මහවැලි ව්‍යාපාරයේ අවසන් ව්‍යාපෘතිය ලෙස සැලකෙන මොරගහකන්ද ජලාශය මේ වනවිට සාදා අවසන් කර ඇත. මේ දිනවල සිදුවනුයේ ජලාශයට ජලය පිරවීමය. චීන ණය ආධාර මත ඉදිකෙරුණු මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් ආරම්භ කරන ලද්දේ 2012 වර්ෂයේදීය.
මොරගහකන්ද ජලාශයට ජලය පිරවීමෙන් පසුව ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 25ක විදුලිබල ධාරිතාවක් එක්කරන මොරගහකන්ද ජලවිදුලි බලාගාරයේ පරීක්ෂණ කටයුතු මේ දිනවල සාර්ථකව සිදු කෙරෙමින් පවතී. ඉදිරියේදී එහි නිපදවන විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට නියමිතය.
මෙරට කෙටිම කාලයකින් ඉදිකෙරුණු විදුලි බලාගාරය වන මොරගහකන්ද ජලවිදුලි බලාගාරය තුළ අධිපීඩනය මත ක්‍රියාත්මක වන ටර්බයින් හතරකින් විදුලි බලය නිෂ්පාදන කෙරේ.
මොරගහකන්ද ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි 450,000කි. එම ජල ධාරිතාවෙන් සියයට 99ක් මේ වන විට සම්පූර්ණ වී තිබෙන අතර, මෙම සතිඅන්තය වනවිට සම්පූර්ණ ජල ධාරිතාවට ළඟාවිය හැකි බව මොරගහකන්ද නේවාසික ඉංජිනේරු සුසන්ත බණ්ඩාර මහතා අප සමග පැවසීය. මොරගහකන්ද ජලාශය සම්පූර්ණයෙන් ජලයෙන් පිරවීමෙන් පසුව එය මුහුදු මට්ටමේ සිට උස අඩි 185ක් පමණ වේ. විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ජල ධාරිතාව සම්පූර්ණ වීමත් සමග එහි විදුලි උත්පාදන කටයුතු ආරම්භ කෙරෙනු ඇත.
මොරගහකන්ද ව්‍යාපෘතියේ පරීක්ෂණ අදියරේ කටයුතු මේ දිනවල සිදුවන අතර, ඉදිරි සතියේදී එහි වාන් දොරටු විවෘත කිරීමට නියමිතය.
එහි බලාගාර පරීක්ෂාව අද (29දා) සිට තවදුරටත් සිදුකිරීමට සැලසුම් කර තිබේ. එමෙන්ම හෙට (30දා) දිනයෙන් පසුව මොරගහකන්දේ රැස්කර තිබෙන ජලය වාරිමාර්ග කටයුතු සඳහා මුදා හැරීමට සැලසුම් කර ඇත. ඉන් පසුව පහළට ජලය බෙදාදීමද සිදුකිරීමට නියමිතය.
මොරගහකන්ද ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදුකරන චීන සමාගම එය එළැඹෙන ජනවාරි මස 08 වැනිදා ශ්‍රී ලංකාවට නිල වශයෙන් බාරදීමට නියමිතය. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. එලෙස බාරදීමෙන් අනතුරුව මොරගහකන්ද ජලාශයේ වසර දෙකක නඩත්තු කාලසීමාව ආරම්භ වේ.
මෙම කාලසීමාව අතර යම්කිසි බිඳවැටීමක් සිදුවුවහොත් කොන්ත්‍රාත්කරුවා එහි වගකීම බාරගත යුතුය. මොරගහකන්ද ජලාශය ඉදිකර ඇත්තේ ඇළහැර අමුණට කිලෝමීටර් 02ක් ඉහළින්ය. ඇළහැර අමුණ මගින් යෝධ ඇළටත්, එයින් ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල වැව්වලටත් ජලය සපයනු ලැබේ. මොරගහකන්ද ජලාශය ඉදිකිරීම හේතුවෙන් යල-මහ කන්න දෙක තුළදීම මෙම වැව්වලින් ජලය නිදහස් කිරීමට දැන් හැකිව තිබේ.
මොරගහකන්ද ජලාශය මගින් උතුරුමැද පළාත් ඇළක් නිර්මාණය කර එමගින් ඉරණමඩු දක්වා ජලය ලබාදීමට සැලසුම් කර තිබේ. මේ වනවිට එම ඇළ මාර්ගයේ කැණීම් කටයුතු ආරම්භ කර ඇත. දශක හතරකට ආසන්න කාලයක් පුරා සැලසුම්වලට හා දේශපාලන නොසලකා හැරීම්වලට ලක්වෙමින් පැවැති මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු වත්මන් රජයේ ප්රමුඛ කාර්යයක් ලෙස සලකා ක්‍රියාත්මක කෙරිණි.
කළුගඟ ව්‍යාපෘතිය
මොරගහකන්ද ජලාශයේ ජල අවශ්‍යතාව සම්පූර්ණ කිරීමේ අරමුණෙන් කළුගඟ ව්‍යාපෘතිය ඉදිකෙරේ. මෙහි ඉදිකිරීම් ආරම්භ කරන ලද්දේ 2014 වර්ෂයේදීය. එය 2018 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී අවසන් කිරීමට සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතියද ඉදිකෙරෙනුයේ චීන ණය ආධාර මතය.
මෙම ජලාශයේ ජල ධාරිතාව කියුබික් මීටර් මිලියන 248කි. ජලාශයේ ප්‍රධාන නළ මාර්ගයේ දිග මීටර් 384කි. එමෙන්ම මොරගහකන්ද ජලාශයට ජලය සැපයීමට ඉදිකරන උමඟේ දිග මීටර් 284කි. එමෙන්ම මෙම ජලාශය මගින් වාරිමාර්ග කටයුතු සඳහා ජලය සපයන නළ මාර්ගයේ දිග මීටර් 228 කි.
කළුගඟ ජලාශයේ ඉදිකිරීම් මේ වනවිට 65%ක් පමණ අවසන් වී ඇත. කළුගඟ සහ මොරගහකන්ද ව්‍යාපෘති සඳහා ලබාගත් ප්‍රදේශවල ජීවත් වූ ජනතාව සඳහා මේ වනවිටත් ඉඩම් ලබාදී අවසන් කර තිබේ. එමෙන්ම ඇතැම් ප්‍රදේශවල අලුතින්ම ගම්මාන ඉදිකර තිබේ. මහවැලි අධිකාරිය මේ සියලුම කටයුතු පිළිබඳ සොයා බලන අතර, ඔවුන්ගේ මූලිකත්වයෙන් ඉඩම් ලබාදීම සිදුකර ඇත.
මේ වනවිට මෙම ව්‍යාපෘතියට තුළ 1000ක පමණ ශ්‍රී ලාංකිකයෝ සහ චීන ජාතිකයෝ සම්බන්ධව සිටිති. ඩොලර් මිලියන 1.11ක චීන ණය ආධාර මත ඉදිවන මෙම කළුගඟ ව්‍යාපෘතිය 2018 වසර අග භාගයේදී නිම කිරීමට නියමිතය. එය අවසන් වීමත් සමග මොරගහකන්ද ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවසන් වන අතර, එමගින් ප්‍රදේශ රැසක ජල අවශ්‍යතාවද සම්පූර්ණ කිරීමට හැකියාව පවතී.