ගෙවීගිය දශකයක දෙකක කාලය ගතහොත් සෑම වසරකදීම අධික වියළි කාලගුණ තත්ත්වයකට, ගංවතුර හෝ වැසි ජල උවදුරකට මුහුණදීමට ජනතාවට සිදුව තිබේ.
මේ නිසා සෑම වසරකදීම රටේ විශාල ජන කොට්ඨාසයක් දැඩි අසරණ තත්ත්වයට පත්වීමද සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත.
පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැඳින්වූ මෙරට වර්තමානය වනවිට අනාථයන් සිටින රටක් බවට පත්වීමට බොහෝ කරුණු බලපා තිබේ. ඉන් ප්‍රධාන කරුණ වී තිබෙන්නේ සොබාදහමින් අපට උරුම වූ බොහෝ දේවල් කිසිදු ඉවක් බවක් නොමැතිව විනාශ කර දැමීමයි.
මේ හරහා පරිසර සමතුලිතතාව බිඳ වැටී තිබෙන අතර, ඒ හරහා එක පිට එක විපත් සිදුවුවද, සිදුකරන විනාශකාරී ක්‍රියාවන් නවතා දමන්නට කිසිවෙකුත් කටයුතු කරන්නේ නැත.
පරිසරය විනාශ කිරීම සම්බන්ධයෙන් වැඩිම චෝදනා එල්ල වී තිබෙන්නේ දේශපාලඥයන්ට වන අතර, එහෙත් එවැනි ක්‍රියා සිදුකරන දේශපාලඥයන්ට එරෙහිව මැතිවරණවලදී ජනතාව කටයුතු නොකිරීමද අද වනවිට සාමාන්‍ය තත්ත්වයකට පත්ව තිබේ.
මේ ආකාරයට විනාශ කර දමන පරිසරය රැකගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව යටතේ පරිසර අමාත්‍යාංශය ජනාධිපතිවරයාගේ විෂය පථයට ඇතුළත් කරගනු ලැබිණි.
මෙම ක්‍රියාවත් සමග පරිසරය ආරක්ෂා වෙතැයි පරිසරයට ආදරය කරන බොහෝ මිනිස්සු බලාපොරොත්තුවක් තබා ගත්හ.
එහෙත් අද වනවිට ඒ සෑම බලාපොරොත්තුවක්ම සුනුවිසුණු වී ගොස් තිබේ. සොබාදහමට විරුද්ධ වන තරමට සොබාදහම ද අපට විරුද්ධව කටයුතු කරන අතර, මේ අනුව අද වනවිට ලංකාවේ සමස්ත දිස්ත්‍රික්ක 25න් දිස්ත්‍රික්ක 17ක ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාස 130කට වැඩි ප්‍රමාණයකට දැඩි වියළි කාලගුණ තත්ත්වයක් ඇති වී තිබේ.
මේ නිසා ලක්ෂ 11කට අධික පිරිසක් පානීය ජල ගැටලුවකටද මුහුණදී සිටිති. මිනිසාගේ ජීවිතය රඳා පැවතීමට නම් ජලය, ආහාර, වාතය කිසිදු අවහිරතාවකින් තොරව ලැබිය යුතුය. නවීකරණය වූ ලෝකයේ මිනිසාගේ ජීවිතයේ පැවැත්ම සඳහා තවත් බොහෝ දේ අත්‍යවශ්‍ය වී තිබුණද, ජලය, වාතය, ආහාර නොමැතිව කිසිදු ජීවියෙකුට ජීවත්වීමට හැකිවන්නේ නැත.
මෙරට කෘෂිකාර්මික රටක් නිසා පානය කිරීමට අමතරව ආහාර සකස් කර ගැනීමටද ජලය අත්‍යවශ්‍ය සාධකයක් වී තිබේ.
මේ නිසා නියඟය නොහොත් වියළි කාලගුණය මිනිසාට පානීය ජලය ලබානොදීමට අමතරව ආහාර ලබාගැනීමට තිබූ අවස්ථාවද අහිමි කර ඇත. වියළි කාලගුණ තත්ත්වයක් ඇති වී තිබෙන උතුරු මැද, උතුර හා වයඹ, නැගෙනහිර පළාත්වලට වසරකට අධික කාලයක සිට එම තත්ත්වය ඇති වී තිබෙන අතර, පොදුවේ වියළි කාලගුණයක් පවතින දිස්ත්‍රික්කවලට පසුගිය වසරේ දෙසැම්බර් මාසයෙන් පසු සැලකිය යතු වර්ෂාපතනයක් ලැබී නැත.
මේ නිසා එම ප්‍ර‘දේශවල සිදුකරන වගා කටයුතු පවා අතරමග නවතා දැමීමට ගොවි ජනතාවට සිදුව තිබේ. මේ නිසා වී වගා කන්න දෙකක් හා සමහර ප්‍රදේශවල එළවළු වගා කන්න තුනක්, හේන් ගොවිතැන් වගා කන්න එකක් වශයෙන් ගොවිතැන් කිරීමට නොහැකි වී ඇත.
මේ නිසා එදා ගොවි රජවරුන් ලෙස සැලකූ මෙම ප්‍ර‘දේශවල ජනතාවට මියැදෙන්නට සිදුව තිබෙන්නේ කුසට ආහාර පවා නොමැතිවය.
ගොවිතැනින් ජීවත් වන අති බහුතරය දුගී දුප්පතුන් වන අතර, ඔවුන් මුළු රටටම අවශ්‍ය සහල්, එළවළු ලබාදුන්නද එක් වගා කන්නයක් පාළු වුවහොත් ඔවුන්ගේ බඩට කිසිදු ආහාරයක් වැටෙන්නේ නැත.
මේ ආකාරයට අන්ත අසරණ වී සිටින ජනතාවගේ ජන ජීවිතය නගා සිටුවීමට නියං සහනාධාර වැඩසටහන් රට තුළ ක්‍රියාත්මක කරන බවට බලධාරීන් මීට මාස හතර පහකට පෙර මාධ්‍ය සංදර්ශන පැවැත්වුවද අද වනතුරු වියළි සහනාධාරයක් ලබාදීමට හෝ බලධාරීහු අසමත් වී සිටිති.
වගා හානි සිදුවූ ගොවි ජනතාවට පසුගිය මාස කන්නය වෙනුවෙන් රුපියල් 10,000 බැගින් රුපියල් 40,000 ක් ලබාදෙන බවට ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කළද, තවම ගොවීන්ගෙන් 10%කට හෝ වගා වන්දිවල පළමු වාරිකයවත් ලැබී නොමැත.
පොදුවේ මේ වනවිට වගා කන්න දෙකක් පාළු වී තිබෙන අතර, මේ හරහා එම ප්‍රදේශවල සමස්ත ගොවි ජනතාවම අද වනවිට දැඩි අන්ත අසරණ තත්ත්වයකට පත්ව තිබේ.
ජනතාව පත්ව තිබෙන අන්ත අසරණ තත්ත්වය කෙතරම්ද යත් තම දරුවෙකුට ප්‍රතිකාර ලබාගැනීම සඳහා ගෙදර තිබූ පිහියක් උකස් කළ බවටද පසුගියදා අනුරාධපුරයෙන් වාර්තා විය.
ගොවිතැන් කිරීම සඳහා ජනතාවට ජලය නොමැති වීමට අමතරව වියළි කාලගුණය පවතින දිස්ත්‍රික්කවල ජනතාව උග්‍ර පානීය ජල ගැටලුවකටද මුහුණදී සිටිති.
මේ නිසා සමහර මිනිසුන් දවසේ වැඩි කාලයක් ගතකරනු ලබන්නේ ජලය සොයාගැනීම සඳහාය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මැදිහත් වී බවුසර් යොදාගෙන ජලය බෙදාහැරීම සිදුවුවද එය නිසි පරිදි සිදුනොවන බවට ජනතාව චෝදනා කරමින් සිටිති.
ජලය බෙදාදෙන ප්‍රදේශවල පවා එය සිදුවන්නේ සතියකට දිනක් දෙකක් වැනි කාලයක් පමණක් බැවින්, මේ නිසා සතියකට දවස් 05 - 06කට අවශ්‍ය ජලය රැස්කර ගැනීමටත් ජනතාවට සිදුව තිබේ.
එහෙත් දින කිහිපයකට අවශ්‍ය ජලය ගබඩා කරගැනීමට නම් සඳහා විශාල බැරල් හෝ බූලි තිබිය යුතු අතර, එදාවේල සොයාගැනීමට නොහැකිව සිටින ජනතාවට එවැනි පහසුකමක් ලබාගැනීමට හැකියාව තිබේද යන්න දෙවරක් සිතා බැලිය යුතු කාරණයකි.
ජලය පානය කර පමණක් ජනතාවට ජීවත් විය නොහැකිය. මේ නිසා වියළි කාලගුණයෙන් විපතට පත් ජනතාවට තම වගා අස්වැන්න ලැබෙන තෙක් ජීවත් වීම සඳහා වියළි සලාක ලබාදීමද නිරතුරුවම සිදුවිය යුතු කාරණයකි.
එහෙත් මැතිඇමතිවරුන්ට පගා දීමට, වාහන මිලදීගැනීමට සහ නිල නිවාස අලුත්වැඩියා කිරීමට රුපියල් කෝටි ගණනක් වියදම් කරන ආණ්ඩුව වියළි කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට තවමත් කිසිදු මුදලක් වෙන් කර නැත.
අවාසනාවට කරුණ වී තිබෙන්නේ මේ රටේ ජනාධිපතිවරයා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ හා ආපදා කළමනාකර අමාත්‍යවරයා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ අතිවිශාල ජනතාවක්ද මෙම ව්‍යසනයට ගොදුරු වී සිටියද, ඒ පිළිබඳ ඇහැක් ඇර බැලීමට හෝ මෙතෙක් කටයුතු නොකිරීමයි.
ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ දෛනික වාර්තාවට අනුව වියළි කාලගුණය පවතින දිස්ත්‍රික්ක 17න් වැඩිම පිරිසක් පීඩාවට පත්ව තිබෙන්නේද ආපදා කළමනාකරණ අමාත්‍යවරයා නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කය තුළය.
තම පක්ෂයේ බලය තර කරගැනීමට සහ තම දේශපාලන බලය තර කරගෙන තමන්ට ලැබෙන කොටස ගැන පමණක් සිතන දේශපාලඥයන් මේ රටේ ජනතාව අමතක කර දමන්නේ වැල්ලේ ලියූ අකුරු මෙනි.
මෙය ජනාධිපති, අගමැති ඇතුළු මැති ඇමතිවරුන් අතින්ම සිදුවන කාරණයකි.
පේන තෙක් මානයක ඡන්දයක් නොමැති නිසා විපක්ෂයේ පක්ෂවල සිටින මහජන නියෝජිතයන් පවා මෙම ජනතාව වෙනුවෙන් තවමත් පෙනී සිටින්නේ නැත.
ඉදිරි කාලයේදී මැතිවරණයක් තිබෙන බවට ඉඟියක් හෝ ලැබුණා නම් මේ රටේ මහජන නියෝජිතයන්ගෙන් අති බහුතරයකගේ පෙනී සිටීම සිදුවන්නේද මේ ජනතාව වෙනුවෙනි.
මීට අමතරව ගංවතුර අවස්ථාවකදී හෝ නාය යෑම් අවස්ථාවකදී ජනනතාව වෙනුවෙන් පෙනී සිටින මාධ්‍ය ආයතන, සිවිල් සංවිධාන පවා වියළි කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින ආකාරයක් දක්නට නැත.
අඩුම තරමින් මෙවැනි ව්‍යසනයක් රට තුළ තිබෙන බවට මාධ්‍ය ප්‍රචාරයක් ලබා දෙන්නට හෝ සමහර මාධ්‍ය කටයුතු කරන්නේ නැත.
මේ නිසා මාධ්‍යයෙන් රටේ තොරතුරු දැනගන්නා ජනාධිපතිවරයාගේ අවධානයද විශාල වශයෙන් මේ සඳහා යොමු කිරීමට මෙතෙක් නොහැකි වී තිබේ.
පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 105,247 ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ 65,341 ක්, අම්පාර දිස්ත්‍රික්කයේ 40,548 ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 23,919 ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ 55,663 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ 149,962 ක්, පුත්තලම දිස්ත්‍රික්කයේ 131,051 ක් සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ 24,006 ක් ලෙස පුද්ගලයෝ පීඩාවට පත්ව සිටිති.
එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ 300 ක්, මාතලේ දිස්ත්‍රික්කයේ 20,341 ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ 29,868 ක් පීඩාවට පත්ව සිටිති. වවුනියාව දිස්ත්‍රික්කයේ 85,771 ක්, මුලතිව් දිස්ත්‍රික්කයේ 115,308 ක්, යාපනය දිස්ත්‍රික්කයේ 124,206 ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ 54152 ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ 812 ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ 7230 ක් ඇතුළුව දිස්ත්‍රික්ක 17 ක පුද්ගලයෝ 1,093,717 ක් පීඩාවට පත්ව සිටිති.
මේ ආකාරයට වියළි කාලගුණය නිසා පීඩාවට පත්ව සිටින්නේ අපේ ජනතාවය. එක්තරා කාලයකදී මෙරටට බතබුලත සැපයූ ජනතාවය. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වූ ජනතාවය.
මේ නිසා තම තමන්ගේ දේශපාලන අරමුණ පැත්තකින් තබා සියලුම දෙනා එක් වී මේ ජනතාවගේ ජන ජීවිතය යථාතත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු වහා සිදුකළ යුතුව තිබේ.
පවතින කාලගුණ රටාව අනුව තවත් දින කිහිපයකින් සමහර ප්‍රදේශවලට සුළු හෝ වර්ෂාපතනයක් ඇති වේ යැයි බලාපොරොත්තු විය හැකිය. එහෙත් මහ පොළොවට වැස්සක් දෙකක් වැටුණු පමණින් මේ ජීවිතවල ජීවන තත්ත්වය ඉහළ යන්නේ නැත. සුපුරුදු ලෙස මාස් වැසි ඇති වුවහොත් තම වගා කටයුතු සිදුකර අස්වැන්න ලබාගැනීමට තවත් මාස කිහිපයක් ගත වේ.
යම් තරමකට හෝ ජන ජීවිතය යථාතත්ත්වයට පත්වන්නේ එදාටය. මේ නිසා මෙම ජනතාවගේ ජීවිත පවත්වාගෙන යාම සඳහා ඒ දවස වනතෙක් සහන ලබාදිය යුතුය.
එසේ නොමැතිව මීට පෙර අවස්ථාවලදී මෙන් වැස්සක් දෙකක් ඇති වූ වහාම නියඟය එසේ නොමැති නම් වියළි කාලගුණය අවසන් යැයි අත පිසදාගැනීමට දේශපාලඥයන් කටයුතු කළහොත් එය මේ ජනතාවට සිදුකරන දැඩි අසාධාරණයකි. පාලකයන් නියං සහනාධාර වැඩසටහනක් දියත් නොකිරීමටද මෙවැනි සූත්‍ර බලපා තිබේ.
පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා වන සතුන්ද දැඩි පීඩාවට පත්ව තිබේ. විශාල වැව්, ජලාශ ඇතුළු ජල මූලාශ්රවල ජලය බිඳක් නැතිවන තත්ත්වයකට පත්වෙමින් තිබේ.
මේ නිසා මිරිදිය ධීවර කර්මාන්තයෙන් ජීවත් වූ ජනතාවගේ ජන ජීවිතයටද විශාල බාධා එල්ල වෙමින් තිබේ.
මේ සෑම දෙයක්ම සොබාදහම නිසා අපට සිදු වූ විපත් ලෙස සිතා සිත හදාගත නොහැකිය. මෙවැනි විපත් වළක්වාගැනීමට නම් අප මුලින්ම පරිසර සමතුලිතතාව රැකගත යුතුය. ඒ සඳහා රට තුළ අඛණ්ඩ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. ඒ වෙනුවෙන් පෙරමුණ ගත යුත්තේද පාලකයන්ය. එසේ නොමැති නම් මැතිඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන්ය.