මුදල් විශුද්ධිකරණය මේ දිනවල දේශපාලන කරළිය තුළ උණුසුම් ලෙසින් කතාබහට ලක්වන කාරණයකි. මෙය දේශපාලන ක්ෂේත්රය පමණක් නොව සියලු ජනතාව දැනගත යුතු කාරණයකි. එමනිසා මුදල් විශුද්ධිකරණය පිළිබඳ පුළුල් විග්‍රහයක් 'අද' ගෙන එන්නේ නීතිඥ නිලන්ත හෙට්ටිගේ මහතා විසිනි.
‘‘මුදල් විශුද්ධිකරණය යන පදය ඔබට තරමක් හුරු නැති වුවද %‘‘මනි ලොන්ඩරිං’ යන වදන කා හටත් අසා හුරුපුරුදු ය. ‘‘මනි ලොන්ඩරිං යන ඉංග්‍රීසි යෙදුම සිංහලට හැරවූ කල්හි‘‘ 'මුදල් විශුද්ධිකරණය' යන තේරුම ගෙනදෙයි.
මුදල් විශුද්ධිකරණය යන්නෙහි සරල අර්ථය නම් අයථා ලෙස උපයාගත් ධනය නීත්‍යනුකූල ලෙස උපයාගත් ලෙස ඒත්තු ගැන්වෙන පරිදි වෙනසකට භාජනය කිරීමයි. නූතන සමාජයේ මුදල් විශුද්ධිකරණ ක්‍රියාදාමය සමග නිරන්තරයෙන් බද්ධව සිටිනුයේ දේශපාලනික අංශයන්හි ක්‍රියාකාරීන් සහ සුප්‍රකට ව්‍යාපාරිකයන් බව නොරහසකි. කෙසේ නමුත් මුදල් විශුද්ධිකරණය යන ක්‍රියාව මෑතකදී වර්ධනය වූ ප්‍රවණතාවක් නොවන බව සිහි තබාගැනීම වැදගත් ය.
ලොව මුල්ම මුදල් විශුද්ධිකරණ ක්‍රියාවන් දැනට වසර හාරදහසකට පමණ පෙර චීනයේදී සිදු වූ බවට සාධක ඇත. චීන ව්‍යාපාරිකයන්ට එරෙහිව බදු පැනවීම හා ව්‍යාපාරිකයන් රජයට බදු ගෙවීමෙන් වැළකී සිටීමට ස්වකීය ආදායම් මාර්ග සැඟවීම තුළින් මුදල් විශුද්ධිකරණය ආරම්භ වූ බව කියවෙයි.
මුදල් විශුද්ධිකරණය ‘‘සුළු වරදක් ලෙස සැලකීම, එසේත් නැතහොත් නොතකා හැරීම වර්තමානයේ දැකිය හැකි අනර්ථකාරී ප්රවණතාවකි. විශුද්ධිකරණය මගින් කළු සල්ලි සුදු සල්ලි බවට පත් වී එයින් සුළු කොටසක් තමන් අතටද ලැබෙන බව දන්නා සමහරු මුදල් විශුද්ධිකරණයේ යෙදෙන ‘‘පතාක යෝධයන්ව ජාතික වීරයන් ලෙස සලකා ක්‍රියා කරති. මුදල් විශුද්ධිකරණයෙහි යෙදී ජනතාවට ඉන් ස්වල්පයක් ලබාදෙන දේශපාලන ක්‍රියාකාරීන් පාතාලයේ ගෝඩ්ෆාදර්වරුන් මිස වෙන කවුරුත් නොවන බව පළමුව වටහාගත යුතුය.
දේශපාලකයන් සහ ප්‍රකට ව්‍යාපාරිකයන් විසින් විශුද්ධිකරණයට ලක්කරන මුදල් විවිධ නීතිවිරෝධී ප්‍රභවයන් ඔස්සේ ලැබෙන බව හඳුනාගත හැකිය. ඉන් එක් ප්‍රධාන ප්‍රභවයක් වනුයේ විවිධ ව්‍යාපෘති හරහා උපයාගන්නා කොමිස් මුදල් ය. එබඳු කොමිස් මුදල් ප්‍රතිශතයක් ලෙස දක්වතොත් 10% සිට 50% දක්වා අගයක් ගන්නා බවට පිළිගැනීමක් ඇත. ඒ අනුව කිසියම් ව්‍යාපෘතියක් සඳහා යොදවන මුදලින් 10% සිට 50% දක්වා ප්‍රතිශතයක් එම ව්‍යාපෘතියේ ප්‍රතිඵලදායක කාර්යයන්ගෙන් එපිටට ගලායයි. එයින් අත්වන භයානක ප්‍රතිඵලය නම් ඒ ව්‍යාපෘතිය අඩපණ වීම නැතහොත් සම්පූර්ණයෙන්ම අසාර්ථක වීමයි.
උදාහරණයක් ලෙස ගතහොත් ගල්අඟුරු මගින් විදුලිය නිපදවීම ජල විදුලිය නිපදවීමට වඩා අතිශය ලාභදායී වෙයි. එසේම ජල විදුලි යෝජනා ක්‍රම න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවීමටත් වඩා පරිසරයට හානිදායක වෙයි. ගංගා හරස්කර වේලි බැඳීමෙන් පාරිසරික සමබරතාව සහමුලින්ම බිඳවැටෙයි. පෘථිවි වායුගෝලයේ උෂ්ණත්වය වැඩි කිරීමට දායකවන මීතේන් වායුව වැඩි වශයෙන් නිපදවෙනුයේ ජලාශ පත්ලෙහි රොන්මඩ ආශ්‍රිතව වැඩෙන නිර්වායු බැක්ටීරියාවන්ගෙනි.
එනමුත් ජල විදුලිය නිපදවීම වැනි දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම හඳුන්වාදීමට දේශපාලකයෝ වැඩි කැමැත්තක් දක්වති. ඊට එකම හේතුව නම් එතුළින් ලැබෙන ‘‘දැවැන්ත කොමිස් කුට්ටිවල රසය ඔවුන් හොඳාකාරව හඳුනන බැවිනි.
දේශපාලකයන් හා ව්‍යාපාරික ප්‍රජාව විසින් අයථා ලෙස මුදල් ඉපැයීම කොතෙක් දුරදිග ගොස්ද යත් අද වනවිට මෙරට මුළු මහත් ආර්ථිකයම ජනතාවගේ හිසමත කඩාවැටෙන්නට ආසන්න තත්ත්වයක් උදා වී ඇත. අල්ලසට, දූෂණයට, කොමිස් ගැසීමට, මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනතාව හඬ අවදි කළ යුත්තේ මේ හේතුව නිසාය. යම් හෙයකින් මුදල් විශුද්ධිකරණය නවතාලිය හැකි නම් අල්ලස, දූෂණය හා කොමිස් ගැසීම යම් තරමකින් හෝ සාර්ථකව පාලනය කළ හැකි වෙයි. මන්දයත් අයථා ලෙස උපයාගත් ධනය පරිහරණය කිරීමේදී විශුද්ධිකරණය යන ක්‍රියාව අතිශයින් තීරණාත්මක කාරණයක් ලෙස ක්‍රියා කරන බැවිනි. වෙනත් අයුරකින් විස්තර කරතොත් අයථා ලෙස උපයාගත් මුදල් පරිහරණය කරන පුද්ගලයාට එම මුදල් සාධාරණ ක්‍රමයකින් උපයාගත් බව සමාජයට නැතහොත් රජයට පෙන්වීමට සිදුවෙයි. මුදල් විශුද්ධිකරණය නම් ක්‍රියාව හරිහැටි කළ නොහැකි වුවහොත් අයථා ලෙස උපයාගත් මුදල් සාර්ථකව හා ශීඝ්‍රයෙන් පරිහරණය කළ නොහැකි වෙයි.
ලෝකයේ දියුණු යැයි සම්මත රටවල් බොහෝමයක මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට දැඩි ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන ඇති අතර, ඊට අදාළ නීතිරීති සාර්ථක ලෙස ක්‍රියාවට නැංවෙයි. ඇමෙරිකා එක්සත් ජනපදයෙහි මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට නීති පැනවීම සිදු කෙරුණේ 1930 දශකයේ පමණ සිටය. එසේම රජයේ නිලධාරීන් විසින් කරනු ලබන වංචා හා දූෂණයන්ට එරෙහිව නොබියව හා එඩිතරව ක්‍රියා කිරීම තුළින් ඇමෙරිකානු ජනතා නියෝජිතයන් විසින් ලෝක වාර්තාවක් පවා තබා ඇත. ඇමෙරිකානු ජනපති රිචඩ් නික්සන් ප්රමුඛ රජයේ ඉහළ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූ සුප්‍රසිද්ධ %වෝටර් ගේට්^ සිද්ධිය ඊට කදිම නිදසුනකි. 'වෝටර් ගේට්' මගඩියට එරෙහිව රජයේ උසස් නිලධාරීන් 69 දෙනෙකුට එරෙහිව 1972 වර්ෂය්දී නඩු පවරන ලද අතර එයින් 48 දෙනෙකුම වරදකරුවන් බවට තීරණය කෙරිණි. ඒ වරදකරුවන්ගෙන් අතිබහුතරය නික්සන්ගේ රජයේ උසස් නිලධාරීන් වීම විශේෂත්වයකි.
වංචාවට, දූෂණයට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීම තුළින් රටක් වඩා ස්ථාවරත්වයට පත්වන බවට ඇමෙරිකා එක්සත් ජනපදය හොඳම නිදසුනකි. අද ඇමෙරිකා එක්සත් ජනපදය ලොව අංක එකේ යුද බලවතා වන අතර, එම තත්ත්වය දශක ගණනාවක් තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන ඒමට හැකි වී ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයද
ශ්‍රී ලංකාවෙහි මෙන් තරාතිරම බලමින් නීතිය නවන්නට ගියේ නම් ඔවුන්ද අද අප වැටී සිටින ආගාධයේම වැටෙන්නට ඉඩ තිබුණි. නීතිය නැවීමකින් තොරව සියල්ලන්ටම එක හා සමාන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට යම්තාක් දුරට හෝ උත්සාහ දැරීම නිසා අදටත් ඇමෙරිකාව ලොව අංක එකේ බලවතා ලෙස රජ කරයි.
ශ්‍රී ලංකාවෙහි මුදල් විශුද්ධිකරණයට එරෙහිව බලපාන ප්‍රධානතම නීතිය වනුයේ 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතෙන් හඳුන්වාදෙන ලද නීතියයි. එම පනතේ 03 වැනි වගන්තිය තුළින් මුදල් විශුද්ධිකරණය නම් වරද අර්ථ දක්වා ඇත. ඒ අනුව නීත්‍යනුකූල නොවන ක්‍රමවලින් දේපළ අත්පත් කරගැනීම්, එබඳු දේපළ බැහැර කිරීම් යන ක්‍රියාවන්ගෙන් හා ඒ ආශ්රිත වරදවලින් මුදල් විශුද්ධිකරණය නම් වරද සමන්විත වෙයි. මුදල් විශුද්ධිකරණය නම් චෝදනාවට අදාළව නඩු පැවරිය යුත්තේ මහාධිකරණයේය. එලෙස පවරනු ලබන නඩුවකින් වරදකරු කළහොත් අවම දඬුවම වසර පහක බරපතළ වැඩ ඇති සිරදඬුවමකි. එම සිරදඬුවම වරදේ බරපතළකම මත වසර විස්සක් දක්වා දීර්ඝ විය හැකිය. තවද එකී 03 වැනි වගන්තිය ප්‍රකාරව එලෙස විශුද්ධිකරණ ක්‍රියාවට විෂය වන දේපළ රාජසන්තක කරනු ඇත.
මුදල් විශුද්ධිකරණ පනතෙහි හතර වැනි වගන්තිය සුවිශේෂී එකකි. එම වගන්තිය අනුව කිසියම් දේපළක් උපයාගැනීමට මුදල් ලබාගත් ආකාරය පෙන්විය නොහැකි නම් එම දේපළ අයථා ලෙස උපයාගත් දේපළක් ලෙස අධිකරණය විසින් පූර්ව නිගමනය කරනු ඇත. එසේම යම් අයථා ලෙස උපයාගත් දේපළක් පිළිබඳ තොරතුරු දන්නා පුද්ගලයන් විසින් එම තොරතුරු රජයේ අදාළ තොරතුරු බලධාරියාට දැන්වීමේ නීතිමය යුතුකමක් ඇත. එම යුතුකම කඩකරන තැනැත්තෙකු රුපියල් පනස්දහසක දඩයකට හෝ හය මසක සිරදඬුවමකට හෝ එම දඬුවම් දෙකටම යටත් කළ හැකි වෙයි.
මෙරටෙහි මුදල් විශුද්ධිකරණ නීති අතිශය ශක්තිමත් බව බැලු බැල්මට පෙනී යයි. නමුත් අවාසනාවකට මෙන් එම නීති සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීමට මෙතෙක් රජය කිසිදු උත්සාහයක් ගෙන ඇති බවක් පෙනෙන්නට නැත. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හෝ දණ්ඩ නීති සංග්‍රහ පනත යටතේ සාර්ථකව නඩු පවරා මූල්‍ය අපරාධකරුවන්ට දඬුවම් ලබාදීමට හැකියාව තිබියදී රජය ‘‘%පරීක්ෂණ කොමිෂන් සභා^ මත යැපෙන ආකාරයක් පෙනෙන්නට ඇත.
දේශපාලන බලවතුන්ට හා හිතවතුන්ට එරෙහිව නැගෙන චෝදනාවලදී ඔවුන්ට සාක්ෂි විනාශ කරදැමීමට ප්‍රමාණවත් කාලයක් ලැබීම මෙවැනි කොමිෂන් සභාවන්ගෙන් හටගන්නා අනිටු ප්රතිඵලයකි. අපරාධකරුවන් අල්ලා නීතියේ රැහැනට ගෙනඒම කොමිෂන් සභාවන්හි නිර්දේශ මත සිදුවිය යුත්තක් නොව එය අපරාධ විමර්ශනය පිළිබඳ සම්මත කාර්යය පටිපාටිය අනුව සිදුවිය යුත්තකි. එසේම අපරාධකරුගේ තරාතිරම තවදුරටත් වැදගත් සාධකයක් නොවන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වැනි වගන්තිය අනුව පැහැදිලිය.
ශ්‍රී ලංකාවේ බලාත්මක නීතිය අනුව නඩු පැවරීමෙන් මුක්තියක් හෙවත් නිදහසක් ලබන එකම පුද්ගලයා ජනාධිපතිවරයා පමණි. එම මුක්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) වගන්තියට අනුකූලව ජනාධිපතිවරයා වෙත පමණක්ම ලැබී ඇති සුවිශේෂී වරප්රසාදයකි. එබැවින් රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණයෙන්‘‘ අංගවිකල කර දමා රට අගාධයට පෙරළා දමන කා හට හෝ එරෙහිව හැකි ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කිරීම රට කරවන සියලු බලධාරීන්ගේ පරම යුතුකම බව මතක් කළ යුතුව ඇත.