Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 20 වන සඳුදා
2025 ජනවාරි මස 20 වන සඳුදා
කන්තලේ සීනි කර්මාන්තය නැවත ස්ථාපනය කිරීම සඳහා රාජපක්ෂ රජය යටතේ 2006දී පළමු යෝජනාව ඉදිරිපත් වන්නේය. ඒ සඳහා ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීම සිදුකරන්නේ 2010 වසරේදී රාජපක්ෂ රජය යටතේය.
එහිදී සාර්ථකම ගැනුම්කරුවා බවට පත්වන පුද්ගලයා පසෙක සිටියදී, එවකට රාජපක්ෂ රජයේ ප්‍රබලම ලේකම්වරයෙකු මේ ආයෝජනය තුන්වැනි ස්ථානයේ සිටි ගැනුම්කරුවාට ලබාදීමට උත්සාහ කළේය. මේ බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට වාර්තා වූ විට ඔහු එය නවතා දැමීය.
2015 ජනවාරි 8 යහපාලන රජය බලයට පත්වන්නේය. නවතා දමා තිබූ ‘කන්තලේ පුනරුත්ථාපන ව්‍යාපාරයට‘ 2015 පෙබරවාරි 14 දින අනුමැතිය ලැබෙන්නේය. ඒ, යහපාලන රජයේ මුල්ම ජාත්‍යන්තර ආයෝජන කිහිපයෙන් එකක් ලෙසිනි. කෙටි කලකින් මේ ව්‍යාපෘතිය සඳහා ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් අනුකමිටුවේ අනුමැතිය ලැබෙන අතර, නැවත මේ සඳහා වන කැබිනට් අනුමැතියක් 2015 ජුනි 17 වැනි දින හිමි වේ. ඒ අනුව කන්තලේ සීනි ව්‍යාපෘතිය සඳහා වන ගිවිසුම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ එම්.ජී. ෂුගර් සමාගම අතර අත්සන් තබනු ලබයි. ඒ සඳහා පූර්ව කොන්දේසියක් වන්නේ ඇ.ඩො. මිලියන 10ක මූල්‍ය තැන්පතුවක් ලබාදීමයි. එම මුදල මෙම සමාගම 2015 අගෝස්තු 08 වැනි දින ලංකාවට රැගෙන විත් අදාළ සුදුසුකම් සපුරනු ලබයි.
නමුත්, ඉඩම් අමාත්‍යාංශය මේ කටයුත්ත දීර්ඝ ලෙස ප්‍රමාද කරන්නේය. ආයෝජකයාට සිය කටයුත්ත සිදුකිරීමට බාධා පමුණුවන්නේය. නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයන් තමන්ට වැළැක්විය හැකි බවත්, තමා නැතිව කිසිවක් කළ නොහැකි බවත් විටින් විට ආයෝජකයාට දන්වන්නේ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය අයි.කේ. මහානාමය. එදා ඉඩම් අමාත්‍යාවරයා වූයේ කන්තලේ ප්‍රදේශයට අයත් වන ත්‍රිකුණාමල දේශපාලනය කළ එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාය. ඔහුගේ සැබෑ වුවමනාව වූයේ කෙසේ හෝ කන්තලේ දියුණුකොට සිය දේශපාලන බලය තහවුරු කර ගැනීමය. ප්‍රමාදය ප්‍රශ්නයක් වන විට එහි චෝදනාව එල්ල වූයේ අමාත්‍යවරයාටය. මේ අතර අමාත්‍යවරයා මිය යන්නේය. අමාත්‍යාංශ ලේකම්වරයා කරළියට ‘පැමිණ තමා නැතිව කිසිවක් කළ නොහැකි බවත්, තමාට සැලකිය යුතු බවත්‘ දිගින් දිගටම ආයෝජකයාට පවසයි.
මේ වන විට ආයෝජකයා ඩොලර් මිලියන 10ක් ලංකා ආණ්ඩුවේ ආයෝජනය කර අවසන්ය. ජෝන් අමරතුංග නව අමාත්‍යවරයාට වගකීම් ගොඩක් මැද පැවරෙන අමාත්‍යාංශය ගැන එපමණ තැකීමක් නොවීය. අමාත්‍යාංශ ලේකම් මහානාම තමන්ට කැමති පරිදි අමාත්‍යාංශය පාලනය කරගෙන යයි. ලේකම් මහානාම අමුතු කලාවක් ගොතන්නේය. මරණ මංචකයේදී ගුණවර්ධන මහතා තමාට ‘අහවල් අහවල් දේ කළයුතු යැයි‘ පැවසූ බව ඔහු ආයෝජකයාට පවසයි. එය ඉටුකිරීමට නම්, මුදල් අවශ්‍ය බවද පවසයි.
මහානාම ආයෝජකයාගෙන් ඉල්ලා සිටි අල්ලස ඇමරිකානු ඩොලර් මිලියන 3කි.මේ සිද්ධිය පිළිබඳ තොරතුරු මා වෙත (කීර්ති තෙන්නකෝන්) ආරංචි වී කෙටි කාලයකින් ශ්‍රී ලංකා මහ බැංකුව හෝ වෙනත් වාර්තාවක් මගින් යහපාලන රජය යටතේ විදේශ ආයෝජන බිඳවැටී ඇති ආකාරය පිළිබඳ අනාවරණය විය. මේ කරුණ දූෂණ විරෝධී පෙරමුණ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් නැවත නැවත අවධාරණය කරන ලදී. එවකට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වූයේ මා මිතුරු ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතාය. ජයසූරිය මහතා මේ ගැටලුවට පිළිතුරු දුන්නේය. තමන් ආයෝජන ගිවිසුම් අත්සන් කරන නමුත් ඉඩම් ලේකම් මහානාම හා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ එම ව්‍යාපෘති ඉදිරියට ගෙන යාමට බාධා කරන ආකාරය ඔහු සවිස්තරව ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා අමාත්‍ය මලික් සමරවික්‍රම විසින් උපුල් ජයසූරිය මහතා ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට මාර්ගය සකස් කළේය. උපුල් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදුන්නේය. 2017 මැයි මාසයේ මුල්ම දිනක ආචාර්ය මහානාම තමන්ගෙන් ඇමරිකානු ඩොලර් මිලියන 3ක් ඉල්ලා සිටි බව මේ ආයෝජකයා අල්ලස් කොමිසමට ලබාදුන් කටඋත්තරයේ දැක්වේ. වත්තල ‘ස්ටීම් බෝට්ටු සවාරි සිදුකරන ස්ථානයේ අවන්හලේදී මුහුණට මුහුණ සිදුවන හමුවකදී මෙම මුදල් ඉල්ලා ඇති බව ආයෝජකයාගේ ප්‍රකාශයේ සඳහන් වේ.
2017 සැප්තැම්බර් මාසයේ 5 හෝ 6 යන දිනෙක බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී දැව සංස්ථා සභාපති පී. දිසානායක මුල්ම වරට ආයෝජකයා සමග අල්ලස ගැන කතාකොට ඇත. 2017 ඔක්තෝබර් සිට 2018 පෙබරවාරි දක්වා අවස්ථා 4කදී ආයෝජකයා දැව සංස්ථාවට කැඳවා අල්ලස ලබා නොදෙන්නේ නම් ව්‍යාපෘතිය කරගෙන යාමට ඉඩ නොදෙන බව දිසානායක-මහානාම යුවළ දක්වා ඇත.
2017 අප්‍රේල් කන්තලේ උක් වගාවට ඉඩම් ලබාදෙන අතර, 2017 සැප්තැම්බර් 17 බිම් සැකසීම ආරම්භ විය. මහානාම ආයෝජකයාට සිය කප්පම නොලැබෙන්නේ නම් ව්‍යාපෘතිය නවතා දමන බවටත්, ඉඩම් ආපසු ලබාගන්නා බවටත් තර්ජනය කරන්නේ මේ අතරය. ඒ වන විට සමාගම එංගලන්ත හා දකුණු අප්‍රිකානු ආයෝජකයන් ලංකාවට ගෙන්වාගෙන අවසන්ය. මේ තර්ජනය නිසා 2018 පෙබරවාරි 22 වැනි දින ආයෝජකයා අල්ලස් කොමිසමට මෙම සිදුවීම පැමිණිලි කර ඇත. එතැන් පටන් කතාව මෙම විමර්ශන කාර්යයට අගතියක් විය හැකි බැවින් හෙළි නොකරමි. නමුත්, අප්‍රේල් 27 අම්පාර සිට කොළඹට පැමිණීමේ සිට අල්ලස් ලබාගැනීමට සැලසුම් කළ ස්ථානය, යුනියන් පෙදෙස ස්ථානයක මුදල් හුවමාරුවට සුදානම් වූ ආකාරය (දිසානායකට යුනියන් පෙදෙස මහල් නිවසක් ඇත), වෙසක් නිවාඩුවෙන් පසුව සඳුදා උදෑසන මුදල් ලබාදීමට සූදානම් වීම, අවසානයේ මැයි 3 උදේ 11.30ට මුදල් ලබා ගැනීමේ උත්සාහය සහ එය සවස 4.30ට වෙනස් කිරීම දක්වා ඇත්තේ දිගු කතාවකි.
තමාගේ මුදල් අවශ්‍යතාව ගැන මහානාම අයෝජකයාට පවසා ඇත්තේද අපූරු කතාවකි. තමන් තවත් ටික දිනකින් විශ්‍රාම යන බවත්, එවිට තමාට කිසිදු ආදායමක් නොමැති බවත්, තමාට කැලණිය විශ්වවිද්‍යාලය අසල ඉඩමක් ඇති බවත් එහි ගොඩනැගිල්ලක් ඉදිකොට එමගින් ආදායමක් ලබාගැනීමට තමන්ට අවශ්‍ය බවත් ඒ කතාවයි. ජනාධිපති කාර්යමණ්ඩල ආචාර්ය අයි.කේ. මහානාම, දැව සංස්ථා සභාපති පී. දිසානායක යන අය අල්ලස් මුදල් ලබාගෙන මුදල් ගණන් කරන අතරතුර වීඩියෝ කැමරා මැද පසුගියදා අත්අඩංගුවට පත්වීමෙන් අවසන් වන්නේ මෙම සිදුවීමයි.
ආයෝජන මණ්ඩලය ගිවිසුම් අත්සන් කර, නීතිපති දෙපාර්තමේන්තුව ව්‍යාපෘති ගිවිසුම් අනුමත කොට, එම ගිවිසුම් අනුමත කළ පසුව ආයෝජකයන් රටට මුදල් ගෙනැවිත් ව්‍යාපෘති අරඹයි. ගිවිසුමට අනුව රජයෙන් ලැබෙන ඉඩම් හා ගරාවැටුණු ගොඩනැගිලි හා භාණ්ඩ වෙනුවෙන් ස්ථාපනය වන සමාගමේ 51%ක කොටස් අයිතියක් රජයට හිමිවේ.මහානාම සිය කප්පම ඇ.ඩො. මිලියන 3 නොලැබූ විට කරන්නේ තමන් විසින් සකසන කැබිනට් පත්‍රිකාව අඩුපාඩුවක් ඇතිව සකස් කිරීමය. එමගින් ඔහු පවසන්නේ කන්තලේ තිබූ පරණ බඩු කිසිවක් නව සමාගමට ලබා දිය නොහැකි බවයි. තමන්ගේ කප්පම නොලැබෙන්නේ නම් මේ ව්‍යාපෘතිය කළ නොහැකි තැනට දේශපාලඥයන්ට ඔහු කරුණු දක්වයි. මහානාම පවසන්නේ මේ ව්‍යාපෘතිය කළ නොහැකි බවත්, සමාගම පරණ යකඩ ටික විකුණා ව්‍යාපෘතිය අතහැර දමන බවත්ය. ඒ සඳහා ඔහු කෝටි 34ක පරණ යකඩ ඇති බව ප්‍රසිද්ධ කරයි. ඒ සඳහා තක්සේරුවක් සිදුකරයි. තක්සේරුවට ටෙන්ඩර් කැඳවයි. මෙම ටෙන්ඩරය හා දෙවැනි අදියරේ ගණනත්, පහත දැමූ කප්පම අතරත් ඇත්තේ ඍජු සම්බන්ධයකි. මහානාම ලේකම්වරයා ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ව්‍යාජ කරුණු ඉදිරිපත් කොට ඇත.
ඒ අනුව, ලංකා රජය වෙත ලබාදෙන 51% ක කොටස වෙනුවෙන් කන්තලේ සීනි සමාගමේ ඇති ගොඩනැගිලි (බහුතරයක් අබලි හා අතහැර දමා ඇත.) දිරාගිය යන්ත්‍ර, දිරාගිය වාහන ආදිය මේ සමාගම සතු විය යුතුය. නමුත් ආචාර්ය මහානාම මේ ද්‍රව්‍ය නිදහස් කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 3ක අල්ලසක් ඉල්ලයි. එය ලබාගත නොහැකි විට කෝටි 54ක පගාවක් ඉල්ලයි. එය නොලැබෙන විට කෝටි 45ක් ඉල්ලයි. එයත් හිමි නොවන විට කෝටි 10ක් හෝ ලබාගැනීමට උත්සාහ දරයි.
ඒ සඳහා ඔහු ඉදිරිපත් කරනු ලබන තර්කය මේ සමාගම උක් වගාව සිදු නොකර යකඩ ටික විකුණා දැමීමට උත්සාහ දරන බවට ප්‍රචාරයක් ගෙන යාමය. ඒ අතර තම තර්කයට ශක්තිය සපයන්නට අමාත්‍යාංශයේ නිලධාරීන් යොදා ගනිමින් අබලි යකඩ සඳහා තක්සේරුවක් ලබා ගනී. කිසිදු නීත්‍යනුකූල පදනමක් නැතත්, අබලි යකඩ සඳහා ටෙන්ඩර් කැඳවයි. ඇමතිවරු මැදිහත් නොවීම නිසාද මේ දුක් ගැනවිල්ල අසන්නට කිසිවෙකු නැති නිසාද ආයෝජකයා අමාරුවේ වැටේ. එපමණක් නොවේ. මේ ආරවුල බේරන්නට පත්කරන කමිටුව වැඩ කරන්නේද, අමාත්‍යාංශ ලේකම්ට අවශ්‍ය ලෙසමය. අවසානයේ ‘පරණ යකඩ ටෙන්ඩර් තොරතුරු සඟවා එකම පුද්ගලයාට පළමු හා දෙවන ටෙන්ඩරය ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබාදෙයි. සැබැවින්ම කන්තලේ සීනි ව්‍යාපෘතිය ‘පරණ යකඩ ගනුදෙනුවක්‘ බවට පත්කරන්නේ හිටපු ඉඩම් ලේකම් ආචාර්ය මහානාමය.
පරණ යකඩවල වටිනාකම කෝටි 50 නම්, එයට කෝටි 60ක පගාවක් ගන්නට බැරිය. ඇ.ඩො. 3ක පගාවක් ගන්නටද බැරිය. අෙනක කෝටි 50ක යකඩ ගන්නට ඇ.ඩො. මිලියන 10ක අත්තිකාරමක් ගෙවන උන්මත්තක ආයෝජකයන්ද ලෝකයේ විරලය. දැන් නාටකයේ හොඳම තැනට පත්වන්නේය. පරණ යකඩ සඳහා ඉහළම ඉල්ලුම කෝටි 54කි. දෙවැන්න කෝටි 46කි. තෙවැන්න කෝටි 35කි. පළමු හා දෙවන ටෙන්ඩර දෙකම එකම හිමිකරුගේය.
එම්.ජී ෂුගර් ඉඩම් ලේකම්ගේ මේ අත්තනෝමතික තීරණයට එරෙහිව සිංගප්පූරුවේ ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩලයට යයි. තම ගොදුර වැරදී ඉඩම් ලේකම් විශ්‍රාම යයි. නමුත්, කුමන හෝ ක්‍රමයකට ඔහු ජනාධිපති කාර්යාලයේ කාර්යමණ්ඩල ප්‍රධානී තනතුරට පත් වෙයි. ඔහු ආයෝජකයාට කියන්නේ කන්තලේ සීනි සමාගම අයත් වන දයා ගමගේ අමාත්‍යවරයාට පවසා මේ ගැටලුව විසඳා දියහැකි බවයි. එපමණක්ද නොව ජාත්‍යන්තර බේරුම්කරණයට තමා මැදිහත් වී එයද විසඳා දෙන බවයි. රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක හරහා පණිවුඩ යවන ආචාර්ය මහානාම කෙසේ හෝ තම කුට්ටිය කඩා ගැනීමට උත්සාහ දරයි.
‘බාර් පියා‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර ප්‍රකට චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ ලේකම්වරයා වන මෙම නිලධාරියා එදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අල්ලස් ලබාගැනීමට සමත් වූ මේ වැඩයට කප්පිත්තෙකි. අම්පාර ප්‍රාදේශීය ලේකම්වරයා වූ ඔහු අත්තනගල්ලේදී එජාප මන්ත්‍රී පෝල් පෙරේරාගේ දේශපාලන පළිගැනීමට ලක්ව ‘පරිපාලන සේවයේ සයිබීරියාවට‘ යවයි. ප්‍රධාන ඇමති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ලේකම් බවට පත්වන්නට එය සුදුසුකමක් වන්නේය. අල්ලස් කොමිසම ඔහුගේ දේපළ පිළිබඳ විමර්ශනයක් සිදුකරන්නේ නම් ඔවුන්ට ග්‍රෙගරි පාරේ මහල් නිවාස දෙකක්, යුනියන් පෙදෙසේ මහල් නිවාසයක්, ගම්පහ (මොන්ටිකාලෝ) බාර් 3ක්, මාතර තෙමහල් ආපන ශාලාව (තැබෑරුම) හා බත්තරමුල්ලේ නිවාස 2කට ගොඩ වන්නට සිදුවුවහොත් එම නිලධාරීන් පුදුම නොවිය යුතුය.
ආචාර්ය මහානාම සහ සභාපති දිසානායක නොදැන සිටි කරුණ නම් මේ වන විට අන්ත අසරණ වී සිටි ආයෝජකයා මේ පිළිබඳ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිලි කර තිබූ බවයි. එපමණක්ද නොව අල්ලස් කොමිෂන් සභාවේ අතිදක්ෂ විමර්ශන නිලධාරීන් පිරිසක් කාලයක සිට මේ සිද්ධිය ගැන ඇස ගසා සිටි බවයි. ලංකාවට පැමිණෙන ආයෝජකයන්ට සිදුවන ගැහැට කොපමණද යන්න මැනවින් තහවුරු වන සිදුවීමක් ලෙස කන්තලේ අල්ලස් සිද්ධිය අප හඳුනාගත යුතුය. සිද්ධිය සම්බන්ධයෙන් ආයෝජන විෂය භාර අමාත්‍ය මලික් සමරවික්‍රමගේ ප්‍රකාශය ගැන මම පුදුම නොවෙමි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ලංකාවේ රාජ්‍ය සේවකයෙකු ලෙස වැඩිම වැටුපක් (රු. මිලියනයක්) ලබන පුද්ගලයා සිටින ස්ථානයයි. එහි සභාපතිවරයා වැඩට එන්නේ සතියකට පැය දෙක තුනකට පමණි. ආයෝජකයන්ට සේවා ලබා ගැනීමට දේශපාලඥයන් පසුපස යායුතුය. අනෙක් අතට අායෝජකයන් මෙලෙස පීඩාවට පත් වන තෙක් රජය, අමාත්‍යාංශ, ආයෝජන මණ්ඩලය කුමක් කළේදැයි විමසයි. මේ ආයෝජකයා මා සමග පැවසුවේ මාගේ කතාව අසන්නට හෝ ඉදිරිපත් වූයේ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක පමණයි කියාය.
මේ ඉන්දීය ව්‍යාපාරිකයා 1994 සිට ලංකාවේ ව්‍යාපාර කටයුතු සිදු කළ පුද්ගලයෙකි. ලංකාවේ බොහෝ තැන්වලට සබඳතා ඇති අයෙකි. ඔහු මුහුණ දුන් තත්ත්වය වෙනත් ආයෝජකයෙකුට හිමි වූයේ නම්, ඔහු ආයෝජන හැර දමා ගොස් බොහෝ කල්ය.
අනෙක් අතට ඇති තරම් දූෂණ චෝදනා තිබූ ආචාර්ය මහානාම වැනි නිලධාරියෙකු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියා වූයේ කෙසේද යන්න වෙනම විමසා බැලිය යුතු කරුණකි. කැෆේ සංවිධානය, දූෂණ විරෝධී පෙරමුණ හා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය යන මා සම්බන්ධ වූ ආයතන ලංකාවේ ඉහළම රාජ්‍ය නිලධාරීන් 7කට චෝදනා එල්ල කර ඇත. ගල් අඟුරු වංචාව, විදුලි මාෆියාව, බැඳුම්කර වංචාව, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, ආයෝජන ප්‍රවර්ධන එයින් කිහිපයකි. ඔවුන් කිසිවෙකු ගැන අදටත් විමර්ශනයක් හෝ නැත. ආචාර්ය මහානාම වැනි පුද්ගලයන් විශ්‍රාම ගියද රාජ්‍ය සේවයේ ඉහළම තැන් ඔවුන් වෙනුවෙන් වෙන් වී ඇත. දේශපාලන නායකත්වයේ අසමත් බව කදිමට පෙනෙන්නේ එබැවිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd