Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 20 වන සඳුදා
2025 ජනවාරි මස 20 වන සඳුදා
පසුගිය වර්ෂයේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය පිළිබඳ නොයෙක් කතාබහ සමාජයෙන් අසන්නට ලැබුණේ බියර් සම්බන්ධ අයවැය යෝජනා කිහිපයක් කරළියට පැමිණීම නිසාවෙනි. එමෙන්ම තහනම් මත්ද්‍රව්‍ය භාවිත කරනන්නන් නිසා සිදු වූ ගැටලුකාරී තත්ත්වයන්ද සමාජ, දේශපාලනික හා සංස්කෘතික වශයෙන් විශාල බලපෑමක් එල්ල කරන්නට විය. පුද්ගලයාගේ සෞඛ්‍යයටද එය නිරන්තරයෙන් පීඩා ගෙන දෙන්නක් විය. එවැනි භාවිතයන් මගින් අත්අඩංගුවට ගැනීම් සහ පුනරුත්ථාපනය කිරීම්ද විශාල වශයෙන් වාර්තා විය. ඒ නිසා මේවා භාවිතයට යොමුවීමට ප්‍රථම ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදීමට හැකිනම් එය ඉතා වැදගත්ය. මේවාට යොමු වී තරුණ ජීවිත විනාශ කරගන්නවාට වඩා රටට වැඩදායී පුද්ගලයෙකු ඔහු හෝ ඇය තුළින් බිහිකළ හැකිනම් එය සැබෑ සාර්ථකත්වයයි. එබැවින් මෙවැනි තහනම් මත්ද්‍රව්‍ය පිළිබඳ නිවැරදි අවබෝධය රටට දිය යුතුය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මේ සඳහා මිනිසුන් ගොදුරු කරගැනීමට කුමන ආකාරයේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කළද එයට හසුනොවීමට අප සබුද්ධික විය යුතුය. ඒ සඳහා සෑමදෙනාම රටක් වශයෙන් පෙළගැසිය යුතුය.
මේ පිළිබඳ රාජ්‍ය නොවන සංවිධාන දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පැවැති අතර, එකී සංවිධානයන්ගේ කාර්යභාරය මේ වර්ෂයේ කිනම් අයුරින් ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳ එහිදී සාකච්ඡා කෙරිණි. එම අවස්ථාවට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු, මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහි රාජ්‍ය නොවන සංවිධානවල ඒකාබද්ධ සම්මේලනයේ සභාපති වෛද්‍ය සරත් එම්. සමරගේ මහතා ඇතුළු විශේෂ ආරාධිත අමුත්තෝ රැසක් සහභාගි වූහ.
පුද්ගලයාගේ කායික සහ මානසික ස්වභාවයට බලපෑම් කරන්නා වූත්, සමාජ සදාචාරමය වශයෙන් බලපෑමක් කරන්නා වූත් මත්ද්‍රව්‍ය දුර්භාවිතය සමාජ ප්‍රශ්නයක් ලෙස ලොව බහුල ලෙස හඳුනාගත හැකි දෙයකි.
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ ඉතිහාසය රාජාණ්ඩු සමය දක්වා දිවයන්නකි. ඉතිහාසයට අනුව අබිං කෑම ලාංකික සමාජයට හඳුන්වා දී ඇත්තේ පෘතුගීසි ජාතිකයන් විසිනි. මේ ආකාරයට ඉතා සුළු වශයෙන් පැමිණි අබිං, ගංජා පිළිබඳ ඉතිහාසය 70 දශකය දක්වා අතීතයකට දිව යයි.
නමුත් 1977 වර්ෂයේදී හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්රතිපත්තියත් සමග මෙරට මත්ද්‍රව්‍ය භාවිතයද නවමු මුහුණුවරකින් ආරම්භ වන්නට විය. අද වනවිට ලංකාව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති එය, මේ වනවිට පුළුල් පරාසයක් පුරා ප්‍රසාරණය වෙමින්ද පවතියි.
ඒ අනුව ඊට සාපේක්ෂව මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීම, මත්ද්‍රව්‍ය නිවාරණය, ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතුද ක්‍රියාත්මක වේ. මෙය සිදුකරන ජාතික ආයතනය වශයෙන් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය හඳුනාගත හැකිය.
ඔවුන්ගේ දත්ත මූලාශ්රයන්ට අනුව 2016 වර්ෂයේදී ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය වැරදි සඳහා අත්අඩංගුවට ගනු ලැබු මුළු පුද්ගල සංඛ්‍යාව 79,378ක් වේ. නමුත් පසුගිය වර්ෂවල විශේෂයෙන් 2015 වර්ෂයට වඩා 4%ක පහළ යෑමක් ලෙස එය 2016 වර්ෂයේ හඳුනාගත හැකිය. එයින්ද හෙරොයින්, ගංජා ආශ්රිත වැරදි අනෙක් මත්ද්‍රව්‍යවලට වඩා ඉහළ අගයක් ගත් අතර, මෙකී මත්ද්‍රව්‍ය වැරදි බහුලව සිදුවන්නේ බස්නාහිර පළාතේ වීමද කැපී පෙනේ. එය සමස්ත ලංකාවෙන්ම 60%ක ප්රතිශතයකි.
මේ අනුව ගංජා, හෙරොයින්, අබිං, හෂීස්, කොකේන් සහ අනෙකුත් මත්ද්‍රව්‍ය වන දුම්කුඩු, බාබුල්, මදන මෝදක, හාන්ස්, මාවා සහ පාම්පරා සම්බන්ධ වැරදි සඳහා අත්අඩංගුවට ගත් පිරිස 2015 වර්ෂයට සාපේක්ෂව 2016 වර්ෂයේ සංඛ්‍යාත්මකව අඩු අගයක් ගනියි.
ශ්‍රී ලංකා සමාජයේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පිළිබඳ විශ්ලේෂණය කිරීමේදී අපට පැහැදිලි වන්නේ ග්‍රාමීය නාගරික භේදයකින් තොරව සෑම පළාතකම මත්ද්‍රව්‍ය දුර්භාවිතය ව්‍යාප්ත වී ඇති බවයි. ලංකාවේ 2012 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා ගංජා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පුද්ගල සංඛ්‍යාවේ යම් අඩුවීමක්ද පෙන්නුම් කෙරේ.
මිනිසා සමාජීය සත්ත්වයෙකු වශයෙන් සෑම විටම අනෙකුත් පුද්ගලයන් හා අන්තර් සම්බන්ධතාවක් දක්වයි. මේ නිසා මෙවැනි දුර්භාවිතයන් පුද්ගලයෙකු වශයෙන් පමණක් මුහුණදෙන දරුණු ව්‍යසනකාරී ප්‍රශ්නයක් සේ අපට සිතිය නොහැකිය. එය ඇත්තෙන්ම සමාජ ප්රශ්නයකි. සමාජ වීරෝධී සහ නීතිවිරෝධී චර්යාවක් ලෙස හඳුනාගත හැකි මෙය වටා මේ වනවිට සමාජ, ආර්ථික, සංස්කෘතික ආදී වශයෙන් ගැටලු රැසක්ද මතු වී තිබේ.
ඇතැම් විට මෙකී තත්ත්වය නිසා කායික මෙන්ම මානසික රෝග වැලඳීමේ වැඩි අවදානමක් පෙන්නුම් කෙරේ. විශේෂයෙන් ක්ෂය රෝගය, පිළිකා, කහ උණ, හතිය වැනි කායික රෝග පහසුවෙන්ම වැලඳීමේ හැකියාව තිබේ. එවැනි දුර්වල සෞඛ්‍ය තත්ත්වයක් තිබීම අනිවාර්යයෙන්ම රටක ආර්ථිකයට සෘණාත්මක බලපෑමක් සිදු කරයි.
මෙවැනි දුර්භාවිතයන් නිසා එච්.අයි.වී. සහ වෙනත් සමාජ රෝග ඇතිවීමේ අවදානමක්ද ඇති බව ඔබ දන්නවාද? මත්ද්‍රව්‍ය එන්නත් කරගැනීම තුළින් එච්.අයි.වී. වෛරසය ඇතුළු වීමේ අවදානමක් පවතියි. එන්නත් කරගන්නා උපකරණ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් අතර හුවමාරු කරගැනීම තුළින් ඔවුන්ගේ ලේ හුවමාරු වීමෙන් යම් පුද්ගලයෙකුට ඒඩ්ස් වැලඳිය හැකිය. ලංකාවේ පළමු වරට එච්.අයි.වී. ආසාදිත පුද්ගලයෙකු වාර්තා වූයේ 1987දීය. 2016 වර්ෂය වනවිට එච්.අයි.වී. ආසාදිත පුද්ගලයන් 2557ක් වාර්තා වී ඇති අතර, ගැහැනු ළමයින් 917ක්ද ඒ අතරින් වාර්තා වී තිබේ. එමෙන්ම 2016 වර්ෂය වනවිට එඩ්ස් රෝගය වැලඳී මියගිය සංඛ්‍යාව 414ක් වන අතර, 2016 වර්ෂයේදී පමණක් 47 දෙනෙකු මියගොස් ඇත.
අනෙක් රටවල්වලට සාපේක්ෂව ලාංකේය කාන්තාවන් මත්ද්‍රව්‍ය දුර්භාවිතයේ යම් අඩුවක් පෙන්නුම් කරයි. නමුත් ඔවුන් මේ සඳහා ඇබ්බැහි වීම් නැත්තේම නොවේ. ලංකාවේ කාන්තාවන් පවා ගංජා, හෙරොයින් භාවිත කිරීමට යොමු වී ඇති බවට සංඛ්‍යා ලේඛනවලින් පැහැදිලිය. මේ නිසා නිරන්තරයෙන් හටගන්නා ගැටුම් මගින් පවුල් සංස්ථාව තුළ ගැටලුකාරී තත්ත්වයන් ඇති වන අතර, විශේෂයෙන් මෙයින් පීඩා විඳීමට සිදුවන්නේ අසරණ දරුවන්ටයි. දියණියක, මවක සහ බිරියක යන සමාජ වගකීම් මෙකී දුර්භාවිත තත්ත්වයන් නිසා ඔවුන්ගෙන් බොහෝ අවස්ථාවල ගිලිහී යාමක් සිදු වේ. මේ නිසා බිඳුණු පවුල් නිර්මාණය වීම එක් ප්‍රතිඵලයක්.
විශේෂයෙන් පැල්පත් ආශ්රිත ප්‍රදේශවල මෙවැනි මත්ද්‍රව්‍ය දුර්භාවිතය ඉහළ ප්‍රතිශතයක් ගනියි.
වෛද්‍ය නිර්දේශ මත ලබාදෙන ඖෂධ අවභාවිතයද මෙහි විශේෂයෙන්ම දක්නට ලැබෙන්නකි. මෙවැනි ඖෂධ වෛද්‍ය නිර්දේශයක් නොමැතිව වෙළෙඳ සැල්වලින් ලබාගැනීම අපහසු වුවත් මෙය ජාවාරමක් ලෙසින් රට තුළ ක්‍රියාත්මක වේ. නීතිවිරෝධී ලෙසින් මෙරටට ගෙන්වන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සිද්ධි බහුතරයක් කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වේ. මේ අනුව 2016 වර්ෂයේදී මනෝවර්ථක ද්‍රව්‍ය හා වෛද්‍යමය අරමුණු සඳහා භාවිත කරන ඇතැම් ඹෟෂධ මෙසේ තරුණයන් දුර්භාවිත කරන අතර, ඒ අතර ට්‍රැමඩෝල් පෙති බහුල වශයෙන් නීතියේ රැහැනට හසු විය.
2016 වර්ෂයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගෙන් 2355 දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සේවය ලබාගෙන තිබේ. එය 2015 වර්ෂය හා සාපේක්ෂව බැලීමේදී 59%ක ප්රමාණයකි. එමෙන්ම මත්ද්‍රව්‍ය දුර්භාවිත කරමින් මෙකී නීති උල්ලංඝනය කර බන්ධනාගාරගත වූ සංඛ්‍යාව 2016 වර්ෂයේ වාර්තා වන්නේ 24,060කි. එයිනුත් විෂ මත්ද්‍රව්‍ය ආශ්රිත වැරදි සඳහා පුද්ගලයන් 10535 දෙනෙකු බන්ධනාගාරගතව තිබේ.
ලාංකේය ජනයා 2016 වර්ෂයේ අරක්කු මිලදී ගන්නා ප්‍රමාණය පසුගිය වර්ෂවලට සාපේක්ෂව වැඩි අගයක් ගත් අතර, එය 87,789,268කි. මෙය 2015 වර්ෂයේ වාර්තා වූයේ 83,872,311ක් ලෙසිනි.
මේ අයුරින් තහනම් මත්ද්‍රව්‍ය භාවිතය නිසා සෞඛ්‍ය දුර්වලතා මෙන්ම දඬුවම්වලට ලක්වූ පිරිසද එමටය. එනිසා මෙවැනි තත්ත්වයන් අවම කිරීමට සමාජීය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු වේ.
2017 වර්ෂය තුළද මත්පැන් හා මත්ද්‍රව්‍ය පිළිබඳ තීරණාත්මක කරුණු කාරණා රැසක් ගනු ලැබූ වර්ෂයක් විය. බියර් බදු අඩු කිරීම ඉන් කැපී පෙනෙන්නකි. අරක්කු බොන ප්‍රතිශතය වැඩි නිසාවෙන් මෙවැනි තීරණයක් ගත් නමුත් එහි බියර් බීමේ ප්‍රමාණාත්මක වර්ධනයක් සිදුවේද, නැතිනම් අරක්කු බොන ප්‍රමාණයේ අඩුවක් සිදුවේද යන්න තවමත් ප්රහේලිකාවකි. කෙසේ නමුත් මෙවැනි යොමු වීම් මගින් දිර්ඝකාලීන ප්‍රතිඵලයක් ලෙස තහනම් වූ මත්ද්‍රව්‍ය කෙරේ තරුණ ප්‍රජාව යොමු වීමේ අවදානමක් පවතියි. එනිසා ඔවුන්ට මේ පිළිබඳ නිසි මාර්ගෝපදේශනයක් ලබාදිය යුතුය.
කෙසේ නමුත් මෙරට ගංජා, හෙරොයින් ආදී මත්ද්‍රව්‍ය තහනම් කර තිබුණත් ඒවා ගෙන්වීම සහ සමාජයේ මිනිසුන් අතර ඒවා ව්‍යාප්තියේ අඩුවක් සිදුවන්නේ ඉතාම අල්ප වශයෙනි. එනිසා ප්‍රතිපත්ති සෑදූ පමණින් ඒවා රටින් තුරන් කිරීම පහසු ක්‍රියාවක් නම් නොවේ. රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ආයතනයන්ගේ සහාය සහ ක්‍රියාකාරීත්වය සක්‍රීයව සිදුවිය යුතුය. එමෙන්ම ඒ සඳහා මහජනතාවද සහාය ලබාදිය යුතු අතර, එමගින් මෙවැනි මත්ද්‍රව්‍ය දුර්භාවිතයේ අවම මට්ටමකට ලංකාව ගෙන ඒමට අපට හැකියාව ලැබේ.
මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු
සභාපති - අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය
'මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධානයන්ට අප සංවිධානයට කළ නොහැකි විශේෂ සේවාවක් කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් පසුගිය වර්ෂවලදී ඇතැම් රාජ්‍ය නොවන සංවිධානයන්ගේ ක්‍රියාකාරීත්වය තරමක් අඩු වී තිබෙනවා. අනාදිමත් කාලයක පටන් පැවත එන මේ මත් උවදුර 1964 හෙරොයින් මෙරටට පැමිණිමත් සමග උග්‍ර තත්ත්වයකට පත් වුණා. ඒ වගේම මේ උවදුර දැන් වෙනත් අයුරකින් ව්‍යාප්ත වීම ආරම්භ වී තිබෙනවා. හෙරොයින්වලට ඇබ්බැහිවූවන් ලංකාවේ 50,000කට ආසන්න ප්‍රමාණයක් සහ ගංජාවලට ඇබ්බැහිවූවන් ලංකාවේ ලක්ෂ 02කට ආසන්න ප්‍රමාණයක් සිටින බව වාර්තාගත දත්තවලින් පෙනී යනවා. 2016 වර්ෂයේ පොලීසිය, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඇතුළු රාජ්‍ය සංවිධාන හෙරොයින් වෙළෙඳාමේ යෙදෙන 27,000ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගංජා වෙළෙඳාමේ යෙදෙන 47,000ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නමුත් මේ සංඛ්‍යාලේඛනවලින් පෙනී යනවාට වඩා බරපතළ තත්ත්වයක් ලංකාවේ තිබෙන්නට පුළුවනි.
ලංකාවේ ඇති වී තිබෙන නවතම තත්ත්වය තමයි ඖෂධ වර්ග අවභාවිත කිරීම. වෛද්‍ය ක්ෂේත්රයේ භාවිත වන වේදනානාශක මත්ද්‍රව්‍යයක් ලෙස සැලකෙන ට්‍රැමඩෝල් දැන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. වාරියපොළ පොලීසිය මගින් සිදුකළ වැටලීමකදී එවැනි වේදනානාශක පෙති 8000ක් අත්අඩංගුවට ගනු ලැබුවා. වෛද්‍යවරුන් නිර්දේශ කරන ට්‍රැමඩෝල් පෙත්තක තිබෙන සාමාන්‍ය බර මිලිග්‍රෑම් 50ක් වන නමුත් මෙලෙස අත්අඩංගුවට ගත් ඉන්දියාවෙන් ගෙන්වන ලද ට්‍රැමඩෝල් පෙත්තක බර මිලිග්‍රෑම් 225ක් වෙනවා. නමුත් මෙලෙස පොලීසිය විසින් එවැනි ඖෂධ අත්අඩංගුවට ගත්තද උසාවියට ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් විසින්.'
නලීන් අමරසිංහ
සම්බන්ධීකාරක - මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකාය
'මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ මේ වනවිට ශ්‍රී ලංකාව පුරාවට රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන ඒකරාශී කර ගනිමින් ජනාධිපති කාර්යසාධක බළකාය දීප ව්‍යාප්තව කටයුතු කරගෙන යනවා. අප විසින් ලංකාවේ සෑම ගමකම මේ වනවිටත් ක්‍රියාත්මක වන ප්‍රජා පොලිස් කමිටුව මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව ලෙස ක්‍රියාත්මක කිරීමටත් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. එසේම ගම තුළ තිබෙන සියලුම ස්වේච්ඡා සමිතිද මේ හරහා එකතු කර ගැනීමට අපි අපේක්ෂා කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශය හා ඒකරාශී වෙමින් තිරසර පාසල් වැඩසටහන යටතේ පාසල නියෝජනය කරමින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් සිදු කිරීමටද කටයුතු කරනවා. මේ සඳහා පාසලේ සියලු පාර්ශ්වයන් ආවරණය වන පරිදි එය දියත් කිරීමට කටයුතු කරන අතර, දහම් පාසල් මගින්ද මේ පිළිබඳ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මේ වනවිටත් කටයුතු කෙරෙමින් පවතිනවා.'
වෛද්‍ය සරත් එම්. සමරගේ
සභාපති - මත්ද්‍රව්‍ය භාවිතයට එෙරහි රාජ්‍ය නොවන සංවිධානයන්හි ඒකාබද්ධ සම්මේලනය
'මත්ද්‍රව්‍ය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියක් තිබූ පමණින් එය ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒවා ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙළක් සකස් වී තිබෙන්න ඕන. මීළඟට එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සේවා තිබෙන්නට අවශ්‍යයි. මාධ්‍ය සන්නිවේදනයද එහිදී ඉතාම වැදගත් වෙනවා.
මහජන සෞඛ්‍ය අංශයෙන් මත්ද්‍රව්‍ය භාවිතය අපි හඳුනාගැනෙන්නේ රෝගයක් ලෙසින්. ඒ නිසා රෝගයක් ඇති වීම වැළැක්වීමට ගැනෙන්නා සේ එය අවම කිරීමට, ප්‍රථමයෙන් රෝගකාරකය නැති කිරීමට අවශ්‍යයි. ලංකාවට එන මත් ඖෂධ සීමා කරන්න, අඩු කරන්න, නැති කරන්න අවශ්‍යයි. අනෙක් කාරණය නම් මෙයට ගොදුරු වන පිරිස ශක්තිමත් කළ යුතුයි. ඒ වගේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමට හුරු නොකරන පරිසරයක් ගොඩනගන්න අවශ්‍යයි. මේ ත්‍රිත්වයේ ඇති අන්තර් සම්බන්ධතාව ඇති කිරීමට හැකි නම් මේ මත්ද්‍රව්‍ය පිළිබඳ ඇති ගැටලුව ඉවත් කිරීමට අපට පුළුවන්. මත්ද්‍රව්‍ය නිවාරණය යන්න සන්තතියක්. ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික වශයෙන් එය සිදුකළ හැකියි.'
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd