ශ්‍රී ලංකා පොලීසියේ 151 වැනි සැමරුම පසුගිය සැප්තැම්බර් තුන්වන දිනට යෙදී තිබුණි. කොළඹ වාරායේ ගුදම්වල ආරක්ෂාවට බ්‍රිතාන්‍ය ජාතිකයන් ඇති කළ පොලිසිය වර්තමානය වන විට රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන ප්‍රධානම ආයතනය වී තිබේ. පැය 24 පුරාම අවධියෙන් සිටිමින් මේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන පොලිස් සේවය මිල කළ නොහැකි සේවාවකි.
පොදුවේ පොලීසිය මෙතරම් සේවාවක් සිදුකළත් මේ රටේ අතිබහුතර ජනතාව පොලීසියට හොඳක් කියන්නේ නැත.
ඒ අනාදිමත් කාලයක සිට සුළුතර පොලිස් නිලධාරීන් විසින් සිදුකරන අකටයුතුකම් නිසාය. ගොරකා දඩමස් කිරීමටත්, දඩමස් ගොරකා කිරීමටත් ඇතැම් පොලිස් නිලධාරීන් කටයුතු කරන බවට සමාජයේ පවතින ප්‍රසිද්ධම රහසකි. මීට අමතරව ඇතැම් පොලිස් නිලධාරීන්ගේ වරදින් පොළොවේ අඩි 06 ක් යට මිහිදන් වූ පිරිසද නැතුවාම නොවේ. අතපය ඇතුළු ශරීර අවයව තුවාල කරගත් පිරිස්ද බොහෝය.
ගොරකා දඩමස් කිරීමටත්, දඩමස් ගොරකා කිරීමටත් යාම නිසා නිවැරදි පුද්ගලයන්ට මහ උළුගෙදර කල්දේරම් බත් පවා රසබැලීමට සිදුව ඇත.
එමෙන්ම විශාල අපරාධ කළ වුන් නිවැරදිකරුවන් වී යහතින් වැජබීමට අවස්ථාව ලබාදීමත් ඇතැම් පොලිස් නිලධාරීන්ගේ හපන්කම්ය.
උද්ඝෝෂණවල නිරත වූ සාමාන්‍ය ජනතාව වෙඩි තබා ඝාතනය කිරීම හා තුවාල කිරීම වැනි චෝදනාවලටත් පසුගිය කාලයේ පොලීසිය ලක්විය.
අත්අඩංගුවට ගෙන මාංචු කුට්ටම පිටින් පැනයාමට තැත් කිරීමේ චෝදනාව මත වෙඩි කා හෝ ජලයේ ගිලී මියගිය පිරිස්ද නැතුවාම නොවේ.
නීතිය අතට ගෙන වෙඩි තබා මිනිසුන් මරා දැමීම හා තට්ටු ගොඩනැගිල්ලකින් තරුණයෙකු පහළට ඇද දමා මරණයට පත් කළ බවටත් පසුගිය කාලයේ පොලීසියට එල්ල වූ චෝදනාවන්ය.
වැරදි කළ සමහර පොලිස් නිලධාරීන්ට අධිකරණ මගින් දඬුවම් ලබාදුන් අතර, නීතියෙන් දඬුවම් ලබාදුන්නත් අසාධාරණයට පත් පාර්ශ්වයට කිසිදා සාධාරණයක් ඉටුවන්නේ නැත. මන්දයත් කාගේ හෝ වරදින් පුද්ගලයෙකු මිය ගියහොත් වැරදි කළ පුද්ගලයාට නීතියෙන් දඬුවම් ලැබුණත් එම පුද්ගලයාට නැවත ජීවිතය නොලැබෙන නිසාය.
මෙවැනි ක්‍රියා නිසා ජනතාවට සේවය සපයන පොලීසිය ක්රමක්රම‘යෙන් ඈත්කර දැමීමට ජනතාව කටයුතු කරන්නට විය.
මේ පිළිබඳව අවබෝධ කරගත් හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා ජනතාවට සමීප පොලිස් සේවාවක් බවට පත් කිරීමට බොහෝ වෙහෙස මහන්සි විය.
එහෙත් බලු වලිගය උණ පුරුකේ දමා තැබුවත් කෙළින් නොවනවා සේ සමහර පොලිස් නිලධාරීන් ඔවුන්ගේ සුපුරුදු ක්‍රියාකාරකම් ටික ඉදිරියටම ගෙනයනු ලැබිණි.
මේ නිසා හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට හිරේ විලංගුවේ වැටීමට හා හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට කල්දේරම් බත් රස බැලීමට පවා සිදුවිය.
නිලඇඳුමේ උෂ්ණය නිසා හෝ වෙනත් කාරණයක් නිසා වැරදි කරන සුළුතර පොලිස් නිලධාරීන් පාඩම් ඉගෙන ගන්නා ආකාරයක් දක්නට ලැබෙන්නේ නැත. මේ නිසා වර්තමාන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජනතාවට ගුණාත්මක හා ප්‍රමාණාත්මක සේවවාක් ලබාදීම සඳහා පොලිස් සේවය තුළ බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.
එමෙන්ම වර්තමාන විෂය භාර අමාත්‍ය සාගල රත්නායක මහතා පොලිස් නිලධාරීන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් බොහෝ වැඩකටයුතු කර ඇත. ඉදිරියේදී තවත් බොහෝ දේ කිරීමටත් සැලසුම් කර තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කරනු ලබයි.
නමුත් වැරදි පාරේ ගමන් කළ පිරිස් තවමත් සුපුරුදු ලෙසටම වැරදි පාරේ ගමන් කරමින් තිබේ. මේ නිසා 151 වැනි පොලිස් සැමරුම උත්කර්ෂවත් අන්දමින් සමරා දින 33 ක් ගතවූ පසු අත්අඩංගුවට ගත් සැකකරුවෙකු බන්ධනාගාරය තුළදී මිය යෑම නිසා දිවුලපිටිය පොලීසියේ අපරාධ අංශයේ වැඩබැලූ ස්ථානාධිපතිවරයාට රක්ෂිත බන්ධනාගාරගත වන්නට සිදුව ඇත.
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගේ සිරුරේ අභ්‍යන්තරයේ බහුවිධ තුවාල තිබූ බවට අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාවේ සඳහන් වේ.
අදාළ තුවාල පොලිස් නිලධාරීන් පහරදීමෙන් සිදුවූවක් බවට අප ප්‍රකාශ කරන්නේ නැත. අධිකරණ කටයුතු අවසානයේදී වැරදිකරුවන් කවුද යන්න හෙළිවනු ඇත.
එහෙත් සැකකරු මිය යෑම සම්බන්ධයෙන් අපරාධ අංශයේ වැඩබැලූ පොලිස් නිලධාරියාට චෝදනාවක් එල්ල වී තිබේ. මේ නිසා පසුගිය 5 වැනි දින ඔහුට රක්ෂිත බන්ධනාගාරගත වන්නට සිදුවිය.
එම සිද්ධියේ උණුසුම යාමටත් මත්තෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු කන පැලෙන්නට පහරදුන් බවට චෝදනා එල්ලවී තිබේ.
අදාළ පහරදීම සිදුකරන ආකාරය පිළිබඳව ඡායාරූප පවා ජනමාධ්‍යවල පළ විය. කන පැලෙන්නට ගසා උද්ඝෝෂණ විසුරුවා හැරීමට හෝ උද්ඝෝෂණකරුවන්ට පිළිතුරු දීමට හැකි නම් මෙරටට ආණ්ඩුවක් හෝ ප්‍රශ්න විසඳීම සඳහා අමාත්‍ය මණ්ඩලයක් ඇතුළු මහජන නියෝජතයන් අවශ්‍ය නොවේ.
ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ සහ දෙනෝදාහක් ජනතාව ඉදිරියේ ජනතාවට පහර දෙන්නේ මෙසේ නම් කුමක් හෝ වරදකට පොලිස් අත්අඩංගුවට පත්වන සැකකරුවන්ට සිදුවන දෙය අමුතුවෙන් කිවයුතු නැත.
අදාළ පොලිස් නිලධාරියාගේ ක්‍රියාකලාපය නිසා සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම ජනතාවගේ අප්‍රසාදයට ලක්ව තිබේ.
මේ ආකාරයට අප්‍රසාදයට ලක්වූ පොලිස් දෙපාර්තමේන්තුවට පසුගිය 11 වන දින තවත් කළුපැල්ලමක් එක්වන චෝදනාවක් එකතුවී ඇත.
ඒ රත්තොට පොලීසියේ ස්ථානාධිපතිවරයා වෙනත් පොලිස් ස්ථානයක සේවය කරන සමයේදී ග්‍රාමනිලධාරිනියක් අපයෝජනය කළ බවට චෝදනාවට ලක්වීමය.
දෙදරු මවක වන අදාළ ග්‍රාම නිලධාරිනිය අපයෝජනයට ලක්කර එය හෙළි නොකරන ලෙසට තර්ජනය කර බියගන්වා ඇති බවටත්, අදාළ තර්ජන ගර්ජන නිසා අදාළ සිදුවීම හෙළි නොකළ බවටත් වාර්තා වෙමින් තිබේ.
එහෙත් පොලිස් නිලධාරියා වෙනත් පොලිස් ස්ථානයක් වෙත මාරුවී යාමෙන් පසු අදාළ තොරතුරු තම සැමියාට පවසා පොලීසියට පැමිණිලි කළ බවටත් මාධ්‍ය වාර්තා කරනු ලැබිණි.
මෙවැනි ක්‍රියා සුළුතර පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් සිදුකළත් අති බහුතර පොලිස් නිලධාරීන් රට වෙනුවෙන් ඇපකැප වී කටයුතු කරන බවට හිත හදා ගැනීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැත.
මේ නිසා පොලීසිය ප්‍රතිසංස්කරණය කළයුතු කාලය එළඹ තිබේ. අදාළ ප්‍රතිසංස්කරණය පොලිස් නිලධාරීන්ට භාවනා කිරීමට සැලැස්වීමෙන්, වැටුප් වැඩි කිරීමෙන්, උසස්වීම් ලබාදීමෙන් හෝ මාරු ක්‍රම‘වේද ක්‍රියාත්මක කිරීමෙන් සිදුකළ නොහැකි බවට මේ වන විට තහවුරු වී තිබේ.
මේ නිසා අලුත්ම අලුත් පොලීසියක් සකස් කර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක කළ යුතුව ඇත.
එම වැඩපිළිවෙළ තුළ මුලින්ම සිදුකළ යුතු වන්නේ දැනට භාවිත වන පොලිස් නිලඇඳුම් ඉවත්කර රටේ පරිසරයට ගැළපෙන ආකාරයේ සැහැල්ලු නිලඇඳුමක් හඳුන්වා දීමය.
බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් හඳුන්වාදුන් ඝනැති කාකි නිලඇඳුම අප වැනි උෂ්ණත්වය අධික රටකට ගැළපෙන්නේ නැත.
මේ නිසා පොලිස් නිලඇඳුම පොලිස් නිලධාරීන් අපහසුතාවට පත්වන කාරණයක් වී තිබේ. මීට අමතරව පොලිස් පොඩ්ඩන් භාවිත කරන සපත්තු දෙක හා හිස්වැසුම අධික බරකින් යුක්ත බවටත් නැගෙනා මැසිවිල්ලකි.
සපත්තු දෙක හා හිස්වැසුමට අමතරව පොලිස් බඳපටිය පවා පොලිස් නිලධාරීන් පීඩාවට පත්කරන භාණ්ඩය.
එක දිගට පැය 12කට වැඩි කාලයක් සේවය කිරීමට සිදුවීම, අව්වට වේලෙමින් හා වැස්සට තෙමි තෙමී මහ පාරේ පැය ගණන් සිටගෙන රාජකාරියේ යෙදවීමත් දියුණු සමාජයට ගැළපෙන්නේ නැත. නිසි කලට උසස්වීම් නොලැබීම, තම අවශ්‍යතා සඳහා නිසි ලෙස නිවාඩු නොලැබීම, ඉහළ පොලිස් නිලධාරීන්ගේ තර්ජන ගර්ජනවලට ලක්වීම, ඉහළ පොලිස් නිලධාරීන්ගේ සැරපරුෂ වචන භාවිතය පහළ පොලිස් නිලධාරීන් දැඩි පීඩාවන්ට ලක්වන කාරණාය.
මෙම පීඩාවන් පොලිස් නිලධාරීන් පිටකරන්නේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ට තඩි බෑමෙන්ය. එසේ නොමැතිනම් වෙනත් වද හිංසා කිරීමෙන්ය.
සමහර පොලිස් නිලධාරීන් අරක්කු ටිකක් තොල ගෑ පසු සිරමැදිරිවල සිටිනා පුද්ගලයන්ට පහරදෙමින් විනෝදවන බවටත් විවිධ අවස්ථාවල චෝදනා එල්ල වී තිබේ.
එහෙත් පොලිස් අත්අඩංගුවට පත්වන කිසිවෙකුත් පොලිස් භාරයේදී වැරදිකරුවෙකු වන්නේ නැත. මේ නිසා අත්අඩංගුවට පත්වන සැකකරුවන් ආරක්ෂා කිරීම පොලීසියේ වගකීමක් වන අතර, ප්රජාතන්ත්රවාදය අගයන රටක් ලෙස පොලීසියට සැකකරුවන්ට හෝ ජනතාවට පහරදීමට නීතියෙන් ඉඩක් නැත.
එහෙත් නීතිය රකින්නට සිටිනා ඇතැම් පොලිස් නිලධාරීන් මෙම නීතිය අමු අමුවේම උල්ලංඝනය කරමින් තිබේ.
අවශ්‍ය ප්‍රතිසංස්කරණය කඩිනමින් සිදු නොකළහොත් 152 වැනි සංවත්සරයේදීත් පොලීසියට හොඳක් අසන්නට නම් ලැබෙන්නේ නැත.
පොලීසිය ජනතාවට සමීපම සේවාවක් සිදුකරනවා නම් මේ රටේ සිදුවන අපරාධවලින් විශාල ප්‍රමාණයක් වැළකී යනු ඇත.
එහෙත් අපරාධයක් සැලසුම් කරන අවස්ථාවේදී හා අපරාධයක් සිදුකිරීමට සූදානම් වන අවස්ථාවලදී ඒ පිළිබඳව සමහර ජනතාව දැන සිටියත් ඒ පිළිබඳව පොලීසියට දැන්වීමට බියක් ඇති කරගෙන තිබේ.
මෙවැනි බියක් ඇතිකර ගැනීමට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ සමහර පොලිස් නිලධාරීන් ජාවාරම්කරුවන් හා එක්ව කටයුතු කිරීම යන කාරණය නිසාය.
මීට අමතරව යම් පැමිණිල්ලක් කිරීමට ගියහොත් පැමිණිල්ල ඉදිරිපත් කරනා පුද්ගලයන්ටත් විවිධ ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවන නිසා ජනතාව පොලීසිය සමග සමීපව කටයුතු කිරීමට උත්සාහ ගන්නේ නැත.
මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා වර්තමාන පොලිස්පතිවරයා රට තුළ බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ. නමුත් ඒ වැඩසටහන් තුළින් පමණක් පොලීසිය හා ජනතාව අතර මිතුරුකමක් ඇති කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැත.
මේ නිසා මුලින්ම පොලීසිය අලුත් විය යුතුය. පොලිස් නිලධාරීන්ගේ අතපසු වූ උසස්වීම් ලබාදෙනවා සේම පොලිස් වැටුප් වැඩි කිරීම, පොලීසිය අලුත් කිරීමේ වගකීමත් විෂය භාර අමාත්‍යවරයා ඇතුළු රටේ පාලකයන්ට පැවරේ.