. ඒ ස්ථානයට ආපු වනජීවී සහකාර අධ්යක්ෂ සුමනසේන මහත්මයා සහ වනසත්ත්ව නියාමක වසන්ත මහත්මයා අපි ක්‍රියාත්මක කරන්න ගිය අලිවැට ව්‍යාපෘතිය ගැන වනජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කළා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහටයි වනජීවී දෙපාර්තමේන්තුව ව්‍යාපෘතිය කරගෙන යන්න අපිට සහයෝගය ලබාදුන්නේ. ගල්ගමුව ප්‍රාදේශීය ලේකම්තුමියත් අපිට විශාල සහයෝගයක් ලබාදුන්නා.
සහයෝගය ලැබුණට පස්සේ මුලින්ම අපි කළේ මේ ගම ආශ්‍රිතව තිබෙන අලි ගමන් කරන සාම්ප්‍රදායික අලිමංකඩවල් හඳුනාගැනීම. අපිට හඳුනා ගන්න හැකිවුණු විශේෂ දෙයක් තමයි මේ අලිමංකඩවල් වැටිලා තිබෙන්නේ ජලය තිබෙන ප්‍රදේශ සහ වැව් හරහා කියන කාරණය. ඒ නිසා වැව් සහ කුඹුරු අලිවැටෙන් පිටතට පිහිටන විදිහටත්, අලිමංකඩවල් අවහිර නොවන ආකාරයටත් ගම්මණ්ඩිය වට කරලා අලිවැට ඉදිකරන්න සැලසුම් සකස් කරලා ගමේ සංවිධානයකුත් පිහිටුවාගෙන වැඩකටයුතු ආරම්භ කළා. ගමේ සියලු දෙනාම සංවිධානයට බැඳුණා. සාමාජික මුදලක් එකතු කරලා ඒ මුදල් අලිවැට ඉදිකිරීමට යෙදෙව්වා. ගමේ පිරිස් එකතුවෙලා අලිවැට ඉදිකරන මාර්ගය සුද්ධ කරලා වනජීවී දෙපාර්තමේන්තුවෙන් ලැබුණු විදුලි කණු සහ විදුලි රැහැන් ඇදීම සිදුකළා. විදුලිය ලබාගන්න අපි භාවිත කරන්න තීරණය කළේ සූර්යය බලය. ඒ නිසා පැය 24 පුරාම අලිවැට ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා අවශ්‍ය බලකුටි තැනින් තැන ඉදිකරලා තියෙනවා. ඒ වගේම හදිසි නඩත්තු කටයුත්තක් වෙනුවෙන් වැය කරන්න ගමේ සෑම කෙනෙකුගෙන්ම රුපියල් 100 බැගින් මාසිකව එකතුකරලා බැංකු තැන්පතුවක් පවත්වාගෙන යනවා. මොකද සාමාන්‍යයෙන් රජයෙන් මුදල් ලැබෙන්න කලක් ගතවෙන නිසා. හැම කෙනෙක්ටම සාධාරණයක් වෙන්න ඕන නිසා මේ අලිවැට ඉදිකිරීමේදී අපි තමන්ගේ ඉඩමින් ආවරණය වන ප්‍රමාණය අනුවයි මුදලක් අය කළේ. අක්කරයකටම රුපියල් 3000ක් වගේ මුදලක් තමයි අය කළේ.
මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය ගත්තොත් මේ වෙද්දි අලි පහරදීම් ගොඩක් අඩුවෙලා තිබෙනවා. මේ වැට නඩත්තු කරන්න, පවත්වාගෙන යන්න ගම්මුන්ට විශාල උනන්දුවක් තිබෙනවා. මේ වසර 2 කාලයටම අලි පහරදීම් 3ක් පමණයි වාර්තා වුණේ. ඒකත් නඩත්තු ගැටලුවක් නිසා. ඒ වගේම අලිමංකඩවල් අවහිරවෙලා නැති නිසා අලි තමන්ගේ පාඩුවේ යනවා. මිනිස්සු තමන්ගේ පාඩුවේ ජීවත් වෙනවා. අද මේ ජනතාව පීඩා විඳින ලොකුම ගැටලුව තමයි කෘෂිකර්මාන්තය සඳහා ජලය හිඟවී තිබීම.'
අද වෙද්දි පොල් ගහක්වත් හොයාගන්න බැහැ, අලි විනාශ කරලා ඩබ්ලිව්.එම්. සෝමරත්න මහතා (ප්රදේශවාසියෙක්)
'මම උපන්දා ඉඳන්ම පදිංචිය මේ වෑගෙදර ගමේ. අලිවැට ගහන්න කලින් අපි ගොඩක් දුක් වින්දා. මගේ තාත්තා මැරුණෙත් අලියා ගහලා. හේනක් කරගෙන යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඇත්තටම දැන් නම් මේ අලිවැට ඇතුළේ තියෙන ඕනෑම වගාවක් ප්‍රශ්නයක් නැතුව කරගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. ඒත් අවුරුදු 3ක් තිස්සේ ඉඳන් තියෙන පෑවිල්ල නිසා ගොවිතැන් කටයුතුත් බොහොම අමාරුයි. අද වෙද්දි පොල් ගහක්වත් හොයාගන්න බැහැ. අලි විනාශ කරලා. ඉස්සර නම් අලි ගොඩක් වෙලාවට හිටියේ හවස් වරුව වෙද්දි. ඒත් දැන් දවල් කාලෙත් අලි එනවා. එහෙමයි කියලා උන්ට වෛර කරන්න අපිට බැහැ. කැලෑවල් එළිවෙද්දි උන්ට කන්න දෙයක් නැහැ. ඒ නිසයි අලි ගම් වදින්නේ. මිනිහා වුණත් හොරකම් කරන්නේ බඩගින්න නිසා. අලියා කියලත් ඒකෙ වෙනසක් නැහැ.*
විදුලිවැට නොවෙන්න අපිත් ගම අතෑරලා ගිහිල්ලා විශ්‍රාමික තැපැල් සේවකයෙකු වන හේරත් බණ්ඩාර මහතා
'මේක මගෙ උපන් ගම. මගේ වයස අවුරුදු 76ක් වෙනවා. ඒ කාලේ අලි කරදර අපිට තිබුණේ නැහැ. මගේ මතකේ හැටියට 1985 අවුරුද්දෙන් පස්සේ තමයි ටිකටික අලි ගම් වදින්න පටන් ගත්තේ. අලි ගහලා කැඩුණ ගෙයක් මේ පැත්තේ නැති තරම්. අදටත් මේ විදුලි වැට නොවෙන්න අපිත් ගම අතෑරලා ගිහිල්ලා. දැන් ගෙවල් පිටින් මිනිස්සු ගම දාලා ගිහින් පවුල් කිහිපයක් විතරයි ඉන්නේ. ඉස්සර මේ වෑගෙදර ගමේ ලොකුවට ගොවිතැන් කළා. ඒත් අලි ප්‍රශ්නෙයි, දැන් තියෙන වතුර ප්‍රශ්නෙයි නිසා ගොවිතැනත් මිනිස්සු අත්හැරලා දාන තත්ත්වෙට ඇවිත්. අවුරුදු 3කින් හරියට වැස්සක් නැහැ. කන්න 4ක් ගොවිතැන් කරලා නැහැ. වැව් ඔක්කොම වගේ හිඳිලා ගිහින්.'