උදා වූ නව වසරෙහි පළමු දිනයම දුරුතු පුර පසළොස්වක පොහොය දවස වීම සුවිශේෂී කාරණයකි. එමෙන්ම දුරුතු පොහොය ලක්වාසී බෞද්ධ ජනතාවට අතිශයින්ම සුවිශේෂී වන්නේ අපගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය එදිනට යෙදී තිබෙන හෙයිනි.
බුද්ධත්වයෙන් නව වෙනි මස තුන්බෑ ජටිල දමනයෙන් අනතුරුව උරුවෙල් දනව්වෙහි සිට බින්තැන්නේ මහවැලි ගඟ අසබඩ දිගින් තුන් යොදුනක් වූ මහානාග උද්‍යානයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ එහි සිදුවන්නට ගිය යක්ෂ, රාක්ෂ දෙපිරිස අතර මහා සංග්‍රාමය සංසිඳ වූ සේක. එසේම එහිදී බුදුරදුන් විසින් පවත්වන ලද දම් දෙසුම අවසන සෝවාන් ඵලයට පැමිණි සුමන සමන් දිව්‍යරාජයා බුදුන් පුදනු පිණිස පූජාර්හ වස්තුවක් ඉල්ලා සිටි අවස්ථාවෙහි තමන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රී හස්තයෙන් ශීර්ෂය පිරිමැද කේශධාතූන් ලබාදීමත් ඒ කේශධාතූන් තැන්පත්කොට මහියංගණ සෑරඳුන් ඉදිකිරීමත් මෙදින සිදු වූ වැදගත් සිදුවීම් ලෙස ශාසන ඉතිහාසයෙහි සඳහන් වෙයි.
වර්ෂයක් ගත වී අභිනව වර්ෂයක් එළඹෙන පළමු දිනයම පොහෝ දිනකින් ආරම්භ කිරීමට හැකි වීම සමස්ත ජනතාවගේම භාග්‍යයක් ලෙස සැලකිය යුතු වෙයි. නැවුම් බලාපොරොත්තුවලින් යුක්තව අභිනව වර්ෂය සඳහා මුහුණදීමට බලාපොරොත්තු වන බොහෝ දෙනා ගෙවී ගිය වර්ෂයෙහි අත්පත්කර ගැනීමට හැකි වූ දේ පිළිබඳ සතුටුවෙනවා සේම අත්පත් කර ගැනීමට නොහැකි වූ දේ පිළිබඳ කනගාටු වීම සාමාන්‍ය සංසිද්ධියකි. එහෙත් කැඩීම හා බිඳීම ස්වභාවයකොට ගත් ලෝකයෙහි අත්පත් කරගත් දේ පිළිබඳව ඇති කරගත් උද්දාමයත්, ගිලිහී ගිය දේ පිළිබඳව ඇති කර ගත් පශ්චාත්තාපයත් බුද්ධිගෝචර වූවක් නොවෙයි. සියල්ල අනිත්‍ය ධර්මයට යටත් වන හෙයින් සතුට හා අසතුටත්, තෘප්තිය හා අතෘප්තියත් ක්‍රමයෙන් වෙනස් වන්නක් වෙයි. ඒ වෙනස් වීම තේරුම් නොගැනීම බලවත් ශෝකාන්තයකට පමුණුවන්නකි.
ගෙවී ගිය වසරෙහි සිදු වූ අතපසුවීම්, සාවද්‍යයන් දුරුකොට තම ජීවිතයේ සිදුවූ අඩුලුහුඬුකම් සපුරා ගැනීමට යමෙක් ක්‍රියාකරන්නේ නම් එය අභිනව වසරෙහි සාර්ථකත්වයට මාවතයි. ආයුෂය, වර්ණය, සැපය, යසස හා ස්වර්ගය ප්‍රාර්ථනා කිරීමෙන් ළඟා කර ගත නොහැකි ධර්මතාවන්ය. එම ධර්මතාවන් ළඟා කර ගැනීමට අවැසි තැනැත්තා ඒ සඳහා ක්‍රියාත්මක විය යුතුය. පුද්ගල ක්‍රියාවම පුද්ගලයාගේ ශ්‍රේෂ්ඨත්වය හා නීචත්වය තීරණය කරයි.
බුද්ධ දේශනාවට අනුව පුද්ගලයා සිදුකරනු ලබන ඕනෑම ක්‍රියාවක් අවසානයේ ඒ තුළින් ආත්ම තෘප්තියක් පුද්ගලයාට ලැබිය යුතුය. ඔහුගේ අඹුදරුවන්, මාපිය හිතවතුන්ද ඒ තුළින් තෘප්තිමත් බවක් ලැබිය යුතුය. නමුත් එකී තෘප්තිමත්භාවයට එළඹිය යුත්තේ සදාචාරාත්මක පදනමක් තුළය. සදාචාරාත්මක රාමුවට පටහැණිව ලබන තෘප්තිමත්භාවය බුදුසමය පමණක් නොව ධර්මිෂ්ඨකම අගයන කවර සමාජයක් වුව ප්‍රතික්ෂේප කරයි.
තමා තමාව උපමාවට ගෙන සමාජීය ගනුදෙනුවල නියුක්ත වීම තුළින් පුද්ගල මෙන්ම සමාජ සදාචාරයද මැනැවින් ආරාක්ෂා වන බව බෞද්ධ පිළිගැනීමයි. යමෙක්, තමා ඝාතනය කිරීම හෝ අවැඩ කිරීම හෝ නින්දා, කේලාම් කීම ආදියට අකමැති වන්නා සේම අන් අයද ඒ සඳහා අකමැති වෙයි. මෙම මූලික සදාචාරාත්මක ධර්මතාව තේරුම්ගෙන ජීවත් වන්නේ නම් එම පුද්ගලයා අතින් සමාජයට කිසිදු ආකාරයේ අනර්ථයක් සිදු නොවෙයි.
පුද්ගලයාගේ ප්රබුද්ධත්වය තීරණය කරන නිර්ණායක කිහිපයක් ඉදිරිපත් කරන බුදුදහම ඉන් එක් නිර්ණායකයක් ලෙස සඳහන් කරනුයේ ජරාවට පත්වීම, මරණයට පත්වීම, බියට පත්වීම හා ලෙඩරෝගවලට ගොදුරු වීම යන සතර ධර්මතාවන්ට මුහුණදීමට පුද්ගලයාට සිදුවන බව පුද්ගලයා අවබෝධයෙන්ම දැනගැනීමයි. එලෙස දැනගත් පුද්ගලයා කවරෙක් සමග හෝ ගැටීමක් ඇතිකර නොගනී. ක්‍රෝධය, වෛරය, ද්වේෂය ආදී අයහපත් සිතිවිලි නොපතුරුවයි. අපි සියල්ලෝම ජාති, ආගම්, කුල, ගෝත්‍ර භේදයකින් තොරවම මරු වසඟයට යා යුත්තෝ වෙමු. විරහිත අනුකම්පා ඇති මරණය අපට භෞතික කිසිවක් රැගෙන යාමට නොදෙයි. හිස් අතින්ම අපට ඔහුත් සමග යාමට සිදුවෙයි. මරු එනතුරු අපි සියල්ලෝම ‘%ඔහු නොඑන්නේය’ යන සංඥාවෙන් කටයුතු කරන්නෙමු. එහෙත් එම සිතුවිල්ලම අපගේ සාරාර්ථ භ්රෂ්ට කරන්නකි. යමෙක් තමන්ගේ වියපත් වීම, බියට පත්වීමට ඇති බිය ආදිය තේරුම්ගෙන ජීවත් වන්නේ නම් ඔහු කිසිවෙකුටත් ද්වේෂ නොකොට සිනාමුසු මුහුණින් යුක්තව කල් ගත කරයි. එසේ කල් ගත කරන්නා සැබැවින්ම වෘද්ධිමත් බුද්ධි ඇත්තා හෙවත් බෞද්ධයෙක් වශයෙන් හැඳින්විය හැකි වෙයි.
සදාචාරාත්මක බව පුද්ගල ආධ්‍යාත්මයෙහි මෙන්ම ජීවත් වන ආනුභවික ලෝකයේද ශ්‍රේෂ්ඨත්වය පිණිස හේතු වන්නක් වන නමුත් ඒ සඳහා ක්‍රියාත්මක නොවීම සදාචාරයේ ඵලප්රාප්ති සාධනය පිණිස හේතු නොවෙයි. එහෙයින් සදාචාරය සඳහා උත්සාහවත් වීම පුද්ගලයා සතු කාර්යයකි. සාර්ථකත්වය කරා ගමන් ගන්නා ජීවිතයක අනුත්සාහය යනු මලකඩකි. එය පුද්ගල සන්තානයෙහිම හටගෙන පුද්ගල සන්තානය විනාශ කරයි. පසුව නෂ්ටප්රාප්ත සාරාර්ථවලින් යුත් පුද්ගලයා සමාජයට අනර්ථයම සිදුකරයි.
පුහුදුන් සිත ස්වභාවයෙන්ම අනර්ථයට නැමුනකි. තමාටත්, අනුන්ටත් හිත වැඩ පිණිස පවතින්නක් සිදුකිරීම අතිශය දුෂ්කර කාර්යයක් වනුයේ ඒ නිසාය. එසේම අනවරතයෙන් සිත තුළ බලපවත්නේ ලෝකයෙහි මා සන්තක දෙය ඌනත්වයෙනි. තණ්හාවෙන් මඩනා ලද එවන් සිත භෞතික සම්පත් පසුපස හැල්මේ දුවනුයේ ඒ ඌනත්වය සපුරා ගැනීමේ අදහසින් වුව ඌනත්වය ස්වභාවකොට ගත් පුහුදුන් සිත පූර්ණත්වයට පත්කිරීම අභව්යයකි. කහවණු වැස්සක් වැස්සද පුද්ගලයා එයිනුදු තෘප්තිමත් නොවන්නේ එහෙයිනි. සවිඥානික මෙන්ම අවිඥානික වස්තූන්වල පවතින ඇගයුම් වටිනාකම් එබඳු අභාවිත සිතට නොවැටහෙයි. කෙළවරක් නොදැකිය හැකි ඌනත්වය සපුරනු පිණිස මනුෂ්‍යත්වය අමතක කොට ක්‍රියා කරයි. කවරාකාරයක වුව සදාචාරයක් පුද්ගලයාට අවැසි වනුයේ එතැන් පටන් ඉස්මතු වන ගෝත්‍රිකත්වය ලොප්කර ලෑමටයි.
ඕනෑම පුද්ගලයෙක් ඕනෑම ක්‍රියාවක් සිදුකරනුයේ සැපය උදෙසාය. එහි වරදක් නැත. එහෙත් ඒ සඳහා වන ක්රියාත්මකභාවය සිදුවිය යුත්තේ සදාචාරාත්මක රාමුවක් තුළය. තත් රාමුව තුළ හිඳිමින් කළයුත්ත කළයුතු අතර, නොකළයුත්ත අත්හළ යුතුය. එසේම ක්‍රියාව හා ප්‍රතික්‍රියාව පිළිබඳව තර්කානුකූල බුද්ධියෙන් නිශ්චය කරගත යුතුය.
ලොව මෙතෙක් පහළ වූ සෑම යුග ශ්රේෂ්ඨයෙක්ම ආකාස්මිකව ශ්‍රේෂ්ඨත්වය කරා ළඟා වූවෝ නොවෙති. අනේකවිධ දුක් කම්කටොලුවලට මුහුණ දුන්නෝ වෙති. බුදුරදුන්ද සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමී ධර්මයන් පූරණය කොට බුදුවන අත්බැව්හිද සයාවුරුද්දක් දුෂ්කර ක්‍රියාකොට තමන් වහන්සේගේ අභිමතාර්ථයන් සාධනය කළ උත්තමයෙකි. අන්‍යාගමික ශාස්තෘවරුද ශ්‍රේෂ්ඨත්වයට පත්වූයේ අනේකවිධ බාධක ජයග්‍රහණය කරමින්ය. අටලෝදහම වූ කලී විශ්ව සාධාරණ වූවකි. අප කවුරුත් ඒ සඳහා මුහුණදිය යුතුය. එහෙත් කිසිදු හේතුවක් නිසාවන් තම සදාචාර ප්‍රතිපත්ති පාවා නොදිය යුතුය. එය රුපියල් ශතවලට නොවිකිණිය යුතුය. ඒ කිසිවක් නිසා නොව සදාචාරය, සදාචාරය උදෙසා පවතින්නක් වන හෙයිනි. ප්‍රඥාවේ දොරටුව වන හෙයිනි. බුදුදහමෙහි ආදිම පියවර වන හෙයිනි. ඒ තුළින් මෙලොව ජීවිතය මෙන්ම පරලොව ජීවිතයද සාර්ථක කරගත හැකි හෙයිනි. උදා වූ නව වර්ෂය සමෘද්ධිමත්භාවයේ කූඨප්රාප්තිය කරා මෙහෙයවිය හැක්කේ එතුළින් වන හෙයිනි.
ගෞරව ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත
පූජ්‍ය පැපිලියවල නාරද හිමි
ඓතිහාසික දඩගමුව රජමහා විහාරය, වේයන්ගොඩ