ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම කලපුව ලෙස සැලකෙන පුත්තලම කලපුවට සුන්දර වටපිටාවක් හිමිව තිබුණේ 1980 දශකයට පෙරය. ඉන් පසුව මේ පරිසරය ඉස්සන් වගාවන් වෙනුවෙන් වැනසී ගියේ සමස්ත කඩොලාන පරිසරයද වනසමිනි. නමුත් අද දවසේ ලුණු සැකසීමට පුත්තලම %පුංචි කලපුව^ බිලි වී ඇත්තේ නැවතත් දැවැන්තම පාරිසරික ව්‍යසනයකට ලක්කරමිනි.
පුත්තලම කලපුවේ සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර් 32,000කින් සමන්විතය. පුත්තලම කලපුෙව් පටන් ගැන්ම පාලවියට ආසන්නයේ පිහිටි නාගවිල්ලුවට නුදුරින් නමුත් එහි අවසානය උතුරු මායිම ලෙස නිර්ණය වී ඇත්තේ කරවලකුඩා සිට ගඟේ වාඩිය උඩට සැතපුම් අටකට ආසන්න දුරකිනි. එහෙත් ජාත්‍යන්තර නිර්ණයන්වලට අනුව කලපුවක් අවසානය සිදුවිය යුත්තේ පළමු මෝය හමුවීමත් සමගය. එසේ නම් පුත්තලම කලපුව උච්චමුණේ දක්වා විසිරි යායුතු බවත්, එහි සීමා මායිම් ඉදිරියේදී නිවැරදි විය යුතු බවත් ප්‍රදේශවාසීහු පවසති.
කෙසේ නමුත් කලපුව සම්බන්ධව වගකිවයුතු රාජ්‍ය ආයතන ලේඛනයේ රාජ්‍ය ආයතන 22ක් තිබුණද, ඒ කිසිදු ආයතනයක් පුත්තලම කලපුවේ පුංචි කලපුව ලුණු කර්මාන්තකරුවන් සේම ඉස්සන් වගාකරුවන් ආක්‍රමණය කර ඇති ආකාරය නොදැක තිබීම පුදුමය දනවන කරුණක්ව තිබේ.
මෙම රාජ්‍ය ආයතන 22ක අතරින් ප්‍රාදේශීය ලේකම්, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වයඹ පළාත් පරිසර අධිකාරිය, වන සංරක්ෂණ, වනජීවී, ධීවර දෙපාර්තමේන්තුව සහ පොලීසිය නිරන්තරයෙන් කලපුව පිළිබඳ අවධානය යොමු කිරීම සිදුවිය යුතු නමුත්, එම ආයතනද පුත්තලම පුංචි කලපුව තුළ සිදුවන නීතිවිරෝධී ගොඩකිරීම් ඇතුළු අනිසි කටයුතු පිළිබඳ කිසිදු සොයා බැලීමක් සිදුකර නොමැති බව පුත්තලම කලපුවට ආදරය කරන පිරිස් පවසති.
ඉස්සන් වගාව වෙනුවෙන් 1990 දශකයේ සිට පුත්තලම කලපුව වනසා දැමුණේ පක්ෂ - විපක්ෂ දේශපාලඥයන්ගේ සියලුම ආශීර්වාද මැදය. ඉස්සන් වගාව තුළින් සිතාගත නොහැකි ආදායමක් ලබාගැනීම පළමු වකවානුවේදී පෙන්නුම් කිරීම නිසාම රට පුරා ධනවත් ව්‍යාපාරිකයන් තම මුදල් වැය කරමින් ඉස්සන් ඇති කිරීමට පුත්තලම කලපුවේ හදවත ලෙස හැඳින්වූ කඩොලාන අක්කර දහස් ගණනින් කපා විනාශ කරන විට එකල රාජ්‍ය නිලධාරීන් දෑස් වසාගෙන සිටියේ කුමන හේතුවක් නිසාදැයි අදටත් ප්රශ්නයක්ව තිබේ. නමුත් ඉස්සන් වගාවට සුළු කාලයකින් පැතිරී ගිය සුදු පුල්ලි රෝගය නිසාම මහත් උජාරුවෙන් පරිසරය වනසා සිදුකළ ඉස්සන් වගාව එකවරම නැවතී ගියේ පරිසරයට සිදුකරනු ලැබූ හානියට දඬුවමක් ලබාදෙමින් බව මෙම සුන්දර බිමට ආදරය කළ බොහෝ දෙනෙක් එකල සේම අදද පවසති.
කෙසේ නමුත් කඩොලාන වනසා සිදුකළ ඉස්සන් වගාව වසර 10කට ආසන්න කාලයකදී නැවතී ගිය අතර, එම බිම්වල නැවතත් කඩොලාන ඇතුළු ශාක වර්ධනය වෙමින් තිබියදී වසංගතයක් සේ ඉස්සන් වගා කළ ටැංකි ඩෝසර් කරමින් එයට අමතරව ඉතිරි බිම් තීරවලද නැවතත් ලුණු කර්මාන්තය සඳහා කලපුව වනසන්නට වී තිබේ. මේ වැනසීමට හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකුද සම්බන්ධ බවට චෝදනා නැගෙන අතර, ඔහුට නීතිය ක්‍රියාත්මක වීම කෙසේ වෙතත්, වනසා දැමූ කලපුවට වාර්ෂික බලපත්‍ර පවා සකසාගෙන තිබේ.
අද වනවිට ලුණු කර්මාන්තය පුත්තලම කලපුවේ පුංචි කලපුව සම්පූර්ණයෙන් ආක්‍රමණය කර අවසානය. ඒ සඳහා පළමුව ඉතාම උපක්රමිකව කලපුවේ ඇති කඩොලාන ඉවත් කර පුළුස්සා දමා, ඉන්පසුව එම භූමියේ කිසිදු ශාකයක් නොතිබූ බවට හැඟවීම ලුණු කර්මාන්තකරුවන්ගේ පළමු ඉලක්කය වන අතර, ඉන් පසුව එම ප්‍රදේශයේ මුඩුබිමක් බවත්, ඒ සඳහා ලුණු සැකසීමට බලපත්‍රයක් සකස් කර ගැනීමට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාද සම්බන්ධ කරගැනීම සිදුවන බවත් සාක්ෂි සහිතව සනාථ වී තිබේ.
එසේම පුත්තලම කලපුව සඳහා වගකිවයුතු රාජ්‍ය ආයතන ගොන්න අතරින් එකම ආයතනයක්වත් තම වගකීම ඉටු නොකිරීම බරපතළය. මේ ආකාරයට කලපුව දිගින් දිගටම වැනසී යද්දී වගකිවයුතු බලධාරීන් මුනිවත රැකීම පුදුමය දනවයි.
මේ වන විට පුත්තලම පුංචි කලපුව තුළ අක්කර 3000කට වැඩි භූමියක් කිසිදු අවසරයකින් තොරව අත්පත් කරගෙන ඇත්තේ සෑම රාජ්‍ය නිලධාරියෙකුගේම දෑස් වසා දමමින්දැයි ප්‍රශ්න මතුව තිබේ.
අඩුම තරමින් කලපුවක වටිනාකමවත් තේරුම් නොගත් පිරිස් එය වනසා දමමින් ඇත්තේ මුදල් පමණක් ජීවිතය බවට පත් කරගනිමිනි. එසේම ශ්‍රී ලංකාවේ කලපුවල ප්රභවය, පැවැත්ම, පරිණාමය පිළිබඳ මේ වනතුරු මනාව අර්ථ දක්වා නොමැති අතර, කලපුවල ආකාරය, පරිසර ජල විද්‍යාව, පරිසර පද්ධතිය, ඵලදායීතාව හෝ ඒවා භාවිතයට පහසුකම් සපයන දරා සිටිය හැකි ආකාරයේ සේවා පදනම් කරගත් සුදුසු සංරක්ෂණ රාමුවක් තුළ වර්ගීකරණය කර හෝ හඳුනාගෙන හෝ නොමැති වීම කනගාටුදායකය.
පුත්තලම කලපුවට අයත් පුංචි කලපුව තුළ සිදුවන නීතිවිරෝධී කටයුතු ඉතාම සූක්ෂ්ම ලෙස සිදුවෙමින් ඇත්තේ වගකිවයුතු අංශ ඇස් වසා නොව වගකිවයුතු බලධාරීන්ගේ නිසි ක්‍රියාත්මක වීමක් නොමැති වීම නිසාවෙනි.
ගුවනින් ඡායාරූපගත කිරීමේදී ඉතාමත් පැහැදිලිව පුංචි කලපුවට සිදුකර ඇති හානිය දැකගත හැකිය. අද වනවිට පුත්තලම පුංචි කලපුවේ ඉතිරිව ඇති බිම් ප්‍රමාණය ඉතාම සුළු බව පැහැදිලිව පෙනේ. දෙපස ඉතිරි කරමින් ඉතාමත් උපක්රමිකව මැද ඇතැම් ස්ථානවල ඉස්සන් ටැංකි සාදා ඇත්තේ දශකයකටත් පෙර බව පැහැදිලිව පෙනුණද, නැවතත් ලුණු කර්මාන්තය වෙනුවෙන් කලපුවේ සිදුවන ඉදිකිරීම් දැකගත හැකිය. එසේම ලුණු නිෂ්පාදනය හේතුවෙන් අධික ලවණ තත්ත්වයද ඉස්සන් ටැංකිවලින් කිසිදු ක්‍රමවේදයක් නොමැතිව නිරන්තරයෙන් කලපුවට මුදාහරිනු ලබන රසායනික ද්‍රව්‍ය නිසාද දැවැන්ත පාරිසරික හානියක් කලපුවට අත්ව තිබේ.
අතීතයේ පුංචි කලපුව ඉස්සන් ඇතුළු මත්ස්‍යයන්ගේ රජදහනක්ව තිබී ඇති නමුත්, මේ අනිසි කටයුතු හේතුවෙන් මත්ස්‍ය අස්වැන්න සම්පූර්ණයෙන් වැනසී ඇති බවට ධීවරයෝ චෝදනා කරති.
එන්.එම්.එන්. චිත්‍රානන්ද මහතා පුත්තලම දිස්ත්‍රික් ලේකම්,
“කලපුව තුළ සිදුවන නීතිවිරෝධී කටයුතු සියල්ල හෙළි කරන්න කියලා මම ඇත්තටම කියනවා. මොකද මේ පිළිබඳ සොයා බැලිය යුතු ආයතන ඒ ගැන සොයා බැලීම් කර නැති බව තමයි වාර්තා වෙන්නේ. නමුත් මම මේ ගැන කල්පිටිය සහ මුන්දලම ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැන්වූවා වහාම සොයන්න කියලා. යම් තැනක වැරැද්දක් සිදුව තිබෙනවා නම් ඒ සඳහා මම අවශ්‍ය කටයුතු කරනවා. මොකද මේ පරිසරය විනාශ වෙන්න දීලා අපට බලන් ඉන්න බැහැ.*
සකුන්ත පද්මසිරි මහතා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොළඹ උතුර කලාප භාර ඉංජිනේරු,
අපට පුත්තලම කලපුවේ අයිතිය තිබෙන්නේ මෝය කටේ ඉඳලා කිලෝමීටර් දෙකක් යනතුරු පමණයි. ඒ නිසා කලපුවේ අපට වගකීම අඩුයි.
නීතිඥ ජගත් ගුණවර්ධන මහතා ජ්‍යෙෂ්ඨ පරිසරවේදී
කලපුවක ජල තීරය සම්පූර්ණයෙන් අයිති රජයට. රජයේ ඉඩම් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව පොදු ජල මාර්ගයක හෝ පොදු ජලාශයක හෝ පතුල සම්පූර්ණයෙන් රජය සතු ඉඩමක් ලෙසයි නිර්ණය වන්නේ. ඒ අනුව පුත්තලම කලපුවේ ජල තීරයට අයිති වන කොටස කඩොලාන තිබුණත්, නැතත්, වෙනත් ශාක තිබුණත් එහි අයිතිය ප්‍රාදේශීය ලේකම්ට අයිති ප්‍රදේශයක් ලෙසයි සලකන්නේ. එමනිසා යම් කටයුත්තක් කරනවා නම් ඒ සඳහා බලපත්‍ර ලබාදෙන්නේ ප්‍රාදේශීය ලේකම්වරයායි. එවැනි අවස්ථාවක සලකා බැලිය යුතු කාරණා දෙකක් තිබෙනවා. බලපත්‍ර ලබාදීමට පෙර වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මතය විමසන්න වුවමනායි. වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව නම් කිසිම අවස්ථාවක කඩොලාන භූමියක ඉදිකිරීමකට එකඟතාවක් පළ කරන්නේ නැහැ. මොකද කඩොලාන සම්බන්ධව ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන අවස්ථාවක දැනට හෙක්ටයාර් 10,000ක බ්ම් ප්‍රමාණයක් පමණයි ඉතිරි වී තිබෙන්නේ. ඒ නිසා කඩොලාන ඉඩම්වල මෙවැනි ඉදිකිරීම් සඳහා ඉඩ ලැබෙන්නේ නැහැ. මේ තත්ත්වය අනුව අපි විශේෂයෙන් බලනවා ඉඩම් ආඥා පනත අනුව අපේ ප්‍රතිපත්තිය නිසි ලෙස ක්‍රියාත්මක වුණාද කියලා. වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ව ලිඛිත අවසරයක් අනිවාර්යයෙන් තිබිය යුතුයි. මේ කටයුතුවලදි කලපුවේ ජලවහන රටා වෙනස් වෙන්න පුළුවන්. ලියදි හදලා, බැමි බැඳලා අවහිරයක් වෙන්න පුළුවන්. ඒ නිසාම කලපුවට වගකියන අනෙකුත් ආයතනවලින් අවසරයක් ලබාගත යුතුයි. මන්ද සිදුවිය හැකි බලපෑම් නිසා. ඒ වගේම මෙවැනි තෙත්බිම් පරිසර පද්ධතියක් තෙත්බිම් නොවන කාර්යයන් සඳහා භාවිත කරනවා නම් ලුණු ලේවායක් වාගේ දෙයක් කරනවා නම් පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් හෝ මූලික පාරිසරික විශ්ලේෂණ වාර්තාවක් සිදු කරලා පරිසරයට සිදුවන හානිය අධ්‍යයනය කරන්න සිදු වෙනවා. ඒ සඳහා සාමාන්‍යයෙන් එම ප්‍රදේශයේ පාරිසරික තක්සේරු වාර්තා ලබාදෙන සහ අනුමැතිය ලබාදෙන ආයතනය තමා වයඹ පළාත් පරිසර අධිකාරිය. මේ ආයතනය මේ කටයුත්ත සඳහා පූර්ව ලිඛිත අවසරයක් ලබා දෙනවා නම් සහ එවැනි පරිසර වාර්තාවක් සකස් කරලා අදාළ යෝජකයා විසින් අදාළ වාර්තාවක් ඉදිරිපත් කරලා අදාළ ආයතනයට ඉදිරිපත් කරලා තිබෙනවාද? ඒ සඳහා නිසි අවසරයක් ලබාදීලා තිබෙනවාද? එසේ අවසරයක් දී නැතිනම් වයඹ පළාත් පරිසර අධිකාරියේ පළාත් ප්රඥප්තියේ 51 වැනි වගන්තිය අනුව මේ අයට විරුද්ධව නෛතික වශයෙන් කටයුතු ක්‍රියාත්මක කරලා තිබෙනවාද? නැද්ද? යන්න විමසා බැලිය යුතු කාරණයක් ලෙසයි පෙනෙන්නේ .
එසේම යම්කිසි ලුණු ලේවායකින් තමන්ගේ නිෂ්පාදනයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය උකහා ගත්තායින් පසු ඉතිරි වන ජලය නැවතත් ජල මාර්ගයකට මුදාහරිනවා නම් පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබාගත යුතුයි. දැනට නීතිමය වශයෙන් පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ලබාදීමේ බලය තිබෙන්නේ මධ්‍යම පරිසර අධිකාරියට පමණයි. නමුත් අපි දැකලා තිබෙනවා පළාත් පරිසර අධිකාරිය මධ්‍යම පරිසර අධිකාරියට බලයක් නැතැයි පවසමින් බලපත්‍ර ලබාදෙනවා. එසේ තමන්ට බලය තිබෙනවා කියා වයඹ පළාත් පරිසර අධිකාරිය පවසනවා නම්, එසේ ලබාදී තිබෙනවා නම්, එසේ ලබාදුන් පරිසර ආරක්ෂණ බලපත්‍රවල කොන්දේසි මොනවාද? ඒ වගේම ලුණු උකහා ගත්තායින් පසු ඉතිරි වන අනෙකුත් ලවණ සහිත ජලය ලේවාය තුළින් කලපුවට ගිහින් එහි ජලජ ජීවීන්ට වෙන්න පුළුවන් හානිය පිළිබඳ යම්කිසි තක්සේරුවක් කරලා නිසි පරිදි තනුක කරලාද බලපත්‍රයක් දෙන්නේ කියා සොයා බලන්න ඕනා. අපි දකින තරමින් පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් දෙන්න පුළුවන්, ජල මාර්ගයකට මුදාහරින අපජලය තනුක වෙනවායි කියන පදනම උඩ. නමුත් කලපුවක් කියන්නේ එසේ සංසරනය වන ජලය තිබෙන පරිසර පද්ධතියක් නොවන නිසා පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබාදෙන්න බැහැ යම්කිසි අපද්‍රව්‍යයක් මුදාහරින්න කියලා. ඒ නිසා පුත්තලම කලපුවට අපජලය මුදාහරින්න කියලා අවසරයක් දීලා තිබෙනවා නම් බැලු බැල්මට දෝෂ සහිතයි.
පද්මා අබේකොන් මහත්මිය පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා,
පුත්තලම කලපුව පිළිබඳ අපි කටයුතු කරන්නේ මැදිහත්කරුවෙකු ලෙසයි. යම් හානියක් සිදු වෙනවා නම් ඒ ගැන අදාළ ආයතන සමග ඍජුව කතා කරලා අදාළ කටයුතු කිරීමට සෑම විටෙකම ක්‍රියාත්මක වෙනවා. නමුත් පුත්තලම කලපුවේ පසුගිය සමයේ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ සමීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා කලපුවට අයත් බවට සැක සහිත භූමි විශාල ප්‍රමාණයක් අත්පත් කරගෙන තිබෙන බව. ඒ නිසා ඉදිරි කටයුතු කරන්න යම් යම් ප්‍රමාද වීම් තිබෙනවා.*