Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 20 වන සඳුදා
2025 ජනවාරි මස 20 වන සඳුදා
බෞද්ධ කටයුතු කොමසාරිස් විසින් විහාරස්ථානවල පඬුරු පෙට්ටිවලට සීල් තැබීම සම්බන්ධව මේ දිනවල සමාජයේ විශාල කතාබහක් ඇතිව තිබේ. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් දඹුල්ල විහාරස්ථානය සම්බන්ධව පළ කළ අදහසත් මේ සඳහා හේතු වී ඇත.
මේ සම්බන්ධයෙන් විවිධ අංශ ඔස්සේ සමාජයේ ක්‍රියාශීලීව කටයුතු කරන ස්වාමීන් වහන්සේලා කිහිප නමකගේ අදහස් විමසීමට අප අදහස් කළේ මෙවන් පසුබිමක් තුළය. එහිදී උන්වහන්සේලා දැක්වූ අදහස් පහතින් දැක්වේ.
දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමියන්
- මේ ආණ්ඩුවම පෙරළලා දාන්න ඕන. එහෙම නැත්නම් මේ රටත් ඉවරයි, ශාසනයත් ඉවරයි
''පන්සල්වලින් ලැබෙන ආදායම මහා භාරකාරයට යොදන විහාර දේවාලගම් ආඥා පනතක් ඉංග්‍රීසි ජාතිකයන් විසින් හැදුවේ භික්ෂූන් වහන්සේලා පාලනය කිරීම සඳහායි. ඒ අනුව පන්සල්වලට ඇඟිලි ගහන්න බුද්ධශාසන අමාත්‍යාංශයට, බෞද්ධ කටයුතු කොමසාරිස්ට ඉඩකඩ තිබෙනවා.
ඒවා වෙනස් කරනවා මිසක එහෙම නීති තියෙනවා කියල පන්සල්වල පිංකැටයට අතගහන්න යන එක සම්පූර්ණයෙන් වැරදි වැඩක්. ඒක පව් සිද්ධවෙන අපාගත වෙන වැඩක්. අප්රසිද්ධියේ මහා භාරකාරවරයා පන්සල්වට ගිහින් සල්ලි අරන් බෞද්ධ කටයුතු කොමසාරිස්ගේ අවසරය ඇතිව මුදල් වියදම් කිරීමේ වැඩපිළිවෙළක් මෙතෙක් කල් කරගෙන ගියා.
අස්ගිරියේ හාමුදුරුවරුන්ගේ ප්‍රකාශයත් සමග තමයි අකිල විරාජ් මේකට අත ගැහුවේ. මෙම ක්‍රියාවලිය මෙච්චරකල් ජනතාව දැනගෙන හිටියෙ නැහැ. දඹුල්ල පන්සලට එක දවසකට ලක්ෂ අසූවක් වැටෙනවා කියල අකිල විරාජ් කියනවා. ඒක අමූලික බොරුවක්. මේ හදන්නේ මිනිස්සු පිංකැටවලට මුදල් දාන එක නවත්වන්න. මෙහෙම කිව්වාම පන්සල් ගැන කලකිරෙනවානේ. මේක බොහොම සූක්ෂම විදියට යන වැඩක්. මෙච්චර කලක් මහා භාරකාරවරයා පන්සල්වල ආදායම් වියදම් බලපු එක වැරදියි.
අපිට, පන්සල්වලට යහපතක් වෙන දෙයක් සුද්දො කරයි කියල හිතනවද? අනිවාර්යයෙන්ම විහාර දේවාලගම් පනත වෙනස් කරන්න ඕන. එක අවස්ථාවකදී භික්ෂූන් වහන්සේලා ප්‍රශ්නයක් ගැන කතා කරන්න ගියාම බෞද්ධ කටයුතු කොමසාරිස් කිව්වා මට ඕන නම් ඕන පන්සලක් කාටහරි බදු දෙන්න පුළුවන් කියලා. එහෙම කරන්නත් පනතින් බලතල තියෙනවා.
ඒ නිසා පනත වෙනස් කරන්න ඕන. මීට කලින් මහ නායක හාමුදුරුවරුන් ඉදිරිපත් වෙලා මේ පනත වෙනස් කරන්න හැදුවට බැරි වුණා. ඒ නිසා ඉදිරියේදී භික්ෂූන් වහන්සේලා එකතුවෙලා මේ පනත වෙනස් කිරීම සඳහා මැදිහත් වෙන්න සිදුවෙනවා. නැත්නම් ඔය නීති පාවිච්චි කරලා පන්සල් ටික සම්පූර්ණයෙන් විනාශ කරාවි.
ඔය නීති කෝවිල්වලටත් අදාළයි. ඒත් කෝවිල් ගැන සොයා බැලීමක් කරන්නෑ. ඇත්තම කතාව ගත්තොත් රනිල් කියන්නේ තනිකරම ක්‍රිස්තියානිකාරයෙක්. එයා බොරු බෞද්ධයෙක්. රනිල් පිටුපස්සේ ඉන්නේ මූලධර්මවාදී ක්රිස්තියානිකාරයෝ. රනිල් කතෝලික නෙමෙයි. ඇමරිකාවෙන් තමයි මේ ක්‍රිස්තියානි වැඩපිළිවෙළ මෙහෙයවන්නේ.
රනිල් රට හමුවේ බෞද්ධ ප්‍රතිරූපයක් මවාගෙන සිටියාම මේ වගේ වැඩ කරන්න ලේසියි. කෙලින්ම විරුද්ධව ඉන්නකොට අමාරුයිනේ. කඳ පණුවෝ වගේ. අගමැති විතරක් නෙමෙයි මේ ආණ්ඩුවම පෙරළලා දාන්න ඕන. එහෙම නැත්නම් මේ රටත් ඉවරයි, ශාසනයත් ඉවරයි.''
කොළඹ 07 ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමි
- මොනවා කළත් හාමුදුරුවරු ටික දුක් විඳගෙන ඉන්න එක අපිට හයියක් වෙලා තිබෙනවා
''දේශපාලනික වශයෙන් හිතලා මෙවැනි දේවල් කිරිම ගැන මගේ විරෝධයක් තිබෙනවා. මේක බුද්ධශාසන අමාත්‍යාංශයක් තියෙන රටක්. ඔය අමාත්‍යාංශය හැදුවේ රණසිංහ ප්‍රේමදාස මහත්තයා. ඒ කාලේ එතුමටත් දොස් කිව්වා ඕක හැදුවා කියලා. හදිසියේම මේ කලබලේ ඇතිකර ගත්තේ ඇයිද කියලා බැලිය යුතුයි. මට පේන විදියට මේක යට ලොකු සැලැස්මක් තිබෙනවා.
මුට්ටි දාලා බලනවා අපේ ව්‍යාපාර දිහා. ලෝකයේ වෙන රටක් ගත්තාම ජාතිය එකක්, ආගම එකක්. අපේ රටේ ජාතියයි ආගමයි කියන්නේ දෙකක් නෙවෙයි එකක්. බොහෝ දෙනෙකුට අවුරුදු ගණනාවක් තිස්සේ ඒ අයගේ න්‍යායපත්‍රයන් නිසි ලෙස ක්‍රියාත්මක කරගන්න බැරිවෙලා තියෙන්නේ මේ ජාතියයි ආගමයි දෙක එකක් නිසා.
මේක නින්දාවට, අපහාසයට, උපහාසයට ලක්කරලා මේක දියකර හරින්නේ කෙසේද කියලා කල්පනා කරන ජාත්‍යන්තරවාදීන් පිරිසක් මේ රටේ ඉන්නවා. ඒ අයගේ සැලැස්මක් තමයි මේක. එහෙම නැතිව මේ වෙලාවේදී මේ ආණ්ඩුව කරගත යුතු වැඩක් නෙමෙයි මේක. දැන් ආණ්ඩුව එක්ක වෛද්‍යවරු හොඳ නෑ. ශිෂ්‍යයෝ හොඳ නෑ. දැන් හාමුදුරුවරුත් තරහ කර ගත්තා. කිරි ගොවියත් තරහ කර ගත්තා. තැපැල් සේවකයත් තරහ කර ගත්තා.
මේ අවුරුදු දෙක හමාරට දිනාගත්තේ කවුද? මොකද්ද මේ වුණේ? අහක යන ප්‍රශ්නයක් පටලවා ගත්තා පන්සල්වල අදායම අරගෙන. පන්සලේ ආදායම තියෙන්නේ පන්සලේ දියුණුව සඳහා. මගේ පන්සලේ වුණත් ලයිට් බිල ගෙවන්න ඔය එක මිනිහෙක්වත් කතා කරන්නෑ. ලයිට් දාලා නැත්නම් බැන බැන යනවා අඳුරෙනේ පන්සල තියන් ඉන්නේ කියලා.
උපාසක අම්මලා බාර වලට පන්සලේ ටැප් එකෙන් වතුර කළගෙඩි තිහ හතළිහ වක්කරන්න ඕන කියලා බෝධියට වක්කරනවා. මාසෙ අන්තිමට බිල එන්නේ හාමුදුරුවන්ට. එක අම්ම කෙනක්වත් කැටයට දාන්නෑ. මේ රටේ පඬුරු කියන එක පාවිචි කරන්නේ අපි විතරයි. අනිත් ආගමික සිද්ධස්ථානවල කැටයට ලොකුම කොළය දාන්නේ.
පන්සල්වල කැටයට දාන්නේ ඉතුරු වුණු සත පනහ රුපියල වගේ පොඩි සල්ලි විතරයි. ඒ පොඩි සල්ලි ගණන් කරන්න බැරි නිසා කිලෝගානට කිරලා සෙන්ට්‍රල් බෑන්ක් එකට ගන්නේ. අනිත් ආගමික ස්ථානවල අයවැය කෝ? ඒවායේ ආදායම් වාර්තා හොයන් නෑ.
මොනවා කළත් හාමුදුරුවරු ටික දුක් විඳගෙන ඉන්න එක අපිට හයියක් වෙලා තිබෙනවා.
මම නිතරම හිත යටින් හිතන එකක් තමයි මොනවා කළත් අපිට උරුමව තිබෙන උතුරු නැගෙනහිර පුරාවිද්‍යාත්මක ස්ථාන 276 රකින්න සල්ලි දීලා හාමුදුරුවරු පත්කළාට කමක් නෑ කියන එක. මුරකාරයෙකුට තිස් හතළිස්දාහක් දෙනවට වඩා හොඳයි පොඩි ආවාස කුටියක් ගහලා හාමුදුරු කෙනෙක් නවත්වන එක. එතකොට ඒක දිවා රෑ බලා ගන්නවා. දැන් එහෙම කෙනෙක් නෑ. අපේ උරුමය මුහුදට ඇදලා දානවා.
ආණ්ඩුව පොඩ්ඩක් ගහලා බලනවා කවුද නැගිටින්නේ, මොකද්ද වෙන්නේ කියලා බලන්න. ඊයේ වන විට යාපහුව පන්සලටත් ගිහින් තිබෙනවා. කන්දෙ විහාරෙට ගිහින් තිබෙනවා.මිනිස්සුන්ට ගැටුම් ඇතිකර ගැනීමේ තව ඇමතිකම් කිහිපයක් දුන්න නම් හොඳයි. දැන් රාජ්‍ය පාලනයක් පේන්න නැහැ. ආණ්ඩු කීයක් තියෙවනද කියලා අපිට හිතාගන්න බැහැ. අපේ විශ්වාසය රඳවගත්ත එක චරිතයක් නැහැ.
1948න් පස්සේ හැම පක්ෂයකම හිටියා ප්රබුද්ධ වැදගත් චරිතයක්. අපි ඒ අය එක්ක වැඩකරලා තිබෙනවා. මම ගාමිණී දිසානායක, ප්‍රේමදාස මහත්තයලා එක්ක ප්‍රශ්නයක් ආවාම කතා කරනවා. අපේ දේශපාලන අදහස් වෙනස් වුණත් ගත්ත ගමන් ෆෝන් එකට එනවා අපේ හාමාදුරුවනේ මොකද කියලා අහගෙන.
දැන් එහෙම කතා කරන්න කෙනෙක් මේකෙ ඉන්නවද? මම කතා කළොත් වර්තමාන ජනාධිපතිතුමා නම් මට කතා කරනවා. නොකියම පන්සලට එන අවස්ථාත් තිබෙනවා. නමුත් මට පේන විදියට එයත් මේකෙ කොටුවෙලා දුවනවා.මට ආරංචියක් ආවා සිංහල 9 ශ්‍රෙණියේ පොතේ යම් යම් වෙනස්කම් කරන්න යනවා කියලා.
විභාගයට සිංහල භාෂාව විෂයක් හැටියට ගැනීම වළක්වන්න හදනවා. මං හිතන්නේ මේ ජාතිය දියකර හැරීමේ කුමන්ත්රණයක නිරත වෙනවා. අපේ ජාතියේ දැන් දරුවො අඩු වීගෙන යනවා. එදා හතක් අටක් හිටියට අද එකාට බැහැලා. සිංහල භාෂාව ව්‍යවහාර කරන්නැති වුණාම භාෂාවත් ඉවරයි.
මේ ආණ්ඩුවෙන් හොඳ දේකුත් කළා. ස්වාමීන් වහන්සේලාට එකතුවීම සඳහා පාර කැපුවා. අපිට ගඟට බහින්න තොටුපළක් නැතිව හිටියේ. මේ අය ඇවිල්ලා එකපාරටම බුල්ඩෝස්ර් දාලා තොටුපළවල් පහක්, හයක් කපලා දුන්නා. කපුටෙකුට ගැහුවාමනේ අනිත් කපුටෝ කෑ ගහන්නේ. ඒ වගේ මේකෙ කොටස් හැම එකක්ම අවුලවා ගත්තා.
ස්වාමීන් වහන්සේලාට අනින්න ගියොත් ලෙහෙසි වෙන්නෑ. අපි අහල තියෙන විදියට සර් ජෝන් කොතලාවල එක වචනයක් කිව්වා කියලා හාමුදුරුවරු එකතුවෙලා විනාශ වෙන්නම ගැහුවා. මමත් බොහෝ දේශපාලඥයන්ට එහෙම ගහපු කෙනෙක්. දැන් හාමුදුරුවරු ගැන මේ රටේ මිනිස්සුන්ට හරි අවබෝධයක් නැහැ. අම්මා, තාත්තා, සහෝදර සහෝදරියෝ අතහැරලා, තමන්ගේ උපන් වාසගම අතහැරලනේ ඇවිල්ල ඉන්නේ. නම ගන්නෙත් නෑ, ගමේ නම විතරයි ගන්නේ. ගමේ නම ගත්ත දවසේ ඉඳන් තමයි අපේ වෙන්නේ.
මම මාතරට ගියත්, නුවරට ගියත් අපේ හාමුදුරුවෝ කියල කියනවා. ස්වාමීන් වහන්සේලා විඳින දුක, උන්වහන්සේලාට තියෙන ප්‍රශ්න ගැන මේ රටේ මිනිස්සුන්ට නිසි අවබෝධයක් නැහැ. ඒකයි පොඩි හාමුදුරුවරු පවා බොහෝවිට ඉන්නැතිව යන්නේ. ආණ්ඩුව ඔය කියන තරම් පන්සල්වලට සල්ලි හම්බවෙන්නෙත් නෑ. කැටවලට දාන්නෙ සත පනහ රුපියලනේ.
කවුරුවත් පන්දාහේ කොල දානවා දැකල නැහැනේ. සත පනහ රුපියල දැම්මාම ඕක පිරනෙවා කියන දෙය අහන්න දේකුත් නෙමෙයි. දැන් කාර්වලත් තියාගෙන ඉන්නවා හිඟන්නෙක් ආවාම පඬුරු කියලා දෙන්න මාරු කාසි. දැන් සත පනහ රුපියල හිඟන්නො ගන්නෙත් නෑ. ඇයි පන්සල්වලට විතරක් අත තියන්නේ. මම දන්න පල්ලි තියෙනවා දහස් ගණන් හම්බුවෙන.
ඒවායේ අදායම් වාර්තා හොයන්න කවුරුවත් නැහැ. අපේ දුප්පත් පන්සල්වල හාමුදුරුවරු ඉන්නේ පිටතින් හම්බුවෙන දානෙ ටික වළඳගෙන. අපි කන්න ආස දේත් නෙවෙයි කන්න ගේන්නේ. ගෙදර අය කන්න ආස දේවල් කාලා තමයි හාමුදුරුවරු මේ විදියට ලෙඩවෙලා ඉන්නේ. භික්ෂුවක් විදියට මම මේකෙ අමාරුකම්, අපහසුකම් දන්නවනේ.
ඒ නිසා පන්සල්වල ආදායමට අත තියන්න මම ආස නැහැ. ඔය කියන තරම් ආදායමක් ලැබෙන්නෙත් නැහැ. අක්කර පහක හයක පන්සලක් තිබුණොත් තණකොළ උදුරන්න උනත් සෑහෙන වියදමක් යනවා. මේ ගැන මම අද ජනාධිපති එක්ක කතා කරනවා.''
රත්මලාන ධර්ම පර්යේෂණාලවාසී හෑගොඩ විපස්සි හිමි
- භික්ෂූන් වහන්සේලා අයථා විදියට මුදල් පරිහරණය කරනවා කියල අප්‍රසාදාත්මක ජනමතයක් ගොඩනගන්න ඒ අය උත්සාහ කරනවා
''භික්ෂූන් වහන්සේලා ජනතාව අතර අප්‍රසාදයට ලක් කරන්න හදන වැඩක් බව සැකයක් ඇතිවෙනවා. කාලාන්තරයක් තිස්සේ සමාජයේ ගොඩනැගුණු නීතිරීතී පද්ධතියක් තිබෙනවා. ඓතිහාසික පූජා භූමි සුරක්ෂිත කිරිම සඳහා පනත් තිබෙනවා, ඒවා ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක් තිබෙනවා. මේ වෙලාවේ භික්ෂූන් වහන්සේලා ලංකාවේ තිබෙන විවිධ ප්‍රශ්න ගැන වැඩි වශයෙන් කතා කරනවා.
උන්වහන්සේලාගේ මෙම කටයුතු අප්‍රසාදයට ලක්කරන්න වැඩපිළිවෙළක් යනවා. ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරු වැඩකරන හැටි දැක්කාම හැම කෙනෙකුටම කලකිරෙනවා. භික්ෂූන් වහන්සේලා අයථා විදියට මුදල් පරිහරණය කරනවා කියල අප්‍රසාදාත්මක ජනමතයක් ගොඩනගන්න ඒ අය උත්සාහ කරනවා. මේවා කරන්න විධිමත් ක්‍රමයක් තිබෙනවා.
ඒ අය ඇයි මේ තරම් බලතල පාවිච්චි කරන්නේ. ත්‍රෛනිකායික මහා නායක හාමුදුරුවරුන් ඉන්නවා. මේ ප්‍රශ්නවලට මොනවද කරන්න ඕන කියලා උන්වහන්සේලා එක්ක සාකච්ඡා කරන්න ඕන. එවැනි කිසිදු පූර්ව දැනුවත් කිරිමක්, පූර්ව සාකච්ඡාවක් නැතිව එකපාරටම කරන්න යාමෙන් වෙන්නේ මේ කියන ඇමතිවරු අප්රසායට ලක්වන එක විතරයි. භික්ෂූන් වහන්සේලා අප්රසායට ලක්කරන්න ගන්න උත්සහයක් මේක.
පුරාවිද්‍යා සිද්ධස්ථාන පාලනය වෙන ක්‍රමවේදයක් තිබෙනවා. ඒක එදා ඉඳන්ම තියෙන ක්‍රමවේදයක්. එයට අනුගතව වැඩකරනවා මිසක බලහත්කාරයෙන් මේ දේවල් ඇතිකරලා හරියන් නෑ. දැන් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිකරවනවා. විහාරස්ථාන සම්බන්ධව රටේ යම් යම් නීතිරීතීන් ගොඩනගා ගන්න හදනවා.
ඒකපාර්ශ්විකව නොසිතා ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා සමග සාකච්ඡා කරලා මෙවැනි පියවරයක් ගන්න ඉන්නවා කියල දැනුවත් කරන්න ඕන. පූර්ව සාකච්ඡාවක් කරලා ඊට පසුව ගත යුතු පියවර ගන්න ඕන. දැන් වෙන්නේ ඒක නෙවෙයි. ඒ නිසා භික්ෂූන් වහන්සේලා හැටියට අපිට සමාජය දැනුවත් කරන්න වෙනවා මේ අය අනිසි බලපෑම් ඇතිකරනවා කියා.
එතකොට ගැටුමක් ඇතිවෙනවා. රටේ ප්‍රශ්න රාශියක් තිබෙනවා. ඒ ප්‍රශ්න විධිමත් විදියට විසඳගන්නේ නැතිව මේ අය අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරවනවා. මේක දැවෙන ප්‍රශ්න යටපත් කරවන්න කරන උත්සහයක්. මෙමගින් රජයම අප්‍රසාදයට ලක්වීමක් වෙන්නේ.
භික්ෂූන් වහන්සේලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව දිගින් දිගටම විරෝධතාව පළ කරනවා. ඊට පසුව එන අණපනත් පිළිබඳවත් විරෝධතාවය දක්වනවා. පුරාවිද්‍යා භූමින් විනාශ කිරිම,වන භූමින් විනාශ කිරීම විවිධ පාර්ශ්ව කල්ලි විසින් සිදුකරනවා. ඒකට විරෝධතාවය දක්වනවා.
ඒවා සුරක්ෂිත කරන්න අවශ්‍ය විධියේ ජන සම්මුතීන් ගොඩනගනවා. නීතිය ප්‍රමාණවත් නොවන විට, නීතිය ක්‍රියාත්මක නොවන විට ජන සම්මුතින් ගොඩනගනවා.මේ ක්‍රියාකාරකම් යටපත් කරන්න,මේ ක්‍රියාකාරකම්වල අදහස වෙනස් කරන්න, ජනයා අතර වෙනස් අදහස් ඇති කරගන්න මේක ක්‍රියාමාර්ගයක් බව සෘජු ලෙසම අපිට පැවසිය හැකියි.
බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ සඳහන් වෙනවා අණපනත් පැනවීමේදී සාකච්ඡාවට භාජනය කරන්න කියලා. සප්ත අපරහානිය ධර්මවල සඳහන් වෙනවා තියෙන අණපනත් ක්‍රියාත්මක කරන්න, ඒවා සංශෝධනයන් සිදුකරනවා නම් සාකච්ඡාවට ලක්කරලා සංශෝධනයන් කරන්න කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ථේරිය සම්ප්රදාය තිබෙනවා.
ථේරවාද සම්ප්රදාය රජය ක්‍රියාත්මක කරවනවා නම් ගොඩක් ගැටුම්කාරී පරිසරයන් තුරන් කරගන්න පුළුවන්. නමුත් ඒ දේ ඉස්මතු කරන්නේ නැතිව බුදුදහමට පටහැනිව කටයුතු කරන නිසා තමයි ගැටලු පැන නැගී තිබෙන්නේ. භික්ෂුවට බලපෑම් කරන්න ගිහියාට අවස්ථාවක් නැහැ. නමුත් භික්ෂූන් වහන්සේලා යම් යම් වැරදි දේවල් සිදුකරනවා නම් රාජ්‍ය නීතිය යටතේ කටයුතු කරන්න පුළුවන්.
දඬුවම් අවශ්‍ය නම් දඬුවම් දීමක් සිදුකළ හැකියි. නමුත් භික්ෂූන් වහන්සේලා හිරකර තබාගැනීමට ගිහියාට අවස්ථාවක් නැහැ. ලංකාවේ භික්ෂූන් වහන්සේලාගේ ස්වරූපය වෙනත් රටක භික්ෂූන් වහන්සේලාගේ ස්වරූපයෙන් නොවෙයි ක්‍රියාත්මක වෙන්නේ. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම වීමත් සමග මහා සංඝරත්නයත් රාජ්‍යයත් අතර ලොකු සම්බන්ධතාවයක් ගොඩනැගුණා.
භික්ෂූන් වහන්සේලාගේ අනුදැනුම යටතේ තමයි ඒ දේ ක්‍රියාත්මක වුණේ. ඒකෙන් පක්ෂග්රාහීව කටයුතු සිදුවුණේ නැහැ. සතර අගතියෙන් තොරව තමයි භික්ෂූන් වහන්සේලා තීරණයන් ගන්නේ. උන්වහන්සේලා අනුශාසකයෝ හැටියට කටයුතු කරනවා. දැන් මේ අනුශාසකත්වය සහමුලින්ම අයින් කරලා තියෙන්නේ.
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළයුතු යම් යම් නීතිරීතී සම්මතයන් රටේ චිරාත් කාලයක් පවතින අනන්‍යතාවන් තහවුරු වන විදියේ දේවල් විය යුතුයි. නමුත් ඒ දෙය සිදුවන්නේ නෑ. සියම් ,අමරපුර, රාමඤ්ඤ නිකාය වශයෙන් භික්ෂූන් වහන්සේලා සමග නිර්මාණය වුණු ව්‍යුහයක් තිබෙනවා. ධර්ම, විනය, බහුශ්‍රැත භික්ෂූන් වහන්සේලා මෙම නිකාය වල ඉන්නවා.
ඒ නිසා ත්‍රෛනිකායික මහා සංඝරත්නයෙන් විමසීමක් කරන්න ඕන. අපි මෙන්න මේ වගේ සංශෝධනයන් ඇතිකරනවා,ඔබ වහන්සේලාගේ අදහස් මොනවද කියලා දැන් විමසීමක් කරන්නෑ. කඩිමුඩියේ මේ වගේ දේවල් ගේනවා. පිංකැට ප්රශ්නයේදී හාමුදුරුවන් සමග සාකච්ඡා කරන්න තිබුණා. මේක අත්තනෝමතික ලෙස කරන්නේ. මේ අය ඒකපාර්ශවීයවයි තීරණයන් ගන්නේ.
එවිට සැකයක් ඇතිවෙනවා මෙහෙම තීරණ ගන්නේ ඇයි, භික්ෂූන් වහන්සේලා අපහසුතාවයට පත්කරන්නේ ඇයි කියලා. අපේ 2600ක ඉතිහාසය විනාශ කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් තිබෙනවා කියල අපිට සැකයක් ඇතිවෙනවා. දැන් එය පැහැදිලිවම පෙනෙනවා. ඒ නිසා තමයි ගැටුම් ඇතිවෙලා තිබෙන්නේ. ඒවා වළක්වන්න, භික්ෂූන් වහන්සේලාගේ හඬ පාලනය කරන්න, යම්කිසි ප්‍රවේශයක් ලබන්න ඕන.
ඒ ප්‍රවේශය තමයි මේ විදියට කරලා තියෙන්නේ. මුදල් පරිහරණය කිරීම සම්බන්ධව ජනතාව අතර වැරදි මතයක් ප්‍රචාරය කළාම අප්රසන්නභාවයට පත්වෙනවා. නමුත් මේකෙන් අප්‍රසන්න වෙන්නේ රජය පමණයි. දැන් පාසල් පොත්පත්වල විවිධ සංස්කරණයන් කරනවා. ඒවා අත්තනෝමතික ලෙසයි කරන්නේ.
ඒ අයට ඕන දෙය දැම්මාම ගැටුමක් ඇතිවෙනවා. භික්ෂූන් වහන්සේලාගේ උපදේශනයන්, අවවාද ගන්න ඕන. දේවානම් පියතිස්ස රජතුමාගේ කාලයේ ඉඳන් මේ සම්මුතිය ගොඩනැගුණා. චිරාත් කාලයක් පැවති සම්මුතිය බිඳ දැමීම නිසා ගැටුම් ඇතිවෙනවා. ඒ නිසා රට අවුලෙන් අවුලට පත්වෙනවා.''
සිංහලේ සංවිධානයේ හා සිංහලේ ජාතික පෙරමුණේ ලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි
- මේ ආණ්ඩුව සහ පසුගිය ආණ්ඩු සියල්ලටම පන්සල් නඩත්තු කරන්න මෙච්චරටම උනන්දුවක් තිබුණ නම් පිං පෙට්ටිවලට මිනිස්සු ශ්‍රද්ධාවෙන් දාන එකම ගන්න ඕනද?
''විහාර දේවාලගම් ආඥා පනත උපයෝගී කරගෙන කඩිමුඩියේ භික්ෂු මර්දනය එළියට එද්දි පේනවා ආණ්ඩුව හෝ වෙනත් පාර්ශ්වයක් මේක පිටුපස්සේ ඉඳන් සංවිධානාත්මක වැඩපිළිවෙළක් ගෙනියන විත්තිය. නැත්නම් ප්රශ්නය මීට කලින් මතුවෙන්න තිබුණා.
මහා නායක හාමුදුරුවරු ඇතුළු බොහෝ පාර්ශ්ව අවදිවෙලා ඉන්න වෙලාවේ බෞද්ධ සමාජයේ හාමුදුරුවරු සහ ශාසනයේ ප්‍රධාන ආයතන ටික හෑල්ලුවට ලක්කිරිමේ කටයුත්තක් වෙනවද කියලා, භික්ෂූන් වහන්සේලා මර්දනය කොට අපහසුතාවට පත්කරනවාද කියලා අපිට සාධාරණ සැකයක් තිබෙනවා.
දඹුල්ලට දවසකට ලක්ෂ 80ක් ලැබෙනවාලු. මාසයකට ගණන් හදලා බැලුවොත් කී දාහක් එන්න ඕනද. ඒවා ඇත්ත හෝ නැතිව බෞද්ධ සමාජයට මතයක් යනවා මෙවැනි පන්සල්වලට ලක්ෂ ගණන් ලැබෙනවා කියලා. ඒවායේ නියම සංඛ්‍යා ලේඛන එළියට එන්න ඕන. ලොකු ගණන් කියලා අපිට පන්සල් නඩත්තු කරන්න තිබුණ නම් හොඳයි නේද කියනවා.
මෙච්චර කල් එහෙම එකක් හැදුණෙ නැත්තේ ඇයිද කියන ප්රශ්නය අහන්න වෙනවා. මේ ආණ්ඩුව සහ පසුගිය ආණ්ඩු සියල්ලටම පන්සල් නඩත්තු කරන්න මෙච්චරටම උනන්දුවක් තිබුණ නම් පිං පෙට්ටිවලට මිනිස්සු ශ්‍රද්ධාවෙන් දාන එකම ගන්න ඕනද? ඊට කලින් පන්සල් දියුණු කරන්න ආසාවක් තිබුණෙ නැද්ද කියන ප්රශ්නය අපි අහනවා.
පෙරළුන පිට හොඳයි කියලා මේ ප්රශ්නය මගහරින්න න්‍යායක් තිබෙනවා. මේ වෙලාවේ සංවිධානාත්මකව ශාසනයට හා භික්ෂූන් වහන්සේලාට අපහාස කරනවා. ඉතිහාසයේ කිසිම දිනෙක නොවූ විරූ විදියට භික්ෂූන් වහන්සේලා නැගී සිටින නිසා මේ වෙලොවෙ ආණ්ඩුවට ලොකු කැළලක් තිබෙනවා.
අස්ගිරි පාර්ශ්වයේ පළමු නිවේදනය නිකුත් කළාට පස්සේ කැබිනට් ඇමතිවරයා දවසින් අධ්‍යයනය කරලා පිළිතුරු දෙන බව කීවා. හැබැයි තාම ආණ්ඩුව පිළිතුරු දීලා නැහැ. ආණ්ඩුවට සම්බන්ධ හාමුදුරුවරු දම්මලා, වෙනත් වෙනත් කණ්ඩායම් දම්මලා හෑල්ලු කරන්න කූට නින්දා සහගත වැඩක් යනවා.
අමාත්‍යාංශ විෂය පථයන් පවරන්නේ මොන නිර්ණායක මතද කියලා අපිට පේන්නෑ. රජමහා විහාර පුරාවස්තු කියන්නේ සියයට 99ක්ම බෞද්ධ වෙහෙර විහාරස්ථාන එක්ක බැදී පවතින ඒවා. ඒවා බුද්ධශාසන අමාත්‍යංශය යටතේ තිබිය යුතුයි.
අධ්‍යාපන අමාත්‍යංශයට ගිහින් අච්චාරුවක් කරලා,කැඳ හැලියක් කරලා තියෙන්නේ. පුරාවිද්‍යාව, රජමහා විහාර කෑලි කෑලි කඩලා දිනෙක වැඩක් කරන්න බැහැ. අලුත් ඇමති ආවාම හිතනවා පුරාවිද්‍යාව මට බාරදුන්න නිසා වෙනසක් කරන්න ඕන කියලා. එවිට මෙවැනි අමන තකතීරු වැඩ කරනවා.''
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd