ඌව පළාතට දිවයිනේ දස දෙසින් පැමිණෙන සංචාරකයන්ට පළාතේ සෑම ප්‍රදේශයකම පාහේ පිහිටි ඓතිහාසික හා දර්ශනීය ස්ථානයක් රැසක් දැකබලා ගැනීමට හැකි වේ. මේ බොහෝ තැන් පිළිබඳව යම් ප්‍රසිද්ධියක් සමග සංචාරකයන් උදෙසා යම් තරමක හෝ පහසුකම් ප්‍රමාණයක්ද සැපයීමට වගකිවයුතු අංශයන් පියවර ගෙන තිබේ.
එහෙත් බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ලූණුවත්ත නගරයට නුදුරින් පිහිටි සුන්දර මානා ඇල්ල දියඇල්ල මේ සංචාරයන්හිදී බොහෝදෙනෙක්ට මගහැරෙන දර්ශනීය ස්ථානයකි.
පසුගිය කාලය තුළ ප්‍රමාණවත් වැසි නොලැබීම නිසා මේ වන විට මෙහි සුන්දරත්වය යම් පමණකින් අඩුවී තිබුණද, වර්ෂා කාලයේදී මෙම දිය ඇල්ල පළාතේ ඇති ඉතාම සුන්දර දිය ඇලි අතර මුල් තැනක් හිමිකර ගනී.
මානා ඇල්ලේ විශේෂත්වය වන්නේ මනස්කාන්ත දියඇල්ලක් වීම පමණක්ම නොවේ. ඒ ආශ්‍රිතව දක්නට ඇති දසුන් තුළින් මෙහි යම් ඓතිහාසික වටිනාකමක්ද සැඟවී ඇති බව දක්නට තිබීමයි.
ප්‍රදේශයේ ජනතාව අතර පවතින ජනප්‍රවාදයන්ට අනුව අතීතයේදී විසූ මානාභරණ නැමති යුවරජු විසින් මේ ඇල්ල ඉහළ කොටසේ ගල් තලාවෙහි කරවන ලදැයි පැවසෙන දිය පිරෙන කටාරම් රැසක් මෙහි දක්නට තිබේ.
ඒවා එකිනෙක දිය පිරී කෙමෙන් පහළට ගලා එන පරිදි සකසා ඇති ආකාරයක් දැකිය හැකිය. මේවා ඖෂධ ස්නානය පිණිස සකසා ඇති අතර, මෙහි කටාරම් 21 ක් ඇතැයිද රජුට හා සිය බිසෝවරුන්ට ස්නානය පිණිස මේවා කරවා ඇතැයිද පැවසේ.
එසේම මෙම ඇල්ල අසල සිට ඌවපරණගම ස්ත්රීපුර ගුහාව තුළට උමං මගක් පිහිටා තිබී ඇතැයිද තවත් ජනප්‍රවාදයන් පවසයි. රාවණා රජු විසින් සීතා දේවිය සඟවාගෙන හෝ රාම රාවණා යුද්ධය අතර සීතා දේවිය ඇතුළු බිසෝවරුන්ට රැකවරණය පිණිස එහි රඳවා සිටියදී ඔවුන් ස්නානය පිණිස මේ උමං මග තුළින් මානා ඇල්ලට පැමිණ ඇතැයිද එම ජනප්‍රවාදයන් පවසයි.
මෙහි පිහිටි ගල් කටාරම් ස්වාභාවිකව නිර්මාණය වූ ඒවා බවට ඇතැමුන් අදහස් දැක්වුවද, ඒ ආශ්‍රිතව යම් ගොඩනැඟීමක් තිබූ බවට සාක්ෂි දරමින් කණු සිටුවීම පිණිස ගලෙහි කෙටූ පාදම් රැසක්ද, ඊට ඉහළින් ගලෙහි කෙටූ කුඩා ගෙබිමක්ද මෙහි දක්නට තිබේ.
එබැවින් මේවා ස්වාභාවික නිර්මාණ බවට ඇති අදහස් බැහැර කළ හැකිය. එසේම එම ගෙබිමෙහි මැද යමෙකුට හිඳ සිටිය හැකි ලෙස සකසා ඇති ආකාරයක්ද දක්නට ඇති අතර, ඊට ඉහළින් ආවරණයක් සැකසිය හැකි ලෙස ගලෙහි තැනූ සිදුරු රැසක්ද තිබේ.
එපමණක් නොව මෙම ඇල්ල ඉහළ කොටසේ වූ අමුණකින් ජලය ගලා යාමට සැකසූ බවට සැලකිය හැකි ගලෙන් නිම වූ කානු පද්ධතියක්ද මෙහි ඇති බැවින් අතීතයේද මේ ආශ්‍රිතව සාර්ථක කෘෂිකාර්මික ප්‍රදේශයක් වූ බවට සාක්ෂි තිබේ.
මේ වන විට එම ශිලාමය කනු ඇතැම් තැනක කැඩී ගොස් සහ පස්වලින් වැසී ගොස් ඇතත්, එය මතු කරගතහොත් තාමත් ප්‍රයෝජනයකට ගත හැකි වනු ඇතැයි ප්‍රදේශවාසීහු අදහස් දක්වති.
මේ අයුරින් අලංකාර දිය ඇල්ලක් ලෙස පමණක් නොව ඓතිහාසික වටිනාකමක් සහිත ස්ථානයක් ලෙසද සැලකෙන මෙම මානා ඇල්ල දිය ඇල්ල ඌව පරණගම ප්‍රදේශයට මෙන්ම ඌව පළාතටම විශාල සම්පතකි.
නමුදු ඌව පළාත් සංචාරක අමාත්‍යාංශය, ඌව පරණගම ප්‍රාදේශීය සභාව හෝ වෙනත් වගකිවයුතු අංශයක් මෙම දිය ඇල්ල නැරඹීමට එන සංචාරකයන්ගේ පහසුව පිණිස අවම තරමින් මෙහි එන මාර්ගය දැක්වෙන දැන්වීම් පුවරුවක් හෝ ඉදිකර නොමැති වීම විශාල අඩුවක් බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
වැලිමඩ උඩුපුස්සැල්ලෑව ප්‍රධාන මාර්ගයේ ලූනුවත්ත නගරයේ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන මංසන්ධියෙන් හැරී කිරවනාගම මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගමන් කිරීමෙන් මෙම සුන්දර මානා ඇල්ලට ළඟාවිය හැකිය.
මෙම සුන්දර දිය ඇල්ල විනාශ වීමට හෝ විනාශ කිරීමට ඉඩ නොදී එය අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීමට අදාළ බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුව ඇතැයිද මානා ඇල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයෝ පවසති.
හාලිඇල - විජේරත්න රත්නායක