විටෙක ස්වභාව සෞන්දර්යට ප්‍රිය කළ ජනයා එය අපූර්ව ලෙස සිත්තම් කළහ. එය කාලයට සාපේක්ෂව නොයෙක් ගතිකත්වයන් පදනම් කරගනිමින් සුන්දරත්වයේ කලාවක් විය. තවත් කලෙක එය නොයෙක් හැඟීම් මූර්තිමත් කළ යථාර්ථයේ විද්‍යාවක් විය. මේ අයුරින් නොයෙක් ස්වරූපයන් ඔස්සේ විවිධ දෑ ප්‍රදර්ශනය කළ හැකි කදිම මාධ්‍යයක් ලෙස අද වන විට සිතුවම් කලාව හඳුනාගත හැකිය.
ලාංකීය සිතුවම් කලාවත් එවැනිම වූ ඓතිහාසික වටිනාකමක් ඔස්සේ ගොඩනැගී ආ දෙයකි. එවන් වූ සිතුවම් කලාවට උපතින්ම හපන්කම් දක්වන තරුණයෙකු අපට මාතර, දෙනියාය ප්‍රදේශයෙන් හමුවිය. ඔහු නමින් තුෂාර සම්පත්ය. තම පියාගේ ආභාසයෙන් ඔහු වයස අවුරුදු 15දී පමණ සිතුවම් කලාවට මූලික අඩිතාලම දැමීය.
ඒ අනුව ඉදිරියටත් තම පියාගේ අඩිපාරේ යමින් පන්සල් සිතුවම් හා මූර්ති නිර්මාණය කිරීමට ඔහු තීරණය කළේය. තරුණ අවදියේ දඟකාරකම් අමතක කොට මීට වසර 17කට පෙර සිතෙහි හටගත් සමාධියෙන් ඇරඹි ඔහුගේ ජීවන වෘත්තිය ඔස්සේ මේ වන විට පන්සල් 30කට ආසන්න ප්‍රමාණයක බිතුසිතුවම් නිර්මාණයකර ඇත. එයිනුත් පන්සල් 10ක් පමණ ඔහු තනිවම සිදුකළ සිතුවම් වලින් යුක්තය.
බුද්ධ රූප, දේව රූප මෙන්ම බෞද්ධ මුහුණුවරක් ගත් පන්සල් ආශ්රිත චිත්‍ර කලාව අභාවයට යමින් සිටින කාලයක මෙවන් තරුණයන් රටට ආදර්ශයකි.
වයස අවුරුදු 32ක් වන තුෂාර පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයෙන් සිය අධ්‍යාපනය හැදෑරීය. නමුත් විශ්මයජනක වනුයේ ඔහු මෙම ශිල්පය පිළිබඳ කිසිදු අධ්‍යාපනික දැනුමක් ලබා නොමැති වීමය. සියල්ල ඔහු ස්වයං අධ්‍යයනයෙන් ලබාගෙන ඇත. මේ නිර්මාණයන් සියල්ල ඔහු ස්වයං අධ්‍යයනයෙන් ලබාගත් දැනුමෙන් සිදුකළ ඒවා වීම තවත් සුවිශේෂී කාරණයක් වේ.
ඔහු අවම වශයෙන් ඒ පිළිබඳ පාඨමාලාවක් හෝ රජය පිළිගත් ආයතනයක සිදුනොකළද, සිය පින්සල් තුඩින් වර්ණ සංකලනය කරනුයේ උපන් දක්ෂතාවය සහ ස්වං අධ්‍යයනය තුළිනි. ඒ පිළිබඳ විධිමත් දැනුමක් ප්‍රායෝගික වශයෙන් තිබුණද, න්‍යායාත්මක වශයෙන් ඉගෙනීමට තුෂාරට ආශාවක් තිබුණි.
නමුත් මුදල් යන සාධකය ඔස්සේ ඒ සඳහා අවකාශයක් නොවීය. සිතේ ඇති ශක්තියෙන් අද වන විට තම මව, පියා සහ නැඟණියගේ අවශ්‍යතාවයන් සොයා බලා ඉටුකරදීමට ඔහු සිය හැකියාව තුළින් සමත් වී තිබේ. මේ වන විට චිත්‍ර ශිල්පය තුෂාරගේ වෘත්තිය වී තිබේ.
විහාර බිතුසිතුවම් වලට අමතරව ප්‍රතිමා නිර්මාණය කිරීමටද ඔහු තුළ ඇත්තේ අපූර්ව වූ දස්කමකි. ඒ අනුව විහාරස්ථානයන්හී ඇති ප්‍රතිමා මෙන්ම සංචාරක නිකේතනයන් වල ඇති ප්‍රතිමා ඇඹීමට ඔහුට ඇති ඉල්ලුම ඉහළය. එමෙන්ම පරිසරය හා සම්බන්ධ සිතුවම් මෙන්ම හැඟීම් ප්‍රදර්ශිත සිතුවම්ද ඔහු විසින් නිර්මාණය කරනු ලබයි.
එවැනි සිතුවම් සඳහා හෝටල් ක්ෂේත්රය තුළ බොහෝ ඉල්ලුමක් තිබෙන බැවින් ඒ වෙනුවෙන් ඔහු විශේෂයෙන්ම සිතුවම් කරදෙනු ලබයි. ඔහුගේ බොහෝ සිතුවම් හෝටල්වලට පැමිණෙන අමුත්තන් සඳහා විකිණීමත් මෙහිදී සිදුකරයි. විශේෂයෙන් මීගමුව ප්‍රදේශයේ හෝටල් වලින් තුෂාරගේ සිතුවම් සඳහා හොඳ ඉල්ලුමක් තිබේ.
ලෝකයට සාපේක්ෂව ලංකාවේ චිත්‍ර ශිල්පයේ ගුණාත්මක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. මේ අනුව ඉතිහාසයේ සිට අධ්‍යයනය කිරීමේදී ලංකාවේ දක්ෂ චිත්‍ර ශිල්පීන් රැසක් අද වන විට බිහි වී තිබේ. ඔවුන් වෘත්තීය වශයෙන් මෙන්ම විනෝදාස්වාදය සඳහා එය සිදුකිරීම දැකගත හැකිය. වෘත්තීය මට්ටමින් විහාරස්ථානයන්හී සිතුවම් අඳින තුෂාර තම වින්දනය සඳහා ත්‍රිමාණ සිතුවම් නිර්මාණය කිරීම කාගේත් අවධානය දිනාගත්තකි.
එමෙන්ම චිත්‍ර ලොව ජනප්‍රිය නිර්මාණකරණ විශේෂයක් ලෙස ත්‍රිමාණකරණය හඳුනාගත හැකිය. ලෝකයේ ත්‍රිමාණකරණය නොයෙක් ක්ෂේත්රයන්හී ජනප්‍රිය වීම නූතනයේ ප්රබලව දැකගන්න හැකිය. එය චිත්‍ර කලාව තුළත් අතිශය නිර්මාණත්මක අයුරින් වර්ධනය වීම සහ ලෝකයේ නොයෙක් චිත්‍ර ශිල්පීන් මෙය භාවිතයට ගනිමින් සජිවී චිත්‍ර නිර්මාණය කිරීම කාගේත් අවධානය දිනාගත් සිද්ධියකි.
ඔවුන් ස්වභාවධර්මය මෙන්ම යථාර්ථය සහ අලංකාරය තුළින් සජිවීව යම් දෙයක් නිර්මාණය කිරීමට සමත් විය. තුෂාරද තමාට හැකි අයුරින් මෙය අනුකරණය කරමින් තමාටම ආවේණික ශෛලියක් ඔස්සේ වෙනස් ආකාරයට ත්‍රිමාණ රූපයන් සිතුවමට නැගීම කැපී පෙනේ. ඔහු මේ සදහා අනතර්ජාලයේ සැරිසරා විවිධ දෑ ගවේෂණාත්මකව සොයා ගනු ලබයි. උසස් තාක්ෂණික ක්‍රමවේදයන් නැතත් තුෂාරගේ ගෙමිදුලේ ඇඳි ත්‍රිමාණ සිතුවම් තුළින් වුවද එය මැනවින් හඳුනාගත හැකිය.
ඔහු විනෝදයක් වශයෙන් ත්රිමාණකරණයේ වෙනස් වෙනස් දෑ අත්හදා බලන අතර, තම අතෙහි නොයෙක් සජිවී රූපයන් නැඟීම කාගේත් සිත් දිනා ගනියි. ඔහු තම අතේ විවිධ චරිතයන් රූපයට නගා ඇති අතර, ජනප්‍රිය පුද්ගලයින්ගේ රූපයන් ප්‍රතිනිර්මාණය කිරීම ඔහුගේ චිත්‍ර කලාවේ විනෝදය විය. එමෙන්ම අලි ඇතුන්, සතා සිවුපාවා මෙන්ම ගහකොළද අපූර්ව අයුරින් ප්‍රතිනිර්මාණය කිරීමට තුෂාරට හැකිය. ඔහු බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුට ඔහුගේ රුව සිතුවම් කර ඇඳ යවා ඇති අතර, එය අගය කරමින් ප්‍රශංසාකර පිළිතුරු පවා එවීමට රජ පවුල උනන්දු වීම සුවිශේෂී වේ.
නමුත් ඔහුට කොපමණ ඉල්ලුමක් ගොඩනැගී තිබුණද ඔහුට කළ හැක්කේ වර්ෂයකට විහාර සහ පන්සල් 3ක හෝ 4ක සිතුවම් ඇඳීම පමණි. අනෙක අතට ඔහු සිටින්නේ දෙනියාය ප්‍රදේශයේ නිසා සිතුවම්කරණය සඳහා පැමිණෙන කාර්යයන් භාර ගැනීමේ නොහැකියාවද ප්‍රබල ගැටලුවකි. ඔහුගේ ආර්ථික මට්ටම මත දුරක ගොස් රැකියාවේ නිරත වීම සඳහා ප්‍රවාහන පසුකම් නොමැති වීමද ගැටලුවකි. ඒ නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමේ නොහැකියාව තුෂාර පෙළෙන ප්‍රබල ගැටලුවකි. මේ නිසා මේ ක්ෂේත්රයෙන් පුළුල් වශයෙන් තම සේවය ලබාදීම ඔහුට කළ නොහැකිය.
සමාජ ජාල වෙබ් අඩවි තුළ ඔහුගේ සිතුවම් ජනප්‍රිය වී තිබෙන හෙයින් වර්තමානයේ ඔහුගේ චිත්රවලට පැමිණෙන ඉල්ලුම ඒ ඔස්සේ වැඩි වී තිබේ. ඒ වටා රසික රසිකාවියන් රැසක් එක්රැස් වී සිටී. විශේෂයෙන්ම ඒ පුද්ගලයන් නොයෙක් අවස්ථාවන්හී ඔහුට උදව් උපකාරයන් සිදුකරන අතර, ඇතැමුන් වචනයෙන් පවා දිරිමත් කරයි. එබැවින් තව තවත් එයින් නිර්මාණ කිරීමේ උනන්දුව වර්ධනය වේ.
නමුත් ඕනෑම චිත්‍ර ශිල්පියෙකුගේ සිතේ පහළවන කුළුදුල් ආශාවක් මෙන්ම තුෂාරගේ ඒ කාලයේ සිටම පැවති එක් ආශාවක් වූයේ චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීමයි. නමුත් ඔහුට මේ සඳහා මූල්‍යමය ප්‍රාග්ධනයක් හෝ එය සම්බන්ධීකරණය කිරීමේ හැකියාවක් නොමැත. ඒ නිසා ඔහු තමන්ගේ නිර්මාණයන් දැක ඒ තුළින් ඉදිරියට යාමට ඔහුට දිරියක් සපයන ලෙස ඉල්ලා සිටින අතර, ඔහුගේ මෙම අපේක්ෂාව මුදුන්පමුණවා ගැනීම සඳහා කැමති කෙනෙකුගේ සහයක් අපේක්ෂා කරයි.
තමන්ගේ හැකියාවන් බලා දක්ෂතාවන් අගය කර, ඒ මගින් තමන්ට හැකි පමණින් උපකාරයක් කරන මෙන් ඔහු සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටියි. ආර්ථික තත්ත්වය යටතේ මේ පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් හැදෑරීමට නොහැකි වුවත් මේතරම් දුර පැමිණ සිය පවුල ආරක්ෂා කිරීම අප අගය කළ යුතුය. රටේ වියැකී යන පන්සල් සිතුවම් කලාව තුළ උපන් හපන්කමක් ඇති තුෂාරව අප අගය කළ යුතුය. වෘත්තියක් වශයෙන් ඔහු මෙම කරන කාර්යය එක්තරා අයුරින් රටට කරන්නා වූ සමාජ සේවයකි.
දුරකතන අංකය - 077 6 017 330