නිර්ආගමික, ලෞකිකවාදී යැයි කියනා ඉන්දීය රාජ්‍ය යන්ත්‍රයට හින්දූත්වය රැකගැනීම පිණිස වූ රාෂ්ඨීය ස්වයං සේවයක (Rss) පැරණි ශුද්ධාවන්ත පූර්ණකාලීනයෙකු අගමැති ලෙස ලැබීම අපූර්ව විසංවාදයක් වී ඇත. අධිවේගී දුම්රිය මාර්ග, මාධ්‍යමික නගර සියයක්, සැමට විදුලිය ආදී තේමා ගණනක් අතර, ජලය අපිරිසුදුවී ඇති ගංගානම් ශුද්ධ නදිය පිරිසුදු කිරීමද හෙතෙම සිය තේමාවක් කරගෙන ඇත.
1984 පසු ඉන්දියාවට ප්‍රාදේශීය පක්ෂ මත නොයැපෙන ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක් ලැබී ඇත. 1984 දී රජීව් ගාන්ධි යෝධ අනුකම්පා රැල්ලකින් බලයට ආවේ ඉන්දිරා ගාන්ධි ඝාතනය කළ නිසාවෙනි. මෙවර කොංග්‍රසය අතුගා දමමින් නූගත්, අඩු කුලයේ යැයි සම්මත ගුජරාටියෙකු වන නාරේන්ද්‍ර මෝඩි ප්‍රතිපත්ති මත සටන් කර බලය ලබාගත්තේය. ඔහුට රාජකීය පවුලක් නොවීය. මුස්ලිම්වරු ඔහුට තදින් එරෙහි විය. ඉංග්‍රීසි කතා කරන සමාජය ඔහු ගැන ඉන්දීය සමාජය බියවැද්ද වූයේ ඔහු 2002 දීද ගුජරාටි මුස්ලිම් විරෝධී කැරලිවලට සම්බන්ධ ෆැසිස්ට්වාදියෙකු ලෙස හඳුන්වමිනි. එක්සත් ජනපදය ඔහුට වීසා ලබාදුන්නේද නැත. ඔහු කුලහීනයෙක් වුවද බ්‍රාහ්මණයන්ගේ ආධිපත්‍ය සහිත භාරතීය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂකයා විය. අද්වානි, ෂුශ්මා ස්ව්රාජ් වැනි එහි ඉහළ වැඩිහිටි නායකයන්ගේ අනුග්‍රහය ඔහුට ලැබුණේද නැත. තමිල්නාඩුව, බෙංගාලිය, කේරළය වැනි ප්‍රාන්ත කීපයක් හැරුණු විට මුළු ඉන්දියාවම ඔහුට එක රැල්ලට ඡන්දය ලබාදුන්නේය.
මෙවර ඉන්දීය මැතිවරණයට මිලියන 812 ක් ඡන්දය දීමට සුදුසුකම් ලබා තිබූ අතර, එයින් 66.4% ක් එනම් මිලියන 540 ක් ඡන්දය පාවිච්චි කළහ. 2009 මහා මැතිවරණයේදී ඡන්දය දුන්නේ 55% ක් පමණකි. ඡන්දය ප්‍රකාශිත ප්‍රමාණය ඉහළ යෑමෙන්ම ඡන්දයේ උණුසුම පෙනී යයි.
ජාන් සාන්, ජනතා පක්ෂය ආදී ලෙස ඉන්දීය කොංග්‍රසයට විරුද්ධකම් පාමින් සංවිධානය වූ භාරතීය ජනතා පක්ෂය හා එහි සහායක පක්ෂ ඡන්ද මිලියන 171 ක් හෙවත් 38.4% ක ඡන්දයක් ලැබීය. 2009 දී පක්ෂය ලබා ගත්තේ 24.6% කි. වර්ධනය 13.8%කි. එයට 2009 දී ආසන 159 ක් හිමිව තිබූ අතර, මෙවර ආසන 336 ක් ලැබී ඇත. භාරතීය ජනතා පක්ෂයට පමණක් ආසන 282 ක් ලැබී ඉන්දීය පාර්ලිමේන්තුවේ (ආසන 543) බහුතරය ලැබී ඇත
.
නේරු - ගාන්ධි පවුලේ උරුමය වූ ඉන්දීය කොංග්‍රසයට හා එහි සන්ධානයට මිලියන 107 ක් ජනයා ඡන්දය දී ඇත. ප්‍රතිශතය 19.4% කි. 2009 දී එයට 37.2% ක් ඡන්දය දුන් අතර, ආසන 262 ක් ලැබිණි. කොංග්‍රසයට මෙවර ඡන්ද 17.8% ක ප්‍රතිශතයක් අහිමි වී ඇති අතර, ලැබී ඇත්තේ ආසන 58 කි. (කොංග්‍රසයට පමණක් 44 කි). මෙය කොංග්‍රසය සිය ඉතිහාසයේ අත්කර ගත් අන්තම පරාජයයි.
මෙවර තුන්වැනි තැනට පත්ව ඇත්තේ තමිල්නාඩුවේ ජයලලිතාය. ඇය 3.3% ක ඡන්දයක් සමග ආසන 36 ක් ලබාගෙන ඇත. 2009 දී 1.67% ක ප්‍රතිශතයක් සමග ඇයට ලැබුණේ ආසන 09 කි. රටම මෝඩි පසුපස යනවිට දෙමළ ජනයා ලේඩි (Lady) පසුපස බව ජයලලිතා ප්‍රකාශ කළාය.
ඉන්දියාවේ තුන්වෙනි බලවේගය ලෙස දූෂණ විරෝධී පෙරමුණක තරග කළ ආම් ආද්මි පක්ෂයට ලැබී ඇත්තේ මිලියන 11 ක ඡන්දයකි. ප්‍රතිශතය 2% කි. ආසන 04 කි. එයද පන්ජාබයෙනි. දිල්ලියෙන් 33% ක ප්‍රතිශතයක් ගෙන සෑම ආසනයකම දෙවැනි තැනට පත්වීමට එය සමත් විය.
ඉන්දියාවේ පවතින්නේ කේවල ආසන ක්රමයකි. (1977 ට පෙර ලංකාවේ පැවැති තත්ත්වය) ලංකාවේ මෙන් සමානුපාතික ක්‍රමයක් පැවැතුණා නම් බී.ජේ.පීයට මෙතරම් ජයක් හෝ කොංග්‍රසයට මෙතරම් පරාජයක් ලැබෙන්නේ නැත. අනුපාත ඡන්දයක් වූයේ නම් බී.ජේ.පීයට ආසන 208 ක්ද, කොංග්‍රසයට ආසන 105 ක්ද, ආම් ආද්මි පක්ෂයට ආසන 11 ක්ද, ජයලලිතාට ආසන 18 ක්ද ලැබෙනු ඇත. මෙයින් පෙනී යන්නේ විධායක ජනාධිපති ක්‍රමයක් නැති ඉන්දියාව සමානුපාතික ක්‍රමයට ගියා නම් මෙවරත් ප්‍රාදේශීය පක්ෂ මධ්‍යම ආණ්ඩුව නටවනු ඇති බවයි. බී.ජේ.පීය හෝ කොංග්‍රසය නොවනා පක්ෂ ලබාගෙන ඇත්තේ ආසන 149 කි. ඡන්ද ප්‍රතිශතය 42.2% කි. සමානුපාතික ක්‍රමය තිබුණා නම් ඔවුන්ට ආසන 229 ක් ලැබෙනු ඇති අතර, ආණ්ඩුව පිහිටුවන්නේ ඔවුන්ය.
1996 දී ප්‍රමෝද මහජන් විසින් ප්‍රබෝධමත් කරනා ලද භාරතීය ජනතා පක්ෂය දින 13 ක් බලය ගත්තේය. 1998 දී එය මාස 13 ක් විය. 1999 දී එයට බලය ලැබුණු අතර, 2004 ‘දිදුලන ඉන්දියාව’ (Shining India) ප්‍රතිපත්තිය යටතේ එය නැවත බලයට එන බවට අනාවැකි බොහොමයක් විය. නමුත් බලයට ආවේ ඉන්දීය කොංග්රසයයි.
කොංග්‍රසය ඉන්දීය ආර්ථිකය 8% ඉක්මවන තැනට ගෙන ආවේය. ආර්ථික විශේෂඥයෙකු වූ මන්මෝහන් සින්ට බටහිර ලිබරල්වාදීන්ගේ ආශීර්වාදයද ලැබිණි. කලකට පෙර අපිරිසුදුව තිබූ දිල්ලිය, බැංගලෝරය, මුම්බායි ආදී නගර සිංගප්පූරු බවට පත්විය. කොංග්‍රසය හෙල්ලිය නොහැකි බව පෙනෙන්නට තිබිණි.
කොංග්‍රසයට වැරදුණේ ඇයි? ඉන් පළමුවැන්න වූයේ කොංග්රස් ආණ්ඩුවට ඍජු නායකයෙකු නොවීමයි. ප්රජාතන්ත්රවාදී නායකයෙකු පත්කර ගැනීමට ගාන්ධි පවුල බාධාවක් වීමයි. අගමැති මන්මෝහන් ගාන්ධි පවුලේ සිරකරුවෙකු විය. කොංග්‍රසය බොහෝ කලක් සමාජ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කළද එහි නව ලිබරල් ප්‍රතිපත්ති ඉන්දීය සුළු ව්‍යාපාරිකයන් සසල කළේය. කොංග්‍රසයට පළමු වෙඩිල්ල පත්තු වුණේ විදේශික සමාගම්වලට සිල්ලර වෙළෙඳාම පැවැරීමට ගිය අවස්ථාවේදීය. කොංග්‍රසයේ ලෞකිකවාදය ප්‍රාන්ත පක්ෂ හා මුස්ලිම් ජනයාව සතුටු කරන්නක් වුවත්, බහුතර හින්දූහු එය තමන්ට කළ අවමානයක් ලෙස දුටුවෝය. මුස්ලිම් මූලධර්මවාදීන්, මම්තා බැනර්ජි, කරුණා නිධි ආදී ප්‍රාදේශීය පාලකයන් රජුන් තනන්නන් වී මධ්‍යම ආණ්ඩුව නටවන අයුරු එහි බහුතර ජනයා බලා සිටියේ පිළිකුලෙනි. කොංග්‍රසයට ලොකුම පහර වැදුණේ දූෂණය නිසාය. විශේෂයෙන් ප්‍රියංකා ගාන්ධිගේ සැමියා වූ, රොබට් වද්රාට එල්ල වූ දූෂණ චෝදනා, රට පුරා අන්නා හසාරේ විසින් ඇති කළ දූෂණ විරෝධී බලවේගය, කොංග්‍රසයෙන් මධ්‍යම පන්තිය හා තරුණයන් ඉවත් කළේය. ඉන්දියාව නවීකරණය කළ කොංග්‍රසය එහිම ගොදුරක් විය. ඉන්දියාවේ ස්වාධීන යැයි කියනා සිවිල් සේවයට අනවශ්‍ය ලෙස යටවීම, කොංග්‍රසයේ වැඩිහිටි බලවේගය වන චිදම්බරම්, මුකර්ජි වැන්නන්ගේ අනවශ්‍ය බලපෑම, පවුල මිස පක්ෂය තුළ ප්රජාතන්ත්රවාදය නොවීම ආදී හේතූන් කොංග්රස් ආණ්ඩුව එකතැන පල් කළේය.
මෙයට ප්රතිපක්ෂව නරේන්ද්‍ර මෝඩි ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළේය. ජාතිකත්වය, නූතන සංවර්ධනය හා දූෂණය නැති පාලනය එහි මුල්ගල් තුන විය. මෝඩි ගුජරාටයේ ව්‍යාපාරික ප්‍රජාව (ටාටා, මහේන්ද්‍රා, අම්බානි වැනි) සමග එක්ව ගුජරාටයේ ගෙන ගිය දූෂණයෙන් තොර නූතනවාදී පාලනය නිසා ඔහු කාර්යක්ෂම පාලකයෙකු බව රට හඳුනාගත්තේය. මෝඩි අඩු කුලේ අයෙකු ලෙසට කොංග්‍රසය චෝදනා කිරීමෙන් වූයේ බමුණන් කිපීම නොවේ. ඉන්දියාවේ 40% ක් පමණ වන කුලහීනයන් මෝඩි දෙසට ඇදීමය. කුලහීන නායිකාවක් වූ මායාවතීගේ ඇදවැටීමත් මෝඩිගේ ඡන්ද ප්‍රතිශතය ඉහළ යෑමට බලපෑවේය.
බොහෝ බලාපොරොත්තු තබා සිටි ආම් ආද්ම් පක්ෂයේ කෙජ්රිවාල් අතුගෑවී ගියේය. ඔහු දිල්ලිය ඉන්දියාව ලෙස සිතුවේය. වරණාසියට ගොස් මෝඩිට අභියෝග කළේ ඔහු ශීලා ඩික්සිත් යැයි සිතාය. තරුණ වෘත්තීයවේදීන්ගෙන් සමන්විත ඔවුන්ගේ කේඩරය ආසන 400 ක් තරග කරන්නට ගොස් සියල්ල නැතිකර ගත්තේය. විශේෂයෙන් දිල්ලියේ මහ ඇමති ධුරය අත්හැරීමෙන් තමන්ට රට විවේචනය කළ හැකි වුවත්, රට පාලනය කළ නොහැකි බව කෙජ්රිවල් ඔප්පු කළේය. මෙය 2004 දී ජවිපෙටද සිදු වූ මාරක වරදයි.
මෝඩි ලංකාව දෙස කෙසේ බලයිද? ඇතැම් සිංහල ජාතිකවාදීන් සිතන්නේ හින්දුත්වය අදහන මෝඩිට සිංහලත්වය වැටහෙන බවයි. තවත් අය සිතන්නේ තමිල්නාඩුවේ බලපෑමක් ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට නැති නිසා මෝඩි වඩාත් ලිහිල් ලෙස ලංකාව ගැන සිතනු ඇති බවය.
මේ මත දෙකම වැරදිය. පළමුව මෝඩිට පදනමක් නැති ප්‍රාන්තයක් වන්නේ තමිල්නාඩුවයි. ඔහු එහිදී සන්ධාන ගතවූයේ වයිකෝ, රාම්දාස් වැනි කුලහීන අන්ත දෙමළ ජාතිවාදීන් සමගය. කරුණානිධිගේ අතුගෑවීමත් සමග එහි විපක්ෂය වීම සඳහා මෝඩි පියවර ගනු ඇති අතර, ඒ සඳහා ඔහු දෙමළ ජාතිවාදය යොදා ගන්නවා ඇත. එමෙන්ම අගමැති වීමට හීන දුටු ජයලලිතාද තමන් සිටිනා බව පෙන්වීමට නොයෙක් ගල් පෙරළනු ඇත. තවද ඉන්දියාවේ බලගතු නිලධාරීවාදය ලංකාව සම්බන්ධ තම උපායමාර්ගය මෝඩි හරහාද ක්‍රියාත්මක කරනු ඇත. කොටි ත්රස්තයන් අතිශයින් බලවත් වූ 2000-2004 කාලයේ ඉන්දියාවේ පාලකයන්ව සිටියේ බී.ජේ.පීය බව අමතක නොකළ යුතුය. කොංග්රස් නායකයන් හා බී.ජේ.පී. නායකයන් දෙපිරිසම ලංකාවේ කොටි, විමුක්ති අරගලයක යෙදී සිටි බව පිළිගෙන තිබේ.
කෙසේ වෙතත්, මෝඩි ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාවට සංවේදීය. ඔහු ලංකා වෙළෙඳ පොළ පිළිබඳව සංවේදී වනු ඇති අතර, එහිදී ඔහුට වැදගත් වන්නේ දෙමළ සමාජය නොව සිංහල සමාජයයි.
අනෙක් අතින් මෝඩි පකිස්තානු විරෝධීය. චීනයට හා බංගලිදේශයටද, ඔහු මැතිවරණ කාලයේ අනතුරු ඇඟවීය. ලංකාවටද එය එසේම විය. බලගතු ඉන්දියාවත්, ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය වනු ඇති අතර, දුර්වල ශ්‍රී ලංකාවත් එහි දී බී.ජේ.පී. කවුටිල්ලයන්ද ඉල්ලා සිටිනු ඇත.
විශාල පටලැවිල්ලක් නොවුණහොත් කාර්යශූර පාලකයෙකු වන මෝඩි ඇතැම් විට ඉදිරි දශකය ඉන්දියාව පාලනය කරනු ඇත. ලංකාව කළ යුතු වන්නේ එදාවේල සොයාගන්නා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තියක් වෙනුවට අරමුණු සහිත උපායමාර්ගයකි. එයට අදාළ උපක්‍රම යොදාගැනීමය. අතීතය කියන්නේ යෝධ ඉන්දියාව, අබියස බලගතු රටක් ලෙස ලංකාව දස දහස් වර්ෂයක් පැවති බවය. මෝඩිට වඩා විශාල ඉන්දීය අධිරාජ්යවරුන්ට අපි ධර්මයෙන් මෙන්ම, යුද්ධයෙන්ද මුහුණ දී ඇත්තෙමු.
පාඨලී චම්පික රණවක