මෙරට මත්පැන් භාවිතය (සෞඛ්‍යමය හේතූන් මත) අඩු කිරීමේ වුවමනාව අනුව මත්පැන්වල මිල වැඩි කිරීම ආණ්ඩුව සිදු කළද, ඉන් සත්‍ය ලෙසම බලාපොරොත්තු වූයේ වැඩි බදු ප්‍රමාණයක් එකතු කර ගැනීමය.
මන්ද මත්පැන්වල මිල වැඩි වූ පමණින් මත්පැන් ලෝලයන් ඒ අත්හැරීම හෝ සීමා කිරීම සිදු නොකරන බව ඒ සම්බන්ධයෙන් වන පැරණි දත්ත පරීක්ෂා කිරීමෙන් ඔප්පු වේ. එමෙන්ම පසුගිය වසර දෙක තුළදී මෙරට මත්පැන් පානය වැඩි වී ඇති බවක් පෙන්නුම් කරයි.
කෙසේ වෙතත් මේ අතරම මෙම ආණ්ඩුව පෝය දිනයේද තැබෑරුම් විවෘත කරන පුවතක් පසුගිය දිනවල දේශපාලන වේදිකාවේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන්නේය. එබැවින් එකී කාරණා ද්විත්වයම පිළිබඳ සටහනක් තැබීම කාලෝචිතය.
සුපුරුදු පරිදි පෝය දිනයට තැබෑරුම් වසා තැබීම තුළින් අත්වන වාසි කිහිපයකි. එහි පළමු වාසිය තැබෑරුම් හිමියාටය. ඒ මත්ද්‍රව්‍ය අත්‍යවශ්‍යම පුද්ගලයා තැබෑරුම් හිමියාගේ නිවස වටලා හෝ හොර පාරෙන් හෝ පිටුපස දොරෙන් හෝ අධික මිලට තම බෝතලය ලබාගැනීමයි. එබැවින් එදින තැබෑරුම් හිමියාගේ ලාභය වෙනදාටත් වඩා වැඩිවනු නිසැකය.
එසේම තැබෑරුම වසා ඇති බැවින් මතුපිටින් බෞද්ධකම නිරීක්ෂණය කරන පිටස්තරයෙකුට හෝ විදේශිකයෙකුට හෝ වුව රට කොතරම් බෞද්ධදැයි මතුපිටින් පෙනෙනු ඇත. එබැවින් එවැනි සංචාරකමය වාසියක්ද නැතුවා නොවේ.
කෙසේ නමුත් ධනපති පන්තිය සුපුරුදු ලෙසම සුපිරි වෙළෙඳ සැල්වලින් ඉහළ මිලට තමන්ට අවශ්‍ය කරන ඉහළ ප්‍රමිතියෙන් යුතු මත්පැන් වෙනදාටත් වඩා වැඩියෙන් රැගෙන ආඩම්බරයෙන් පිටව යන්නේ එදින නිවාඩු දිනයක් බැවිනි.
මත්වතුර යනු නරක දෙයක් වුවද එය ඉහළ පැලැන්තියේදී වත්මන් සමාජ ක්‍රමයට එය අදාළම නැත. එනම් ක්‍රියාව නරක වුවද එය සිදුකරන ආකාරය සහ සිදුකරන පන්තිය ඉහළ නම් එය නරක ක්‍රියාවක් ලෙස වත්මන් සමාජය නොදකී. වත්මන් ශ්‍රී ලංකාව නම් බෞද්ධ රටේ ස්වභාවය එයයි.
එහෙත් පෝය දිනයේදී තැබෑරුම් විවෘත කිරීමට යෝජනාවක් ආවා යැයි සිතමු. එවිට සිදුවන්නේ කුමක්ද? සැබෑවටම බෞද්ධ රටක පවතින දිගු පෝලිම දුටු විට සැබෑ බෞද්ධකම කුමක්දැයි එයින් පෙනෙනු ඇත. රට නමට බෞද්ධ රටක් වී හමාර බව වැටහෙනු ඇත. එය අසත්‍යයක් නම් තැබෑරුම්කරුවාට එදින පාඩු විය යුතුය.
අනෙක් අතට බෝතල් මිලදී ගන්නන් අතර බෞද්ධයන් සිටී නම් පෝය දිනයේදීද විවෘතව ඇති තැබෑරුමෙන් තමාට අවශ්‍ය දේ මිලදී ගනිද්දී සහ මිලදීගෙන පිටව යද්දී අඩුම තරමේ ලැජ්ජාවක් හෝ ඔවුන්ට ඇතිවනු ඇත. එසේම පෝය දවසේදී පවා මත්ද්‍රව්‍ය පානය කරන ඉහළ පාන්තිකයන්ගේ ඉහළත්වය සහ ලැජ්ජාවේ ප්‍රමාණය කෙතරම්දැයි අපට පෝය දවසේදී මනාව නැරඹිය හැකි වනු ඇත.
එබැවින් බෞද්ධ දර්ශනය යනු ප්‍රායෝගික දහමක් නම්, එය ඇත්තේ පිළිපැදීමට නම්, රටත් බෞද්ධ නම් පෝය දිනයේදී හෝ තැබෑරුම විවෘත කර තැබූ විට බෞද්ධයන් එය වාරණය කළ යුතුව ඇත.
එහෙත් සිදුව ඇත්තේ අනෙකකි. පසුගිය කාලයේ මත්පැන්වල මිල වැඩි කිරීම නිසා සුරා බදු ලෙස ලැබුණු රාජ්‍ය ආදායම 10%කින් පමණ බිඳ වැටී ඇති අතර, නීත්‍යනුකූලව මෙරට වෙළෙඳ පොළට නිකුත් කළ මත්පැන්වල මිල වැඩි කිරීම මත අලෙවිය ශීඝ්‍ර වශයෙන් පහත වැටී ඇති නමුත්, අවිධිමත් ලෙස මත්පැන් මිල වැඩි කිරීම නිසා නීත්‍යනුකූල මත්පැන් වෙනුවට නීතිවිරෝධී මත්පැන් සඳහා යොමු වී තිබෙන බව රජය සිදු කළ සමීක්ෂණයකදී පැහැදිලිව ඇත.
එසේම මත්වතුර පාවිච්චි කරන්නන්ගෙන් 61%ක් පානය කරන්නේ නීති විරෝධී මත්පැන් බවද දැන් හෙළිවෙමින් පවතී. ඒ අනුව දැන් පැහැදිලි වෙමින් පවතින්නේ මෙම මිල වැඩි කිරීමෙන් මෙය නවතාලිය නොහැකි බවකි.
අනෙක් අතට රජයේ සංඛ්‍යා ලේඛන අනුව මත්පැන්වල මිල පසුගිය වසර දෙකක කාලය ඇතුළත 75%ක අගයකින් ඉහළ ගොස් ඇති අතර, ඊට සාපේක්ෂව නීත්‍යනුකූල මත්පැන් අලෙවිය 45%කින් අඩු වී ඇති බවද තහවුරු වී හමාරය.
එනම් 2015 වසරේදී 'සුරාබදු' ආශ්රිත වර්ධනය 14%ක් වූ අතර, එය 2016 වසරේදී 8.0%ක් ලෙස පහත වැටී ඇත. මෙම තත්ත්වය මත 2017 වසරේදී 10%ක් දක්වා මෙය පහත වැටෙන තත්ත්වයක් අපේක්ෂා කරන අතර, සුරාබදු දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා උපුටා දක්වමින් වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසන්නේ 2016 වසරේ ජනවාරි මාසයේ රුපියල් මිලියන 9,175 ක්, පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 9,370 ක්, මාර්තු මාසයේ රුපියල් මිලියන 13,457 ක්, අප්‍රේල් මාසයේ රුපියල් මිලියන 10,515 ක් ලෙස වාර්තා වී ඇති බවයි.
එහෙත් මිල වැඩි කළද සුරාබදු ආදායම 2017 වසර වනවිට වසරේ ජනවාරි මාසයේ රුපියල් මිලියන 9,144ක්ද, පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 7,692ක්ද, මාර්තු මාසයේ රුපියල් මිලියන 11,158 ක්, අප්‍රේල් මාසයේ රුපියල් මිලියන 9038 ක් ලෙස බරපතළ පහත වැටීමක් පෙන්නුම් කර ඇති අතර, නීත්‍යනුකුල මත්පැන් අලෙවිය සහ ආදායම් එසේ පහත වැටෙන විට නීති විරෝධී මත්පැන් වෙළෙඳ පොළ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කිරීම ඛේදවාචකයකි. ඒ අනුව එය මේ වනවිට සෞඛ්‍ය මෙන්ම සාමාජීය ප්‍රශ්න රාශියක් නිර්මාණය කරමින් පවතියි.
එබැවින් මෙම රජය ඉදිරියේදී මෙම ගැටලුව විසඳීම සඳහා වෙනත් විකල්පයක් අනුගමනය කළ යුතු වන අතර, මතින් තොර රටක් තනාගත හැක්කේ එයිනි. නොඑසේ නම් එය බෞද්ධ රටක් ලෙස ශ්‍රී ලංකාවට එල්ල වන බරපතළ කැළලක් වනු නිසැකය.