පොලිස් දෙපාර්තමේන්තුවේ කර්තව්‍යන් සඳහා සත්ත්වයන් දෙවර්ගයක සහාය ලබාගන්නා අතර, මින් එක් කොට්ඨාසයක් වන පොලිස් නිල සුනඛයන් පිළිබඳ පසුගියදා අපි ඔබ වෙත තොරතුරු ගෙන ආවෙමු. පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය පිළිබඳ ගෙනෙන මෙම විශේෂාංගයද පාඨක ඔබට අලුත් අත්දැකීමක් ගෙන එනු ඇත. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව පිහිටුවනුයේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැති කාලවකවානුවක් වූ වර්ෂ 1866 දීය. එකල පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරු දරනු ලැබුවේද ඉංග්‍රීසි ජාතික නිලධාරීන් විසිනි. රථවාහන භාවිතයක් නොවූ එම සමයේදී නිලධාරීන්ගේ ගමන් අවශ්‍යතා සඳහා යොදාගත් අශ්වයන් රඳවා ගැනීම සඳහා ඉංග්‍රීසි ජාතික සැරයන්වරුන් කිහිපදෙනෙකු පරිපාලන කටයුතු සඳහා යොදවමින් කොළඹ 12, මිහිඳු මාවතේ පොලිස් අශ්වාරෝහක අංශය ප්‍රථම වරට ස්ථාපනය කර තිබේ.
වර්ෂ 1948 දී මෙරටට බ්‍රිතාන්‍යයෙන් නිදහස හිමිවීමත් සමග පොලිස් දෙපාර්තමේන්තුව තවදුරටත් වැඩිදියුණු කිරීම සහ ව්‍යාප්ත කිරීම සිදු වූ අතර, ඒ යටතේ පොලිස් අශ්වාරෝහක අංශයද වැඩිදියුණු කිරීමට පියවර ගන්නා ලදී. ඒ අනුව එතෙක් එම අංශයේ පරිපාලන කටයුතු සිදුකළ යුරෝපීය සැරයන්වරුන්ට අමතරව ශ්‍රී ලාංකික උපපොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකුද අනුයුක්ත කෙරිණි. එතැන් සිට මෙම අශ්වාරෝහක අංශය පොලිස් දෙපාර්තමේන්තුවේ අලංකාරත්වය විදහාපාමින් විවිධ ප්‍රදේශ වෙත ගොස් සන්දර්ශන පැවැත්වීමට අමතරව රාජ්‍ය උත්සව හා විදෙස් රාජ්‍ය නායකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවලදී අශ්වාරෝහක පෙරගමන් ආචාර රාජකාරි ඉටුකිරීමට දායකත්වය ලබාදෙන ලදී.
වර්ෂ 1954 දී මෙරටට පැමිණි එළිසබත් රැජින පොලිස් අශ්වාරෝහක අංශය වෙත බී.ඕ.වී. සම්මානය ප්රදානය කිරීමට කටයුතු කළේ, ඇයව පිළිගැනීමට පොලිස් අශ්වාරෝහක අංශය විසින් පැවැත්වූ පෙරගමන් ආචාරය විශේෂ ඇගයීමකට ලක්කිරීම වෙනුවෙනි.
මේ ආකාරයට වර්ෂ 1956 වනවිට පොලිස් අශ්වාරෝහක අංශය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකික පොලිස් නිලධාරීන්ගෙන් පමණක් සමන්විත විය. ඒ අනුව උපපොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරු දෙදෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් 22 දෙනෙකු අනුයුක්ත කර, ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද අශ්වයන් 22ක්ද ඇතුළත් කර පොලිස් අශ්වාරෝහක අංශය නැවත විධිමත් සැලැස්මක් යටතේ ප්‍රතිසංවිධානය කිරීමට පියවර ගැනිණි.
එතැන් පටන් වසරින් වසර අශ්වයන් අලුතින් ආනයනය කරමින්, නව නිලධාරීන් බඳවා ගනිමින් හා සිය සම්පත් දෛනිකව වර්ධනය කරගනිමින් අශ්වාරෝහක අංශය තවත් වැඩිදියුණු තත්ත්වයකට පත්විය. රාජ්‍ය නිවේදිත නිලධාරීන්ටද අශ්වයන් පිට රාජකාරි කිරීමේ අවශ්‍යතාව ඇති වූ නිසා ආධුනික සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස ඍජුවම බඳවා ගනු ලබන නිලධාරීන්ට අශ්වාරෝහක ප්‍රවීණතාව ලැබීම ඔවුන්ගේ මූලික පුහුණුවේ කොටසක් ලෙස නම් කර තිබේ. ඒ අනුව වරින්වර බඳවා ගනු ලබන සහකාර පොලිස් අධිකාරීවරුන්ටද කොළඹ අශ්වාරෝහක අංශයෙන් එදා සිට අද දක්වා අශ්වාරෝහක පුහුණුව ලබා දෙනු ලැබේ. අශ්වාරෝහක අංශය රථවාහන කොට්ඨාසයට අනුයුක්ත කර තිබූ අතර, 1985 වර්ෂයේදී පොලිස් අශ්වාරෝහක අංශය වෙනම කොට්ඨාසයක් ලෙස ස්ථාපනය කෙරුණේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී. කණගසිංහම් මහතා යටතේය. මහනුවර හා නුවරඑළිය කොට්ඨාස භාරව සිටි අශ්වාරෝහක ප්‍රවීණතාව ලැබූ රාජ්‍ය නිවේදිත නිලධාරීන් විසින් එම කොට්ඨාසවල ඇති රාජකාරි අවශ්‍යතාව මත මූලස්ථාන පොලිස් ස්ථානවල අශ්වාරෝහක අංශය ස්ථාපනය කිරීමට කටයුතු කරන ලදී.
එතැන් සිට පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය විසින් විවිධ රාජකාරි කටයුතු සඳහා අශ්වයන් යොදවා ගනිමින් සිය රාජකාරි පරාසය තවදුරටත් පුළුල් කරන ලද අතර, ප්‍රථම වරට 1978 වර්ෂයේ සිට ජනාධිපතිවරයා වෙත වාර්ෂික ජාතික නිදහස් උලෙළ වෙනුවෙන් අශ්වාරෝහක පෙරගමන් රාජකාරි සිදුකිරීම ආරම්භ කළේය. ඉන් අනතුරුව වරින්වර කොට්ඨාස භාර නිලධාරීන් මෙම අංශය පාලනය කළ අතර, මේ වන විට පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය භාරව අධ්යක්ෂ තනතුර ස්ථාපනය කර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු යටතේ අශ්වාරෝහක කොට්ඨාසය පාලනය කෙරේ.
පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය යටතේ මහනුවර සහ නුවරඑළිය අශ්වාරෝහක අංශ ස්ථාපනය කර එම නගර ආශ්‍රිතව අශ්වාරෝහක රාජකාරි සිදුකර ගෙන යනු ලැබේ. මහනුවර අශ්වාරෝහක අංශයෙන් වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහර උත්සවය සඳහාද, නුවරඑළිය අශ්වාරෝහක අංශයෙන් වාර්ෂිකව පැවැත්වෙන වසන්ත කාලසීමාවේදී අශ්වාරෝහක රාජකාරිවලට අමතරව විවිධ සන්දර්ශන ආදියද ඉදිරිපත් කරනු ලබයි. මහනුවර සහ නුවරඑළිය අශ්වාරෝහක අංශ 2000 වසරට පෙර පවත්වාගෙන ගොස් ඇත්තේ මූලස්ථාන පොලීසියට යාබද කුඩා අංශයක් ලෙස පමණි. නමුත් අශ්වයන්ගේ රාජකාරිවල අවශ්‍යතාව වැඩි වශයෙන් මතුවීමත් සමග එම අංශ වැඩිදියුණු කර අශ්වයන්ගේ ප්‍රමාණයද වැඩි කරමින් වෙන වෙනම ස්ථානවල 2000 වසරේ සිට පිහිටුවා තිබේ.
පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය ආරම්භයේ සිටම අශ්වයන් ආනයනය කර ඇත්තේ ඔස්ට්‍රේලියාවෙන් වන අතර, ප්‍රංශයේ උපත ලැබූ පොලිස් රාජකාරි සඳහා යොදාගන්නා %සෙල්ප්රාන්සේ^ වර්ගයේ අශ්වයන් 24 දෙනෙකු ආනයනය කර එම අශ්වයන් යොදා ගනිමින් 1998 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ 50 වැනි නිදහස් උලෙළට පැමිණි බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාල්ස් කුමරු වෙනුවෙන් අශ්වාරෝහක පෙරගමන් ආචාරයක් පවත්වන ලදී. ඉන් අනතුරුව කොට්ඨාසයේ අශ්වයන්ගේ ප්‍රමාණය වැඩි කර ගැනීමේ අරමුණින් සහ විවිධ රාජකාරි සඳහා අශ්වයන්ගේ අවශ්‍යතාව වැඩි වීම හේතුවෙන් වාර්ෂිකව ඉන්දියාව, නෙදර්ලන්තය, ප්‍රංශය වැනි රටවලින් අශ්වයන් ආනයනය කිරීමට කටයුතු යොදා තිබේ.
වර්තමානයේ පොලිස් අශ්වාරෝහක කොට්ඨාසයේ අධ්යක්ෂ ධුරය හොබවනුයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දමයන්ත විජය ශ්‍රී මහතාය. දැනට මෙම කොට්ඨාසය අශ්වයන් 41 දෙනෙකුගෙන් සහ නිලධාරීන් 88 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඉදිරියේදී තවත් අශ්වයන් 18 දෙනෙකු අලුතින් ආනයනය කිරීමට මේ වනවිට කටයුතු යොදා තිබේ.
සාමාන්‍යයෙන් මෙම රාජකාරි කටයුතු සඳහා යොදාගන්නා අශ්වයන් ආනයනය කරනු ලබන්නේ වයස අවුරුදු 04ත්, 06ත් අතර කාලයේදීය. දළ වශයෙන් අශ්වයෙකුගේ පුහුණු කාලය මාස 06ක් පමණ වේ. අශ්වයන් හසුරුවන නිලධාරීන් වසරක පුහුණු කාලයක් සම්පූර්ණ කළ යුතුය. මේ සෑම අශ්වයෙකුටම හසුරුවන්නාට අමතරව රැකබලා ගන්නෙක්ද සිටියි. අශ්වයෙකුගේ සාමාන්‍ය සේවා කාලය වසර 20ක් පමණ වෙයි. ඉන් පසු විශ්‍රාම ගන්වන අශ්වයන් රජයේ දේපොළක් වන බැවින් වෙන්දේසි කරනු ලැබේ. සුනඛයන් මෙන් නොව අශ්වයන් ස්වාමියාට විශේෂ ලැදියාවක් හෝ හිතවත්කමක් නොදක්වන නිසා මොවුන් සමග කටයුතු කිරීමේදී සහ හැසිරවීමේදී කල්පනාකාරී විය යුතුය. මුල් කාලයේදී නාගරික පරිසරයට හුරු කිරීම සඳහා මෙම අශ්වයන් නගරයේ සංචාරය කරවනු ලබන අතර, එම පරිසරයට හුරු වූ පසු කලබලකාරී හැසිරීමක් දක්නට නොලැබේ. උදෑසන 05ට, උදෑසන 11ට සහ සවස 06ට ආහාර වේල් 03ක් ලබාදෙනු ලැබේ. මෙම ආහාර වේල තුළ විදේශ රටවලින් ආනයනය කරනු ලබන ඕට්ස්, බාර්ලි, චාෆ්, බ්‍රෑන් ආදී ධාන්‍ය වර්ගවල මිශ්‍රණයක් හා තෘණ වර්ග, කැරට් සහ විවිධ විටමින් පෝෂක අඩංගු කර තිබේ. අශ්වයන් පිරිසුදු කිරීම සඳහා විශේෂ උපකරණ කිහිපයක් භාවිත වන අතර, ඊට පවතින්නේද ප්‍රවේශමෙන් කළ යුතු ක්රමවේදයකි. දැනට කොළඹ, මහනුවර සහ නුවරඑළිය ආදී ප්‍රදේශවල අශ්වාරෝහක අංශය මගින් දෛනිකව පෙරවරු හා පස්වරු අධිපැය කාලසීමාව තුළ පදික මාරු ස්ථානවල රථ වාහන හා මහජනතාව හැසිරවීමේ රාජකාරි ඉටු කරනු ලැබේ. කොළඹ ප්‍රදේශයේ පමණක් පොලිස් අශ්වාරෝහක නිලධාරීහු 10 දෙනෙක් පමණ රාජකාරියේ නිරත වෙති.
සටහන - නඳුන් ශ්‍යාමාල් / ඡායාරූප - ශමීර රාජපක්ෂ