Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා
2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා
රට තුළ පාරිසරික ප්‍රශ්න ගණනාවක් නිර්මාණය කර තිබෙන කැළි කසළ ප්‍රශ්නයට අදටත් නිසි විසඳුම් ලබාදීමට පාලකයන්ට නොහැකි වී ඇත. 69 අවුරුද්දක් පුරා කැළි කසළ ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට නොහැකි වීම නිසා මීතොටමුල්ල ප්‍රදේශයේ හා ඒ අවට ප්‍ර‘දේශවල ජනතාවට සිංහල අලුත් අවුරුදු බත වෙනුවට මළ බත පිසීමට පවා සිදු විය. කොළොන්නාව නගර සභා බල ප්‍රදේශයේ එකතු වන කැළි කසළ බැහැර කිරීම සඳහා භාවිත කළ ස්ථානයට කොළඹ නගර සභා බල ප්‍රදේශයේ කැළි කසළ බැහැර කිරීමට 2009 වසරේ සිට කටයුතු කිරීම නිසා මේ වසරේ අප්‍රේල් 14 වැනිදා වනවිට මීතොටමුල්ල කුණු කන්ද මහාමේරූ පර්වතයක් තරම් විශාලත්වයකට පත් විය.
වගුරු භූමියක් හා කුඹුරු භූමියක් ලෙස පැවැති භූමියකට මෙම බර දරාගැනීමට නොහැකි වීම නිසා සිංහල අලුත් අවුරුද්ද දා අවට ජනතාවගේ ජීවිත හා දේපොළ බිලි ගනිමින් ව්‍යසනයක් සිදුකරනු ලැබිණි.
මේ නිසා 32 දෙනෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ අතර, එක් පුද්ගලයෙක් පූර්ණ ආබාධිත විය. අතුරුදන් වූ ප්‍රමාණය 12 ක් බවත්, විනාශ වූ නිවාස ප්‍රමාණය 101 ක් බවත් ජනතාව සඳහන් කරති.
ජනතාව ජීවිත කාලය පුරාම හරිහම්බ කරගත් දේපොළ විශාල ප්‍රමාණයක් කුණු කන්දට යට වී ගිය අතර, විනාශයට පත් රථවාහන ප්‍රමාණය 50කට අධික බවද ජනතාව සඳහන් කරති.
මේ නිසා අවතැන් වූ පවුල් ප්‍රමාණය 100 ඉක්මවා තිබෙන අතර, කුණු කන්ද තවදුරටත් නාය යෑමකට ලක් විය හැකි බවට අනුමාන කර ඉවත් කළ පවුල් ප්‍රමාණය 50 කි.
අනතුරට ලක් වූ පුද්ගලයන්ට හා දේපොළවලට, නිවාසවලට පූර්ණ වන්දි මුදල් ලබාදෙන බවට එම අවස්ථාවේදී පාලකයෝ විශාල මාධ්‍ය සන්දර්ශනයක්ද පැවැත්වූහ.
මීට අමතරව අවදානම් කලාපයෙන් ඉවත් කළ ජනතාවටත් පූර්ණ වන්දි හෝ අලාභයට සරිලන ලෙස නිවාස සමග වන්දියක් ලබාදෙන බවටද ප්‍රකාශ කෙරිණි.
නිවාස අහිමිවූවන්ට හා නිවාසවලින් ඉවත් කළ පිරිස් වෙත නිවාස හෝ පූර්ණ වන්දි ලබාදෙන තෙක් මාසිකව රුපියල් පනස්දහස බැගින් නිවාස කුලී ලබාදෙන්නේ යැයි පාලකයන් පැවසූ බවද විපතට පත් ජනතාව සඳහන් කරති. එහෙත් ලබාදුන් පොරොන්දු තවමත් ඉටු කර නොමැති බවත්, සමහර පොරොන්දු කඩකර තිබෙන බවත් ඔවුහු පෙන්වා දෙති.
අදාළ අනතුරට රජය ඍජුවම වගකිව යුතු අතර, මේ නිසා කුමන ආණ්ඩුව වැරැද්ද කිරීම ආරම්භ කළද ජනතාවට වන්දි ලබාදීම පවතින ආණ්ඩුවේ වගකීමකි.
මන්දයත් පැවැති ආණ්ඩුව සේම වර්තමාන ආණ්ඩුවද තම තමන්ගේ පාලන කාලය තුළදී මෙම ස්ථානයට කැළි කසළ බැහැර කිරීම නිසාය. මීට අමතරව මෙම ස්ථානවල පදිංචිව සිටි අති බහුතර ප්‍රමාණයක් මෙම ස්ථානවල පදිංචිව සිට තිබෙන්නේ වසර 50 - 60 තරම් ඈත කාලයක සිටය.
මෙම ජනතාව අතරට කැළි කසළ බැහැර කර තිබෙන්නේ පාලකයන් වන අතර, එසේ නොමැතිව ජනතාව කුණු කන්ද ළඟට ගොස් පදිංචි වී නැත.
එහෙත් පාලකයන්ගේ වගකීම නිසි ලෙස ඉෂ්ට නොකරන බවට විපතට පත් ජනතාව සඳහන් කරන නිසා ඒ පිළිබඳ සොයා බැලීමට 'අද' මීතොටමුල්ල ප්‍ර‘දේශයේ සංචාරයක නිරත විය.
- ජී.එම්.පී. සුරංග (විනාශයට පත් වාහන හිමියෙක්),
“කුණු කන්ද කඩාවැටීම නිසා මට අයත් කුඩා ලොරි රථය කුණුවලට යට වුණා. පස්සේ කුණු ඉවත් කරලා ලොරි රථයෙන් කොටසක් ගොඩගත්තා. ඒත් නැවත භාවිත කිරීමට නොහැකි ලෙස වාහනය විනාශ වෙලා තිබුණේ. විනාශයට පත් වාහනවලට රජය වන්දි ලබාදෙනවා කිව්වා. ඒත් තාම කිසිම වාහන හිමියෙකුට වන්දි ලබාදීලා නැහැ. ඒ වගේම නිසි ලෙස වාහන හානි තක්සේරුවක්වත් කරලා නැහැ. යම් යම් මුදල් ප්‍රමාණයක් ලබාදෙන බව පවසනවා. ඒත් ඒවා තාම ක්‍රියාත්මක කරලා නැහැ. මගේ වාහනයට රක්ෂණයෙන් යම් මුදලක් ලැබුණා. ඒත් අලාභය පියවාගන්න එය ප්‍රමාණවත් නැහැ'.
- ධම්මික විජයමුණි (කමිටු සාමාජික, මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය),
“මෙම ස්ථානයට කොළඹ ප්‍ර‘දේශයේ කුණු ගෙනත් දාන්න පටන් ගත්තේ 2009 වසරේදී. ඒ වනවිට මම කොළොන්නාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක්. කුණු ගෙනත් දාන්න හදනකොට අනාගතයේ සිදුවිය හැකි අනතුරු ගැන හිතලා මම නගර සභාව තුළ විරෝධය පළ කළා. ඒත් නගර සභාවේ අනෙක් අය මේ සඳහා ඉහළින්ම කැමැත්ත දැක්වූවා. පසුගිය ආණ්ඩුව කුණු ටික ටික මෙතනට ගෙනත් දැම්මා. ඒත් කැළි කසළ ප්‍රතිචක්‍රීකරණය කරන්න වැඩපිළිවෙළක් සකස් කළේ නැහැ. මේ නිසා අක්කර 04 ක් පුරා පැවැති කුණු කන්ද අක්කර විස්සක් තිහක් දක්වා විශාල වුණා.
අන්තිමට මීතොටමුල්ල මළගමක් බවට පත් කරලා කුණු කන්ද විශාල විනාශයක් කළා. අසරණභාවයට පත් ජනතාවට සාධාරණයක් කරනවා කියලා ඒ වෙලාවේ පාලකයෝ කිඹුල් කඳුළු හෙළුවා. ඒත් තවමත් හරියට නිවාස හා ඉඩම් තක්සේරුවක්වත් කරගන්න පාලකයන්ට නොහැකි වෙලා තියෙනවා. අසරණ වුණු ජනතාවට ආණ්ඩුව හිතෙන හිතෙන මුදලක් දුන්නත්, විනාශයට පත් දේවල් යළි ගොඩනගාගන්න ඒවා ප්‍රමාණවත් නැහැ. කුණු කන්දට යට වුණු වාහනවලට ලබාදෙන වන්දි මුදලක් ගැන තවමත් තීරණය කරලා නැහැ. ඒ වගේම ආරක්ෂිත කලාපවලින් ඉවත් කළ ජනතාවට සාධාරණයක් ඉටු කරලා නැහැ. සමහර පවුල් අතන මෙතනට ගෙනහින් දැම්මා.
පවුල් හතරක් මීතොටමුල්ල වී අලෙවි ගබඩාවේ දුෂ්කරතා මැද තවමත් ජීවත්වෙනවා. ජනතාවට සාධාරණයක් කරන්න කියලා ඉල්ලලා අපි මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කළා. ඒත් තාම සාධාරණයක් වෙලා නැහැ. තවත් අනතුරක් වෙන්නට පෙර මෙම කුණු කන්ද වෙනත් ස්ථානයකට ගෙන යනවා කිව්වා. තවමත් එම පොරොන්දුවත් ඉටු කරලා නැහැ. මේ ප්රශ්නයේදී ජනතාව විශාල ලෙස අසරණ වුණා. මේ නිසා ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමට තරම් ඔවුන් තාමත් ශක්තිමත් නැහැ.*
- නන්දනී ශ්‍රියාලතා දහම්පුර,
“මට නිවාස තුනක් තිබුණා. තුනටම වරිපනම් බදු ගෙව්වා. ඉන් එක් නිවසක් හදන්න රුපියල් කෝටි තුනහමාරකට වැඩි මුදලක් වියදම් වුණා. මහල් දෙකක් තිබ්බ නිවාසය වෙනුවට ලැබුණු රුපියල් ලක්ෂ 84 ක මුදලක්, අනතුර සිදු වුණාට අපට %ලක්සඳ සෙවණ^ මහල් නිවාසයෙන් වර්ග 450 ක ප්‍රමාණයක නිවසකුත් ලැබුණා. මෙම නිවස සඳහා වන්දි මුදලින් රුපියල් ලක්ෂ 40 ක් ලබාගත්තා. මුලින් මගේ නිවාසවලට ආවේ ලක්ෂ 38 ක තක්සේරුවක්. නමුත් අභියාචනා ඉදිරිපත් වුණාට පස්සෙ ලක්ෂ 84 ක් කළා ඉඩමට වන්දියක් නැහැ. ඒ වගේම ජීවිත කාලයේම හම්බ කරපු දේපොළ කුණු කන්දට යට වුණා. ඒවට වන්දියක් නැහැ. අපේ ගෙදර කුලී නිවාස හිමියෙක් හිටියා. ඔහු මාර්තු මාසයේදී කාමරයෙන් ගියා. ඒත් එම පුද්ගලයා වංචනිකව රුපියල් ලක්ෂ එකහමාරේ නිවාස කුලී ලබාගත්තා. ඒ පිළිබඳ පැමිණිලි කරන්න පුළුවන් හැමතැනටම පැමිණිලි කළා. ඒත් තාම විසඳුමක් නැහැ. ගෙවල් දොරවල් හදලා තිබුණෙ දරුවෝ හතර දෙනාට. ඒත් අද දරුවන්ට දෙන්න බිම් අඟලක් අපට නැහැ. අපි මහල් නිවාසයක හිර කරලා තියෙන්නේ. ඒකෙ හැරෙන්නවත් ඉඩ නැහැ. අපි රජයෙන් ඉල්ලන්නේ අපේ දේපොළ, ඉඩම්, නිවාස නිවැරදි ලෙස තක්සේරු කරලා වර්තමානයට ගැළපෙන වන්දියක් දෙන්න කියලා'
- පී. නන්දාවතී,
“අපේ ගෙදර පවුල් දෙකක් හිටියා. එක් පවුලක් මමයි මහත්තයයි. අනෙක් පවුලේ පුතයි එයාගේ නෝනයි. මගේ ගේ ගලෙන් බැඳපු හොඳ ගෙයක්. ලක්ෂ 50කට වඩා ඒක හදන්න ගිහින් තියෙනවා. ඒත් වන්දි ලෙස ලැබුණේ රුපියල් ලක්ෂ 13 හමාරයි. හැබැයි ඒ මුදලින් ලක්ෂ තුන හමාරයි අතට ලැබුණේ. අනෙක් මුදල මහල් නිවාසයේ ගෙයට කපාගත්තා. ඒත් දරුවාට ගෙයක් ලැබුණේ නැහැ. මේ කුඩා කාමරයේ පවුල් දෙකටම ඉන්නත් බැහැ. අද දරුවාට ඉන්න ගෙයක් නැහැ.*
- එම්.ඒ. සුමනාවතී,
“වසර 52 ක් තිස්සේ වෙළෙඳ ව්‍යාපාරයක් කරගෙන කාටවත් අතපාන්නේ නැතිව ජීවත් වුණා. ගෙදර සුඛෝපභෝගී ලෙසට තට්ටු දෙකට හැදුවා. ඒ සඳහා ලක්ෂ ගණනාවක් වියදම් වුණා.
ස්ථිර ඔප්පු තියෙන ඉඩමක් තිබුණා. සම්පූර්ණ වන්දිය ලැබුණේ ලක්ෂ 47 යි. මට මහල් නිවාසයෙන් ගෙයක් දුන්නා කියලා ලක්ෂ 40 ක මුදලක් කපාගත්තා. මුළු ජීවිත කාලයේම හම්බු කරපු දේපොළත් වෙළෙඳ සැලත් විනාශ වුණා. ඒවා ගැන කිසිම තක්සේරුවක් කළේ නැහැ. හරිහැටි ගණනක් හැදුවොත් රුපියල් කෝටි එකහමාරකට වඩා අලාභයක් සිදු වුණා. අපි ගොඩක් වයස අය. හම්බ වුණේ 10 වැනි තට්ටුවේ ගෙයක්. ආදායම අහිමි වුණ නිසා කඩකාමරයක් දෙන්න කියලා ඉල්ලීමක් කළා. ඒත් ඒකටවත් බලධාරීන් ප්‍රතිචාර දැක්වූයේ නැහැ*.
- එම්.ආර්. නවාස්,
'අපේ මහගෙදර කුණු කන්දට යට වුණා. මේ විනාශය නිසා මගේ අම්මයි, අක්කයි මියගියා. කුණු කන්ද කඩන් වැටුණ වෙලාවේ කුණු ටික ක්‍රමවත්ව ඉවත් කළා නම් මියගිය සමහර අය බේරාගන්නත් තිබුණා. සමහර අවස්ථාවල ජනතාව යට වුණ තැන් උඩින් වාහන ගියා. නිවාස හා ඉඩම් තක්සේරුවේදී එය නිවැරදි ලෙස සිදු කලේ නැහැ. මියගිය අය වෙනුවෙන් නංගිට රුපියල් ලක්ෂ 20 ක වන්දියක් දුන්නා. ඒත් පොළොවට යට වුණ මහගෙදර ගෙවල් තුනක් විදිහට තිබුණේ. මුලින් නිවාස ඉවත් කරද්දි අපි ඉවත් කළා. මේනිසා අපේ පවුලේ කාටවත් අනතුරක් වුණේ නැහැ. ඒත් පර්චස් 17 ක අපේ මහගෙදර ඉඩමට හා ගෙදරට වන්දි ලෙස ලැබුණේ ලක්ෂ 30 යි. මෙම මුදලින් පර්චස් 10ක්වත් ගන්න බැහැ. අපි මුල ඉඳලම කියන්නේ අපට සාධාරණ වන්දි මුදලක් ලබාදෙන්න කියලා. මොකද හැමදාම මහල් නිවාසවල ඉන්න බැහැ. අපි පොළොවෙ පයගහලා හිටපු මිනිස්සු'
- සීතා නන්දනී,
“අවදානම් කලාපය කියලා අපි පදිංචි වෙලා හිටපු ස්ථානවලින් ඉවත් කළා. ගෙවල් කුලිය කියලා මුලින් ලක්ෂ එකහමාරක් ලබාදුන්න බඩු ඇදගන්න කියලා. තවත් රුපියල් 10,000 ක් දුන්නා ඒත් මේ මාසයෙයි පසුගිය මාසයේ කුලී සල්ලි දුන්නේ නැහැ. කාමර තුනක් තියෙන ලොකු ගෙයක් අපට තිබුණෙ. ඒත් මහල් නිවාසයක ගෙයක් ඒකට හරියන්න කියලා ගන්න කිව්වා. මට ඉගෙනගන්න දරුවෝ ඉන්නවා. මේ අය අරගෙන මහල් නිවාසවලට යන්න බැහැ.
ඒ නිසා මගේ අතින් සල්ලි ගෙවාගෙන කුලී ගේක ඉන්නේ. නිවාසයට ලක්ෂ 30 ක තක්සේරුවක් ආවා. ඒත් ඉඩමට තක්සේරුවක් කළේ නැහැ. ලක්ෂ 30 ක් කරන්න දෙයක් නැති නිසා ඒ මුදලට මම කැමති නැහැ. මේ නිසා අපි කියන්නේ සාධාරණ ලෙස ඉඩමටයි ගෙටයි වර්තමානයට ගැළපෙන තක්සේරුවක් දෙන්න කියලා. මොකද මේ ඉඩම්වලට ස්ථිර ඔප්පුත් අපට තියෙනවා*
- එම්.ජී. සිරියාවතී,
“අවදානම් කලාපය කියලා අපි ඉවත් කළා. පවුලේ 06 දෙනෙක් හිටියා. හිටපු නිවාසයට තක්සේරු කළේ රුපියල් ලක්ෂ දහතුන හමාරයි. ලක්ෂ දහතුන හමාරෙන් කරන්න දෙයක් නැහැ. මේ නිසා අපි රජයට යෝජනා කරන්නේ ඉඩමටයි, ගෙටයි සාධාරණ මුදලක් දෙන්න කියලා. ගේ හැදුවේ රට ගිහිල්ලා හම්බ කරගත්ත සල්ලිවලින්. ගෙයින් ඉවත් වෙන්න කියලා අපට රුපියල් එක්ලක්ෂ පනස් දහසක මාසික කුලියක් ලබාදුන්නා. පස්සෙ එක මාසෙක කුලී දුන්නා. දැන් කුලිය දෙන්නේ නැහැ.
එහෙම තියෙද්දි සමහර අය කියනවා මහල් නිවාස ගන්න කැමති අයට විතරයි ගෙවල් කුලී දෙන්නේ කියලා. අපි නිදහසේ ජීවත් වුණ මිනිස්සු. අපට මහල් නිවාසවල ගිහිල්ලා ඉන්න බැහැ. ඒ නිසා අපේ ඉඩමට නිවාසයට සරිලන වන්දි මුදලක් ඕන. *
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd