පොලිතීන් තහනමත් එක්ක මෙතෙක් කාලයක් කෑම වේල ඔතාගෙන ගිය ලන්ච් ෂීට් එකත් තහනමට ලක්වීම බොහෝ දෙනෙකුගේ සිත රිදවපු කාරණයක්. නමුත් ලන්ච් ෂීට් ඔබ අප ජීවත්වන පරිසරයට කොතරම් දුරට රිදවලා තියනවාද කියලා ඔබ දැන් හොඳින්ම දැනුවත් වෙලා ඇති. මේ කාරණයේදී අප ඉදිරියේ තිබූ ප්‍රධානතම ගැටලුව වුණේ 'විකල්ප කෝ?' යන්නයි. ඇත්තටම එය හුදෙක් ගැටලුවකට පමණක් සීමා කළත්, විකල්ප ඕනෑ තරම් අප අවට තිබෙනවා. යුද හමුදාවෙන් ලන්ච් ෂීට් එකට විසඳුමක් සොයා ගත්තා කියන ආරංචියට අපි පසුගියදා යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් බුවනෙක ගුණරත්න මහතා හමුවුණේ ඒ පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්නයි.
'අපි හඳුන්වා දුන්නේ ඕනෑම කෙනෙක්ට පහසුවෙන් කෙසෙල් පත්‍ර භාවිත කරලා සකස් කරගත හැකි කල් තබාගත හැකි සියයට සියයක්ම පරිසර හිතකාමී ජීව ආහාර දවටනයක්. මේ සංකල්පය අපිට ඉදිරිපත් කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක වන සුජාතා වීරසිංහ මහත්මිය. අපි එතුමියව කැඳවාගෙන ඇවිල්ලා මෙය ප්‍රායෝගික වශයෙන් අත්හදා බැලීමක් සිදුකරලා අවශ්‍ය අඩුපාඩු සකස් කරගත්තා. ඒ අනුව 2016 වර්ෂයේදී අපි යුද හමුදාව අතර මෙය ප්‍රචලිත කරන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කළා.
මෙහි තිබෙන්නේ ඉතාමත්ම සරල තාක්ෂණයක්. එහිදී සිදුකරන්නේ අවශ්‍ය ප්‍රමාණයට කපා ගත්ත කෙසෙල් පත්‍රයක් සෙන්ටිග්‍රේඩ් අංශක 100ක උෂ්ණත්වය සහිත නටන ජලයේ තත්පර දෙකක පමණ කාලයක් හොඳින් ගිල්වලා තබනවා. එතකොට තද කොළ පැහැයෙන් තිබෙන කෙසෙල් කොළය ලා කොළ පැහැයට හැරෙනවා. ඊට පස්සේ විනාඩි කිහිපයක් ජලය ඉවත් වන තෙක් මඳ පවනේ වියළීමට තබන්න අවශ්‍යයයි. එතැනින් පස්සේ කෙසෙල් කොළය රෙදි කෑල්ලක් වගේ ඉතාමත් නම්‍යශීලී තත්ත්වයකට පත්වෙනවා. කෙතරම් නැමුවත් ඉරීමට ලක්වෙන්නේ නැහැ. සාමාන්‍ය පරිසරයේ එය දින තුනකට වැඩි කාලයක් නැවත නැවත භාවිත කරන්න පුළුවන්. ශීතකරණයේ තැබීමෙන් මාස 3ක පමණ කාලයක් භාවිත කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් එක්වරක් භාවිත කරලා ඉවත දාන්නත් පුළුවන්. පරිසරයටවත්, සෞඛ්‍යයටවත් කිසිම ආකාරයක හානියක් සිදුවෙන්නේ නැහැ. පොලිතීන්වලින් නිෂ්පාදනය කළ ලන්ච් ෂීට් නිසා විශාල වශයෙන් පරිසරයට හානි සිදුවෙනවා වගේම එහි අඩංගු වන රසායනිකයන් පිළිකා තත්ත්ව ඇති කරන්න සමත් වෙනවා.
2016 වසරේ පමණ අපි මේ වැඩසටහන ආරම්භ කරලා මුලින්ම හමුදාව තුළ මෙය ව්‍යාප්ත කිරීම සිදුකළා. අපි මේ ආකාරයට සකස් කළ කෙසෙල් කොළ දවටන අපේ ආරක්ෂක සේනා මූලස්ථානවලට දහස බැගින් ලබාදීලා ඒ සඳහා ඔවුන්ගේ ප්‍රතිචාරය ලබාගත්තා. ඒ අනුව 98෴ක පමණ ප්‍රමාණයක් මේ දවටනයට තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කර සිටියා. ඉතිරි පිරිස කිව්වේ මෙහි ප්‍රමාණය මදි කියලා. නමුත් කොළ දෙකක් වුණත් එකට භාවිත කරලා ආහාර දැවටීමට යොදාගන්න පුළුවන්. අපේ පළමු පරමාර්ථය වුණේ නිවසේ ඉඳලා සේවයට පැමිණෙන නිලාධාරීන් තමන් රැගෙන එන බත් එක පොලිතීන් ලන්ච් ෂීට් එකක නැතුව තමන් නිවසින් සපයාගත් කෙසෙල් කොළ දවටනයක රැගෙන එන තත්ත්වයකට පත්කිරීම සහ ඊට හුරු කිරීමයි.
අපේ දෙවැනි පරමාර්ථය වෙන්නේ කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල කෙසෙල් කොළ සපයාගත නොහැකි රජයේ කාර්යාලවල සේවයේ නියුතු ජනතාවට ඉතාමත් සුළු මිලකට අලෙවි කිරීම. තුන්වැනි පරමාර්ථය වෙන්නේ රට පුරාම මෙය ව්‍යාප්ත කිරීම. එතනදි අපිට අවශ්‍ය කෙසෙල් කොළ දවටනයක් හදලා එය බෙදාහැරීම නෙවෙයි. අපි අවධානය යොමු කරලා තියෙන්නේ තමන්ට අවශ්‍ය ජීව ආහාර දවටනය තමන්ටම සපයා ගැනීමට ජනතාව හුරු කරවීම. මොකද මෙය ඉතාමත් සරල ක්‍රමවේදයක්. වැඩ කරන දවස් පහට අවශ්‍ය කෙසෙල් දවටන ටික ඉරිදා දිනයේදී සූදානම් කරගන්න ඕනෑම කෙනෙකුට මේ අනුව හැකියාව ලැබෙනවා. ඒ අනුව ගරු යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ මගපෙන්වීම සහ උපදෙස් අනුව මේ සංකල්පය ජනතාව අතර ව්‍යාප්ත කරන්න අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුකරගෙන යනවා. ඒ වගේම නුදුරේදීම කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජනතාවට කෙසෙල් කොළවලින් නිෂ්පාදනය කළ ජීව ආහාර දවටන ඇසුරුම් කරලා සුළු මිලකට අලෙවි කරන්නත් සූදානම් වෙලා ඉන්නවා.
දැනට යුද හමුදාවට අයත් ගොවිපොළවල කෙසෙල් වගාවන්වලිනුයි අපි කෙසෙල් පත්‍ර සපයා ගන්නේ. දැනටමත් ඒ වගා බිම්වල විශාල ප්‍රමාණයක් කෙසෙල් ගස් වගාකොට තිබෙනවා. අපේ දෙවන අදියර විදියට ජනතාව අතර මෙය ව්‍යාප්ත කිරීම ඇරඹුණාම මේ වෙනුවෙන් කෙසෙල් පත්‍ර ලබාගැනීම සඳහා වෙනමම විශාල කෙසෙල් වගාවක් සිදුකරනවා. මෙමගින් කෙසෙල් වගාකරුවන්ට අමතර ආදායමක් උපයාගැනීමට හැකිවෙනවා වගේම හොඳ ස්වයංරැකියා අවස්ථාවකුත් වෙනවා*
එදා අපගේ රණවිරුවන් යුද බිමේදී අප වෙනුවෙන් බෙහෝ දේ ඉටුකළා වගේම පොලිතීන් තුරන් කරන සංග්රාමයේදීත් අපත්, පරිසරයත් වෙනුවෙන් තම වගකීම ඉටුකිරීමට පැමිණ සිටිනවා. එම සේවයට සමස්ත ජනතාව වෙනුවෙන් %අද^ ශ්‍රී ලංකා යුද හමුදාවට ප්‍රණාමය පුදකර සිටින්න කැමතියි.