Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 20 වන සඳුදා
2025 ජනවාරි මස 20 වන සඳුදා
මල්වතු මහ නාහිමියන් නව ආණ්ඩුකම ව්‍යවස්ථාව වෙනුවෙන් තමන් වහන්සේගේ ස්ථාවරය දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට ප්‍රකාශ කළේය. උන්වහන්සේගේ පන්සලට පැමිණි පසු මිස ඔවුන් හමු වීමට ගිය අවස්ථාවක නොවේ.
දිනේෂ්ලා මල්වතු මහා විහාරයට ගියේ ඇයි? බුදුන් වැඳීමට හෝ සිල් ගැනීමට නොවේ. සුපුරුදු පරිදි සිල්රෙදි බෙදීමටද නොව රට තුළ තවත් දේශපාලන උප්පරවැටියක් වෙනුවෙන් එක් කොනකට මහනායක හාමුදුරුවන් වහන්සේද පැටලවීමට යැයි මෙම සිදුවීම අසා සිටි පිරිස පවසති.
ඇතැමුන් පැවසුවේ මල්වතු මහනායක හිමියන් මගින් ආණ්ඩුවේ නායකයන්ට බලපෑමක් කර රට බෙදන ව්‍යවස්ථාව ඉදිරිපත් නොකරන ලෙස බලපෑමක් කිරීමට යැයි පුවතකි. තවත් ඇතැමුන් පැවසුවේ හැම දේශපාලකයෙක්ම බලය ඇතිදා පන්සල පල්ලිය කෝවිල අමතක කර බලය නැතිදා ඒවාට රිංගා ජාති ආගම් භේද වැපිරීමේ උත්සාහයක් පවතින කතාවකි. මේ අවස්ථාවද ඒ දේශපාලන ගින්න වැපිරීමට සහ ජාතිවාදි ගෝත්රවාදී භේදයක් නිර්මාණය කිරීමේ උත්සාහයක් දැයි සැකයකි.
මේ සිදුවීම තුළ දිනේෂ්ලාගේ පිලට අදහස් දැක්වීමට ඇති අයිතිය නාහිමියෝ ගරු කළහ. (කවදත් අන් අයට ඇහුම්කන්දීමටත්, සාවධානව අසා සිට නිරවුල්ව අනුදැන වදාරන්නටත්, තමන් වහන්සේ බැහැදකින පාර්ශ්වයන්ට අඩුම තරමින් කිරි කහට කොප්පයක් සමග හකුරු කැබැල්ලකින් හෝ සංග්‍රහ කිරීමටත් උන්වහන්සේ නිර්ව්‍යාජ නිහතමානී උපෙක්ෂාශීලී බව කවුරුත් නොදන්නා රහසක් නොවේ.
එබඳු මහා යතිවරයාණන්වරයෙකු හමුවන පාර්ශ්වයන් එතැනට යා යුත්තේ උන්වහන්සේට ඉගැන්වීමට නොව හෝ තර්ක කිරීමට නොව තමන්ගේ මතය වෙනුවෙන් අදහස් යෝජනා උපදෙස් සහ නිවැරදි කළ යුතු තැන් පසක් කරගනිමින් උන්වහන්සේලාගේ ආශිර්වාදය ලබාගැනීමට බව ජනතාව පෙන්වා දෙති. එදා රජ කාලේ සිදුවූයේද එයමය.
නමුත් අද විපක්ෂයට තල්ලු වූ පසු පමණක් මල්වත්ත විහාරය ගැන හිතන ඒකාබද්ධ විපක්ෂය එදා මල්වතු විහාරය දෙකඩ කර මහා සංඝ භේදයක් ඇති කිරීමට ගත් උත්සාහය සහ රාජපක්ෂවරුන්ගේ නිකායක් බිහි කිරීමට ගත් පහත් ප්රයත්නය මෙයට පෙර අවස්ථා ගණනාවකදී අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධ වේදිකාවේ පෙන්වා දුන්නේය. එහෙත් කිසිම රාජපක්ෂවරයෙකු හෝ ඒකාබද්ධ විපක්ෂයේ අයෙකු නැතහොත් අද ආගමික සංහිඳියාව පිළිබඳ කතා කරන කිසිම භික්ෂූන් වහන්සේ නමකගේ දෝෂදර්ශනයට ලක් වූයේ නැතැයිද මුනිවත රැක සිටියේ යැයිද ඇතැමුන්ගේ චෝදනාවකි.
ඒ සියල්ල අතර ගත වූ අවස්ථාවක මේ ව්‍යවස්ථාව ගැන කතා කිරීමට මල්වතු මහා විහාරයට විමල් විරවංශ මහතාද ගියේය. තමන්ගේ පෞද්ගලික මතය මල්වතු මහා විහාර සංස්ථාවේම පොදු මතය කරමින් එය රටේ මතය බවට පත් කරගැනීමට ගත් නොමනා උත්සාහය මධ්‍යස්ථ ජනතාව මෙවර නැවත සිහිපත් කළහ.
සැබැවින්ම රටක් කරවන මූලික ලියවිල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නම් වෙයි. එහි යම් තැනක සදොස්භාවයක් හෝ වරදක් ප්‍රමාදයක් සිදුවන්නේ නම් එය සමස්ත රාජ්‍ය යාන්ත්රණයට ඇති කරන බලපෑමත්, හානියත් සුළුපටු නොවේ. එනිසා එය නිවැරදි කිරීම අප්‍රමාදව විය යුතුය.
අනෙක් අතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නමැති මූලික ලියවිල්ල මගින් රාජ්‍යයේ සෑම පුරවැසියෙකු වෙනුවෙන් මිස එක් දේශපාලන කණ්ඩායමක් ජාතියක්, ආගමක් නියෝජනය නොවිය යුතුය.
තවත් පැත්තකින් ලෝකයේ ඇතැම් මහා රාජ්‍යයන්ටද අදටත් ව්‍යවස්ථාවක් නැත. එහෙත් එහි ප්රජාතන්ත්රවාදය සහ මානුෂීය අයිතිවාසිකම් රැකගැනීමේ ක්‍රියාදාමය කෙරෙහි ද සර්ව සාධාරණය සහ යුක්තිය පිළිබඳ විශ්වාසයක් රටවැසියාට පවතී. නමුත් මෙරට දේශපාලකයන් පිළිබඳ ඇති බිය සැක රතු, නිල්, කොළ වශයෙන් කිනම් පිලක් බලයට පැමිණියද ජනතාවට අත් කර ඇති සාධාරණ බියකි. තම හිතවාදීන් අතර පොදු ජනතාව නමින් වූ නිවාස, දේපොළ, යානවාහන වරප්‍රසාද බෙදාගැනීමට පමණක් නොව දූෂණය, වංචාව සඳහා පැවැති ව්‍යවස්ථා සහ ආණ්ඩුවේ චක්‍රලේඛ යොදාගත් දේශපාලන ක්‍රමය ගැන ජනතාවට ඇත්තේ සැකයකි. එපමණක් නොව සිල්රෙද්දට මුවා වී බුද්ධශාසනයත් පාවා දුන්නේ යැයි චෝදනා ඇසෙන දේශපාලකයන් විසින් ව්‍යවස්ථාවක් නොමැති කලක කෙසේ ක්‍රියාකරනු ඇතිද යන සාධාරණ සැකය ජනතාවට ඇත.
එනිසාම එක්සත් හෝ ෆෙඩරල් හෝ ඒකීය නැතහොත් බුද්ධාගමට හිමිතැන ආදී විවිධ සංවාද නිර්මාණය වීමද අසාධාරණ නැත. එහෙත් මේ තර්ක විතරක් සියල්ල නැවත පෙන්වා දෙන්නේ විරෝධය දක්වන පාර්ශ්වයන්ද මෙම ව්‍යවස්ථා සම්පාදන කමිටු නියෝජනය කළේ නම් එම සංවාද මණ්ඩපයේදී ඒ බව නොදක්වා මල්වතු විහාරයට පැමිණ මේ දුක්ගැනවිල්ල ඉදිරිපත් කරන්නේ ඇයිද යනුවෙනි. නැතහොත් තම මන්ත්‍රී ධුරය සහ පාර්ලිමේන්තු වගකීම් යටතේ කතා නොකර පන්සල් තුළට රිංගා නැති තර්ක දක්වා ආගමේ හරයද ගරු මහනායක හිමිවරුන්ගේ පෞද්ගලිකත්වයටද හානිකර අන්දමින් දේශපාලනීකරණය කරන තැනට භංගත්වයට පත්වීම නිසාදැයි ඇතැම් භික්ෂූන් වහන්සේලා අසන පැනයද අසාධාරණ නැත.
අණපනත් සකසන්නේ පර්ලිමේන්තුව නම් ඒවාට අදාළ කමිටු සම්පාදනය කිරීම හෝ ඒවා නියෝජනය කරන්නේද මන්ත්‍රීවරුන් නම් සහ පාර්ලිමේන්තුවට අධිකරණයෙන් ඔබ්බට ගිය පරමාධිපත්‍යයක් ඇතැයි පවසමින් පාර්ලිමේන්තුව තුළ විසඳුම් සපයාගත හැක. එහෙත් එවැනි කරුණු වෙනුවෙන් බුද්ධ ධර්මය පාවාදීමෙන් හෝ පන්සල් තුළට රිංගා ඒවාද දේශපාලන අසූචියෙන් තවරන තැනට බංකොළොත්භාවය ලැබූ දේශපාලකයන් කරන්නේ තමන් නියෝජනය කරන පක්ෂයටත් වඩා තමන් අදහන ආගමත්, අවඥාවට හා අවලාදයට යොමු කරවීමකි.
මෙවැනි සංවේදී සිදුවීම් හමුවේ ඇත්ත කතා කිරීම හානි විය හැකිය. ඇත්ත පෙන්වාදීම වරදක්ද විය හැකි නිසා මෙවැනි අර්බුදවලදී මුනිවත රකිමින් වෙන දෙයක් දෙස බලා සිටිමුයි ජනතාව පවසති. එහෙත් ඇත්ත කතාව එය නොවේ. ගත වූ මහින්ද රාජපක්ෂ සමයේ බලය පවත්වාගෙන යාම සඳහා ආගම ප්‍රබල සාධකයක් විය. සමාජ විද්වතුන්ට අනුව ආගම යනු බලය ස්ථාපනය කරන ප්‍රබල සාධකයකි.
වරක් ගැටඹේ රජෝපවනාරාම විහාරාධිපති නාහිමියෝ ජනමාධ්‍යයට පැවසුවේ බලය නැතිදා අප වෙත එන අය බලය ඇති දා අප වෙත පැමිණි ශාසනික මෙහෙවර හෝ ජාතිකත්වය ගැන හෝ ආගම රැකගැනීම ගැන කතා නොකරන පුවතකි.
දේශපාලකයන් සහ සෙසු පාර්ශ්වයන්ට මෙන්ම මල්වතු නායක හිමියන්ටද පෞද්ගලික මතයක් තිබිය හැකිය. උන්වහන්සේටද නීතිය අනුව භාෂණයේ ප්රකාශනයේ අයිතිය ඇත. නමුත් තමන්ගේ මතය නොපිළිගන්නා නිසා මල්වතු නාහිමියන්ගේ අදහස් නිර්දය ලෙස අවමානයට පත් කරනවා නම් එතැන බුද්ධාගමක් නැත. ශාසනික විනයක් නැත. බුද්ධ දර්ශනයට නිගා කිරීමකි.
කළ යුත්තේ තමන්ගේ මතයත් නාහිමියන් දක්වන මතයත් අතර වෙනස මැනවින් වටහාගැනීමය. යම් වෙනසක් සඳහා අවශ්‍ය වන්නේ ඒ මූලධර්මය අනුව වෙනස වටහාගනිමින් ඒ වෙනස අනුව අවශ්‍ය හඳුනාගැනීමකි. මේ සිද්ධාන්තය වෙනස්වීමේ වුවමනාව සහ වෙනස් කිරීම සැබෑ අවශ්‍යතාව ඇති සෑම පාර්ශ්වයක් විසින්ම වටහාගත යුතු කරුණක් බව සමාජ විද්වත්හු පෙන්වා දෙති.
අනෙක රට තුළ මේ වනවිට පවතින සමාජ දේශපාලන වටපිටාව භික්ෂූන් වහන්සේලාගේ සහ ඇතැම් දේශපාලකයන්ගේ ප්‍රකාශ හේතුවෙන් රට ගිනිගත් හෝරාවක් බව කිවයුතු නැත. සමාජය තුළ දේශපාලකයන් මෙන්ම ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ චර්යාවන් පිළිබඳ ප්‍රශ්න කිරීම් පවතින බව සැඟවිය යුතු රහසක් නොවේ. එසේ තිබියදී ඒ නරාවළට ගෞරවනීය මහනායක හිමිවරුන් හෝ තවත් භික්ෂූන් වහන්සේලා තව තවත් ඇදගෙන යාමට බලය වෙනුවෙන් යමෙකු යොමු වන්නේ එය ආනන්තරීය පාපකර්මයටත් වැඩි අපරාධයකි.
එහෙත් මල්වත්තට හෝ අස්ගිරියට නැතහොත් රාමඤ්ඤ නිකායට නැතිනම් අමරපුර මහා විහාරයට ගොඩවන ඇත්තන්ට මේ යථාර්ථය නොවැටහෙන්නේ නම් එතැන ඇත්තේ භික්ෂූන් වහන්සේලා තම ජාතිවාදී ගෝත්රවාදී අරගලයේ පදනම කරගැනීමදැයි ඇතැමුන් අසන ප්‍රශ්නයද සියුම්ව විවරණය කළ යුතු කරුණකි.
දිනේෂ්ලා හෝ විමල්ලා හෝ මහින්දලා නැත්නම් කිරිඇල්ල හෝ රනිල්ලා හෝ අනුර කුමාරලා කියන දේ කිරීමට මෙරට භික්ෂු සමාජය බැඳී නැතැයි යන ස්ථාවරය සැම බෞද්ධයෙකුගේම මතය වී ඇත. එහෙත් නායකයන්ට යායුතු මගපෙන්වීමට උන්වහන්සේලාට ඇති වගකීම බැහැර කිරීමට හෝ එයින් බැහැර කරවීමට කිසිවෙකුට අයිතියක් නැත.
දේශපාලකයාට පාර්ලිමේන්තුවත්, භික්ෂූන් වහන්සේට පන්සලත් විනා භික්ෂූන් වහන්සේ පාර්ලමේන්තුවේ දේශපාලනයත්, දේශපාලකයා පන්සලේ ආගමික මෙහෙවරත් වෙනුවෙන් ඇඟිලි ගසන්නේ නම් එය අන්‍ය ජාතිකයෙන්ගේද අවමානයට, හාස්‍යයට ලක්වන සිදුවිමක් වනු ඇත. මහ නාහිමිවරුන් හමුවන ඇතැමුන්ට ඇත්තේ මෙබඳු අරමුණක් යැයි මධ්‍යස්ථ ජනතාව පවසන දේ මේ දේශපාලකයන් වටහාගත යුතුය.
අන් මත ඉවසීමට නොහැකි දේශපාලකයන් රටට විනයකි. බුදුබණ නොදන්නා භික්ෂූන් වහන්සේලා ආගමට කර ඇති සංඝභේදය වැරදි පූර්වාදර්ශයක් යැයි භික්ෂූන් වහන්සේලාගෙන්ම චෝදනාවකි. මේ දෙකම එකට එක ගැටෙන්නට ඉඩ හැර බොරදියේ මාළු බාන කට ගඳ ගහන කපුරුහාමිලා රටට විනයකි.
තමන්ගේ නමින් ගොනුවන අල්ලස්, මිනීමැරීම්, වංචා සහ දූෂණ ලිපිගොනු අනුව බුරුතු පිටින් සිය ඥාති මිත්‍රාදීන් සහ හුරේ දැමූ හෙංචයියන්ද සමග එක වැළට යාමට බෝගම්බර සහ වැලිකඩ බන්ධනාගාරයේ දොරටු විවර කර ඇති බව දන්නා ඇතැමුන් මේ ආගම් භේද අවුස්සා භික්ෂූන් කෙටවීමේ ව්‍යාපාරයක නිරත බව පැහැදිලිය. භික්ෂුව සහ වර්ජකයන් හරහා ආණ්ඩුව පෙරළා දමා තමන්ගේ ආණ්ඩුවකින් හොරකම් වසාගැනීමේ උත්සාහයක් ඇතැයි ඇතැමුන් පෙන්වා දෙන්නේ මේ කතාවය.
ඒ අතර පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වා තවත් කොබ්බෑකඩුවේ හාමුදුරු නමක් වෙන්න එපා යැයි මහාචාර්ය මැදගොඩ හිමියන් මල්වතු මහනායක හිමියන්ගෙන් ඉල්ලා සිටියහ. එදිනම මාධ්‍ය හමුවකදී උන්වහන්සේ ප්‍රකාශ කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටට ද්‍රෝහී ක්‍රියාමාර්ගයක් නොගනු ඇතැයි විශ්වාස කරන පුවතකි. ආගමත් දේශපාලනයත් අතර පවතින ගැටුම මෙයින් මනාව තහවුරු වන්නේ යැයි ඇතැම් විද්වත්හු කරන ප්‍රකාශයද මෙහිදී බැහැර කළ නොහැකිය. එසේ නම් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මල්වතු විහාරයට නොව යා යුත්තේ ජනාධිපති නිල නිවසට නොවේදැයි ජනතාවගේ පැත්තෙන් තර්කයකි.
අස්ගිරි මල්වතු නාහිමිවරුන්ට හෝ භික්ෂූන් අතර කෙටවීම් කර භික්ෂූන්ගේ දොස් ගයන්නට සලසන භික්ෂූන් වහන්සේලා මේ අවමානයෙන් ආගම මුදාගැනීම පිළිබඳ නැවත සිතිය යුතුය.
හොරුන්ට නාම යෝජනා දෙන්නා එපා. දූෂිතයන්ට එරෙහිව නඩු දමන්න. බඩු මිල අඩු කරන්න යැයි හැමදාමත් මහනායක හිමිවරු අනුශාසනා කළද, තමන්ගේ වැටුප් දීමනා වරප්‍රසාද වැඩි කරගත්තා මිස කළ වෙනත් කෙංගෙඩියක් තියෙනවාදැයි යනුවෙන් අසන මැසිවිල්ලට මහින්දලා, දිනේෂ්ලා, බන්දුලලා මෙන්ම රනිල්ලා, මෛත්‍රිලා, කිරිඇල්ලලාද උත්තර දිය යුතු යැයි ඇතැම් භික්ෂූන් වහන්සේලා පෙන්වා දෙති. අදටත් මෛත්‍රී මෙන්ම රනිල්ද හොරුන් පිරිසක් බලෙන් රිංගවාගෙන ඇතැයි විපක්ෂය පවසන්නේ මහනායක හිමිවරුන් කී දේ කවුරුත් පිළිගෙන නැති හෙයිනි. නමුත් ඒ හොරුන්ගේ කොටසක්ද ඒකාබද්ධය පැත්තේය.
දේශපාලකයාට කන්නට රටක් ඇත. එහෙත් ජනතාවට ඉන්නට රටක් තිබිය යුතුය. එසේම රටවැසියාට ඇදහීමට නිමල බුදුදහමක් තිබිය යුතුය. ඒ සඳහා ගෞරවනීය බුද්ධ පුත්‍රයන් වහන්සේලා නොබෙදී බුදුරජාණන් වහන්සේ දෙසූ දහම අනුව එක්සත්ව කටයුතු කළ යුතුය. ලිච්ඡවී න්‍යාය දේශපාලකයන් ආභරණයක් කරගැනීම වෙනුවට ජනතාවට ආශිර්වාදයක් වන තැනට පත් කළ යුතුය. ආගමික නායකයන් ලෙස එක්වීමට නොහැකි ඇත්තෝ ජාතික සමඟිය සංහිඳියාව ගැන කවර කතාදැයි අසන තැනට ජනතාවට ඉඩ නොතැබිය යුතුය.
මල්වතු මහානායක හිමියන්ගේ නොසැලෙන, එඩිතර ප්‍රකාශය පිළිබඳ මිස උන්වහන්සේගේ දේශපාලන ස්ථාවරය දෙස නිල්, කොළ, රතු කණ්ණාඩිවලින් නොබැලිය යුත්තේ එහෙයිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd