භාණ්ඩ හා සේවා පරිභෝජනය කරනු ලබන තැනැත්තා පාරිභෝගිකයා ලෙස සරලව හැඳින්විය හැකි වුවද නීතියේ අර්ථකථනයට අනුව වෙළෙන්දන් විසින් හෝ නිෂ්පාදකයෙකු විසින් හෝ මිලක් ලබා ගැනීමට සලස්වන යම් භාණ්ඩ හෝ සේවා නියම වශයෙන් භාවිත කරන්නෙකු හෝ භාවිත කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි තැනැත්තෙකු පාරිභෝගිකයා ලෙස පුළුල්ව හඳුන්වයි. මෙම අර්ථකථනයට අනුව ඉඳිකටුවක් මිලදී ගනු ලබන තැනැත්තාගේ සිට ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගනු ලබන තැනැත්තා පාරිභෝගිකයෙකි.
ඕනෑම රටක සමස්ත ජනගහනයම සමන්විත වන්නේ පාරිභෝගිකයන්ගෙනි. එම නිසා පාරිභෝගිකයාට ඉතා වටිනා තත්ත්වයක් රට තුළ නිර්මාණය වී තිබේ. එම වටිනාකම නිසාම පාරිභෝගිකයන් විශාල අයිතිවාසිකම් රැසකට හිමිකම් පානු ඇත. ඒ පිළිබඳ අදහස් දක්වන ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි පැවසුවේ %සියලු පුරවැසියෝ පාරිභෝගිකයෝය. ආර්ථික ක්ෂේත්රයේ විශාලම ස්තරය ඔවුන් වන අතර, රාජ්‍ය හා පෞද්ගලික යන සෑම ක්ෂේත්රයකම තීරණවලින් පීඩාවට පත්වන්නෝද ඔවුන් වෙති^ එම කියමන ඉතා නිවැරදි බව වර්තමානයේ අපට ගම්‍ය වේ.
පාරිභෝගික අයිතිවාසිකමිවල ඉතිහාසය
වර්තමානයේ අන්තර්ජාතිකව පිළිගත් පාරිභෝගික අයිතිවාසිකම්වල උත්පත්තිය ඇමරිකාව වුවද, අතීතයේ එනම් රජ සමයේ පටන් අප රටේ පාරිභෝගික අයිතිවාසිකම් තහවුරු වී තිබූ බවට බොහෝ පුරාණ ග්රන්ථ හා සෙල්ලිපි සාක්ෂි දරයි. ඒ කෙසේ වුවද වර්තමානයේ පවතින ප්‍රධාන ගැටලුව වනුයේ පාරිභෝගිකයන් තම අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් නොවීම හා තම අයිතිවාසිකම් පිළිබඳ පාරිභෝගිකයා උනන්දු නොවීමයි. 'දැනුවත් පාරිභෝගිකයා සුරක්ෂිත පාරිභෝගිකයෙකු' යන්න ප්‍රකට කියමනක් වුවද අප රටේ පාරිභෝගිකයා දැනුවත් නැත. සෑම වසරකම මාර්තු 15 දිනට ලෝක පාරිභෝගික දිනය යෙදී ඇත. මෙවර පාරිභෝගික දිනයේ තේමා පාඨය වන්නේ %තාක්ෂණ වෙළෙඳ පොළෙන් පාරිභෝගිකයන්ට ආරක්ෂාව^ යන්නයි, (Making Digital Market Place fairer consumer protection )
පාරිභෝගිකයාට ඇති අයිතිවාසිකම් මොනවාද?
පාරිභෝගික අයිතිවාසිකම් රාශියක් ඇත. ඒවා අතර ප්‍රධාන අයිතිවාසිකම් ලෙස,
මූලික අවශ්‍යතා
පාරිභෝගිකයන්ගේ පැවැත්ම තහවුරු කෙරෙන මූලික භාණ්ඩ හා සේවා එනම් ආහාර, ජලය, ඇඳුම්, නිවාස, සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවා අධ්‍යාපනය හා ඵලදායක රැකියාවක්.
රැකවරණය නොහොත් සුරක්ෂිතභාවය
සෞඛ්‍යයට හා ජීවිතයට හානිකර භාණ්ඩ හා සේවා සැපයීමෙන් වෙළෙඳාමෙන් ආරක්ෂා වීමට අයිතිය.
තොරතුරු
වංක හෝ නොමග යවනසුලු දැන්වීමෙන් හෝ ප්‍රචාරණයෙන් ආරක්ෂා වීමට ඇති අයිතිය.
තෝරාගැනීම
යහපත් ප්‍රමිති හා පිළිවිතරවලින් යුත් තරගකාරී මිල ගණන්වලට නිෂ්පාදන හා සේවා තෝරාගැනීමේ අයිතිය.
සවන් යොමු කරවා ගැනීම
රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සහ අදහස් ප්‍රකාශ කිරීමට හා ඒවාට ඇහුම්කන් දීමක් ලබාගැනීමේ අයිතිය.
සහන පිළියම්
ව්‍යාජ තොරතුරු, අයහපත් භාණ්ඩ සහ අසතුටුදායක සේවාවලින් සිදුවෙන අසහනයට වන්දි හෝ සහන ලබාගැනීමේ අයිතිය.
පාරිභෝගික අධ්‍යාපනය
දැනුවත් හා සබුද්ධික පාරිභෝගිකයෙකු වශයෙන් කටයුතු කිරීමට දැනුම සහ කෞශල්‍ය අත්කර ගැනීමේ අයිතිය.
සුවදායක පරිසරය
ජීවිතයට අනතුරුදායක හෝ තර්ජනාත්මක නොවන්නාවූද අභිමානවත් හා යහපත් දිවිපෙවෙතක් ගත කිරීමට ඉඩ සැලසෙන්නාවූද පරිසරයක ජීවත් වීමට ඇති අයිතිය.
සංවිධානය වීමට ඇති අයිතිය
තම අයිතිවාසිකම් දිනාගැනීම සඳහා සංවිධානය වීමට ඇති අයිතිය.
පාරිභෝගිකයා දැනුවත්විය යුත්තේ ඇයි?
වෙළෙඳ පොළ ආර්ථිකය තුළ නිෂ්පාදකයා සිය ලාභය උපරිම කරගැනීම සඳහා කටයුතු කරනවා විනා පාරිභෝගික සුභසාධනය ගැන නොසිතයි. එමනිසා පාරිභෝගිකයා දැනුවත් නොවී සිටීම මගින් පාරිභෝගිකයා නිරතුරුවම රැවටීමට ලක්වීමක් සිදුවේ. වෙළෙඳ පොළෙන් භාණ්ඩ හා සේවා ලබාගෙන පරිභෝජනය කිරීම මගින් පාරිභෝගිකයා තම අවශ්‍යතා සපුරා ගනී. එසේ මිලදී ගනු ලබන භාණ්ඩ මස් හා මස් ආශ්රිත නිෂ්පාදන, කිරි ආහාර, සිසිල් බීම, පලතුරු, තෙල් වර්ග ආදී භාණ්ඩ හැඳින්විය හැකිය. මිලදී ගනු ලබන මෙම භාණ්ඩ පිළිබඳ පාරිභෝගිකයාට කිසිදු අවබෝධයක් නොමැත. මෙහි වඩාත් භයානකම තත්ත්වය වන්නේ මෙම භාණ්ඩ ඇතුළු වෙනත් භාණ්ඩ සඳහා ඇතුළත් කර ඇති ශරීරයට අහිතකර රසකාරක පිළිබඳ පාරිභෝගිකයා නොදැන සිටීමයි. එම නිසා පාරිභෝගිකයා තම අයිතිවාසිකම් පිළිබඳව මෙන්ම තමන් මිලදී ගනු ලබන භාණ්ඩ පිළිබඳවද දැනුවත් විය යුතුය
පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා ලංකාවේ ඇති නීති මොනවාද?
පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා රජය විසින් විවිධ නීති සකසා තිබේ. සමහර නීති පාර්ලිමේන්තුව විසින් සකසා සම්මත කර තිබෙන අතර, සමහර නීති අදාළ අමාත්‍යවරයා විසින් තම බලතල ප්‍රකාර නියෝග ලෙස සකසා ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධකොට ඇත.
පාරිභෝගිකයන් සම්බන්ධයෙන් අප රටේ ක්‍රියාත්මක වන ප්‍රධාන නීතිය වන්නේ 2003 ජනවාරි මස 9 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා ලද 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරී පනතයි.
මෙම පනත ක්‍රියාත්මක වීමත් සමගම එතෙක් පැවති,
- 1979 අංක 1 දරන පාරිභෝගික ආරක්ෂක පනත
- 1987 අංක 1 දරන සාධාරණ වෙළෙඳ කොමිෂන් සභා පනත හා
- 1950 මිල පාලන පනත (73 වැනි අධිකාරය) අහෝසි කරන ලදී.
2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරී පනත මගින් පාරිභෝගික ආරක්ෂාව සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවන ලදී. එම අධිකාරිය පිහිටුවීමේ අරමුණ වන්නේ, පාරිභෝගිකයාගේ ජීවිතවලට සහ දේපළවලට උපද්‍රවයක් සිදුවන භාණ්ඩ අලෙවි කිරීමට සහ සේවා සැපයීමට එරෙහිව පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම, අසාධාරණ පිළිවෙත්වලට විරුද්ධව පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම හා පාරිභෝගික අයිතිවාසිකම්වලට නිසි සැලකිල්ලක් දැක්වීමට සහතික වීමයි.
හැකි සෑමවිටම පාරිභෝගිකයන්ට තරගකාරී මිලට භාණ්ඩ හා සේවාවලට ප්‍රමාණවත් ප්‍රවේශයක් ලබාදීමට සහතික වීම, අසාධාරණ වෙළෙඳ පිළිවෙත්, සීමිත වෙළෙඳ පිළිවෙත් හෝ වෙළෙන්දන් විසින් සිදුකරන වෙනත් යම් ආකාරයක පාරිභෝගික සූරාකෑම්වලට එරෙහිව සහනයක් ලබාදීමට පාරිභෝගික කටයුතු අධිකාරිය ක්‍රියා කරනු ලබයි.
යම් අසාධාරණයකට ලක්වුණු පාරිභෝගිකයෙකු ඒ පිළිබඳ පැමිණිලි කළයුත්තේ කුමන ආයතනයටද?
භාණ්ඩ හා සේවාවක් මිලදී ගනු ලැබූ පාරිභෝගිකයෙකු යම් අසාධාරණයකට හෝ රැවටීමකට ලක්වුණි නම් 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනත මගින් පිහිටු වූ පාරිභෝගික කටයුතු අධිකාරියට අදාළ භාණ්ඩය මිලදී ගෙන මාස 03ක් ඇතුළත තමන් මිලදී ගත් භාණ්ඩයේ ලදුපතත් සමග ලිඛිතව පැමිණිල්ලක් කළ හැකිය. පාරිභෝගික කටයුතු අධිකාරියේ ලිපිනය වන්නේ, අධ්‍යක්ෂක ජනරාල්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, අංක 27, වොක්ෂෝල් වීදිය, කොළඔ 02 යන්නය. විශේෂයෙන් ලංකාවේ අලෙවි කරනු ලබන විදුලි උපකරණ හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සඳහා මාස 06ක අවම වගකීමේ කාලයක් ලබාදීම අනිවාර්යය වේ.
භාණ්ඩයක් මිලදී ගනු ලබන පාරිභෝගිකයෙකු සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?
භාණ්ඩයක් මිලදී ගනු ලබන පාරිභෝගිකයෙකු අනිවාර්යයෙන්ම එහි ඇති ලේබලය හොඳින් කියවිය යුතුය. එම භාණ්ඩයේ නිෂ්පාදිත දිනය, බර, භාණ්ඩයේ මිල, නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වන දිනය, නිෂ්පාදකයාගේ තොරතුරු හා එහි අඩංගු ද්‍රව්‍ය පිළිබඳ විස්තර අදාළ ලේබලයේ සටහන්ව ඇතිදැයි සොයා බැලිය යුතුය.
තමන් විසින් මිලදී ගත් භාණ්ඩ හෝ සේවා සඳහා විස්තරාත්මක කුවිතාන්සියක් ලබාගැනීම කළ යුතුය. මෑත කාලයේදී පෞද්ගලික රෝහල්වලට පැමිණෙන පාරිභෝගිකයාහට සවිස්තරාත්මක කුවිතාන්සියක් ලබාදීම අනිවාර්යය කරන ලදී. තවද ශ්‍රී ලංකාව තුළ අලෙවි කරන ඕනෑම විදුලි උපකරණයක් සඳහා අවම වශයෙන් මාස 6ක වගකීමේ සහතිකයක් ලබාදීම අනිවාර්යයෙන්ම කළයුතුය. ශ්‍රී ලංකාව වැනි රටක ප්‍රධාන ගැටලුව වන්නේ පාරිභෝගිකයන් තම අයිතිවාසිකම් පිළිබඳ නොදැන සිටීමයි. තම අයිතිවාසිකම් කඩවූ පාරිභෝගිකයෙකුට පාරිභෝගික අධිකාරියේ 1977 දුරකථනයට ඇමතිය හැකිය. දිවයිනේ සෑම දිස්ත්‍රික් කාර්යාලයක්ම කේන්ද්‍ර කරගනිමින් පාරිභෝගික කටයුතු අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල ස්ථාපිත කර ඇත. එම කාර්යාලවලටද පාරිභෝගික පැමිණිලි යොමු කළ හැකිය.