වව්නියාව බෝගස්වැව ගම්මානයේ පදිංචි ජනතාව ජීවිත සටන ජයගැනීමට දැඩි දුෂ්කරතාවකට මුහුණ දෙමින් සිටින බව වසර කිහිපයක සිටම මාධ්‍යයේ කතාබහ වන කාරණයකි. ජීවත් වීමට අවශ්‍ය වන මූලික අවශ්‍යතා පවා ඔවුන්ට අහිමි වී ගොසිනි. මෙම මිනිසුන් බෝගස්වැව පදිංචි කිරීමට උනන්දු වූ කිසිවෙක් ඔවුන්ගේ එම අවශ්‍යතා සම්පූර්ණ කිරීමට කටයුතු නොකිරීම කනගාටුවට කරුණකි. බෝගස්වැව ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරා දීමට භික්ෂූන් වහස්සේ නමක් මූලිකත්ව ගෙන කටයුතු කරන බව දැන ගැනීමට ලැබීමත් සමග අපි ඒ පිළිබඳව සොයා බැලුවෙමු.
ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක, ඇමරිකාවේ චිකාගෝ බ්ලෝටස් බෞද්ධ විහාරාධිපති සහ ශ්‍රී ලංකාවේ පේරාදෙණියේ සනාත සුවය භාවනා මධ්‍යස්ථානාධිපති පේරාදෙණියේ සුජාත හිමියන්ගේ මූලිකත්වයෙන් සිදුවන බෝගස්වැව ජනතාවට පානීය ජල පහසුකම් සැපයීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් උන්වහන්සේ අදහස් දැක්වූයේ මෙලෙසිනි.
"මම ලංකාවට ආවට පසුව බෝගස්වැව ගම්මානයේ දරුවන්ට පාසල් උපකරණ බෙදා දෙන්න ඒ ගම්මානයට ගියා. එතැනදී ඒ මිනිස්සු මාව මුණගැහුණා. පුළුවන් නම් ඔවුන්ට වතුර ලබාදෙන්න කියලා ඒ අය අඬ අඬා කිව්වා. ඇත්තටම් මේ ගම්මානයේ ඉන්න මිනිස්සු වතුර හොයාගෙන හැතැප්ම ගණන් යන්න සිදුවෙලා තියෙනවා කියලා මම පසුව දැනගත්තා. එහෙම ගියත්, ඔවුන්ට ලැබෙන්නේ බොර වතුර. ඒ ගම්මානයේ බොහෝ අය වකුගඩු රෝගීන්. මේ පිරිස ඇවිත් කියපු කාරණා අහලා මාව කම්පාවට පත්වුණා. මට දුක හිතුණා. ඒ නිසා මම තීරණය කළා මේ ගම්මානයේ මිනිස්සුන්ට කොහොමහරි වතුර ලබාදෙනවා කියලා.
එහෙම හිතලා කරන්න පුළුවන් මොකද්ද කියලා මම හොයල බැලුවා. මොකද වතුර ටිකක් නැතිනම් ජීවිතයක් නැහැනේ. බෝගස්වැව ගම්මානයේ ළිං හෑරුවට වතුර නැහැ. ඒ නිසා අපි තීරණය කළා නළ ළිං ව්‍යාපෘතියක් පටන් ගන්න. බෝගස්වැව, නාමල්ගම ගම්මානවල ජනතාවට පහසුවෙන් ජලය ලබාගන්න පුළුවන් වන විදිහට නළ ළිං 10ක් ඉදිකරන්න අපි තීරණය කළා. දැන් ඒ වැඩ පටන් අරගෙන තිබෙන්නේ. මේ වෙද්දි අපි නළ ළිං 04ක් ඉදිකර අවසන්.
මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ සැකයෙන්. මොකද නළ ළිං 10 ඉදිකරන්න තරම් මුදලක් අපිට තිබුණේ නැහැ. නමුත් මම මේ කාරණය ඇමරිකාවේ සුදු මිනිස්සුන්ට කිව්වට පස්සේ ඒ අය මට උදව් කළා. විදෙස්ගත ලාංකිකයෝ බොහොමයක් උදව් කළා. ඒ සියලුදෙනාගේම මූලිකත්වයෙන් තමයි අපි මේ කටයුතු ආරම්භ කළේ.
බෝගස්වැව ගම්මානයේ ජනතාව විඳින දුක දැක්කාම කාටවත් දොස් කියන්න මට හිතුණේ නැහැ. මොකද මම එහෙම කළා නම් මගේ හිත නරක වෙනවා. අපේ රට වෙනුවෙන් මට මොකද්ද කරන්න පුළුවන් කියලා මම හිතුවා. ඇත්තටම ඒ දේවල් දැකලා මානසික වශයෙන් මම දැඩි පීඩාවට පත්වුණා.
මම කුඩා කාලයේ හිටියෙ පේරාදෙණිය සුබෝධාරාම විහාරයේ. ඒ කාලේ වතුර නැතුව අපි කොච්චර දුක් විඳලා තියෙනවද කියලා මට මතක් වුණා. ඒ මතකය නිසා මම තීරණය කළා හැතැප්ම ගාණක් වතුර හොයාගෙන යන මේ පිරිසට උදව් කරන්න.මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න වැවගම ධම්මික හාමුදුරුවෝ මූලිකත්වය අරගෙන කටයුතු කරනවා. හමුදාවේ මහත්තයෙක් සහ බෝගස්වැව ගම්මානයේ පිරිසක් අපි සමග ඉන්නවා. මේ ව්‍යාපෘතිය කරගෙන යද්දි බෝගස්වැව මිනිස්සු අපිට පිං දෙනවා. ඔවුන්ගේ සිහිනයනක් සැබෑ කිරීමයි අපි කරන්නේ.
මම හිතන විදිහට රටක් හැටියට අපේ රට හදන්න බැරි තැනක තියෙන්නේ. ලෝකයේ රටවල් සමග සසඳලා බලන විට අපේ රටේ සමාජක්‍රමය විනාශ වෙලා තියෙන්නේ. එය අවුල් සහගතයි. මේ අවුලට අපිත් එකතු වුණොත් විනාශ වෙලා යනවා. අඩුම තරමේ මට හැකි පමණින් උදව් උපකාර කරන්න තමයි මම කටයුතු කරන්නේ. තමන් තනි තනිවම හැදිලා උපකාර කරන්න කියලයි මම හැමෝටම කියන්නේ.
ලංකාවේ පන්සල්, වෙහෙර විහාර හදනවා. නමුත් මිනිස්සු හදන්නේ නැහැ. රටක ගොඩනැගිලි හදනවාට වඩා මිනිස්සු දියුණු වුණොත් තමයි ඕනෑම ජාතියක් දියුණු වෙන්නේ. නමුත් අපේ රටේ විලාසිතාවක් විදිහට තමයි හැමදේම කරන්නේ. පන්සල් හදන්න සල්ලි වියදම් කරනවා. හැබැයි අහිංසක මිනිසුන් වෙනුවෙන් දෙයක් කරන්න මැළි වෙන්නේ. පන්සල් හැදුවා ඇති, ජාතිය ගොඩනගමු කියා මම ජනතාවට කියන්න කැමතියි. මිනිස්සු හිත දියුණු කරගෙන ආත්මාර්ථකාමී නොවී ජාතිය ගොඩනගන්න කියලා තමයි මට කියන්න තිබෙන්නේ.
අපි මේ කරන ව්‍යාපෘතියට දායක වෙන්න කැමති කවුරුන් හෝ සිටිනවා නම් [email protected] ඊමේල් ලිපිනයෙන් හෝ 0719 203917 දුරකථන අංකයෙන් මාව සම්බන්ධ කරගන්න පුළුවන්."