වර්ග කිලෝමීටර් 65610 ක් තරම් වූ පුංචි ගොඩබිම් තීරුවකින් හෙබි ශ්‍රී ලංකාව ලෝකයේ විවිධ කලාප තුළ විද්‍යමාන වන විවිධ දේශගුණික තත්ත්වයන්ගෙන් පෝෂිත වූවකි. එම දේශගුණික ගතිකත්වයද සමබරය. ලෝප්‍රකට ඓතිහාසික රංගිරි දඹුළු පුරවරයට යාබද දඹුල්ල නගරයේ සිට කිලෝමීටර් පහළොවක් තරම් දුරකින් පිහිටි මංපෙත ඔස්සේ ගිය තැන හමුවන ජෛව විවිධත්වයෙන් යුත් මහා වනස්පතියකි.
අක්කර 2000
අක්කර දෙදහසකින් යුත් භූමි භාගයක් පුරා මෙම වනපෙත සිය අණසක පතුරුවාගෙන ඇත. ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ, වර්තමානයේ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් නෙත් සිත් පුබුදුකරවන සුවදායක පරිසරයක මිහිරියාව ගතට සිතට කාවද්දන ජාතික නාමල් උයන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාගල, ගල්කිරියාගම, උල්පතගම නම් ග්‍රාමයේ පිහිටා ඇත. ඒ - 9 මාර්ගයේ ඇති මඩාටුගම හංදියෙන් වමට හැරී ආඬියාගල දෙසට කිලෝමීටර් 07 ක් පමණ ගිය පසු ජාතික නාමල් උයන නම් මෙම සුන්දර වනස්පතිය වෙත ළඟාවිය හැක.
මෙහි මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර් 972 ක් වන අතර, (අක්කර 2000 කි) එයින් අක්කර 260 ක ප්‍රදේශයක නා ගස්වලින් යුත් මෙම වන පියසේ අක්කර 600 ක් පමණ වපසරියක පිහිටා ඇති වසර මිලියන දසලක්ෂ පන්සිය පනහකට වඩා වැඩි ප්රාග් ඓතිහාසික යුගයකට අයත් රෝස තිරුවානා කඳුවැටිය සොබාදහමේ විශ්මිත නිර්මාණයක් ලෙසත්, ඓතිහාසික මෙන්ම භූගෝලීය හා පාරිසරික වැදගත්කම නිසාත් මෙම සුවිශේෂී පරිසර පද්ධතිය රජය විසින් 2005 අප්‍රේල් 26 වැනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ශ්‍රී ලංකාවේ 03 වැනි සංරක්ෂිත වනාන්තරය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
දිය නා හා බටු නා
ජාතික නාමල් උයනේ ප්‍රධානතම ශාඛය වන්නේ නා ගසයි. මෙහි ප්‍රභේද 02 ක් වේ. එනම් දිය නා සහ බටු නා විශේෂයයි. මෙය තෙත් කලාපීය ශාකයකි. බටු නා ප්‍රභේදයට අයත් නා ගස් බහුල වශයෙන් නාමල් උයන තුළ දක්නට ඇති අතර, එම නා ගස් වසර 750කට වඩා පැරණිය.
නා වනය තුළ කළුවර, මිල්ල, මොර, වෙළං, පානක්කා ආදී වටිනා වෘක්ෂයන්ද, අගිල්, මීමන ශාක, බිං කොහොඹ, මීරැස්ස, කොරකහ, පනංපෙති වැනි වටිනා ඖෂධීය ශාකද දක්නට ලැබෙන අතර, මෙහි හඳුනාගත් දේශීය ඖෂධ ශාක පැළෑටි 72 ක් පමණ වේ. මෙහි හඳුනාගත් පක්ෂීන් වර්ග 18 කි. මෙම වනය තුළ කොටියා, වලසා හැරුණු කොට අලියාගේ සිට අනිකුත් සියලුම සත්තු මෙහි ජීවත්වෙති. තවමත් මෙය පර්යේෂණ සහ ගවේෂණ තත්ත්වයේ පවතී.
අනුරාධපුර මුල් යුගය
ක්‍රිස්තු පූර්ව 02 වැනි සියවසේදී අනුරාධපුර මුල් යුගයේ රජකම් කළ දේවානම්පියතිස්ස රජතුමා විසින් පිහිටුවන ලද බෞද්ධ සිද්ධස්ථානයක් මෙහි තිබූ බවත්, එය 08 වැනි සියවසේ 04 වැනි දප්පුල රජ සමය දක්වා විවිධ රජවරුන්ගේ අනුග්‍රහයෙන් පෝෂණය වූ බවත් ඉතිහාසයේ සඳහන් වෙයි. හෙළ රජ දවසින් පසු වසර සිය දහස් ගණනක් දැව ජාවාරම්කරුවන්ගේ, නිදන් හොරුන්ගේසහ දඩයක්කරුවන්ගේ පාරාදීසයක්ව තිබූ මෙම ඓතිහාසික, පාරිසරික, භූගෝලීය හා ජාතික වශයෙන් වැදගත්කමක් තිබූ, එවකට 'නා මූකලාන' ලෙස නම් දැරූ මෙම වනස්පතිය ජාතික සම්පතක් බවට පත්කරලීමේ ගෞරවය හිමිවන්නේ 1991 වසරේ පදිංචියට පැමිණි වනවාසී රාහුල හිමියන්ටයි. තම ජීවිතය පරදුවට තබමින් විවිධ අභියෝග මැද ඉතා දුෂ්කරව, අවම පහසුකමක්වත් නොමැතිව එය මේ රටේ ජාතික සම්පතක් බවට පත්කිරීමට උන්වහන්සේ කළ කැපවීම නොවන්නට මෙම සුන්දර වනපෙත විවිධ උපද්‍රවවලින් විනාශ වී යාමට ඉඩ තිබිණි.
ඒ නිසාම 2004 ජනාධිපති පරිසර සම්මානයෙන් වනවාසී රාහුල හිමියන් පිදුම් ලැබීමද මෙහිදී සඳහන් කළ යුතු කරුණකි.
වනවාසී රාහුල හිමියන්
එවකට මිනිස් වාසයෙන් තොර වූ මෙම සුවිසල් නා වනය තුළ නැවතීමට තැනක් සෙවූ රාහුල හිමියෝ ඒ සඳහා සුදුසුම ස්ථානය ලෙස අඩි 25 ක් පමණ උසකින් යුත් මොර ගසක් තෝරාගත්හ. ඉපැරණි බෞද්ධ නටබුන් මෙම ස්ථානයට නුදුරින් පිහිටා තිබීමත්, ජල උල්පත් පිහිටා තිබීම නිසාත් රාහුල හිමියන් මෙම ස්ථානය තෝරාගැනීමට හේතුවිය.
උල්පත්ගම ගම්වාසීන් කිහිපදෙනෙකුගේ සහායෙන් නවාතැන් සඳහා මොරගහ උඩ පැල්කොටයක් තනාගෙන එයින් බැසීමට වැල් ඉනිමඟක්ද සාදවාගත්හ. එතැන් පටන් මෙම මහා වනස්පතිය ජාතිය වෙනුවෙන් ආරක්ෂා කර තැබීමේ උදාර ජාතික මෙහෙවර ආරම්භ කළහ. මෙම වකවානුව තුළ නා වනයේ ජීවත්වීම කෙතරම් අපහසුද, කටුකද යන්න නා වනය තුළ තනි වී මිනිත්තු කිහිපියකින්ම රාහුල හිමියන්ට අවබෝධ විය. නා වනයේ තනි වූ රාහුල හිමියන්ට නා වනය රැකගැනීම සඳහා බිහිසුණු සිදුවීම් රැසකට මුහුණදීමටද සිදුවිය.
අභියෝග
ඒ අනුව මුල් වකවානුවේදී නිදන් හොරුන්ගෙන්, දැව ජාවාරම්කරුවන්ගෙන්, දඩයක්කරුවන්ගෙන් ප්‍රදේශයේ දේශපාලන බලධාරීන්ගෙන් හා වෙනත් පිරිස්වලින් විවිධ චෝදනා ලබමින් වෙඩි තැබීම් වැනි අති භයානක අභියෝගවලට මුහුණපෑමට සිදුවිය.
ඒ කිසිවක් තුට්ටුවකට මායිම් නොකළ රාහුල හිමියන් මේ අපූර්ව පරිසර පද්ධතියකින් යුත් නාමල් උයනේ වටිනාකම මිල කළ නොහැකි බව හා එය දැනුම් ගබඩාවක් පුරවා තිබෙන පාරිසරික විශ්වවිද්‍යාලයක් මෙන්ම පර්යේෂණාගාරයක් බව හඳුනාගෙන මෙය මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කරතැබීමේ ක්‍රියාදාමය 1991 සිට මේ දක්වා නොනවත්වාමමේ රටේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල නොමඳ සහාය ඉදිරියට ගෙනයමින් තිබේ.
ජාතික නාමල් උයනේ පිහිටි සොබාදහමේ අපූර්වතම නිර්මාණයක් ලෙස සුදෝසුදු හිම කඳුපෙළක් සේ දිස්වන රෝස තිරිවානා කඳු පන්තිය හැඳින්විය හැක. මුහුදු මට්ටමේ සිට මීටර් 180 - 300 අතර නැගී සිටින කඳු 07 ක් මෙහි දක්නට ලැබේ. කඳුවැටි සහ තනි කඳු ලෙස දිස්වන මෙම කඳු පන්ති හෙල් බෑවුම්වලින් සමන්විතය. මෙම කඳු පන්තිය වටකරගත් ජාතික නාමල් උයන වනස්පතිය එහි ආරක්ෂාවට යෝධ පවුරක් සේ ඈතට දිස්වේ.
ප්රාග් චෛතිහාසික යුගය
භූ විද්‍යා පර්යේෂණයන්ට අනුව මෙම රෝස තිරුවානා කන්දට වසර මිලියන දසලක්ෂ 550කට වඩා වැඩි ප්රාග් ඓතිහාසික යුගයකට නෑකම් කියන ඉතිහාසයක් ඇත. ඉන්දියාවේ රජකම්කළ සාජහාන් රජු ඔහුගේ ටාජ් මහල් ප්‍රාසාදයේ වැඩ කටයුතු සඳහා මෙම කන්දෙන් රෝස තිරුවානා ලබාගෙන තිබේ. මෙම අක්කර 600 පුරාවට විහිදුන සද්ධන්ත නිධියේ ඇති රෝස තිරුවානා ගැන කිසිම සැකයක් නැත. මෙය මිල කළ නොහැකි අපේ රටේ ආරක්ෂා කළ යුතු ජාතික වස්තුවකි.
රෝස තිරුවානා නැතහොත් මඳ රතු දිය තරිප්පු වූ කලී කොන්දේසි විරහිත, ආදරයට සම්බන්ධ අර්ධ මැණික් වර්ගයකි. සම පැහැපත් කිරීමටත්, පිළිස්සුම් හා බිබිළි දැමීම සමනය කිරීමටත්, කායික වශයෙන් හදවත සවිමත් කිරීමටත්, කරකැවිල්ල තුරන් කිරීමටත්, හදවත, පෙනහළු, වකුගඩුව හා ඇඩ්රිනලින් ආශ්රිත ගැටලු සමනය කිරීමටත් උපකාරී වෙයි. නිශේධනාත්මකතාව දුරුකරන රෝස තිරුවානා විද්‍යුත් චුම්බක ක්ෂේත්රවලින් සහ වෙනත් පරිසර දූෂකකාරකවලින් අත්වන බලපෑම වළකාලයි. මෙය වැඩිහිටියන් මෙන්ම ළමයින්ට හිතකර නිධිකාරක ස්ඵටිකයකි. මනරම් සිහින මවමින් රුදුරු ස්වප්නවලින් ඔවුන් ආරක්ෂා කිරීමට මෙම ස්ඵටිකයට හැකියාව ඇත.
ජපන් ජාතිකයන්
ලෝකයේ විවිධ රටවල් අතරින් ජපන් ජාතිකයන් විශේෂයෙන් මෙම රෝස තිරුවානා නිධියේ ඇති ශක්තිය(Power Energy)ලබාගැනීමට පැමිණෙන අතර, ඔබට තවදුරටත් මේ පිළිබඳ සියලුම ගවේෂණාත්මක තොරතුරු අන්තර්ජාලයට පිවිස Rose Quartz වෙබ් අඩවිය පරිශීලනය කිරීමෙන් ලබාගත හැක.
මනුෂ්‍ය සංහතියේ උන්නතිය උදෙසා,සමස්ත ප්‍රජාවගේ හිතසුව පිණිස රෝස තිරුවානා කඳුවැටිය නිසි අයුරින් ගවේෂණයට ලක්කොට ආරක්ෂාකර තබාගැනීමට සියලුම මානව වර්ගයාගේ අවධානය යොමුවේවායි පතමු.