'ප්රභාකරන් ජීවතුන් අතර හිටියා නම් අද අගමැති වෙන්නත් තිබුණා' යැයි අගමැති තනතුර හෑල්ලුවට ලක් කරමින් රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිය පක්ෂයේ නායකයාටම ටොක්කක් ඇන්නාදැයි රටේ සාමය අගයන ජනතාව විමසති.සැබැවින්ම විජයකලාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනතාව පවසන පරිදි රජයේ අවධානය යොමු කළ යුතු අංශ කීපයකි. ඒ මේ ප්‍රකාශය සිදු කරන්නේ බලයේ පවතින ආණ්ඩුවේ මහජන නියෝජිතවරියක් නිසාය. හැමවිටම පවතින ආණ්ඩුව ජනතාවට වගකීමෙන් ප්‍රකාශ කළ යුතුය. ඒ ඇමතිකමක් දරන අයෙකුගේ මතය කෙරෙහි ජනතා අවධානය දැඩි ලෙස යොමුවීමත්, රටේ සමාජ සංස්කෘතික සහ වෙනත් සංසිද්ධීන් කෙරෙහිද එය තීරණාත්මක සාධකයක් වීමත් හේතුවෙනි.
තවත් අතකින් ඇය මේ කියන්නේ වත්මන් ආණ්ඩුවේ ලිබරල් දැක්මක් ඇති අගමැතිවරයාට වඩා ඉහළ සුදුසුකම් තමන් යෝජනා කරන ප්රභාකරන් සතු බවට යෝජනාවකි.අනෙක අර්බුදකාරී සිදුවීම් ඉලක්ක කර යම් මතයක් ගොඩනැගීමට හැකිවන්නේද ඔවුන් සිය අධිකාරී බලය තුළ මහජන නියෝජිතයන් වන හෙයිනි. එහිදී 'අපේ මන්ත්‍රීගේ ප්‍රකාශය හරි. අපිත් එයට ගරු කරනවා' යැයි ජනතාව තුළ ඇතිවන ආකල්පමය වෙනස රටක නීතියට හා සාමයට ඇති කරවන්නේද හානියකි.
විශේෂයෙන්ම රට තුළ ජාතික සංහිඳියාව පිළිබඳ අර්බුදය තවමත් නොවිසඳුණු ගැටලුවකි. එවැනි අවස්ථාවක දේශපාලකයන්ගේ වගකීම වියයුත්තේ යහපත් ආකල්ප සහ ආදර්ශ ප්‍රචලිත වන ආකාරයේ ප්‍රකාශ හරහා ජනතාවගේ බුද්ධි කලම්භනය කිරීමකි.නමුත් ත්‍රස්ත නායකයෙකු ලෙස ජාත්‍යන්තරය විසින්ද අපරාධ ලැයිස්තුවට ඇතුළත් කළ සහ ශ්‍රී ලංකාවේ අධිකරණයකින් වසර දෙසීයක සිර දඬුවමක් නියම කර ඇති පනස්දහසකට අධික පිරිසක් ඝාතනය කළ පුද්ගලයෙකු රටේ අගමැතිවරයා බවට පත් කිරීම සුදුසු යැයි ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරියක පවසන්නේ නම් එයින් හැඟවෙන්නේ ජාතික සංහිඳියාව යන්න අදටත් ආණ්ඩු පක්ෂය පැත්තෙන්ද නොසලකා ඇති බවට ජනතා සැකයකි.
තවත් පැත්තකින් යම් දේශපාලන වේදිකාවක් මත යම් කථිකයෙකු දක්වන මතයක් මගින් ජනතාවගේ ආකල්පමය වෙනසක් පහසුවෙන් ඇති කළ හැකි බව ජනතාවගේ විශ්වාසයයි. මේ කියන්නට යන්නේද ප්‍රභා මියගිය බව දැන දැන එතැනට වෙනත් කොටියෙකු නම් කර, ඔහු රටේ අගමැති පුටුවේ වාඩි කරවීමේ සියුම් උත්සාහයක් නම් එයද මෙම ප්‍රකාශයෙන් තහවුරු කෙරෙන බව ජනතාව පෙන්වා දෙති.
සිංහලයා විසින් වෙනත් ජාතියකට එරෙහිව කළ ප්‍රකාශයක් මාධ්‍ය හරහා උපුටා දක්වන විට එය ආණ්ඩුවට තදින් රිදෙන දැනෙන කරුණකි. මාධ්‍යකරුවන් ජාතිවාදය අවුස්සනවා යැයි එවිට ආණ්ඩුවත්, දේශපාලන නායකයනුත් පත්තර පිටු ගණනින් ප්‍රදර්ශනය කරමින් මොර දෙති. එසේම විජයකලාත් ආණ්ඩුවේ ඇත්තන් මෙන්ම 'මම එහෙම කිව්වේ නැහැ. මාධ්‍ය වැරදියට වාර්තා කළා' යැයි ආපස්සට නැවත පවසනු ඇතැයිද මේ සියල්ල අසා සිටින ජනතවා පෙන්වා දෙති.
එහෙත් රජයේ ඇමතිවරියක ජාත්‍යන්තරයට ඇසෙන සේ තමන්ගේ පක්ෂයේ නායකයා වෙනුවට ඒ තැනට මිනීමරුවෙකු සුදුසු යැයි පවසන විට ආණ්ඩු පක්ෂයේ ජාතිවාදයට එරෙහි ඇත්තන්ගේ කටේත් පිට්ටුදැයි ජාති ආගම්වාදයට එරෙහි සාමකාමී මිනිස්සු අසති. එදා චන්ද්‍රිකා ජනාධිපතිනිය ප්රභාකරන්ට මිස්ටර් ප්රභාකරන් යැයි පැවසූ නිසා එජාපය ප්‍රධාන විපක්ෂය නැගූ චෝදනාත්මක හඬ ජනතාවට අදටත් අමතක නැති බවද මේ අතර ඇතැමෙක් සිහිපත් කරති. එහෙත් විජයකලාලාගේ හඬ වෙනුවෙන් අද ඔවුන් මුනිවත රැකීමද ජනතාවට ප්රශ්නයකි.
ගත වූ සතිවල උතුරු මහ ඇමතිගේ 'දෙමළුනි නැගිටිව්' හඬත්, පළාත් සභාවේ බෞද්ධ ඉදිකිරීම්වලට විරුද්ධ විය යුතු බවට පළාත් සභාවේ සම්මත කළ පනත් මෙන්ම සිවාජිලිංගම්ලාගේ කොටි මහ විරු සමරුවත් නීති විරෝධී බව දැන දැන ජාතික සංහිඳියාව ගැන කතා කරන යහපාලන ආණ්ඩුවේ මහ ඇත්තන් බිහිරන්, අන්ධයන් ලෙස සිටියේ යැයි භික්ෂූන් වහන්සේලා ප්‍රධාන ජනතා අප්රසාදයකි.
එදා ඒ වැරදි හමුවේ දැඩි පියවර ගැනීමට රටේ නායකයන්ට කොන්දක් තිබුණේ නම් මෙදා ජාතික පක්ෂයක ඇමතිනියක් මෙවැනි ප්‍රකාශ නොකරනු ඇතැයිද, ආණ්ඩුවේ හැසිරීම කෙරෙහි ජනතාව පවසන්නේ සැකය මුසු පිළිකුළකිනි. කෘත්‍රිම ව්‍යවස්ථාවක් හැදීමෙන් පමණක් මේ ගෝත්‍රික අරමුණු සමනය කළ නොහැකි බව ජනතාව පෙන්වා දෙන්නේද එහෙයිනි.
ජාතික සංහිඳියාව පිළිබඳ දකුණේ යහපත් ප්රවණතාවකි. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීන් කළ යුත්තේ බුද්ධිමත් මනසකින් සිතීමට අවකාශය සැලසෙන නිදොස් ප්‍රකාශ වෙත ජනතාව සමීප කරවීමකි. විජයකලාට අනුව අද දමිළ ජනතාවට දැනෙන්නේ 'මහින්ද අපේ ප්‍රභා මැරුවේ නැත්නම් මෛත්‍රීගේ යහපාලනයේ අගමැති ඔහු නේද? මහින්දලාගේ සිංහල බෞද්ධ ආණ්ඩුව අපේ රාජ්‍ය නායකයා කලින්ම මරාගත්තා' වැනි වැරදි ආකල්පයක් බවද ජනතාව පවසති.
මෙසේ දක්වන අයථා මෙහෙයවීම තුළ නැවත ජනතාව පෙළගස්වන්නේ වාර්ගික අරගලයකට නම්, ඒ අරගලය තවත් දශකයකට හමාරකට පසු රටේ අගමැති අපෙන් විය යුතුය යන තැනට තල්ලු කීරීමක් විය හැකි බවට ජනතාව පවසන කරුණුද අසත්‍ය නැත. උතුරේ විජයකලාලාට, විග්නේෂවරන්ලාට, සිවාජිලිංගම්ලාට මෙසේ කටට එන හැකර කතා කියන්නට අවසර දී ඇත්තේ කවුද?
සැබැවින්ම ජාතිවාදය, ආගම්වාදය හා ගෝත්රවාදය ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන්නේ නම් කළ යුත්තේ දකුණේ සිංහලයන්ට එරෙහිව වේවැල අතට ගැනීම හෝ තර්ජනාංගුලිය පෙන්වා මර්දනය කිරීම නොවේ. පළමුව තමන්ගේ පක්ෂය හෝ කණ්ඩායම තුළ සිටින ජාතිවාදී, ගෝත්රවාදී ලේ පිපාසිතයන්ට පොදු ජනතාවගේ හදගැස්ම අවබෝධ කරදීමය. එදා බේරුවල ගැටුම පිළිබඳ නැවත මතක් කර දී උතුරේ ප්‍රභාකරන්ලා ඇති කළ විරසකයන් පිළිබඳ වරින්වර සිහිපත් කළ යුතුය. විජයකලාගේ, සිවාජිලිංගම්ලාගේ, විග්නේෂ්වරන්ලාගේ අගමැති මියගිය දිනයේ දකුණේ සිංහල, දමිළ, මුස්ලිම් ජනතාව හන්දියක් පාසා කිරිබත් පිසුවේ අමනුස්සකමට නොව අමනුස්සයෙකු රටින් දුරු කළ සතුට නිසාය යන්න තේරුම් කර දියයුතු යැයි ජනතාව පෙන්වා දෙන්නේද ලංකාවේ බහුතරය කවදත් යුද්ධයත්, හිංසනයත්, වර්ගවාදයත් පිළිකුල් කරන හෙයින් යැයි පවසන කතාවට ආණ්ඩුව සවන් දිය යුතුය. දීපාවලී උත්සවය ඇසුරෙන් කියවෙන සුරඅසුර යුද්ධය උගන්වා සුරයන් දිනු හැටි සහ අසුරයන් මරා දැමූ හැටි මේ ඇත්තන්ට ඉගැන්විය යුතු යැයි කියන්නේද දමිළ ජනතාවමය.
එනිසා පළමුව රට, ජාතිය, ආගම සහ මානව හිතවාදය ඇති මිනිසුන් තමන්ගේ පක්ෂවලින් ආසන සංවිධායකයන් හෝ මන්ත්‍රීන් ලෙස පත් කළ යුතුය. එවිට ඉදිරි පළාත් පාලන හෝ මහ මැතිවරණවලට යාමට කිසිවෙකු බිය වියයුතු නැත.රට ගිනි තබන ප්‍රකාශ කිරීමට යොමුවන කටවල්වලට ඉබි යතුරු දැමීම සඳහා ජනමාධ්‍යයට එරෙහිව අණපනත් හදන මන්ත්‍රීවරුන්ට ඇති තවත් වගකීමකි. තම පක්ෂයේ මතයට ගරු නොකරන ඇත්තන් පත්කළ විට නායකත්වයට ටොකු ඇනීමද ඔවුන්ගේ සිරිතකි. විජයකලාගේ කතාව කියන්නේද තවත් එවැනි කතාවක මහත් විලාපයකි. තම ජාතිය, ආගම පිළිබඳ කතා නොකළ යුත්තේ සිංහල බෞද්ධයන් පමණක් බවට ඇතැම් අවස්ථාවාදී, ජාතිවාදී, ගෝත්රවාදී දේශපාලන න්යාචාර්යවරුන් විසින්ම රට තුළ දැක්මක් නිර්මාණය කර ඇත. එයට ඇතැම් බටහිර ගැති මාධ්‍යයන් මෙන්ම රාජ්‍ය නොවන සංවිධානද අඩුවැඩිය සපයමින් සිටිතියි ජනතාව චෝදනා කරති.
වල්බූරු මාධ්‍ය නිදහස ගැන කතා කරන දේශපාලකයන් වල් බූරු දේශපාලන නිදහසේ විකෘති කළ අදහස් ප්‍රකාශ කිරීමේ ඔලමොට්ටල නිදහස ගැන සංවාදයට කැමති නැත. එදා මහින්ද සමයේ මහින්ද පරදිනවා යැයි කියූ නැකැත්කරුවන් හතර වැනි තට්ටුවට ගෙන ගොස් ප්‍රශ්න කළද, අද රටේ එවැන්නක් සිදු නොවන්නේ භාෂණයේ, ප්රකාශනයේ අයිතිය නිසා බවට ඇතැමුන්ගේ තර්කයකි. එනිසාදෝ විජයකලාගේ විලාපයේ අයිතියද ඒ පරිච්ඡේදයටම ඇතුළත් කර එම වැලපීම සාධාරණීකරණය කිරීමට දේශපාලකයෝ පසුබට නොවූහ. එහෙත් එවැනි අඥාන ප්‍රකාශ තුළ භාෂණය පාවිච්චි කරන්නේ ජාතික සමගිය, සංහිඳියාව විනාශ කර ජනතා උසිගැන්වීමට නම් එම මූලික අයිතිය උල්ලංඝනය කිරීමක් බව මූලික අයිතිවාසිකම් යටතේ 15 වැනි ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන දක්වයි.
නමුත් එහි අනිටු විපාක දැනෙන්නට තවත් දශකයක් හමාරක් යා යුතුය. උතුරේ විසූ මහේෂ්වරන් නමැති දේශපාලකයා මරා දමා බිරිය, දරුවන්, දෙමවුපියන් සහෝදරයන් අපහසුතාවට පත්වූයේ දකුණේ සිංහල බෞද්ධයෙකුගේ වෙඩි පහරින්දැයි ලංකාවේ යුද විරෝධී ජනතාව අවසාන වශයෙන් විමසන ප්‍රශ්නයට පිළිතුරු දියයුත්තේද විජයකලාමය.