ග්‍රීක් භාෂාවෙන් ලියන ලද බයිබලය ඉගෙන ගන්නට නම් ග්‍රීක භාෂාවද ග්‍රීක් අක්ෂරද ඉගෙන ගත යුතුය. චීන රටේ ආගම් තුනකි. කොන්ෆියුසියස් ආගම, තාඕ ආගම සහ බුද්ධාගමය. මේ ආගම් තුනටම අයත් ග්රන්ථ චීන භාෂාවෙන් ලියා ඇත. චීන භාෂාවෙන් ලියන ලද බෞද්ධ ග්රන්ථ කියවීමට ආශාවෙන් ස්ටැනිස්ලා ජූලියන් නම් වූ ප්‍රංශ ජාතික විද්වතා විසි වර්ෂයක් චීන භාෂාව ඉගෙනීමට ගත කළේය. විසි වර්ෂයකට පසුව ඒ විද්වතා චීන භාෂාවෙන් ලියා තිබූ හියුං ෂාං නම් චීන ජාතික භික්ෂූන් වහන්සේගේ චාරිකා සටහන් හා ජීවිත කතාව ප්‍රංශ භාෂාවට පරිවර්තනය කළේය. සැමුවෙල් බීල් නම් ප්‍රකට පඬිවරයා චීන භාෂාව ඉගෙන ගෙන ඒ භාෂාවෙන් ලියා තිබූ සම්බුද්ධ චරිතය ඉංග්‍රීසියට පරිවර්තනය කළේය. ඔහු විසින්ම පාහියන් හා හියුං ෂාං නම් චීන ජාතික භික්ෂූන් වහන්සේලාගේ සංචාරක සටහන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළේය. (ධර්මපාල ලිපි - ආචාර්ය ආනන්ද ඩබ්.පී. ගුරුගේ 1991 - පි.156)
අප ඉහත සඳහන් කරුණු ඉදිරිපත් කළේ විසිවැනි සියවසේදී අප රටේද ඉංග්‍රීසි, සිංහල, පාලි හා සංස්කෘත මෙන්ම දෙමළ භාෂාවන්ද ප්‍රගුණ කළ විද්වතුන් මේ රට තුළ සිටි නමුදු, අද වනවිට සිංහල භාෂාව, පාලි භාෂාව හා සංස්කෘත භාෂාව අධ්‍යයනයද විශ්වවිද්‍යාලවලින් පිටමං කර තිබෙන බැවිනි. එපමණක් නොව, අද සිංහල භාෂාවේ අක්ෂර වින්‍යාස සේම භාෂා භාවිතයද ඉතාමත් ඛේදනීය අන්දමින් වළපල්ලට යමින් තිබෙන බැවිනි.
මෑත භාගයේ ගිහි පැවිදි පඬිවරු රැසක් වූහ. පැවිදි පඬිවරු අතරේ හික්කඩුවේ ශ්‍රී සුමංගල, වැලිවිටියේ සෝරත, රත්මලානේ ධම්මාරාම, ලුණුපොකුණේ ධම්මානන්ද, පැලෑනේ සිරිවජිරඥාන, කිරිවත්තුඩුවේ ශ්‍රී පඤ්ඤාසාර, කොටහේනේ පඤ්ඤකිත්ති, පොල්වත්තේ බුද්ධදත්ත, උඩකැන්දවල සිරි සරණංකර, බඹරැන්දේ සිරිසීවලී, යක්කඩුවේ පඤ්ඤාරාම ආදී නාහිමිවරුන් වහන්සේලා සමග ගිහි පඬිවරුන් අතරේ අනගාරික ධර්මපාල, වලිසිංහ හරිස්චන්ද්‍ර, කුමාරතුංග මුණිදාස, බටුවන්තුඩාවේ පඬිතුමා ශ්‍රීමත් ඩී.බී. ජයතිලක, මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ඩී.ඊ. හෙට්ටිආරච්චි, ගුණපාල මලලසේකර හා විමලානන්ද තෙන්නකෝන් වැනි මහාචාර්යවරුද වූහ.
මෙම භාෂා විශාරදයන් ඒ භාෂාවන්ට අදාළ සාහිත්‍ය‘යෙහිද විශාරදභාවයක් පෙන්වූවා පමණක් නොව, ඒ ඔස්සේ විශාල ග්රන්ථ රාශියක්ද ජාතියට දායාද කළේය.
මේ විද්වතුන් අතරේ ශ්‍රී ලංකාවේ පුරාණ උරුමය සුරැකීමට ඉංග්‍රීසි ආණ්ඩුව විසින් 1890 දී පිහිටු වන ලද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රථම ලාංකික පුරාවිද්‍යා කොමසාරිස්වරයා ආචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා 1940 සිට 1956 තෙක් එම දෙපාර්තමේන්තුවේ සේවය කළේය. එමෙන්ම ඒ තනතුර බැබළ වීමටද සමත් විය. ඉන්පසුව 1957 සිට 1964 තෙක් එතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා ඇතුළු අධ්‍යයන මණ්ඩලය (සෙනෙට් සභාවේ) ආරාධනය මත එහි පුරාවිද්‍යා අංශයක් ඇතිකර එහි පුරාවිද්‍යා මහාචාර්යවරයා ලෙසින් කළ සේවාවද ඉතා ප්රකටය.
සිංහල, පාලි, සංස්කෘත හා ඉංග්‍රීසි භාෂාව ඉතා හොඳින් අධ්‍යයනය කළ පරණවිතාන පඬිවරයාට ඒ තනතුර බැබළ වීමට හැකි වූයේද, ජාත්‍යන්තර කීර්තියට පත්වූයේද භාෂාත්මක දැනුම මෙන්ම සාහිත්‍යය, ඉතිහාසය හා පුරාණ ශිෂ්ටාචාරය පිළිබඳ ක්ෂේත්‍ර තුළ විදේශීය රටවල පවා අත්දැකීම් ලද හෙයිනි. අද වනවිට අපට පරණවිතානවරුන්, සරච්චන්ද්රවරුන්, ඩී.ඊ. හෙට්ටිආරච්චිවරුන් නැත්තේ කුමක් නිසාද යන්න විමසා බැලීම අප මීට වසර 45කට ඉහතදී අභාවයට පත්වූ (1972 ඔක්.4 දා) මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාට කරනු ලබන ගරුත්වයකි.
අද ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට ජාත්‍යන්තර පාසල්ද පිහිටුවා ඇත. එය ඉතාමත් සුදුසුය. සිංහල භාෂාව අද විශ්වවිද්‍යාලවල ඉගැන්වීම සිදුකෙරෙනු ඇත. ප්‍රාචීන හා භාෂෝපකාර සමිතිය ආශ්‍රිතව සිංහල, පාලි, සංස්කෘත අධ්‍යාපනයද සිදුකෙරේ. පිරිවෙන්වලද මෙම භාෂා සාහිත්‍ය අධ්‍යයනය සිදුකෙරේ.
මෙරට පුරාතනය අධ්‍යයනය කෙරේ සැලකිය යුතු තරුණ පරපුරක් සිටින බවද අප අමතක කළ යුතු නොවේ. ඔවුන් දිරිගන්වන අන්දමේ වැඩපිළිවෙළක් අධ්‍යාපන හා සංස්කෘතික මෙන්ම ජනමාධ්‍ය යන අමාත්‍යාංශවලින් ක්රියාත්මකවේද යන්න ප්‍රශ්නාර්ථයකි. ඉන්දියාවේ රාජ්‍ය භාෂාව හින්දි වුවද, ඉංග්‍රීසි භාෂාව, පාලි සංස්කෘත භාෂාවන්ද පුරාතනය අධ්‍යයන ශික්ෂණයේදී ප්‍රමුඛතාවක් ලබන බව ඉතා ප්රකටය. අප රටේ තරුණ පරපුරද මේ සඳහා දැඩි උනන්දුවකින් කටයුතු කිරීම ගැන ඔවුන්ට අපගේ ප්‍රසාදය පළ කළ යුතුව ඇත.
ඉතිහාසය සහ පුරාතන අධ්‍යයනය (පුරාවිද්‍යාව) විෂයයන් පිළිබඳව මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය විමලානන්ද තෙන්නකෝන් වැනි විද්වතුන්ගේ යුගයටත් වඩා ඉංග්‍රීසි දැනුමක් මෙන්ම පෙරදිග භාෂා දැනුම අද අවශ්‍යව ඇත. එහෙත් ඒ පිළිබඳ පර්යේෂණ ගැන විමසා බලන විට ඒ ක්ෂේත්‍ර‘යේ සිටින ආචාර්ය ශිරාන් දැරණියගල, ආචාර්ය රෝලන්ඩ් සිල්වා, රාජා ද සිල්වා, මහාචාර්ය සේනක බණ්ඩාරනායක, සිරිමල් රණවැල්ල, නන්දසේන මුදියන්සේ, ඉලංගසිංහ, ලීලානන්ද ප්‍රේමතිලක වැනි මහාචාර්යවරුන් විසින් සිදුකරන ලද පර්යේෂණ ශාස්ත්‍රීය අංශයේ හැදෑරීම් කරන උපාධිධාරීන්ට මෙන්ම විද්වතුන්ටද ඇසුරු කිරීමට ලැබේ. එසේ වුවද මේ යුගයේදී මෙහි තරුණ පරපුරට නිසි නායකත්වයක් ලබාදෙන ශික්ෂණ අධ්‍යයනයක් රට තුළ මෙන්ම මෙම ආයතන තුළද ක්‍රියාත්මක කළ යුතුව ඇත. ඒ සඳහා තරුණ විද්‍යාර්ථීන්ට ඉගෙනීමේ පහසුකම් අතරේ විදේශීය පුහුණුව ඉතා වැදගත් වනු ඇත.
මෙය ආරම්භ කළ යුත්තේ පන්ති කාමරයෙනි. අද ළමා පරපුර අපේ ජාතික උරුමය ඉගෙනීමට ඉතා කැමැත්තක් දක්වන බවද ප්රකටය. එහෙත් ඒ සඳහා පොතපත ඔවුන්ට (අතිරේක කියවීම්) ප්‍රමාණවත් තරම් තිබේද යන්න ප්‍රශ්නාර්ථයකි. අතීතය හැදෑරීම විශ්වවිද්‍යාලයේ කුමන විෂයය ධාරාවක් ඉගෙනීම් කළත් අනිවාර්යය කළයුතුව ඇත. එසේ නැතහොත් අතීතය ගැන දැනීමක් නැති පුරවැසි අනාගත ජනතාව මේ රටේ බෝඩිංකාරයන් වනු ඇත. අද පරණවිතානවරුන් බිහි නොවන්නේද මේ නිසා නොවේද?
සිරිසමන් විජේතුංග
(හිටපු පුරාවිද්‍යා සහකාර අධ්යක්ෂ)
සිරිසමන් විජේතුංග
(හිටපු පුරාවිද්‍යා සහකාර අධ්යක්ෂ)