නීතිය නොදැනීම හේතුවෙන් අද අප කෙතරම් ගැටලුවලට මුහුණ දෙනවාද? එයින් අපට මොනතරම් පාඩු වන අවස්ථා, අයිතිවාසිකම් ගිලිහෙන අවස්ථා පවතිනවාද? ඒ වගේම රටක් ලෙස ගත්විට අපේ රටේ සාමාන්‍ය පුරවැසියාට නීතිමය කාරණා සම්බන්ධව ඇති දැනුම ඉතාම පහළ මට්ටමක පවතී.
මේ හේතුවෙන් නීතිය කඩවන අවස්ථාවලද ඉමක් කොනක් නොමැත. එය එක්තරා අතකට රටේ සංවර්ධනයටද බාධාවකි. මේ හේතුව නිසාම පාසල් අවධියේ සිට නීතිමය අධ්‍යාපනය දරුවන්ට ලබාදෙන්න හැකියාව තිබේ නම්, මෙම තත්ත්වය යම්තාක් දුරකට විසඳා ගැනීමේ හැකියාව පවතී.
නමුත් මෙරට අධ්‍යාපන බලධාරීන් ඒ පිළිබඳව කිසිවිටකත් අවධානය යොමුකර නොමැත. රටක් නීතිගරුක කිරීමට අවශ්‍ය නම් කුඩා අවධියේ සිට දරුවාට ඒ සම්බන්ධව ඉගැන්විය යුතුය. එසේ නොකර එය ක්ෂණිකව සිදුකළ හැකි කාර්යයක් නොවේ. මේ නිසා පාසල් අධ්‍යාපනයේදීම දරුවන්ට නීති අධ්‍යාපනය ලබාදීම ඉතා වැදගත්ය. මේ සම්බන්ධව අදහස් විමසීමට අපි නීතිඥ ජගත් ලියන ආරච්චි මහතා 'අද'ට සම්බන්ධ කර ගත්තෙමු.
''පාසල් අධ්‍යාපනය තුළදීම ළමයෙකුට නීතිය පිළිබඳ මූලික අධ්‍යාපනය ඉතා වැදගත් වෙනවා. ඒ කරුණු කිහිපයක් නිසා. එකක් තමයි නීතියේ පිළිගැනීමක් තිබෙනවා නීතිය නොදැන සිටීම නිදහසට කාරණයක් නොවේ කියලා. එයින් අදහස් කරන්නෙ විශේෂයෙන් අධිකරණය බලාපොරොත්තු වෙනවා සෑම පුරවැසියෙක්ම නීතිය පිළිබඳ අවබෝධයකින් යුක්තව වැඩ කළ යුතුයි කියා. මෙම කාරණය අපරාධ නීතියේදී ඉතාම බලවත් ලෙස අවශ්‍ය වන කාරණයක්.
දෙවැනි කාරණය තමයි රටේ තිබෙන යම්කිසි ක්‍රමවේදයක් පිළිබඳව පාසල් වයසේ සිට අධ්‍යාපනයක් ලැබෙනවා නම් ඒ අය ඒ ක්‍රමවේදයට හුරුවෙනවා. රටේ තිබෙන ඒ ක්‍රමවේද අතරින් එකක් තමයි නීතිය කියන දේ. එවිට ඒ නීතියට අනුව ජීවත්වීම සහ නීතියට අනුව හැඩගැසීම සහ නීත්‍යානුකූල දේ මොකද්ද? නීත්‍යානුකූල නොවන දේ මොකද්ද කියන එක දැනගැනීම, එක්තරා විදියක ගතහොත් හරි වැරදි කියන දේ අවබෝධයක් ලැබීමත් හා සමානයි.
ඒ හරි වැරැද්ද පිළිබඳ අවබෝධයක් අපට ලබාදෙන්න පුළුවන් නම්, නීත්‍යානුකූල දේ, නීත්‍යානුකූල නොවන දේ මොකද්ද කියන දේ පිළිබඳ අවබෝධයක් ලැබුණොත් තමයි පූර්ණත්වයට පත්වන්නෙ. ඒ නිසා පාසල් වයසේදීම නීතිය පිළිබඳ අවබෝධය ළමයින්ට ලැබෙන එක ඉතා වැදගත් වෙනවා.
තෙවැනි කාරණය ලෙස නීතිය ඉගෙනීම නැතහොත් දැනගැනීම ප්‍රයෝජනවත් වන්නේ නීතිය යටතේ ලැබෙන අයිතිවාසිකම් ලබාගැනීමේදී ළමයින්ට මුල්කාලයේ සිටම ඒ පිළිබඳ අවබෝධයක්, පෙළඹීමත් ලැබෙනවා වගේම සමහර විට ඒ අයිතිවාසිකම් ලබාගන්න උත්සාහ කරන අවස්ථා තිබෙනවා.
ඒ වගේම යම් කෙනෙක් නීතිවිරෝධී දෙයක් කරනවානම් එයට එරෙහි වී පුරවැසි වගකීම යන කාරණයට කුඩා වයසේ සිටම හුරුවක් ඇතිවෙනවා. උදාහරණයක් ලෙස ගතහොත් ඉන්දියාවේ සමහර පාසල් ළමයි තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව තිබෙන අවබෝධය නිසා පාසල් වයසේ ළමයි පවා තොරතුරු දැනගැනීමේ අයිතිය පාවිච්චි කර ඒ හරහා තමන්ගේ ගම්වල තිබෙන අසාධාරණයන්ට විරුද්ධව සටන් කරනවා. පාසල් කාලයේම ඒ දේ ඔවුන්ට ලැබෙන්නෙ නීතිමය කාරණා පිළිබඳ පාසල් කාලයේ සිටම අවබෝධයක් තිබෙන නිසා.
ඒවගේම ළමයෙකුට අවබෝධයක් තිබෙනවා නම් තමන්ව අනවශ්‍ය ලෙස ස්පර්ෂ කරන්න කිසි කෙනෙකුට බැහැ කියන එක, එය තහනම් කියන දේ පිළිබඳ අවබෝධයක් තිබෙනවා නම්, ළමා අපචාර වළක්වා ගැනීමට එය එක්තරා විදියකට පිටිවහලක් වෙනවා. එවිට ඒ ළමයා තමාව අනවශ්‍ය ලෙස ස්පර්ෂ කිරීම වරදක් බව දන්නවා නම් ඔහු වින්දිතයෙකු බවට පත්වුණු ගමන් ඒ අදාළ තැන්වලට වාර්තා කරන්න පුළුවන්.
අද ළමා අපචාර වාර්තා වෙන්නෙ නැත්තෙ දරුවා හිතනවා තමනුත් මේ වරදේ හවුල්කාරයෙක් කියා. ඒ නිසා ඒවා වාර්තා වෙන්නෙ නැහැ. ඒ වගේ අවස්ථාවන් මගහරවා ගන්න පුළුවන් වනවා ළමයින්ට ඒ මූලික නීතිමය කාරණා පිළිබඳ පාසල් අධ්‍යාපන අවධියේ සිට අවබෝධයක් ලැබෙනවා නම්, කෙනෙක්ට හිතෙන්න පුළුවන් නීතිය කියන දේ හරිම සංකීර්ණ දෙයක්, නීතිය කියන දේ හරිම මිල අධික දෙයක්, කොහොමද පාසලක් ඇතුළෙ ශාරීරික සුවතාව, සිංහල, බුද්ධාගම වගේ සාමාන්‍ය විෂයන් ලෙස මෙය කතා කරන්නෙ කියන ප්රශ්නය සමහර කෙනෙක්ට නැගෙන්න පුළුවන්.
නමුත් නීතිය පිළිබඳ අවබෝධය ලබාදීම යන කාරණයේදී නීතිය පාසල් විෂයක් කිරීම නොව රටේ තිබෙන මූලික නීතිමය කාරණාවගේම පාසල් වයසේ දරුවන් ලෙස දැනගත යුතු නීතිරීති, මගතොටේදී එදිනෙදා ජීවිතයේදී මුහුණපාන කරදර සම්බන්ධව ඇති නීති තත්ත්වයන්, මාර්ග නීති වගේ දේවල් පිළිබඳ අවබෝධයක් තිබීම අත්‍යවශ්‍යයි. මේ දේ පාසල් ඇතුළෙ ලබාදෙන්න නීතිඥයන් හෝ නීති විශාරදයන් අවශ්‍ය වෙන්නෙ නැහැ.
නීතියේ ඇතැම් කාරණා පිළිබඳව අපේ රටේ මුල් කාලීන අධ්‍යාපන ක්‍රමය තුළ ඇතුළත් වී තිබෙනවා. 'ප්රජාචාරය' යන විෂය තුළ නීතිමය අධ්‍යාපනයක් ලබා දුන්නා. නමුත් දැන් ඒ තත්ත්වය මගහැරී තිබෙනවා. දැනට 'පුරවැසි අධ්‍යාපනය' යන විෂය තුළට නීති අධ්‍යාපනයේ යම්යම් කොටස් ඇතුළත් වෙලා තිබෙනවා. නමුත් ඊටත් පහළ වශයෙන් සිටම යම්යම් නීති කාරණා පිළිබඳ අධ්‍යාපනයක් ලබාදිය යුතුයි ළමයින්ට. එහිදී අපට තාක්ෂණික වචන ස්වරූපයෙන්ම නොවේ.
නමුත් ප්‍රායෝගික සිද්ධි අධ්‍යනයක් හරහා ළමයින්ට නීති අධ්‍යාපනයක් ලබාදෙන්න පුළුවන්. එලෙස අධ්‍යාපනයක් ලබාදීමෙන් ඒ හරහා හුරුවෙන ළමයින් ඉදිරියේදී ඒ කාරණා සම්බන්ධව වැඩි වැඩියෙන් අධ්‍යාපනය ලබන්න, අලුතින් එන දේවල් පිළිබඳව අවබෝධයක් ලබාගන්න පෙළඹෙනවා. මෙහිදී ප්‍රධාන වශයෙන් නීති අධ්‍යාපනය හරහා දරුවන් තුළ ඇති කළ යුතු දේ තමයි 'නීතියේ ආධිපත්‍ය' කියන කාරණයට ගරුකළ යුතුයි කියන දේ, නීතිය හැමෝටම සමානයි කියන දේ සහ නීතිය හැමෝටම ඉහළින් තිබෙනවා කියනා දෙය.
නීතියට සැවොම අවනත විය යුතුයි කියන කාරණා පිළිබඳව කුඩා අවධියේ සිට හැඟීමක් ඇතිකර ගෙන තිබෙනවා නම් ඉතා වැදගත්. නැතුව දඬුවමට බිය වීම නොවේ නීතියට කීකරු වෙනවා කියන්නෙ. අපි සැවොම නීතියට ගරු කළ යුතුයි. යම් ක්‍රමවේදයකට හැඩගැසෙන්නෙ කොහොමද කියන දේ එන්නෙ මේ නීතිය පිළිබඳ අවබෝධය සහ ඒකට තිබෙන ගරුත්වය හරහා.
එලෙස ගරු කළොත් හොඳ විනයක් සහිත පිරිසක් රටට බිහිකරන්න පුළුවන්. එසේ නොමැති වීම නිසා තමයි අපට දඬුවම හරහාම මිනිස්සු හික්මවීමට සිදුවන්නෙ, ඒ අය නීතියට හික්මනොවන නිසා. එසේ නැතිව ඒ අවබෝධය තුළින් ස්වයං හික්මීමක් විනයක් ඇතිකර ගන්නවා නම් එය සමාජයක, ශිෂ්ටාචාරයක ගමන් කරනවා කියන්න පුළුවන්.
මන්ද 'බලය නොවේ යුක්තිය, යුක්තිය තමා බලය' කියන දේ තේරුම් ගත් සමාජයක්, එයට ගරුකරන සමාජයක් තමයි ශිෂ්ටසම්පන්න මිනිසුන් ජීවත් වෙනවා කියන්නෙ. එතකොට ශාරීරික දඬුවම්, හිරේ දැමීම්, දඩ ගැසීම් අවශ්‍ය වෙන්නෙ නැහැ. ඒ අධ්‍යාපනය තුළින් මිනිසුන්ට ස්වයං විනයක් ඇති කරගන්න පුළුවන්. මෙහිදී තමන් අතින් වැරැද්දක් වූ විට ඒ වැරැද්ද පිළිගන්න, ආර්ථික ප්රතිලාභ තකා වැරදි වැඩ නොකරන්න, ඒ ශික්ෂණය ඇති වෙනවා නම් තමයි ශිෂ්ටසම්පන්න වෙන්නෙ. ඒ අවබෝධය ළමයින්ට පාසල් කාලයේ සිට ලබා දිය යුත්තේ ඒ නිසායි.