Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා
2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා
මන්දයත් අද වනවිට රටට අවශ්‍ය විදුලි ඉල්ලුමෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් ලබාදෙන්නේ නොරොච්චෝලේ බලාගාරය නිසාය. එහෙත් රටේ අවාසනාවට එවැනි තවත් බලාගාරයක් මේ වනතෙක් අලුතින් ඉදිකර ගැනීමට නොහැකි විය.
මේ නිසා මේ වනවිට විදුලි අර්බුදයක ආරම්භය පෙන්නුම් කරමින් තිබෙන අතර, පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා ජල විදුලිය නිපදවන ජල මූලාශ්රවල ජලය අඩුවීම හේතුවෙන් ජලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමද ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින් තිබේ.
පවතින අධික උෂ්ණත්වය නිසා විදුලි ඉල්ලුමද දිනෙන් දින ඉහළ යමින් තිබෙන අතර, එහි උච්චතම අවස්ථාව පසුගිය 20 වැනිදා වාර්තා වූ බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
සාමාන්‍යයෙන් දිනකට අවශ්‍ය මෙගාවොට් ප්‍රමාණය 2200 – 23,00ත් අතර වන අතර, ඉකුත් 20 වැනිදා එම ප්‍රමාණය 2500ක් දක්වා ඉහළ ගොස් තිබේ. සාමාන්‍යයෙන් විදුලි ඉල්ලුම වසරින් වසර 10% ත් 15% ත් අතර ප්‍රමාණයකින් ඉහළ යන බවට ගණන් බලා තිබෙන අතර, ඉහළ යන විදුලි ඉල්ලුමට සරිලන ලෙස රට තුළ විදුලි බලාගාර ඉදිවන්නේ නැත.
මේ නිසා හදිසි විදුලි මිලදී ගැනීම්, කෙටිකාලීන විදුලි මිලදී ගැනීම් වැනි ජාවාරම් ක්‍රියාද මේ වනවිට රට තුළ ඇති වෙමින් තිබේ.
ලංකාවේ ලාභදායී ව්‍යාපාරයක් ලෙස ජල විදුලිය නිපදවීම හා ඩීසල්, දැවි තෙල්වලින් විදුලිය නිෂ්පාදනය හඳුන්වා දිය හැකිය. රටට විදුලිය ලබාදීමට ලංකා ආණ්ඩුවට විදුලි බලාගාර නොමැති වුවත්, පෞද්ගලික ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු විසින් ක්‍රියාත්මක කරන මෙම මාෆියාව විසින් රටටම වුවත් විදුලිය ලබාදීමට සූදානමින් සිටියි.
විදුලිබල මණ්ඩලයට සම්බන්ධ කිහිප දෙනෙකු හා දේශපාලඥයන්ගේ හිතවතුන් කිහිප දෙනෙකු විසින් සිදුකරන මෙම ජාවාරම් ක්‍රියාවල බරපැන පැටවෙන්නේද මේ රටේ අහිංසක විදුලි පාරිභෝගිකයන්ටය.
මේ නිසා ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය ඇතුළු පිරිස් විසින් 2018 වසරේ සිට 2037 වසර දක්වා රට තුළ අඩු වියදම්, දිගුකාලීන 20 අවුරුදු ජනන සැලැස්මක් සකස් කර තිබේ.
මෙම සැලැස්ම මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබුණද, ඔවුන් කිසිදු හේතුවක් නොමැතිව එය ප්‍රතික්ෂේප කර ඇතැයි විදුලිබල මණ්ඩල සේවකයෝ සඳහන් කරති.
විදුලිබල මණ්ඩලයේ කටයුතු වෙනුවෙන් දේශපාලන තීන්දු තීරණ ගත යුතු විෂය භාර අමාත්‍යවරයාගේ බලතල පවා ඉක්මවා යමින් රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු විසින් 20 අවුරුදු සැලැස්ම ක්‍රියාවට නැංවීමට ඉඩ ලබා නොදෙන බවද එම පිරිස් පෙන්වා දෙති.
මීට අමතරව ඉන්දීය සමාගමක් සමග එක්ව මෙගාවොට් 500ක බලාගාරයක් සාම්පූර්වල ඉදිකිරීමට සැලසුම් කළ අතර, බලාගාරය ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවීමට සතියක් තිබියදී එම වැඩපිළිවෙළ කඩාකප්පල් කර දමනු ලැබිණි.
අදාළ බලාගාරයේ විදුලිය සම්බන්ධ කිරීම සඳහා වේයන්ගොඩ සිට හබරණ දක්වා විදුලි සම්ප්‍රේෂණ මාර්ග සකස් කර තිබෙන අතර, ඒ සඳහා වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 15කට ආසන්න බවද වාර්තා වේ. මීට අමතරව ජපානයේ සහන ණයක් යටතේ හබරණ සිට ත්‍රිකුණාමලය දක්වා සම්ප්‍රේෂණ මාර්ග ඉදිකිරීමටද සැලසුම් කර තිබිණි.
ඒකපුද්ගල ආදායම ඉහළ දැමීම ගැන පාලකයන් සහ දේශපාලඥයන් කොතරම් කතා කළත්, සෑම විටම දූපත් මානසිකත්වයේ හිඳිමින් කුමක් හෝ කරුණක් ඉදිරියට දමා විදුලි නිෂ්පාදනයට අවශ්‍ය බලාගාර ඉදිකිරීමේ කටයුතු කඩාකප්පල් කර දමයි. එය අද දවසේ සේම මීට දශක තුනකට එපිටදීත් සිදු වූ දෙයකි. එසේ නොවුණා නම් නොරොච්චෝලේ බලාගාරය රට තුළ ඉදිවන්නේ 1990 වසරේදීය.
එකල මේ පිළිබඳ එකල කතාබහක් ඇති වී තිබෙන අතර, බලාගාරය ඉදිකිරීමට අදාළ මූලික සැලසුමද සකස් කර ඇත.
එහෙත් ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු හා දූපත් මානසිකත්වයෙන් සිටින කිහිප දෙනෙකු සිදුකළ විවිධ ක්‍රියා නිසා 2009 වසර වනතෙක් ඒ පිළිබඳව නිවැරදි ලෙස කතාබහක්වත් ඇති වී නැති තරම්ය.
කෙසේ නමුත් 2011 වසරේදී නොරොච්චෝලේ බලාගාරයේ පළමු අදියර ජනතා අයිතියට පැවරූ අතර, 2013 වසරේ දී එම බලාගාරයේ තුන්වැනි අදියරත් ජනතා අයිතියට පත්විය.
මෙගාවොට් 900ක ධාරිතාවකින් යුත් මෙම බලාගාරය 1990 වසරේදී ඉදි වූයේ නම් එය ආදර්ශයට ගෙන අපට ගෙවීගිය කාලය තුළ තවත් මේ ආකාරයේ බලාගාරයක් ඉදිකිරීමට හැකියාව ලැබෙනු ඇත.
එහෙත් රටේ අවාසනාවට එවැනි දෙයක් සිදු වූයේ නැත. අඩුම තරමින් සිදුව තිබෙන අතපසුවීම් සැලකිල්ලට ගෙන හෝ එම වරද වර්තමානයේදී නිවැරදි කරගන්නා ආකාරයක්ද දක්නට නැත.
මන්දයත් අද දවසේ බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කළද, එහි ප්රතිලාභ ලැබීමට අඩුම තරමින් වසර 05ක්වත් ගතවන නිසාය.
මේ නිසා දිනෙන් දින ඉහළ යන විදුලි ඉල්ලුමට මුහුණදීම සඳහා පෞද්ගලික බලාගාරවල පිහිට පැතීමට සිදුව තිබේ.
මේ නිසා පසුගිය වසරේ පාරිභෝගික ජනතාව භාවිත කළ විදුලි ඒකකයක පොදු අගය රුපියල් 21 ශත 32ක් බවට පත්ව තිබේ.
2012 වසරේදී විදුලි ඒකකයක නිෂ්පාදන හා මිලදී ගැනීම වටිනාකම රුපියල් 23.66ක් වී තිබෙන අතර, 2015 වසර වනවිට එම මුදල රුපියල් 15කට ආසන්න අගයක් ගෙන ඇත.
2017 වසර වනවිට එම මුදල රුපියල් 21 ශත 32ක් දක්වා ඉහළ යෑමට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ වැඩි මිලට පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම නිසාය.
2017 වසර සැසඳීමේදී විදුලි ඒකක බිලියන 14ක් භාවිත කර තිබෙන බව විදුලිබල මණ්ඩල සේවකයෝ සඳහන් කරති.
මේ අනුව විදුලි ඒකකයක මිල රුපියලකින් ඉහළ ගියහොත් රටට අහිමි වන මුදල රුපියල් බිලියන 14කි.
මේ අනුව ජාවාරම්කරුවන් දිගින් දිගටම පෞද්ගලික අංශයෙන් විදුලිය ලබාගැනීමට සැලසුම් කිරීම යනු ජාවාරමේ තරම් කොතරම්ද යන්න පැහැදිලි වන කාරණයකි.
රටට ආදරය කරන පිරිසක් විදුලි බලමණ්ඩලය සතුව හෝ රජය සතුවන බලාගාර ඉදිකිරීම සඳහා අවශ්‍ය විශේෂඥ සහයෝගය ලබාදුන්නත්, එම විශේෂඥ මත බැහැර කර රජයේ අවධානය වෙනතකට යොමු කිරීමට මිත්‍යා මත පතුරුවන ජාවාරම්කරුවන් කිහිපදෙනෙකුටම හැකි වී ඇත.
ජාවාරම්කරුවන්ගේ ප්‍රධානම මිත්‍යා මතය වී තිබෙන්නේ අඩු වියදම් සහිත ජනන සැලැස්මේ තිබෙන ගල්අඟුරු බලාගාර ඉදිකළහොත් එතුළින් විශාල පරිසර හානියක් සිදුවන බවත්යි. පරිසරය රැකගැනීමට පෙරමුණ ගැනීම සතුටට කාරණයක් වුවත්, මේ රටේ ස්වාභාවික වනාන්තර, වගුරු භූමි, තෙත්බිම් අක්කර සියදහස් ගණන් විනාශ කරමින් සිදුකරන පරිසර හානිය මෙම පිරිස නොදැකීම කනගාටුවට කාරණයකි. දියුණුවෙමින් පවතින රටක් ලෙස පරිසරය 100෴ක් සුරකින මතයේ සිටියහොත් කිසිදා මෙරට දියුණු වන්නේ නැත. ලෝකයේ සැබෑ ලෙසම දියුණු වූ කිසිදු රටක් තවමත් නිසි ලෙස පරිසරය රැකගැනීමට කටයුතු කරන්නේ නැත.
මේ නිසා අප වැනි කුඩා දුප්පත් රටවල් සිදුකළ යුත්තේ පරිසර හානිය අවම, අඩු වියදම් සහිත විදුලි උත්පාදන ක්‍රම ඇති කිරීමයි.
පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා ජල විදුලි බලාගාර පිළිබඳ විශ්වාසය තැබිය නොහැක. හිරු එළිය හොඳින් වැටුණත් සූර්යකෝෂ හරහා ලබාගන්නා විදුලිය ගබඩා කිරීමට අවශ්‍ය තාක්ෂණය ඉතාමත් මිල අධික වීම නිසා තවමත් හිරු එළියෙන් විදුලිය ලබාගැනීම අඩු වියදම් ක්‍රමයක් ලෙස හැඳින්විය නොහැකිය.
මේ නිසා දැනට නිවාසවල, කාර්යාල සහ පෞද්ගලික ගොඩනැගිලිවල වහලවලට සූර්යකෝෂ සවිකර දහවල් කාලයේ විදුලි උත්පාදන කටයුතු සිදුකරනු ලබයි.
පෞද්ගලික නිවාසවලට සූර්යකෝෂ සවි කිරීම සඳහා අධික වියදමක් දැරීමට සිදුව තිබෙන නිසා මෙරටේ ජනතාව තවමත් මෙම ක්‍රමයට විශාල ලෙස යොමුව නැත.
සුළං බලයෙන් විදුලි නිෂ්පාදනය හා මුහුදු රැල්ලෙන් විදුලි නිෂ්පාදනය පිළිබඳ කතාබහක් ඇති වී තිබුණත්, ඒවා ඉදිකිරීමට අධික මුදලක් වැයවීම නිසා එම ක්‍රම තවමත් සාර්ථකව රට තුළ ක්‍රියාත්මක කොට නැත.
රටේ සුළු ස්ථාන කිහිපයක සුළං බලාගාර තිබුණද, තවමත් ඒ තුළින් ලැබෙන දායකත්වය මෙගාවොට් 05ක් වැනි සුළු ප්රමාණයකි.
මේ නිසා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර තිබෙන නිසි ජනන මිශ්‍රණයකින් යුත් 20 අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ කඩිනම් අවධානය යොමු විය යුතුය.
2018 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ 20 අවුරුදු සැලැස්ම තුළ ද්‍රවීකෘත ස්වාභාවික වායු (LNG) බලාගාර, ගල්අඟුරු බලාගාර, පුනර්ජනනීය බලශක්ති වැඩසටහන් ඇතුළත් මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කළහොත් ඉදිරියේදී ඇතිවන විදුලි ඉල්ලුමට මුහුණදීමට අප රටට හැකිවනු ඇත.
මෙම සැලැස්මට අනුව 2030 වසර වනවිට රටට අවශ්‍ය විදුලියෙන් 50෴ක් පද්ධතියට එකතු විය යුතුය. 2037 වසර වනවිට රටට අවශ්‍ය විදුලිය 100%ක් මෙතුළින් සම්පූර්ණ කරගත හැකිය.
2030 වනවිට 50෴ක විදුලියක් ලැබීම යනු අපට නොරොච්චෝලේ බලාගාරයෙන් හා ජල විදුලියෙන් ඉතිරි 50෴ක ප්‍රමාණය සම්පූර්ණ කරගත හැකිය. මේ අනුව පරිසර විනාශයට හේතුවන ඩීසල් බලාගාර හා දැවි තෙල් බලාගාර රට තුළින් ඉවත් කර ගැනීමටද හැකියාව ඇත.
2037 වනවිට මේ හරහා 100෴ක් විදුලි නිෂ්පාදනය වනවිට අපට ක්‍රමක්‍රමයෙන් ගල්අඟුරු බලාගාර ද්‍රවකෘත ස්වාභාවික වායු බලාගාර හෙවත් එල්.එන්.ජී. බලාගාර බවට පත්කළ හැකිය. මේ අනුව පරිසර සුරක්ෂිතතාවටද සම්පූර්ණයෙන්ම දායක විය හැකිය.
එහෙත් අද දවස වනවිට සැලසුම් කරමින් තිබෙන්නේ LNG බලාගාර ඉදිකිරීමටය. එහෙත් ඒකපුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ 05 ඉක්මවා ගොස් තිබෙන මේ මොහොතේ මෙවැනි බලාගාර ඉදිකිරීමට ණය ලබාගැනීමට ගියහොත් රට තව තවත් ණය කන්දකින් යට වී යනු ඇත.
මේ නිසා අප මුලින්ම සිදුකළ යුත්තේ අඩු වියදම් බලාගාර ලෙස ගල්අඟුරු බලාගාර ඉදිකිරීම පමණි. 2017 වසර සැසඳීමේදී නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට හා බලාගාරය ඉදිකිරීමට ගත් ණය හා පොලී වාරික ඇතුළත්ව වියදම් වී තිබෙන්නේ ඒකකයකට රුපියල් 11 ශත 35 ක ප්රමාණයකි.
ජල විදුලියෙන් නිෂ්පාදනය කළ විදුලි ඒකකයක් සඳහා රුපියල් 1යි ශත 50ක් වියදම් වී තිබෙන අතර, ඩීසල් හා භූමිතෙල් බලාගාරවලින් නිෂ්පාදනය කළ විදුලි ඒකකයකට රුපියල් 23කට ආසන්න මුදලක් වැය වී ඇත.
2017 වසරේදී භාවිත කර තිබෙන සමස්ත විදුලි ඒකක බිලියන 14ක ප්‍රමාණයෙන් බිලියන 5.1ක් නිෂ්පාදනය කර තිබෙන්නේ නොරොච්චෝලේ බලාගාරය තුළිනි. මෙතරම් විදුලි ප්‍රමාණයක් ජලය උපයෝගී කරගෙන නිෂ්පාදනය කිරීමට හැකියාවක් නොමැති අතර, මේ අනුව නොරොච්චෝලේ බලාගාරය නොතිබුණා නම් එම විදුලි ප්‍රමාණය සම්පූර්ණ කර ගැනීමට සිදුවන්නේ ඩීසල් හා දැවිතෙල් මගිනි. එසේ වූයේ නම් ඒ සඳහා වන වියදම කොතරම්දැයි සිතාගත හැකිය.
විදුලිය නිෂ්පාදනය කිරීමට කොතරම් වියදමක් දැරුවත් අඩු ආදායම්ලාභී ජනතාවක් රට තුළ ජීවත්වන නිසා තවමත් විදුලි ඒකකයක් ලබාදෙන්නේ ඉතාමත් සහන මිලකටය. එනම් ගෘහ සේවා පාරිභෝගිකයන් සඳහා ඒකක 60ක් නම් එක් ඒකකයකට අය කරන්නේ රුපියල් 04 ශත 70කි. ඒකක 180ක් නම් එක් ඒකකයක් සඳහා අය කරන මුදල රුපියල් 22කි. කර්මාන්ත ශාලා සඳහා ඒකකයක් ලබාදෙන්නේ රුපියල් 10 ශත 50 බැගිනි. (සියලුම මිල ගණන් සුළු වශයෙන් වෙනස් විය හැකිය.) මේ අනුව එක් ඒකකයක සමස්ත විකිණුම් මිල රුපියල් 16 ශත 50ක් බව විදුලි බලමණ්ඩලය සඳහන් කරයි.
පසුගිය වසර සැසඳීමේදී පොදුවේ විදුලි ඒකකයක මිල රුපියල් 20ක් ලෙස ගණනය කර ඇත. මේ අනුව සෑම විදුලි ඒකකයකින්ම විදුලි බලමණ්ඩලය රුපියල් 03 ශත 50ක පාඩුවක් ලබා ඇත. එම මුදල සමස්ත විදුලි පරිභෝජන ඒකක ප්‍රමාණය වන බිලියන 14න් වැඩි කළ විට රටට සිදුව තිබෙන පාඩුව රුපියල් බිලියන 49 ඉක්මවයි.
එහෙත් ගල්අඟුරු බලාගාරය හරහා විදුලිය සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කළා නම් මීට ආසන්න මුදලක් ලාභ වශයෙන් උපයාගැනීමට හැකියාව ලැබෙනු ඇත. මේ අනුව සිදුකළ යුතුව තිබෙන්නේ අක්කර දහස් ගණනක් සිදුකරන පරිසර විනාශය නවතා දමා පරිසර හිතකාමී ගල්අඟුරු බලාගාරවලට ගොස් රටට අවශ්‍ය විදුලිය නිෂ්පාදනය කර ගැනීමය.
මන්දයත් එක් දිනකට විනාඩි 10ක් විදුලිය විසන්ධි කළහොත් රටට සිදුවන පාඩුව සේම, ජනතාව කලබලයට පත්වන තරම් කොතරම්ද කියා අප අත් දැක තිබෙන නිසාය.
පවතින ක්‍රමවේදය අනුව විදුලිය විසන්ධි වුවහොත් ජල සැපයුමට එය ඍජුවම බලපානු ලබයි.
මීට අමතරව කර්මාන්ත ශාලා අඩපණ වීම බැංකු කටයුතු අඩපණ වීම ඇතුළු ගැටලු රාශියකටත් සිදුවනු ඇත. එදාට පරිසරය රැකගැනීමට කටයුතු කරන කිසිවෙකුටත් මේ සඳහා විසඳුම් ලබාදීමට නොහැකි වනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd