මීට වසර 2325කට ඉහතදී පොසොන් පුර පසළොස්වකදා මිහිඳු මහරහතන් වහන්සේ ප්රමුඛ ධර්ම දූත පිරිස මිහින්තලයට වැඩම කළ බව දීපවංශය, මහාවංශය සහ සමන්තපාසාදිකාව යන පුරාණ ග්‍රන්ථවල සඳහන් වී තිබේ.
(ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම් - පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසයට පි. 121 -1969)
මේ පිළිබඳව විමසන විට ආචාර්ය රීස්. ඩේවිඩ්ස් මහතා පෙන්වා දෙන පරිදි අශෝක රජතුමාගේ රාජ්‍ය කාලයේදී හිමාලය ප්‍ර‘දේශයට යවන ලද ධර්ම දූත පිරිස ගැන ලක්දිව වංශ කතාවන්හි සඳහන් ප්‍රවෘත්තියෙහි සත්‍යතාව සංචියේ තිබී සොයාගනු ලැබූ පුරාවිද්‍යාත්මක වස්තුවලින් සනාථ වන්නේය.
(Buddhist India - T.W. Rhys David's (London) P-299)
සිංහලයන්ට උනන්දු වීමට කරුණක් නොතිබුණු හිමාලය වැනි ප්‍රදේශයකට අශෝක රජු විසින් යවනු ලැබූ ධර්ම දූත මෙහෙය පිළිබඳව ලක්දිව වංශකතා ප්රවෘත්ති මෙතරම් නිවැරදි නම් මිහිඳු හිමියන් ප්රමුඛ ධර්ම දූතයන්ගේ ආගමනය පිළිබඳ ප්‍රවෘත්තිය ජනප්‍රවාදය මාත්‍රයක් නොවේ යැයි සැලකීම යුක්ති යුක්තය.
මේ අනුව ඓතිහාසික වශයෙන් මහින්දාගමනය පිළිබඳව සාක්ෂි ඉදිරිපත් කළ හැකිව තිබේ. එහෙත් පුරාවිද්‍යාත්මක වශයෙන්ද ඔප්පු කළ හැකි ශිලාලිපි ශ්‍රී ලංකාවේ හමුවී තිබේ. එයින් එකක් අම්පාර දිස්ත්‍රික්කයේ රජගල පුරාණ පුදබිමෙන් හමුවී ඇත. එය ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසට අයත් බ්රාහ්මීය අක්ෂරවලින් ලියන ලද්දකි.
Inscriptions of Ceylon Vol. I Senarath Paranavithana - P35 No. 468 Dept. Of Archeology : 1970)
එම ශිලා ලේඛනය රජගල පුදබිමෙහි පිහිටි පර්වතයක සටහන් කර තිබේ.
ඒ අසල පහත ගරාවැටුණු දාගැබක නටඹුන්ද හමුවී තිබේ. එය මෙම ධාතූන් වහන්සේලා නිදන් කර තිබූ දාගැබේ නටඹුන් ලෙස හඳුනා ගෙන තිබේ. මෙම ශිලා ලේඛනය ගිරිලිපිය (Rock Inscription - රොක් ඉන්ස්ක්රිපිෂන්) කි.
බ්රාහ්මීය අක්ෂරයෙන් ලියා ඇති එම ගිරිලිපිය පේළි දෙකකි.
''යෙ ත්රමදිප පටමය ඉදිය
අගනත ඉදික තෙර මහිද තෙරහ තුබෙ''
මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා මෙහි සිංහල අර්ථය මෙසේ සටහන් කර ඇත.
''මෙම දිවයිනට එහි වාසනා මහිමය නිසා පැමිණි ඉට්ඨිය සහ මහින්ද තෙරුන්ගේ ස්ථූපයයි''
(Inscriptions of Ceylon vol. I porf. Senarath paranavithana P.35 inscription No.468 Dept. of Archeology - 1970)
මෙම ගිරිලිපියෙහි 'මහිද තෙර' යනුවෙන් සඳහන් කර ඇත්තේ මිහිඳු මහ රහතන් වහන්සේය. 'ඉසික තෙර' යනු මිහිඳු මහ රහතන් වහන්සේ සමග ලංකාවට වැඩම කළ භික්ෂූන් වහන්සේලා අතර සිටි ඉට්ඨිය තෙරුන් බව මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා ඉහත සඳහන් ග්රන්ථයෙහි සඳහන් කරයි.
(වල්ලිපුරම් රන් සන්නස සහ හෙළ උරුමය, සිරිසමන් විජේතුංග පි. 84 - 2003)
මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට පසු රජවූ උත්ති රජුගේ (ක්‍රි.පු 267-257) කාලයේ පිරිණිවන්පෑ බව මහාවංශයෙහි සඳහන් වන කරුණකි. මිහිඳු මහරහතන් වහන්සේ පිරිණිවන්පෑමෙන් පසුව ඒ පිළිබඳ ආදාහන පූජාව සිදුකර ඇත්තේ උත්තිය රජතුමාගේ අනුග්‍රහ‘යෙනි. මෙම ආදාහන පූජාවෙන් පසුව ඉතිරි වූ මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා සෑගිරියෙහි (මිහින්තලය)ද තවත් පුදබිම් කිහිපයකද නිදන් කර දාගැබ් සාදවන ලද බව මහවංශයේ සඳහන් වී තිබේ.
(මහාවංශය පළමු වැනි කොටස - 20 වැනි පර්ච්ඡේදය - 49-49 ගාථා)
මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා ලංකාවේ මෙකල නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ රජගල වැනි පුදබිමක නිදන් කිරීමට හේතුව ලෙස ඉදිරිපත් කළ හැකිය. මිහිඳු මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා සමග රජගල පිහිටි එම දාගැබෙහි ඉට්ඨිය තෙරුන්ගේ ධාතූන්ද නිදන් කළ බව රජගල ගිරිලිපියේම සඳහන් වන කරුණකි. ඒ සඳහාද මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා මෙසේ සඳහන් කරයි. රජගල ප්‍රදේශය ඉට්ඨිය තෙරුන් වහන්රසේ ධර්ම ප්රචාරක කටයුතුවල යෙදුණු ප්‍රදේශය නිසාය.
මිහිඳු මහරහතන් වහන්සේ සහ එම දූත පිරිස අහසින් වැඩම කළේ දඹදිව වේදිය ගිරියේ සිට බව මහාවංශයේ සඳහන් වෙයි. 'ඉදිය' යන වචනයද මෙම රජගග ගිරි ලිපියේ සඳහන් වී ඇත. සෞභාග්‍යය හා සමෘද්ධිය සඳහා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරවීම එහි අර්ථය බව මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා පවසයි. මෙහි 'ඉදිය අගනත' යන්නට එතුමා අරුත් සපයන්නේ මෙසේය.
මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ බව සඳහන් වන එක ශිලාලිපිය (ගිරි ලිපිය) රජගල කඳු සහිත වූ පුදබිමෙහි පිහිටුවා ඇති අතර, මිහිඳු මහ රහතන් වහන්සේගේ නාමය සඳහන් වන තවත් ගිරි ලිපියක් මිහින්තලෙන් හමුවී තිබේ. මෙම ශිලා ලේඛනයේ විශේෂත්වය වන්නේ මිහිඳු මහරහතන් වහන්සේ පමණක් නොව ඒ සමග වැඩම කළ අනෙකුත් භික්ෂූන් වහන්සේලාගේ නාමයද එම ගිරි ලිපියෙහි සඳහන් වී තිබීමය. මෙම ගිරි ලිපිය මිහින්තලෙට නගින විට එහි පර්වතයෙහි කොටා ඇති අන්දම දැකගත හැකිය.
ඒ ශිලා ලේඛනයෙන් කියැවෙන්නේ මහාදාඨි මහානාග රජු (ක්‍රි.ව. 9-21)ගේ ප්‍රදානයක් පිළිබඳවය. මෙම ප්‍රදානයෙහි (පූජා කිරීමෙහි) එක් පරමාර්ථයක් වන්නේ මහින්ද (මිහිඳු) ඉට්ඨිය, උත්තිය, බද්ධසාල යන තෙරුන්ගේ ප්‍රතිභා වන්දනයයි. (පුරාවිද්‍යා සඟරාව - සිරිසමන් විජේතුංග පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව - ඇන්.එම් සිරිසෝම මහතා විසින් ලියන ලද මහාවංශයේ සත්‍යතාව සහ විශ්වසිනීයත්වය- පි. 03 : 1989)
රජගල පිළිබඳ සඳහන් කරන විට එය මිහිඳු මහ රහතන් වහන්සේ ප්රමුඛ දූත පිරිස මෙරටට පැමිණීමෙන් පසුව මිහින්තලේ ලෙන් විහාරවල ලියන ලද බ්රාහ්මීය ලෙන් ලිපි රැසක් මෙන්ම මෙහිදී (රජගල) එවැනි ලෙන් සහ ඒ ලෙන් ආශ්රිත වූ ශිලාලේඛන රැසක්ම හමුවී ඇති බව සඳහන් කළ යුතුව ඇත. මෙහි ලෙන් ලිපි හැත්තෑවක් පමණද යුග කිහිපයකට පමණ අයත් වන පර්වත ලිපි (ගිරිලිපි) හමුවේ. පර්වත ලිපි අතරේ ලෙන් ලිපිවලට වඩා පැරණි ගිරිලිපියක් අප ඉහතින් සඳහන් කළ ගිරිලිපියද වේ.
ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 10 වැනි සියවස තෙක් වූ කාලපර්ච්ඡේදයකට අයත් ශිලා ලිපි පමණක් නොව දාගැබ්, ආරාම, පොකුණු, ප්‍රතිමා විහාර ආවාස ගෙවල් සඳකඩපහණ, මුරගල් සහ කොරවක් ගල් ආදියෙහි නටඹුන්ද මෙම ප්‍රදේශය පුරා විසිරී පවතී. රජගල කන්දට 'රාස්ස කන්ද' යන නාමයද ගිරිකුම්බිල විහාරය යන නාමයන්ද භාවිත වී තිබේ.
මුහුදු මට්ටමේ සිට අඩි 1038ක් උස කන්දක මෙම බෞද්ධ නටඹුන් දැකගත හැකිය. මේ පිළිබඳව විමසා බලන විට අනුරාධපුර අසල වූ මිහින්තලය මෙන්ම රජගල පුදබිමද ඉතා දියුණු තත්ත්වයක පැවැති බවද දේවානම් පියතිස්ස රජුට පසු රාජ්‍ය අනුග්‍රහය ලද පුදබිමක් ලෙසින්ද සැලකිය හැකිය
(රජගල පුරාවිද්‍යාත්මක ගවේෂණයකි - සිරිසමන් විජේතුංග, පි. 04 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍ය සංස්කෘතික අරමුදල - 2005)
මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරවීම එතෙක් අප රටේ පැවැති දියුණු ශිෂ්ටාචාරයේ හැරවුම් ලක්ෂයකි. එහෙත් සමහරක් පවසන අන්දමට මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කළ කාලයේ අපේ රජවරුන් දඩයමේ ගිය යුගයක් ලෙසින් සඳහන් කිරීම අපේ උරුමය ඓතිහාසිකව හා පුරාවිද්‍යාත්මකව අවබෝධ කර නොගැනීම හේතුවෙන් කරන ප්‍රකාශ බව මෙහිදී අවධාරණය කළ යුතුව ඇත. පණ්ඩුකාභය රාජ යුගය (දේවානම් පියතිස්ස රජුගේ පියා වූ (මුටසීව රජුගේ පියා) කාලයේදී පසු ඉන්දියානු කෘෂිකාර්මික මෙන්ම නගර සංවර්ධන වැඩපිළිවෙළක් තිබුණු බව මහාවංශයෙන් පැහැදිලි වේ.
මීට අමතරව හිටපු පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ශීරාන් දැරණියගල මහතා විසින් අනුරාධපුරයේ ඇතුළුනුවර 1984දී කරන ලද පුරාවිද්‍යා කැණීම ඉතා වැදගත් වන්නේය. ඒ කැණීම අනුව වී ගොවිතැන, යකඩ භාවිතය, ඉතා දියුණු මැටි බඳුන් තාක්ෂණය, (සකපෝරුවේ කරකවා සාදන ලද මැටි බඳුන්) බ්රාහ්මීය අක්ෂර ඒ මැටි බඳුන්වල ලියාතිබීම හා අශ්වයන් ඇතිකිරීමේද තිබුණු බව අඩි 30 පමණ යටට කරන ලද එම පුරාවිද්‍යා කැණීමෙන් හමුවී ඇත. මේ අනුව දේවානම්පියතිස්ස රාජ කාලයට වසර දෙතුන් සියයකට ඉහතදී ඉතා දියුණු ශිෂ්ටාචාරයක් පැවැති බව පුරාවිද්‍යා කැණීමෙන් තහවුරු වී ඇත.
(ශ්‍රී ලංකාවේ පුරාණ උරුමය අංක 1 - සිරිසමන් විජේතුංග, පි. 54 - 2012, සමුද්‍රා ප්‍රකාශකයෝ)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර පුරාවිද්‍යා අධ්යක්ෂ සිරිසමන් විජේතුංග