'මැරීන් බළකාය'යනු සයුර හා ගොඩබිමේදී සටන් කළ හැකි වන අයුරින් නිර්මාණය කර ඇති නාවික හමුදා බලඇණියක් ලෙස හැඳින්වීම සුදුසුය. නම ඇසුවද සතුරන් භීතියට පත්වන මැරින් බළකායට ආරක්ෂක අංශ අතර සුවිශේෂී ස්ථානයක් හිමිවෙයි. දිගු කාලයක් පුරා ශ්‍රී ලංකාවට අවශ්‍ය වූ එවැනි මැරීන් බළකායක් දැන් නිර්මාණය කොට තිබේ.
ලෝකයේ තිබෙන ළාබාලම පිළිගත් මැරීන් බළකාය වශයෙන්ද ශ්‍රී ලංකා මැරීන් බළකාය සැලකේ. වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයක් මත මෙම මැරීන් බළකාය ස්ථාපිත කර තිබේ. 'ශක්තිය, පරාක්‍රමය හා ජයග්‍රහණය' යන උද්ධෘත පාඨය යටතේ ශ්‍රී ලංකා මැරීන් බළකාය ක්‍රියාත්මක වෙයි.
ඉතිහාසය
ක්‍රිස්තු පූර්ව 481-221 අතර කාලසීමාවේදී මුහුදේදී යුද වැදීම් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වේ. කෙසේ වෙතත් ගොඩබිම හා මුහුදේදී සටන් කළ හැකි නාවික බළකායක් ප්‍රථමයෙන්ම ස්ථාපිත කර ඇති බවට තොරතුරු වාර්තා වන්නේ 1537 වසරේදීය. ස්පාඤ්ඤය එම වසරේදී නාවික හමුදා මැරීන් බළකායක් ස්ථාපිත කිරීමට කටයුතු කරන අතර, 1550දී ඉතාලියද, 1618දී පෘතුගාලයද මැරීන් බළකා ස්ථාපිත කරයි.
ලෝකයේ පැරණිම මැරීන් බළකායන් ඇති රටවල් ලෙස මෙම රටවල් ඉතිහාසගතව තිබේ. මේ වනවිට රටවල් රාශියකම මැරීන් බළකායන් ස්ථාපිත කර තිබේ. එහිදී ලෝකයේ බලවත්ම මැරීන් බළකාය ඇති රට ලෙසට ඇමෙරිකාව පිළිගැනීමට ලක්ව ඇත. ඉන් අනතුරුව දකුණු කොරියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, මෙක්සිකෝ, චීනය, රුසියාව, පිලීපීනය, එංගලන්තය, ප්‍රංශය යන රටවල් ලෝකයේ බලවත්ම මැරීන් බළකායන්ට හිමිකම් කියයි.
ශ්‍රී ලංකාවේ මැරීන් බලයේ ආරම්භය
2016 සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකානු මැරීන් බළකාය විසින් සංවිධානය කර තිබූ පැසිෆික් භූ තරණ නායකත්ව සම්මන්ත්‍රණයට නාවික හමුදාපතිවරයා එක්වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේද නාවික හමුදා මැරීන් බළකායක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පදනම සැකසෙයි.
එහි පළමු පියවර ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය මත තෝරාගන්නා ලද නිලධාරීන් සහ නාවිකයන් 165 දෙනෙකුගෙන් යුත් ප්‍රථම මැරීන් කණ්ඩායම 2016 සැප්තැම්බර් මස 24 වැනිදා පුහුණු කටයුතු සඳහා අනුයුක්ත කෙරිණි. මෙම කණ්ඩායම සඳහා නාවික සෙබළ අංශයේ නිලධාරීන් 04 දෙනෙකු සහ නාවිකයන් 96ක්ද, අනෙකුත් අංශවලට අයත් නිලධාරීන් සහ නාවිකයන් 65ක්ද ඇතුළත් විය.
පුහුණුව
මෙම තෝරාගත් නාවික හමුදා භට කණ්ඩායමට දිගුදුර පිහිනීම, විඳ දරාගැනීම, බර අවි පරිහරණය හා ජීව වෙඩි තැබීම, කැළෑබද සටන්, පුපුරන ද්‍රව්‍ය පරිහරණය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක පුහුණු ඇතුළත් විය.
පුහුණු පාඨමාලාව අතරතුර නොවැම්බර් මාසයේදී ත්‍රිකුණාමලය නාවික තටාකාංගණයට ළඟා වූ එක්සත් ජනපද නාවික හමුදාවට අයත් සමර්සෙට් නෞකාවෙන් පැමිණි මැරීන් භටයන් සමග පැවැත්වූ ඒකාබද්ධ පුහුණු වැඩසටහන ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බළකායේ සුවිශේෂී සන්ධිස්ථානයකි.
Motorized Convoy, IED and Combat IED,Combat Life Sever Variant,Patrolling and Ambushes,A Drill and Night Firing යන අභ්‍යාසයන් ප්‍රගුණ කර තිබේ. මීට අමතරව භූ ජල තරණ ක්‍රියාන්විත, ප්‍රගුණ වෙඩික්කරු පාඨමාලාව, නාවික ආධාරක වෙඩි යන විෂයයන් සම්බන්ධවද පුළුල් දැනුමක් පුහුණුව තුළදී මැරීන් භට කණ්ඩායමට ලබා දී ඇත.
හැකියාව හා දක්ෂතාව
සුවිශේෂී වූ සංග්‍රාමික හැකියාවන්ගෙන් සහ කුසලතාවන්ගෙන් පරිපූර්ණ වූ නාවික හමුදා මැරීන් භට කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් භට කණ්ඩායම හඳුන්වාදිය හැකිය. ගොඩබිම වෙත වෙරළ තීරය ඔස්සේ එල්ල වන ඕනෑම සතුරු ප්‍රහාරයකට මුහුණදීමටත්, මුහුදින් ගොඩබිම වෙත ගොස් සතුරු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමටත් මනා පුහුණුවක් ලබා ඇත. ඊට අමතරව නගරබද සටන්, කැළෑ සටන් සහ ගංඟා ආශ්රිත මෙහෙයුම් පිළිබඳවද ඔවුන්ට මනා පුහුණුවක් ලබාදී ඇත.
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා අවශ්‍ය දායකත්වය ලබාදීම, ශ්‍රී ලංකාව තුළ සහ කලාපය තුළ සිදුවන්නා වූ ස්වාභාවික ව්‍යසන සහ ආපදා කළමනාකරණ සහන කටයුතු සැලසීම සහ මානුෂීය සහන සේවා සැලසීම පිළිබඳවද මෙම බළකායට විශේෂ පුහුණුවක් ලබා දී ඇත. නාවික හමුදා පළමු මැරීන් බළකායේ විසිර යෑම මේ වසරේ පෙබරවාරි 27 වැනිදා දින සිදු වූ අතර, එහි දෙවැනි බළකාය 2018 වසරේදී ස්ථාපිත කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු තවත් සුවිශේෂීම බළගණයක් වන නාවික හමුදා විශේෂ යාත්‍රා බළගණය ආරම්භ කිරීමට මූලිකත්වය ගත් වත්මන් නාවික හමුදාපති රවින්ද්‍ර විජේගුණරත්න මහතාගේම සංකල්පයක් මත නාවික හමුදා මැරීන් බළකාය ආරම්භ කර තිබේ.
විශේෂ ස්තුතිය
හෙරල් සේනාධීර (මාධ්‍ය ලේකම් - රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය)
ලුතිනන් කමාන්ඩර් චමින්ද වළාකුළුගේ - නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක