රටවිරුවන්ට උපහාර යැයි පැවසුවද ගතවූ මාස කීපය පුරාවට ඇසුණේ විදෙස් ශ්‍රමිකයන්ට සිදුවූ හිංසනයන් පිළිබඳ පුවත්ය. මැදපෙරදිග රැකියාවන්හි නිරතව සිටි 115 දෙනෙකු වධහිංසා ඉවසාගත නොහැකිව ඉකුත් 14 දිනද ආපසු පැමිණියේ යැයි ජනමාධ්‍ය වාර්තා කළේය.
ගෙවී ගිය මාසයක කරුවලගස්වැව ගංගාට වැටුප්ද නොදී පහරදී ලංකාවට එවා ඇත. ඩුබායි ගිය පංවරැල්ල ගමේ ස්වර්ණතිලකා එරට නිවසේ එල්ලී මැරී සිටියේ ගතවූ ජූලි මාසයේදීය. දෙමව්පියන් රිසානාලා වැඩි වයසින් උපද්දවා හෝ එයට අනුබල දෙන්නේද රටේ ළමයා සහ ආර්ථිකය පිළිබඳ පවතින ඛේදවාචකයේ තවත් පැතිකඩක් නිරූපණය කරමින්ය.
අබුඩාබියේ රැකියාවට ගිය කැකණදුර නාලනී තම හාම්පුතාගෙන් සිදුවන හිංසන නිසා එම නිවසෙන් පැන ගොස් තානාපති කාර්යාලයට පැමිණ සති දෙකක් ඇඳිවතද නොමැතිව සිටින්නේ යැයි ඇසුණේ ගතවූ නොවැම්බරයේදීය. නිට්ටඹුවේ සිත්ති මර්ලියා සෞදියේ රියාද් නගරයේදී අනතුරකට පත්ව එරට රෝහලක වසර දෙකක කාලයක් වීද ඇය ලංකාවට නොගෙනෙන්නේ ඇයිද යනුවෙන් ඇයගේ ඥාතීහූ විමසූහ. මාස හතකට පෙර මැලේසියාවේ රැකියාවකට ගිය මස්කෙළිය නෝර්වුඩ් ප්‍රදේශයේ තරුණයන් තිදෙනකු අමානුෂික වධ පමුණුවමින් මැලේසියාවේ හිර කරගෙන සිටින පුවත ඇසුණේද නොවැම්බර් මාසයේදීය. ඔවුන් සිය ඥතීන්ට පණිවුඩ එවා ඇත්තේ “මැරෙන්න කලින් බේරා ගන්න - තානාපති නිලධාරීන්ට කිව්වට වැඩක් නැත” යනුවෙනි.
එවැනි පුවතක් එම සතියේම කුවේට් රැකියාවට ගිය පලුගස්දමන රූපා සුසන්තිගේ ස්වාමියාද මාධ්‍යයට අනාවරණය කළේය. ඔහු පැවසුවේ කුවේට් රැකියාවට ගිය මගේ බිරිය ඒජන්සිකාරයන් මෙහෙකාරකමට විකුණනවා. බලධාරීන් නොබලන නිසා ලංකාවට එන්න විදිහක් නොමැති නිසා ඇය ගෙන්වා දෙන ලෙසය.
පවතින විකෘති අධ්‍යාපනය වෙනස් විය යුතු යැයි විලාප නගා බලය ඉල්ලා සිටින ඇත්තන් හැමදාමත් කළේ පහේ පන්තියේ සිටම දරුවන්ට නොමනා බරක් පැටවීම පමණි. අධ්‍යාපනයේ ඉච්ඡාභංගත්වය ඇති කළේ එතැනින්ය. පිල් මාරුව තුළ රැදෙමින් උසස් අධ්‍යාපනයට වින කටිමින් උගතුන් කූඩැල්ලන් කලවැද්දන් යන තැනට අධ්‍යාපන ඇමතිවරුන්ම විසින්ම උගත්කම පහත් කර අවසානය. එවැනි සමාජයක මිනිසුන් විදෙස්ගත නොවී ලංකාවේ සිට මොන කෙංගෙඩියක්වත් උපයාගන්නටදැයි නගන ප්රශ්නය සාධාරණය.
විදෙස් රැකියා සොයා යන්නේ සැපසම්පත් විඳීමට නොවේ. ආණ්ඩුව සිතන්නේ යමෙකු රට රැකියාවකට යැවීම මැතිවරණ පොරොන්දුවක් ඉටුකිරීමක් හෝ තමන් දුන් රැකියාවක් ලෙසය. ගතවූ දශක තුන තුළ විදෙස් රැකියා උත්පාදනය යන්න පුරසාරමක් බවට පත් කළ දේශපාලකයන්ට රටවිරුවන් යැයි ලේබල් ඇලවූ මිනිසුන්ගේ අවුල්වී ගිය පවුල් අමතකය.
රට යැවීමේ (පැටවීමේ) කර්මාන්තය වසර තිහක් ඉක්මවා ගොස් ඇත්තේ මෙරට අධ්‍යාපනය තුළ හෙට පරපුර වෙනුවෙන් රැකියා උත්පාදන ක්‍රමයක් සිදු නොවූ නිසාමය. අනූවේ දශකයේ සිටවත් විධිමත් ක්‍රමවේදයක් තුළ අධ්‍යාපනය ගලා ගියේ නම් අද වනවිට වයස අවුරුදු 20-30 මිනිසුන් රට යායුතු නැත. යම් හෙයකින් ඇඟලුම් කම්හල්වත් නොඇරියේ නම් තරුණ පරපුරේ ඛේදවාචකය කෙසේ දිසානුගතවේද යන්න සිතීමත් බිහිසුණුය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මහජන හිතකාමී සේවයක් ලෙස ISO ජාත්‍යන්තර තත්ත්ව සහතිකය දිනාගත්තේ 2012 දීය. 2013 වසරේ ඉලක්කගත සැලසුම් පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වමින් එම ආයතනය සඳහන් කළේ මැදපෙරදිග කලාපය ඇතුළු පිටරටවලදී 5%කට අඩු පිරිසක් වදහිංසා අතවරවලට ලක්වී අසරණ බවය. මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඔවුන් වහාම ගෙන්වා ගැනීමට පියවර ගන්නවා යැයිද කාර්යාංශය පැවසීය. ස්වර්ණතිලකලා එල්ලී මැරෙන්නේත්, කරුවලගස්වැව ගංගලා නොමැරී දිවි බේරාගෙන රෝද පුටුවෙන් එනවිට ඒ සැලසුම්වලට සිදුවූ දේ ගැන වගකිවයුත්තන් නිහඬය.
විදේශ සේවයේ කාන්තාවන්ට සිදුවන හිරිහැර සොයා බලන්න යැයි ඉල්ලමින් රාවණා බළකායේ හිමිවරුන් ගතවූ දිනයක විදෙස් සේවා කාර්යාංශයේ සභාපතිවරයාගේ කාර්යාලය වට කළහ. “ හාමුදුරුවනේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඇවිත් කතා කරමු. මීඩියා වට කරගෙන මේ කරන විකාර මොනවාද? මේවා පබ්ලිසිටියට කර ගන්නා වැඩ” යනුවෙන් සභාපති සිද්ධිය අවසන් කළේය. යහපත් අරමුණක් උදෙසා කළ සදොස් ප්‍රවේශය නිසා ඒ උත්සාහයද යටපත් විය.
රටවිරු යැයි හැඳින්වුවද ඔවුන් ගැන සෙවීමට පවුලේ ඥාතීන් හැර තානාපති සේවකයන්ට හෝ කොන්සාල්වරුන්ට හැඟීමක් නැති බව පැහැදිලිය. තර්ජනාංගුලිය සමග හෙට එන්නම් යැයි රාවණා බලය කාර්යාංශයෙන් එළියට ගියද, නැවත පැමිණියේද නැත. පැමිණිල්ලක් ඇතොත් අපි විභාග කරනවා. සාකච්ඡා කරමු යැයි පැවසුවද එදිනට පසු ඇසුණු පුවත් අනුව සභාපතිවරයාගේ අවධානය යොමුවීද යන්නද පැහැදිලි නැත. එසේනම් රාවණා බලයට පොරොන්දු වූ පරිදි කාර්යාංශය සොයා බැලුවේද? කාර්යාංශය හිංසනයට පත් මිනිසුන් වෙනුවෙන් ගත් පියවර කුමක්ද? හැමදාමත් මර නින්දේ පසුවන විදේශ තානාපති සේවයට අවදිවීමට කළ අනතුරු ඇඟවීම කුමක්ද? යළිත් මෙවැනි දේ නොඇසීමට ගත් පියවර කුමක්ද?
ඉකුත්දා ඇතැම් ජනමාධ්‍ය වාර්තා කළේ විදෙස් ශ්‍රමිකයන් ලක්ෂයක් දෙනා මහින්දට සහායදීමට මෙරටට පැමිණෙන පුවතකි. එහෙත් ලක්ෂ දාහතක් විදෙස්හි සේවය කරන රටක ඔවුන්ගේ ඡන්ද බලයට වටිනාකමක් දුන්නේ නම් මහින්ද වෙනුවෙන් තවත් ඡන්ද ලක්ෂ දහපහළොවක් එකතුවනු ඇත.
විදෙස් සේවා කාර්යාංශය පවසන්නේ විදෙස් ශ්‍රමිකයන් වෙනුවෙන් සොයා බැලීමට ප්‍රාදේශීය ලේකම් කොටසකම උපාධිධාරීන් තිදෙනකු පත් කළ බවකි. එසේ පත්කර තිබේ නම් කබලෙන් ළිපට වැටුණු මිනිසුන්ගේ දුක් අඳෝනා එම නිලධාරීන්ට නොඇසෙන්නේ ඇයි? ඒවා කාර්යාංශය වෙත වාර්තා නොවන්නේද? ඒ සම්බන්ධයෙන් ගන්නා ක්ෂණික පියවර කුමක්ද?
ඔවුන් රට ගියේ ලංකාවේ දේශපාලකයන්ට ආයතන සභාපතිවරුන්ටත් විදෙස් පරිපාලන නිලධාරීන් සහ ඔවුන්ගේ අඹුදරුවන් රැකීමට දර දිය අදින්නට නොවන බව තේරුම් ගැනීමටවත් වගකිව යුත්තන්ට මස් කළඳක් පිරි හිස් කබලක් නැතිද යන්න විමසිය යුතුය. කෙසේවුවද ජිනීවා ජාත්‍යන්තරය පිළිබඳවත් තැකීමක් නැති අපේ තානාපතිවරුන් අඩුම තරමින් නැති බැරිවුන් ගැන සිතනු යැයි සිතීමද හාස්‍යයක් පමණි.