'මහා ගංවතුරකි, ප්‍රවේශම් වන්න' යැයි රජය කියයි. ගංවතුර නායයාම් ඇති විය හැකි බව ජනතාව නොදන්නා කරුණක් නොවේ. මන්ද තද වැසි සමග ඇතිවන විපර්යාසයන් පිළිබඳ ජනතාවට අමුතුවෙන් කතාන්තර කියා දියයුතු නොවන හෙයිනි. එහෙත් හැමදාමත් සිදුවන්නේ මහ වැසි වසින විට අවදානම් ස්ථානවලින් ඉවත්වන්න යැයි ජනතාවට අවවාද කිරීම හෝ ආරක්ෂිත ස්ථාන කරා යන්න යැයි ජනතාව යොමු කරවීමය. සුළිසුළඟකදී, ගංවතුරකදී හෝ නාය යාමකදී එසේ කළ යුතු බව ජනතාවට අමුතුවෙන් ඉගැන්විය යුතු නැත.
එහෙත් ජනතාව අසන්නේ අප යන්නේ කොහාටදැයි යනුවෙනි. කොතැනකට හෝ ගියා යැයි කියමු. එහෙත් ඒ ගිය තැන කෙතෙක් කාලයක් සිටින්නද? ජනතාවට සිදුවන්නේ අවදානම දැක දැක අනතුර පහව ගිය පසු නැවත නිවහනට පැමිණ හිත හදාගෙන ජීවත්වීමය.නිවෙස්වලට හානි විය හැකි ගහ කොළ අපමණය. ඒවා ඉවත් කරන්නැයි යාබද නිවැසියාට කරන ඉල්ලීම ජන්මාන්තර වෛරයකට මුල පිරීමකැයි පවසන්නේද ජනතාවය. පළාත් පාලන ආයතනයට ඒවා ඉවත් කිරීමට නෛතික බලය ඇත. එහෙත් එහි දේශපාලකයා ගස් හිමියාගේ හිතවතෙකු නම් එය සිදුවන්නේද නැත.
ආපදා කළමනාකරණ ඒකකයත්, දිසාපතිත්, ග්‍රාම නිලධාරීවරයාත් දැනුම්වත් කරන්න යැයි රජය පැවසුවද බලය නිලය නිසා අපට නම් ඒවාට අත ගහන්නට බැහැ යැයි ඔවුහුද මුනිවත රකිති. අවසානයේ සුළඟ, ගංවතුර, නායයාම නිසා විපතට පත්වන්නේ බලයත් නැති නිලයත් නැති අසරණයෝය. නමුත් නොකා නොබී හෝ ජනතාව මේ නිලධාරීන්ගේ අඹු දරුවන් රකින්නට වැටුප් ගෙවිය යුතුය.
එදාට වඩා අද වසින වැසි තද යැයි ජනතාව පවසති. ඒ ඔවුන්ට දැනෙන හැටිය. එසේ දැණුනද ඒ වැස්ස නිසා ඇතිවන අතුරු ප්රතිඵලයන්ගෙන් තමන්ට ගැලවීමට මගක් නැති නම් හෙණ ගගා වැස්සත් අහසට උහුල්ලනවා විනා රටේ පාලකයන්ගෙන් පිළිසරණක් නැතැයි ජනතාව පවසන්නේද ඒ බිහිසුණු බව නොදැන නොවේ.
මීරියබැද්දේ නායායාමත් සමග එදා ආණ්ඩුව මහත් පුරසාරම් දෙඩූ අයුරු තවමත් විපතට පත්වූවෝ පිළිකුලෙන් බැහැර කරති. මාස තුනක් තුළ සියලු අවතැන් වූවන් පදිංචි කරවනවා යැයි කීවද අදටත් මීරියබැද්ද එසේමය. ජනතාවත් එතැනමය. දේශපාලකයෝ නම් අර පැත්තෙන් මේ පැත්තට පැන මේ වනවිට තමන්ගේ පක්ෂය දිනවීමේ පතාක යෝධයන් බවට පත්ව සිටිති. මීරියබැද්ද විකුණාගෙන කෑ දේශපාලකයෝ දැන් අරණායක විකුණා කන ආකාරය පිළිබඳ කතා ගොතමින් සිටිති.
දේශගුණික, කාලගුණික විද්‍යාඥයන් සහ දත්ත අනුව එල්නිනෝ තත්ත්වයන්, ටොනේඩෝ තත්ත්වයන් හේතුවෙන්ද මිනිසා විසින් ලෝකය පුරා සිදු කරමින් පවතින පරිසර විනාශය හේතුවෙන්ද අයහපත් දේශගුණික තත්ත්වය නිර්මාණය වීම ගැන ජනතාව නොදන්නවා නොවේ. එහෙත් ඒ විනාශයට අනුබල දෙන වන සංහාරය කරන්නේ දේශපාලකයන් සහ ඔවුන්ගේ මැතිවරණවලට මුදල් වියදම් කරන ගස් වෙළෙන්දෝය. තමන්ට ගත වූ මැතිවරණවලදී පොලිතින්, පෝස්ටර් පමණක් නොව මුදල්ද ලබාදුන් පාක්ෂිකයන්ට නගරයේ බෝක්කුව, කාණු කට, පදික වේදිකාව පවා අත යට ගනුදෙනු මගින් කඩ කාමර ඉදිකර ගැනීමට අවසර දුන්නේද මනාපයෙන් පත්වීම් ලද මැති ඇමතිවරුන්මය.
බොහෝ නගරවල එදා හරස් වීදි කාණු සඳහා උමං කටවල් (පතහ) මෙන්ම ගිනි කටවල් යැයි තැන් වෙන්කර තිබුණි. ඒ ගමනේ පහසුවටත් වඩා හදිසි ගින්නක් හෝ වෙනත් තදබදයකදී පහසුවෙන් නගරයෙන් පැන ගැනීමටය. එහෙත් ඒ රක්ෂිතවලද මැති ඇමත්තන්ගේ ගෝලබාලයන්ගේ පෙට්ටි කඩය.
නැති බැරි කෙනාගේ පැල්පත මාර්ගයට පවරා ගත්තද වන්දියක්වත් නොලැබෙන්නේද ඒවාට නීත්‍යනුකුල ඔප්පු නැති හෙයිනි. එහෙත් අනවසරයෙන් නගරයේ කුණු කාණු හරස්කර ජල බැස්ම වසා දමා ඉදිකරන ගොඩනැගිල්ලට නීත්‍යනුකූල අවසරය දෙන්නේද රජයේ ඇත්තන්මය.
හදිසි ආපදා කළමනාකරණ අංශය ප්‍රකාශ නිකුත් කිරීමට නොව ගොඩනැගිලි ඉදිකිරීමේදී යම් අධීක්ෂණයන් කිරීමට ඇති නෛතික බලයක් පැවරිය යුත්තේද එහෙයිනි. කොළඹ නගරය ලස්සන කළ උජාරුව අසුණේ දැනට වසර හය හතක සිටය. එසේම පොද වැස්සට කොළඹ යටවන්නට පටන් ගන්නේද වසර පහ හයක සිට යැයි පවසන්නේද ලස්සන කොළඹ පදිංචි මිනිසුන්මය. අවිධිමත් ඉදිකිරීම් සහ අනවශ්‍ය ගොඩකිරීම් නිසා මේ අර්බුදය ආරම්භ වී යැයි ජනතාව පවසන්නේ එදා ඔය දේ අපි කීවා යන පෙරවදනද සමගය.
එ.ජා.ප. මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පැවසුවේ කොළඹ නගර සංවර්ධනය මුවාවෙන් පහත්බිම් ගොඩ කිරීමත් අදාළ කාණු සහ ජලය බැස යන ස්ථාන අවහිර කිරීමත් නිසා වැටෙන වේගයට වැඩියෙන් ජලය කඩිනමින් බැස යාමට ක්‍රමවේදයක් නොමැති වීමෙන් ගංවතුර තත්ත්වයන් ඇති වූ බවය.පවතින නගර සහ ගම් සංවර්ධන අවිධිමත්ය, අසාර්ථකය, අනතුරුදායකය. නගර ගම් සංවර්ධනය වන්නේ දේශපාලකයන්ගේ සිහින සැබෑ කිරීමට මිස ප්‍රායෝගිකව කළ යුතු අවශ්‍යතා ඉටු කිරීමක් ලෙස නොවේ. එහෙත් එය විධිමත්ව පරිපාලනය සඳහා සුද්දාගේ පාලන සමයේ සිට පළාත් පාලන ක්‍රමයක් ස්ථාපනය විය. අදටත් මහ නගර සභා, නගර සභා ආදී වශයෙන් ඒවා කළමනාකරණය සඳහා වන ආඥා පනත් පවතින්නේද එහෙයිනි.
අඩුම තරමින් ලංකාවේ කිසිම තැනක අනුමත ක්‍රමවේදයෙන් බැහැරව තාවකාලික මඩුවක්වත් ඉදි කිරීම තහනම්ය. ඒ නීති ක්‍රියාත්මක කරවීමේ බලය සභාපතිවරයාට පැවරුණේය. සභාපතිවරයාට සාම විනිසුරු සහ නිල නොලත් මහේස්ත්‍රාත් යැයි නිල නාමයද තනතුරට එක්කළේ ඒ වගකීම බාධකයකින් තොරව ඉටු කරගැනීම වෙනුවෙනි. එහෙත් අද සිදුවන්නේ මේ පිරිසම නගරය අපිරිසුදු කරන බවට නාගරිකයන්ගෙන්ම චෝදනාවකි.
නගර නිර්මාණය තවත් ක්‍රමානුකූලව පවත්වා ගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියකි. එහෙත් එය අදටත් පවතින්නේ දේශපාලන අධිකාරියේ දිගුවක් ලෙස පමණකැයි චෝදනා කරන්නේද ජනතාවය. රට පුරා නගර යටවන්නේත්, නායයන්නේත් දිගු වූ ඒ බලය වක්රකර නිලධාරීන්ට විධිමත්ව කටයුතු කිරීමට ඇති අවකාශය දේශපාලකයන් විසින් වැළැක්වීම නිසා යැයි ජනතාව එයට අඩු වැඩියද එක් කරති.
තමන්ගේ මුඩක්කු පැල්පතට සුදුසු බිම්කඩක් ඉල්ලා සිටින නැති බැරි එකාට පුම්බන වීදුරු කාමර තුළ සිටින මිනිස්සු, දූෂණය නීතිගත කළ දේශපාලකයන් ඉදිරියේ කුරුමිට්ටෝය.'අපි නම් එහෙම නැහැ'යි යමෙකුට කිව හැකි වුවත් 'අපි නම් එහෙම වුණා' යැයි කියමින් අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනකු දින සියය තුළ ජනාධිපති මෛත්‍රී හමු වී තමන්ට එරෙහිව ඇති දූෂණවලට අනුබල දීමේ චෝදනාවලින් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බවද වාර්තා විය.
උදුම්මාගත් මාන්නයෙන් කටයුතු කරන පරිපාලකයන්ද ගංවතුරෙන් තමන්ටත් හානි සිදුවන බව අමතක කර මුදලට යට වෙති. නගර නිර්මාපකයන්, දේශපාලකයන්, ව්‍යාපාරිකයන් කළ යුත්තේ අහසට දෙස්දෙවොල් තබමින් බැන ශාප කිරීම නොව, තමන් කර ඇති වරදේ තරම වටහාගනිමින් ඒවා නොකර කර ඇති වැරදි නිදොස් කිරීමය. නීතිය අනුව දේශපාලකයන්ට නොව රටටත්, ජනතාවටත් සේවය කිරීමය. එවිට මුරුගසන් වර්ෂාව වැස්සත් බිය විය යුතු නැත.
අනාථ වූවෝ කඳවුරු තුළය. ඔවුන් වෙත ජනමාධ්‍ය මගින් දේශපාලකයන් කියන දේ හිත හැදෙන කතා පමණකැයි ඔවුහු චෝදනා කරති. මේ වනවිටත් තමන් දකින්නට කිසිවෙකු පැමිණියේ නැතැයි චෝදනා ඇසෙන්නේද එහෙයිනි. මැරුණු මිනිසුන්ගේ වියෝවත්, ජීවත්වන මිනිසුන්ට තිබූ දේ අහිමිවීමේත් විපත නැවත නැවත නොඇසිය යුතුය.
එහෙත් එයට දේශපාලකයන් මැදිහත්වන්නේ නම් රජයේ නිලධාරීන් කොන්දක් ඇති මිනිසුන් ලෙස සංවිධානය විය යුතුය. අසාධාරණයට පත් මිනිසුන්ට බැන වැදී එළවා දමන හෝ හොස්ස අගින් මැස්සා ගියත් වැඩ වර්ජනය කරන රජයේ නිලධාරීන්ට අයථා ඇඟිලි ගැසීම්වලට එරෙහිව දේශපාලකයන්ගේ බලපෑම්වලට විරුද්ධව නැගී සිටිය හැකි නම් ස්වාභාවික විපත්වලදී පවා මෙතරම් විනාශයක් නොවනු ඇත.
අවදානම් තැන් හඳුනාගත්තද ජනතාවට බෙදාදීමට ඉඩම් නැත. ඉඩම් දුන්නද ඇතැමුන් ඒවාට තමා උපන් තැන අතහැර දමා යාමට අකමැතිය. ඒ ආර්ථිකය සමග බැඳෙන ගැටලු හේතුවෙනි. ගංවතුර මේ වසර තුළ නැවතත් ඇසෙනු ඇත. එසේ නොවන්නට නම් වැස්ස නතර කළ යුතුය. අණපනත් මගින් වැස්ස නතර කළ හැකි යැයි රජය හිතන්නේ නම් එය විහිළුවකි. පවතින අණපනත් තුළ ජල බැස්මට ඇති අවකාශය පුළුල් කළ යුතුය. පැවති පිළිගත් අණපනත් සැලසුම්වලින් බැහැරව ඉදිකර ඇති කාණු ගොඩනැගිලි සියල්ල කඩා බිඳ ඉවත් කිරීම වඩාත් උචිත විසඳුමක් යැයි නගර සැලසුම් ශිල්පීහු යෝජනා කරති.
වැස්ස පාලනය කළ නොහැකිය.
නමුත් බිමට වැටෙන ජලය ගලා යාමේ ක්‍රමයක් මගින් ගංවතුර පාලනය කළ හැකිය. එය කළ හැක්කේ ජනතාවටත් වඩා නිලධාරීන්ට දේශපාලකයන් සමග සම්බන්ධතාවෙනි. නමුත් දේශපාලකයා නිලධාරියාට ඉහළින් සහ නිලධාරියා මුදලට පහළින් සිටින්නේ නම් හැමදාම වැස්සත්, ගංවතුර ගැලුවත් ආණ්ඩුවෙන් අසන්නට වන්නේ එක් මරණයකට ලක්ෂයක් බැගින් ගෙවනවා යන ලාභදායී පිළිතුර පමණි.