වෙසක් පොහෝ දිනට ඇත්තේ තව එක් දිනක් තරම් කෙටි කාලයකි. මෙවර ජාත්‍යන්තර වෙසක් උත්සවය ලංකාවේ සැමරීම විශේෂත්වයක්. එය අපේ බෞද්ධ බැතිමතුන්ට මහත් ගෞරවයක් වගේම ආඩම්බරයක්. නමුත් මේ කියන්න සූදානම් වන්නේ ඒ ජාත්‍යන්තර වෙසක් දින සැමරීම ගැන නම් නොවේ.
වෙසක් උත්සවයට වසර 30කට අධික කාලයක් තමන්ගේම නිවසේ නිර්මාණයක් ඉදිරිපත් කරන 'ජිනදාස ලොකුගේ' මහතාගේ කතාවයි. ඔහු සෑම වසරකම ජාතක කතාවක්, බුද්ධ චරිතයේ යම් යම් සිදුවීම් ඉතා අලංකාරව ගෙන එන්නේ ඉවත දමන දෑ එකතු කරගෙනය. ඒ නිසාම ඒ අපූරු නිර්මාණ සොයා යෑමට 'අද' අපි තීරණය කළෙමු. මේ ඔහුගේ කතාවයි.
''මම වෙසක් එකට මේ වගේ නිර්මාණ කරන්න පටන් අරගෙන අවුරුදු 35ක් විතර වෙනවා. හැම අවුරුද්දකම වගේ නිර්මාණයක් කරනවා. මේ වගේ මහා පරිමාණයෙන් නිර්මාණ කරන්න පටන් ගත්තේ 1975 වගේ කාලෙ ඉඳන්. ඒත් අපි පටන් ගත්තේ පොඩි කාලෙ කොඩි වැල් වල තියෙන රූප අරගෙන පෙට්ටිවල අලවලා ඉටිපන්දම් පත්තු කරනවා. සමහර වෙලාවට අපි දන්නෙත් නෑ ඒවා පිච්චෙනවා.
ඊට පස්සෙ ටෝච් බල්බ්වලින් හැදුවා. එහෙම කරපු පළවැනි නිර්මාණය තමා අංගුලිමාල දමනය. ඊට පස්සේ ඉඳන් මහා පරිමාණයෙන් චිත්‍ර ඇඳලා කතාවක් ගොඩනගන්න ගත්තා''
මේ වගේ නිර්මාණයක් තනිව සිදුකරද්දී කාලය කළමනාකරණය කරගන්නා ආකාරයත් අපි ඔහුගෙන් විමසුවෙමු.
''මට මේ නිර්මාණය කරන්න සහාය වෙන්නේ මගේ ඥාතියෙක් වෙන ලක්ෂ්මන්. අපි දෙන්න තමයි කරන්නේ. ඉස්සෙල්ලාම ජාතක කතාව 3, 4 සැරයක් වගේ අහනවා. ඊට පස්සේ ජාතක කතාවට හානියක් නොවන ලෙස ප්‍රධාන චරිත සහ සිද්ධි තෝරා ගන්නවා. ඒවා වෙන් කරගෙන මම දළ වශයෙන් චිත්‍රයට නගනවා.
ඊට පස්සේ මේ සම්පූර්ණ නිර්මාණය හදන්න කාලරාමුවක් හදා ගන්නවා. සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසේ ඉඳන් පටන් ගන්නවා. මෙන්න මේ කාලේ මේ දේ ඉවර කරනවා කියලා හිතනවා. චිත්‍ර අඳින්න, මෝටර් හයි කරන්න, ඊට පස්සේ මේ ඔක්කෝම සම්බන්ධ කරන්න කාල රාමුවක් හදා ගන්නවා. මේ හැමදේම කාල රාමුවකට කරන්නේ ගෙවල්වල එදිනෙදා වැඩකටයුතුත් එක්ක මේ දේවල් කරන නිසා.
මම අද දවසේ කරන්න තියෙන දේ අදම ඉවර කරනවා. සමහරදාට පාන්දර 4ට විතර නැගිටිනවා. නැගිටලා අලංකාර කරන වැඩ කරනවා. කොහොම හරි එදා කරන්න තියෙන දේ එදා කරලා වෙසක් එකට සතියකට කලින් සියලු වැඩකටයුතු නිමා කරනවා.
මේ සියලු නිර්මාණ කරන්නේ ඉවත දමන දේ උපයෝගී කරගෙන. මේ චිත්‍ර අඳින්නේ කඩවල්වල අහක දමන කාඩ්බෝඩ් පෙට්ටිවලින්. මම මෙහෙම නිර්මාණ කරන බව දන්න නිසා සමහර මුදලාලිලා ඒවා ගෙනත් දෙනවා. ඒ වගේම මේවා ක්‍රියාකරන්න අවශ්‍ය මෝටර් ගරාජ් එකකින් මට නිකන් ලැබෙනවා. ඒ ගරාජ් එකේ අහක දාන මෝටර් කෑලි මට දෙන්න එකතු කරනවා.
ඊට පස්සේ ඒවා මට අවශ්‍ය කරන විදියට මම හදාගන්නවා. අහක යන දේවල් එකතු කරගෙන අපි මේ රූපවලට ජීවයක් ලබාදෙනවා. මේක නිකන්ම තොරණක වගේ චිත්‍ර ඇඳලා කතාව කියනවා නෙමේ. ඒක රඟපාල වගේ පෙන්නනවා. ඉතා සියුම් දේවලුත් ස්වාභාවික ලෙස පෙනෙන ආකාරයට නිර්මාණය කරනවා. ඒකයි මේකෙ තිබෙන විශේෂත්වය. අපි චිත්‍රයට පණ දෙන එකයි කරන්නේ.
මේ පාර මම නිර්මාණය කළේ 'චුල්ල ධම්මපාල ජාතකය.' ඒ ජාතක කතාවේ සියලු නාට්‍යමය සහ වැදගත් අවස්ථා නිර්මාණය කරලා තියෙනවා. ගිය වසරේ මම කළේ 'මට්ටකුණ්ඩලී' ජාතක කතාවයි.
මගේ මේ නිර්මාණ දැන් පරම්පරා 3ක් විතර බලලා තියෙනවා. ගිය අවුරුද්දේ තරුණ දියණියක් පොඩි දරුවෙක් එක්ක වෙසක් එකට මේ නිර්මාණ බලන්න ආවා. එතකොට ඒ දුව කිව්වේ 'අංකල් අපේ තාත්තා මෙන්න මේ වයසෙදි මාව එක්ක ඇවිත් පෙන්නුවා. දැන් මම මගේ දුවත් අරං ඇවිත් පෙන්නනවා' කියලයි. ඒවා අහද්දි ඇත්තටම මට ලොකු සතුටක් දැනෙනවා.
මම මෙහෙම නිර්මාණයක් කරන බව මේ පැත්තෙ හැමෝම දන්නවා. මහරගම, පන්නිපිටිය වගේ පැත්තෙනුත් කට්ටිය ඇවිත් බලනවා. ඉස්සර නම් බස්වලින් පවා බලන්න එනවා. ඉස්සර වෙසක් බලන්න දුර පළාත් වලින් කොළඹට එන උදවියත් මෙහෙ ඇවිත් බලලා යනවා.
මම හැමවිටම මේ නිර්මාණ හදද්දී ළමා මනසට කාවදින ලෙස ආදර්ශයක් දෙන අයුරින් කතාව ගොඩනඟනවා. ළමයෙක්ට දෙයක් කටින් කියනවට වඩා ඒක පෙන්නන්න සැලැස්සුවාම හිතට වැදෙනවා වැඩියි.''
මේ නිර්මාණ ඉතාම සියුම් අයුරින් නිර්මාණය කර තිබෙනවා. ඇතැම් චරිතවල අත් පා, ඇඟිලි චලනය වන ආකාරය පවා පුදුමාකාරයි. එවන් වූ හැකියාවක් හිමි වූයේ කෙසේද යන්න පිළිබඳවත් අපි ඔහුගෙන් විමසුවෙමු.
''මට හැකියාවක් තියෙනවා නම් ඒක නිකං තියන් ඉඳලා මැරිලා ගිහින් වැඩක් නැහැ. හුඟක් වෙලාවට චිත්‍ර හැකියාවයි, කාර්මික හැකියාවයි එකට පිහිටන්නේ නැහැ. එහෙම හම්බවෙන්නේ ගොඩක් කලාතුරකින්. ඇත්තටම මට චිත්‍ර හැකියාව තිබුණත් කාර්මික හැකියාව ලැබුණේ මේ වැඩවල නිරත වෙලා අත්දැකීමෙන්මයි.
සමහර වෙලාවට වැරදුණු වාර අනන්තයි. ඒ වැරදීම් වලින්ම මම ඉගෙන ගත්තා. ඒ වගේම ලොකු ඉවසීමකුත් තියෙන්න ඕන''
ඔහු මේ කිසිවක් සිදුකරන්නේ මුදල් පරමාර්ථයෙන් නොවන බවයි පැවසූයේ. ඒ තුළින් අද බොහෝදෙනෙක්ට ගත යුතු පාඩම් රැසක් තිබෙන බව කිවයුතුමයි.
''මම කවදාවත් මේ නිර්මාණ මුදල් බලාගෙන හදපු ඒවා නෙමේ. මුදලාලිලා කීපදෙනෙක් ඇහුවා ඇයි නිකං පෙන්නන්නේ කියලා. ටිකට් එකක්වත් ගහලා පෙන්නන්න කිව්වා. මම ඒ වෙලාවේ කිව්වේ මේ දේ සල්ලි හම්බ කරන බලාපොරොත්තුවෙන් කරන දෙයක් නෙවෙයි, දුප්පත්, පොහොසත් හැමෝටම බලන්නයි ඉදිරිපත් කරන්නේ කියලා.
සමහරු ටිකට් ගහලා වෙසක් එකට නිර්මාණ පෙන්නනවා මම දැකලා තියෙනවා. ඇතුළට යන්න සල්ලි නැතිව දුප්පත් ළමයි එළියට වෙලා ඉන්නවා. එතකොට ඒ ළමයි මනසින් කඩා වැටෙනවා. දෙමාපියන්ට තම දරුවන්ට ඒවා පෙන්නන්න ආසාව තිබ්බත් සල්ලි නැහැ. ඒක මොනතරම් අසාධාරණද? ඒ නිසා මගේ නිර්මාණ මම නොමිලේ ප්‍රදර්ශනය කරනවා.
සමහර අය කියනවා සල්ලි ගන්නෙ නැත්නම් කැටයක් තියන්න කියලා. එතකොට මේ අවුරුද්දේ කැටෙන් රුපියල් දහදාහක් හම්බුණා කියමු. ඊළඟ අවුරුද්දේ රුපියල් 5000ක් හම්බුණොත් අපරාදෙ කියල හිතෙනවා. එතකොට තෘෂ්ණාව ඇති වෙනවා. ඒ නිසා මම ඒ දේවල් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. හැමෝටම ඇවිත් බලලා යන්න පුළුවන්.
සමහර අය කියනවා මේක විවෘත කරන්න ප්‍රසිද්ධ හාමුදුරුනමකට, දේශපාලඥයෙක්ට ආරාධනා කරන්න කියලා. මම කවදාවත් ඒ දේවල් පස්සෙ ගියේ නෑ. අපි මේ නිර්මාණ හදනවා, අපිම බල්බ් දාලා, අපිම විවෘත කරනවා''
ජිනදාස ලොකුගේ මහතාගේ මෙම නිර්මාණය වෙසක් පුන් පොහෝ දා සිට සතියක පමණ කාලයක් බෙල්ලන්තොට සිය නිවසේ පැවැත්වීම කටයුතු කර අැත. ඔබටත් මෙය දැකබලා ගන්න ආශාවක් ඇති නම් බෙල්ලන්තොට හන්දියට පැමිණ දෙහිවල පාරේ 50m ක් යනවිට දකුණු පස අැති, ඔහුගේ නිවසේ මෙම නිර්මාණය ප්‍රදර්ශනය කරනවා.