යහපාලනයක් උදෙසා පිහිටුවා ගත් ජාතික ආණ්ඩුව විපක්ෂයේ තර්ජන ගර්ජන මැද අවුරුදු 2ක් සම්පූර්ණ කළේය. දහසකුක් එකක් වූ අපේක්ෂා දල්වාගෙන ආණ්ඩුව පිහිටුවා ගත් ජනතාව පැවසුවේ උපන්නාට වැනුණු ආණ්ඩුවක් සහ ලෝ සිරිතට ආණ්ඩු කළ තවත් එක් ආණ්ඩුවක් අවුරුදු දෙකක් ජනතාවගේ කාලය දියාරු කළ කතාවකි.
ආණ්ඩුව ගෙදර යැවීමට ඇත්තේ තවත් වෙසක් පොහෝ දින දෙකක් බව හිටපු ජනාධිපති මහින්ද පැවසුවේය. බලය තිබූ දස අවුරුද්දක කාලය තුළ ඒකාධිපතීත්වය වෙනුවෙන් අණපනත් සම්මත කරගත් මහින්ද ආණ්ඩුව රටට ඉතිරි කළේ හොරකම පමණක් යැයි පවසා බලයට පත් යහපාලන ආණ්ඩුවට එරෙහිවද ගෙවී ගිය අවුරුදු දෙක තුළ විශ්වාසභංග ඉදිරිපත් විය.
සෑම පුරවැසියෙකුටම ගෙවුණු වසර දෙකක කාලය පිළිබඳ බොහෝ චෝදනා ඇත. ආණ්ඩුවට මොකද වෙන්නේ යනුවෙන් සියල්ලෝම ප්‍රශ්න කළහ. ආණ්ඩුව දුන් පිළිතුර මොකුත් වෙන්නේ නැහැ යනුවෙන් කතාවකි. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය මාධ්‍යයට පැවසුවේ ජ්‍යෝතිෂය අනුව 2027 වනතුරු මේ රජය පෙරළීමට නොහැකි කතාවකි. ජනතාව පැවසුවේ සුමනදාසගේ අනාවැකි අනුව චිරාත් කාලයක් රාජපක්ෂ ආණ්ඩුවක් මිස කවදාවත් ශ්රීලංනිපයක් හෝ එජාපයක් බලයට නොඑන කතාවකි.
යහපාලනය පිහිටුවීමෙන් පසු දුන් ප්රතිඥාවන් සිහිපත් කරමු. ඒවා ජාතික මෙන්ම විටෙක ජාත්‍යන්තර මට්ටමින්ද බලවත් තීරණ බව කිව යුතු නැත.
දූෂණය, අල්ලස මර්දනය කිරීම එකකි. ගතවූ කාලයේ පොදු දේපළ අවභාවිත කළ හොරුන් දූෂිතයන් තරාතිරම නොබලා නීතිය ඉදිරියට පමුණවා සිරගෙට යවා එම මුදල් අයකර ගැනීමේ ප්‍රබල දැක්මක් ඒ ප්‍රතිඥා අතර විය. ජනජීවිතය සුවපත් කිරීම වෙනුවෙන් ආර්ථික සමබරතාවය තවත් පොරොන්දුවකි. දිළින්දන් පිට පටවා ඇති බදු බර ලිහිල් කිරීම තවත් කතාවකි.
දේශීය සම්පත් රැක ගැනීම තවත් යෝජනාවකි. තරුණ තරුණියන්ට රැකියා සැපයීම තවත් ඉසව්වකි. ජාතික සංහිදියාව සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කඩිනමින් ගෙන ඒම සහ නීතියේ ආධිපත්‍ය ස්ථාවර කිරීම, 18 සංශෝධනය අහෝසි කිරීම ඇතුළු තවත් අපේක්ෂාවන් රැසක් ඒ අතර විය.
එහෙත් හොරු ඇල්ලීමට පළමු මාස හය ඇතැයි පැවසුවද අවුරුදු දෙක තුළ හොරු අල්ලනවා යැයි පැවසූ ආණ්ඩුවට සිදු වූයේ ආණ්ඩුව පිහිටුවා වසර දෙකක් ගතවීද හොරුන්ගේ වාතයක් දැනුණු ඉසව්වක් වත් සොයා ගැනීමට නොහැකි වූ බවට ජනතා චෝදනාවකි.
ඒ වෙනුවට ආණ්ඩුව කරන්නේ පොලීසිය, අල්ලස් කොමිසම, නීතිපති දෙපාර්තමේන්තුව, එෆ්සීඅයිඩිය, අල්ලස් කොමිසම වැනි ආයතනයන්ගේ සැර බාල කරන ආකාරයෙන් කටයුතු සම්පාදනය කළ බවද නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
එදා ජනමාධ්‍ය නිදහසට ඇඟිල්ල දිගු කළ ඇත්තන්ම එයට තර්ජනය කරනවා යැයි මෙදා විපක්ෂය ඒ වාසිය තමන්ගේ ගිණුමට හරවා ගත්හ. එදා සුදු වෑන්වලට එරෙහිව මොර දී මෙදා මාතරදී සහ කොළඹදී සිසුන් පැහැර ගැනීමට නීතියෙන් බැහැර ක්‍රමවේද සම්පාදනය කිරීමේ පව්කාර චෝදනාවද යහපාලනයට බැර විය.
මහින්දලා දොස්තරවරුන්ගේ ආශිර්වාදයෙන් ශිෂ්‍යත්ව බෙදමින් ආරම්භ කළ සයිටමය යහපාලනයේ ගමන් මඟ අවුරන ලද තවත් බැරියරයක් බවට පත්ව ඇතැයි ජනතා චෝදනාවකි.
අනුන්ගේ නොදන්නා හොරකම් ඇල්ලීමට ගොස් තමන්ගේ හොරුන්ගේ ලිපිගොනු නීතිය ඉදිරියට ගෙන යාමට යහපාලනයට සිදුව ඇතැයි ජනතාව හාස්‍යයෙන් පෙන්වා දෙන්නේ ආණ්ඩුවට නොපෙනෙන තවත් ගනුදෙනු ඇති බවට ඉඟි කරමිනි. මේ හැමදෙයක්ම සනාථ කළේ දෙවසරක ගතවූ කාලයේ ආණ්ඩුව කටේ නරිවාදං මිස කළ දෙයක් නැති බව ඇඟවීම වෙනුවෙනි.
පරාජිත විපක්ෂයට වඩා ගතවූ දෙවසර තුළ යහපාලන ආණ්ඩුව නිර්මාණය කළ විපක්ෂය ශක්තිමත්ය. ඒකාබද්ධ විපක්ෂයද තමන් දිනාගත් ලක්ෂ පනස් හයේ මනාපය අදටත් එසේම රඳවාගෙන ඇතැයි ජනතාව පවසන්නේ චෝදනා ලබා ඇති ශිරන්තිලා, යෝෂිතලා කොමිසමක් ඉදිරියට පැමිණියද දසහස් ගණනාවක ජනගඟක් ගෙන්වීමට තරම් ඔවුන්ට ඇති හැකියාව තුළය.
දිළිදුකම තුරන් කිරීම තබා අපේ සමෘද්ධියටත් ආණ්ඩුව ගැහුවා යැයි පවසන විට ඇමතිවරයාගේ වැරදි වහන්නට ජනාධිපති ඉදිරිපත් විය. අපේ විශ්‍රාම වැටුපටත් ආණ්ඩුව කෙළියා යැයි රණවිරුවෝ තර්ජනය කරන විට ඇමතිවරයාගේ මඩ සේදීමට ජනාධිපතිවරයා ඉදිරිපත් විය. අපේ පොදු දේපළ පිටරැටියන්ට විකුණනවා යැයි හම්බන්තොටින් ආ රැල්ල මර්දනයටත් ජනාධිපති ඉදිරිපත් විය.
සයිටමය එපා යැයි පවසන විට ඒ අර්බුදය සමනය කිරීමටත් ජනාධිපති ගියේය. ජනාධිපති හමුවන තෙක් අපි වර්ජනය නතර කරන්නේ නැතැයි තෙල් ඉන්ධන සේවකයන් පවසන විට ජනාධිපති ඒ අරගලය මැද්දටත් පැන්නේය. එහෙත් ඇමතිවරුන් දෙවසරක් තිස්සේ නිදිදැයි ජනතාව ඇසුවේ අවුරුදු දෙකක් තිස්සේ රට පාලනය කරන්නේ එක් පුද්ගලයෙකු විසින් දැයි මතුවූ පැනය සමගිනි.
අවසානයේ තිහක් මදි නිසා හතළිස්පහක් පත්කර ගත්තා යැයි ජනාධිපතිවරයා තමන්ගේ කැබිනෙට්ටුව සකස් කරගත් ආකාරය පවසන විට හතළිස් පහක් ඔළුගෙඩි තිබුණත් හැමදේටම බෙල්ල තියන්නට සිදුව ඇත්තේද ජනාධිපතිවරයාටම දැයි ජනතාව විමසති.
ඒ අතර සාමූහික වගකීමෙන් කටයුතු කළ යුතු කැබිනෙට්ටුවද මෛත්‍රී, රනිල් අච්චාරුවක් වී එකිනෙකාට බැන අඩ ගසා ගන්නේ යැයි ජනතාව චෝදනා කරති. ජාතික සංහිදියාව ගැන කතා කරන යහපාලන ආණ්ඩුවට කැබිනෙට්ටුවේ දුසිම් තුන හෝ ආණ්ඩු පක්ෂයේ එකසිය විසිපහ අතර එකමුතුභාවයක් ඇති කරගත නොහැකිව රටේ සමගිය ජාතික සංහිදියාව ගැන කරන කතා මොන විකාරදැයි ජනතාව හාස්‍යයෙන් විමසති.
ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීමට ආණ්ඩුව රාජපක්ෂලා ගෙන් පළිගන්නවා යැයි ගතවූ 15 දින නාමල් ජනමාධ්‍යයට පැවසූ කතාව ආණ්ඩුවට අතුල් පහරක් ලෙස ජනතාව දකිති. මේ වනවිට ආණ්ඩුවට තිබූ ඉල්ලුම දියාරු වී ගොස් අවසාන යැයි දේශපාලන විද්වත්හු අවධාරණය කරති.
ආරම්භයේ තිබූ ජනප්‍රියතාවය ආණ්ඩුවෙන් ගිලහී ඇතැයි ජනතාව අවධාරණය කරති. අපේ ආණ්ඩුවක් පත්කර ගත්තද විසි අවුරුද්දක් කෙනහිලිකම් විඳි අපේ දරුවන්ට රැකියාවක් තබා අපේ මන්ත්‍රීගේ හිනාවක් වත් දැකගන්න බැරි වුණා යැයි ඉච්ඡාභංගත්වයට පත් ජනතාව මැසිවිලි නඟති.
ප්රජාතන්ත්රවාදය ස්ථාපනය වී ඇති නිසා බැඳුම්කරය තුළ ඇමතිවරුන් කොමිසම ඉදිරියට ගෙන්වීම හෝ සේවක වර්ජන රට තුළ වර්ධනය වීම හෝ ජනතාව වීදි බැසීම සාධාරණය කිරීමට තරම් ආණ්ඩුව වැරදි ජනමතයක් නිර්මාණය කිරීම වෙනුවට කළ යුත්තේ එවැනි දේ සිදු නොවන තැනට රට මෙහෙයවීම යැයිද ජනතාව ගෙවුණු දෙවසර තුළ පෙන්වා දුන්හ.
මහින්දලා සහ මෛත්‍රී අතර විශාල වෙනසක් නැති බව ජනතාව දුටුවේ ඔවුන් කළ කී දේ අනුව නම් ඒ යථාර්ථයක් බවට පත් වූයේද ගතවූ දෙවසරක කාලය තුළ බව නොරහසකි. එසේම බලය දෝලනය වීම තුළ ඇත්තේ ද එතරම්ම සියුම් වෙනසකි.
අද මෛත්‍රීලාගේ ආණ්ඩුවේද හොරුන් දූෂිතයන් යැයි ජනතා මැසිවිල්ලකි. අයථා වැලි බලපත්‍ර, කෘෂිකර්ම ගොඩනැගිල්ලේ කුලිය, වාහන මිලදී ගැනීමේ චෝදනා, කිරි හරක් බෙදා ගැනීමේ ඥාති සංග්‍රහය, බැඳුම්කර චෝදනා ඇතුළුව එදා සිදුවූ හොරකම් වෙනුවට තවත් හොරකම් ඒ ආකරයෙන්ම ගෙවුණු දෙවසර තුළ මහා පරිමාණයෙන් ඇසුණේ යැයි ජනතා මැසිවිල්ලකි.
අනෙක් අතට රනිල්ලා බටහිරට කත් අදිනවා යැයි විපක්ෂය චෝදනා කරන විට මහින්දලා කළේ අපි ජාතිමමත්වයෙන් රට රැකගත යුතු කතාවකි. ඒ ගැටුම තුළ ජනතාව මහින්ද පැත්තට නැඹුරු වන විට මෛත්‍රී මුනිවත රකිමින් පවසන්නේ අපේ ආණ්ඩුව හොලවන්න බැහැ යන කතාවකි. ජනතාව පවසන්නේ ගෙවී ගිය දෙවසරකට වඩා ඉදිරි දෙවසර තුළ මෛත්‍රී රනිල්ලාගේ නොහැකියාව තුළ මහින්දලා තවත් ඉදිරියට තල්ලු විය හැකි කතාවකි.
රනිල්ගේ පැත්තේ හොරු සිටිය හැකිය. මෛත්‍රි සමගත් හොරු සිටින බවට එජාපයත්, ජනතාවත් චෝදනා කරයි. මහින්දලාත් එය තහවුරු කරති. රනිල්ලා බලය වෙනුවෙන් එක පැත්තකට යන විට මෛත්‍රී තවත් පැත්තකය. දැන් කාටත් ඇත්තේ ඉතිරි අවුරුදු දෙක නොව 2020 සිට බලය අතට ගන්නා සිහිනයකි. දුන් පොරොන්දු අමතකය.
ජනතාව පවසන්නේ අවුරුදු දෙකක් ගතවීද බඩු මිල, ජීවන බර අඩු නොවූ කතාවකි. හැම පැත්තෙන්ම බදු ගැසූ ආණ්ඩුවක් යැයි බරපතළ චෝදනාවකි. ඒ බදු මගින් ගෙවී ගිය දෙවසර තුළ කළේ මන්ත්‍රීන්ට වාහන, ගොඩනැගිලි වරප්‍රසාද පහසුකම් ලබාදුන් බවට බරපතළ චෝදනාවකි.
නමුත් ගතවූ කාලය තුළ තොරතුරු දැන ගැනීමේ පනත, අතුරුදන්වූවන්ගේ පනත, ජීඑස්පී සහනය දිනා ගැනීම, ජිනීවා මඩ සෝදා ගැනීම, ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනඟා ගැනීම වැනි කරුණු වලදී රජය ජාතික මට්ටමින් ඉදිරියට ගොස් ඇතැයි පැහැදිලිව පෙනෙන්නට ඇති බවද දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
එහෙත් ජනතාවට ඇත්තේ කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි නැමති පිළිකුළ දනවන කතාවකි. එසේ නම් තවත් කෙපරබෑම හෝ බයිලා ගැසීම නොව සැබවින්ම කළ කී සහ දුන් පොරොන්දු අනුව ඉදිරියට රට නොගෙන යන්නේ නම් මහින්දලාගේ ආගමනය කෙසේවුවත් මෛත්‍රී රනිල්ලාගේ විගමනය හෝ අපගමනය වැළැක්විය නොහැකි බවද ජනතාව පෙන්වා දෙති. එය ගෙවී ගිය දෙවසර පුරා දුම්රිය බස්රිය නගරය ගම්මැද්ද හරහා සමාන්‍ය කතාබහක් බවට පත්වූ පුවතක් බව පාලකයන්ට ඇසිය යුතුය.
තවමත් රට කරන්නේ රාපක්ෂලාද යන තර්කය ජනතාව ගතවූ දෙවසරක කාලය තුළ ඇසුවෝය. මෛත්‍රිලා රනිල්ලා නිහතමානී විය යුතුය. කතාබහට පමණක් නොව ක්‍රියාවෙන්ද අවංක විය යුතුය. සමානාත්මතාවය නීති පොතට හෝ පාලනය ඇඟවීමට නොව ජනතාවට දැනිය යුතුය. රටේ පොදු දේපළ විනාශ කිරීමට හෝ මංකොල්ලකෑමට එරෙහි බව ආණ්ඩුවේ පාලකයන්ට ගෝලබාලයන් මගින් ජනතාව ඉදිරියේ ප්‍රදර්ශනය කළ හැකිය.
මාධ්‍ය ඉදිරියට පැමිණ නොමනා පුරසාරම් දෙඩුවත් මුන්ට පිස්සු යනුවෙන් ජනතාව ස්වයං ඇගයීමක යෙදෙන බව පාලකයන් වටහාගත යුතුය. නොකෙරන දේ හෝ නොවන දේ කී පවට අද යහපාලන ආණ්ඩුව ගල උඩ පැහැරූ බළලෙකුගේ තත්ත්වයට පත්ව ඇති බව ජනතාව දනිති. එහෙත් පාලකයන් සිතන්නේ තමන් කරන කියන හැමදේම නිදොස් බව නම් ඔවුන්ට වැරදී ඇත්තේද එතැනමය
ජනතාවට අනුව ගෙවී ගිය දෙවසර තුළ රනිල්ලා මෛත්රීලා හිත හැදෙන කතාබහ මිස රට හැදෙන තැනට නීතිය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර නොමැත. තමන්ට පාලනය කළ නොහැකි කැබිනෙට්ටුවක් සහ එයට ඇතුළත් කර ගත් හොරුන්, තක්කඩියන්, දූෂිතයන් නිසා අවසානයේ ඔවුන් ලවාම තමන්ගේ දේශපාලන පිරුවටය උනා ගන්නා තැනට ජාතික ආණ්ඩුව හෑල්ලු වී ඇතැයි නිරීක්ෂකයෝ අවධාරණය කරති.
අපි පරදින්නේ නැතැයි මහින්ද මෙන් අධිමානයෙන් රනිල් මෛත්‍රී ගතවූ දෙවසර පුරාවට පුරසාරම් තැබූහ. එසේම 2020ත් අපේ යැයි කුලප්පු වූ මනසින් පවසන රනිල්ටත් මෛත්‍රීටත් ගෝල බාලයන්ටත් සිදුවන්නේ එදා දස වසරක් තිස්සේ මහින්දලා කළ කී දේම මෙදා ප්‍රකාශ කරමින් ඒ අය පත්ව ඇති ඛේදවාචකය කරා විහින්ම ළඟාවීමට දැයි යන සැකය ගත වූ දෙවසර විමසන ජනතාව ප්‍රශ්න කරති.
එක් දෙයක් කිව යුතුය. යන්තරේ මෛත්‍රීගේ සහ රනිල්ගේ වුවත් එහි කැරකවෙන දැති රෝද සහ සේවය කරන කාර්මිකයන් මහින්දලාගේ බව පමණක් ගත වූ දෙවසරක ඇසූ දුටු දේ අනුව ජනතාව පවසන කතාව බැහැර කළ නොහැකිය.