හිටිහැටියේ හමායන මිහිදුම් සළුව අප ඉදිරියේ වූ බැලූතෙක් මානයේ විහිදයන දර්ශනපථයට බාධාවකි. එහෙත් අප කළ යුත්තේ බාධාවක් වූ ඒ මිහිදුම් සළුවෙන් අපගේ දෑස් මදකට මෑත්කර කඳුවැටියේ අනෙක් පසට දෙනෙත් යොමුකිරීම පමණි. අප ඉදිරියේ මැවෙන්නේ පෙරටත් වඩා මනරම් වූ දර්ශන පෙළකි. කඳුවැටියේ සිට කිලෝමීටර් සියගාණක් ඈතට විහිද යන ඒ දර්ශනපථය කෙළවර වන්නේ නැගෙනහිර මුහුදු තීරය දෙනෙතට හසුවීමෙනි.
අතිශය සීමිත පිරිසක් සුන්දරත්වය අත්විඳ තිබුණද අදටත් ලෝකයාගෙන් වසන්වූ මේ සුන්දර කඳුවැටිය පිහිටා ඇත්තේ රිදීමාලියද්ද ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඌවවත්ත ගම්මානය ඉස්මත්තේය.
සාමිමලේ කන්ද, වඩමල කන්ද, සල්මල් කන්ද ආදී වූ නම් කිහිපයකින්ම හඳුන්වන මෙම කඳුවැටිය සුන්දරත්වයෙන් මෙන්ම ඓතිහාසික වශයෙන්ද බොහෝ පුරාවෘත්ත රැසකට නෑකම් කියන කඳුවැටියකි.
කඳුවැටියට යෑමට නිසි මාර්ග පහසුකම් නොමැතිකමත්, මිනිස් වාසයෙන් කිලෝමීටර් ගණනාවක් ඈතට වන්නට පිහිටා තිබීමත් හේතුවෙන් මෙම කඳුවැටිය පිළිබඳ විස්තර දන්නේ අතිශය සුළු පිරිසකි.
ඌව වත්තේ වතු කම්කරුවෙකු වූ කේ. රාජේන්ද්රන්ගෙන් ලද තොරතුරු ඔස්සේ පසුගිය දිනෙක අපි එම වතුයායේ පිරිසක්ද සමග මෙම සාමිමලේ කන්ද තරණය කළෙමු.
බදුල්ල, පරණ මහියංගනය මාර්ගයේ අරාව හංදියටත්, අනතුරුව දික්යාය ගමටත් වාහනයකින් පැමිණි අපි, පසුව අතිශය දුෂ්කර වූ අබලන් ගුරුපාර ඔස්සේ කිලෝමීටර් අටක් පමණ පාගමනින් ඌවවත්ත වතුයාය වෙත පැමිණ ගමනේ මුල් අදියර නිමා කළෙමු.
ඌව වත්තට පැමිණි අපට වත්තට ඉහළින් නැගීසිටින ප්රතාපවත් යෝධයෙකු සේ සාමිමලේ කන්ද දිස්වෙයි.
ඌව වත්ත ඉස්මත්තේ තේ වත්තට ඉහළින් එක්වරම ඉහළට විහිද ගිය මේ කන්ද නැගිය හැක්කේ දක්ෂ කඳු නගින්නෙකුට පමණක් යන හැඟීම කන්ද දෙනෙතට හසුවන ඕනෑම අයෙකුගේ සිතට නැගෙන පළමු සිතිවිල්ලයි.
කන්දට නැගිය යුත්තේ කන්දේ දකුණු පස බෑවුම හරහා තේ වතු මැදින් වැටී ඇති අඩිපාර ඔස්සේය.
කඳුවැටියට සාමිමලේ නම් දෙවිකෙනෙකු අරක් ගෙන සිටින බැවින් එයට මේ නම ලැබී ඇතැයි පැවැසූ රාජේන්දුන් ඇතුළු පිරිස, ගමන ආරම්භ කළේ තේ වත්ත අසල වූ දැවැන්ත ගසක කොළ අතු කිහිපයක් එල්ලා සාමිමලේ දෙවියන්ට බාරවීමෙන් අනතුරුවය.
''මහත්තයෝ මේ ගමන ලෙහෙසි නැහැ. ඔය අතදික් කළා වගේ පෙනුණට හැතැම්ම හතඅටකට වඩා නගින්න තියෙනවා. හරියට පාරකුත් නැහැ. රෝබේරිය පැත්තෙන් ඇවිත් වත්තේ බවුන්ඩරිය දිගේ ගිහින් තමයි යන්න ඕන''අපේ ගමන් සගයා වූ රාජරත්න පවසයි.
තැනින්තැන පිහිටි ගල් පර්වතවලින් මෙන්ම මානා පඳුරුවලින්ද, නෙල්ලි කහට ආදී ගහකොළවලින්ද ගහන වූ අප යන මාර්ගය බෙහෙවින්ම දුෂ්කරය. ඉඳහිට පාදයේ එල්ලෙන කූඩැල්ලන්ගෙන් සිදුවන්නේ ඊට නොදෙවැනි බාධාවකි. පය ලිස්සා ගියහොත් අඩි ගණනක් පහළ සිට නැවත ගමන් ආරම්භ කිරීමට සිදුවන බැවින් අප ගමන් කළේ බොහෝ සීරුවෙනි.
ගමනට එක්වූ ඌව වත්තේ විජේපාල වෙද මහතා කන්ද ගැන අපූරු කතාවක් පැවසීය.
''මහත්තයෝ මේ කන්ද පුදුම අනුහස් තියෙන කන්දක්. දරුඵල නැති අය මෙතැනට ඇවිත් බාරවුණාම දරුවො ලැබෙනවා. එහෙම දරුවො ලැබුණු අය ඕනතරම් මේ පළාත්වල ඉන්නවා.''
කන්ද ගැන විස්තර පැවැසූ ඌව වත්තේ ගැමියෙකු පැවැසූ අන්දමට කලකට පෙර මෙම කන්ද මත ජීවත් වී ඇත්තේ ආදිවාසී ජන කොට්ඨාසයකි. කන්ද මුදුනට දිවයිනේ හතර අත මැනවින් දර්ශනය වන බැවින් මෙහි සිටි ආදිවාසීන් කන්ද මත සිට හතරත නිරීක්ෂණය කර වෙල්ලස්සේ සිටි යුද සිංහල සේනාවන්ට ඔත්තු සපයා ඇතැයි පැවසේ.
ඔවුන් ආහාරයට ගත් වීවල පොතු මෙන්ම ජලය ලබාගත් පොකුණක්ද මේ කන්දට එපිටින් ඇතැයි ගමනට එක්වූ විජේපාල මහතා පැවසීය.
ඈත අතීතයේදී බුදුන් වහන්සේ මහියංගනයට වැඩම කර ආපසු යන ගමනේදී මෙම කන්ද මතට වැඩම කර එහි පා සලකුණ තබන්නට සූදානම්ව ඇත. එහෙත් ඈතින් පෙනුණු කුඹුරුයායවල ගොවිතැනේ යෙදී සිටි පිරිස් අත වූ උදලුවලින් මඩේ සිටින ගැඩවිල්ලන් සිය ගණනින් කැපී යනු දැක සංවේගයට පත් උන්වහන්සේ පා සලකුණු එහි තැබීම පසෙකලා සමනල කන්ද වෙත වැඩම කළ බව තවත් කතාවකින් කියැවේ.
කඳුවැටිය වෙත දිවෙන පටු මාර්ගය බෙහෙවින්ම දුෂ්කරය. එහෙත් අපට සෙවණ දෙන තුරුලතාවලින් මෙන්ම විටින්විට හමුවන සීතල දිය පිරි දිය කඩිතිවලින් සේම එක එල්ලේ ඇද වැටෙන දිය ඇලිවලින් නික්මෙන පිනි රොදවල්වලින් අප ගතට දැනෙන්නේ අපුරු සුවයකි.
නිසි නඩත්තුවක් නැතිකම නිසාදෝ කඳුවැටියේ බොහෝ තැන්වල අඩි ගණන් ඉහළට අයාලේ වැඩුණූ තේ ගස්ය. තේ ගස් අතරින් වැඩුණු විවිධ තුරුලතා රතු, නිල්, කහ, තැඹිලි ආදී නෙක පැහැගත් පුෂ්පයන්ගෙන් අපූරුවට සැරසී ඇත.
සාමිමලේ කන්ද ගැන කියවෙන බොහෝ කතා සේම ගැමියන්ගේ අත්දැකීම් අසමින්ම පැය කිහිපයකට පසුව අපි සාමිමලේ කන්ද මුදුනටම පැමිණියෙමු.
සාමිමලේ කන්ද පුරාවට පැතිර ඇත්තේ දැඩි නිහඬතාවකි. විටෙක හමා යන සුළං රැලිවලින් සෙළවෙන මානා පඳුරුවලින් පිටවන සරසර නාදයත් සුළඟටට ඇඹරෙන කහට ගස්වල කිරි කිරියත් ඒ නිහඬතාවට බාධාවකි.
අඩි දහස් ගණනක් උසින් පිහිටි මෙම කඳුවැටියට දිස්වන මනරම් දසුන් පෙළෙහි ඇත්තේ කදිම අපූර්වත්වයකි. හිටිහැටියේ කන්ද පහළින් හමායන මිහිදුම් සළුව ඒ මනරම් දසුන් පෙළට බාධාවක් වුවද මොහොතක් ගතවෙද්දී යළි ඉදිරිය පැහැදිලි වෙයි.
කන්දේ එක් පසෙක දසුන් පෙළ මහියංගනය දෙහිඅත්තකණ්ඩිය, පොළොන්නරුව තෙක් විහිද යයි. ඒ දෙස විමසිල්ලෙන් බලද්දී සොරබොර වැව සේම මහියංගන චෛත්යයද තවත් වැව් හා ජලාශ රැසක්ද අපට පහළින් කදිමට දිස්වෙයි.
අනෙක් පසින් ලොග්ගල්ලා ඔය රන්දෙණිගල , වික්ටෝරියා ආදී වූ මහා ජලාශයන්ද කිලෝමීටර් සියගණනක් එහා පිහිටි හරිත පැහැ ගැන්වුණු කඳුවැටි පෙළද මනාවට දිස්වෙයි.
කන්දේ තවත් පැත්තකට ගියවිට බිබිළ, අම්පාර හරහා බටහිර වෙරළ තීරය දක්වා වූ බිම් තීරුව අතදිගහැරියා සේ දැක ගන්නට ලැබෙයි.
උදෑසනින්ම කන්ද මුදුනට පැමිණියේ නම් ශ්රීපාදස්ථානයට දර්ශනය වන අන්දමේ ඉර සේවයක් මේ කන්ද මුදුනේ සිට නැරඹිය හැකියැයි අපේ ගමන් සගයා වන රාජරත්න පැවසීය.
සුදු ජාතිකයන් මෙරට පාලනය කළ සමයේදී කඳුයායට පහළින් වූ ඌවවත්ත පාලනය කර ඇත්තේද සුදු ජාතික තේ වගාකරවන් විසිනි. එකල එංගලන්තයේ සිට පැමිණෙන සංචාරක පිරිස් මෙම සාමිමලේ කන්ද තරණය කර මෙහි කූඩාරම් ගසාගෙන දින ගණන් අසිරිය අත්විඳිමින් සිටි බවද මේ ගමනට එක්වූ පිරිසක් අප සමග පවසා සිටියහ.
රටට වැසි නොලැබීමෙන් තේ වගා විනාශයට පත්වූ බොහෝ අවස්ථාවල මේ කන්ද තරණය කළ සුදු මහත්වරුන් ඇතුළු වතු කම්කරුවන් කන්දේ වැඩවසන දෙවියන්ට පුදපූජා පැවැත්වූ කළ පළාතට එකදිගට ධාරාණිපාත වැසි ඇදවැටුණු අතීත කතාවක් ගැනද ඔවුන් අපව දැනුවත් කළේ කන්ද පිළිබඳ වූ අතිශය ගෞරවය පෙරදැරි කරගනිමිනි.
මේ වනවිටත් අප කන්දේ ඒමේ අත ගමන්කරමින් හෝරා ගණනක් කාදමා අවසන්ය. රත්පැහැ ගැන්වූ හිරු අහසේ සැඟව යන්නට තවත් ඇත්තේ කෙටි කාලයකි. මිනිස් ක්රියාකාරකම්වලින් කිසිලෙසකත් නොකිළිටිවූ සුන්දර සාමිමලේ කන්දෙන් සමුගෙන පහළින් පිහිටි ඌව වත්ත බලා යන්නට අපි සූදානම් වුණෙමු.
මීගහකිවුල - එන්.කේ. නිශ්ශංක