ජනප්‍රිය හා ජාතික පාසල්වල පළමු වසරේ සිට පහ වසර දක්වා පන්ති ඉවත් කර, එම පාසල් හයවැනි ශ්‍රේණිය සිට පවත්වාගෙන යායුතු බවට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන්නේ 2007 වසරේදීය. එම වසරේදී පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේදී ඇති වූ ගැටලුවක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැති පෙත්සම විභාගයේදී මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ එවකට පැවැති ජාතික අධ්‍යාපන කොමිසම විසිනි.
එක පහ වසර ඉවත් කිරීම හරහා පළමු වසරට දරුවන් ඇතුළත් කර ගැනීමේදී ඇතිවන ගැටලු විසඳාගත හැකි බවටත් එම කොමිසම 2007 වසරේදී පෙන්වා දී තිබේ.ප එහෙත් අද දවස වනවිටත් අති ජනප්‍රිය පාසල් හා අති ජනප්‍රිය ජාතික පාසල්, තුළ මෙම කටයුත්ත සිදු වී නොමැත.
පසුගිය ආණ්ඩු සමයේදී මෙවැනි කටයුත්තක් සිදුකරන බව පවසමින් හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ද්විතියික පාසල් සංකල්පය හඳුන්වා දෙනු ලැබිණි. එහෙත් මෙම වැඩපිළිවෙළ යටතේ ප්‍රාථමික පන්ති ඉවත් කරනු ලැබුවේ දුෂ්කර හා අති දුෂ්කර පාසල්වලට පමණි. ඔහුද අති ජනප්‍රිය පාසල්වලට හා ජනප්‍රිය ජාතික පාසල්වලට අත තිබ්බේ නැත.
මේ නිසා දුෂ්කර පාසල් අති දුෂ්කර පාසල්වල ප්‍රාථමික අංශ ඉවත් කිරීමෙන් ජනප්‍රිය පාසල්වල පළමු වසරට ශිෂ්‍යයන් ඇතුළත් කරගැනීමට පවතින තරගය නැති වූයේ නැත. සිදුවූයේ දුෂ්කර හා අති දුෂ්කර පාසල්වල ප්‍රාථමික අංශ ඉවත් කිරීමත් සමග කාණ්ඩ දෙකේම පාසල් හුදෙකලා පාසල් බවට පත්වී පාසල් විනාශ වී යාම පමණි. මේ නිසා පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේ ගැටලුව දිගටම පැවැති අතර, අදාළ ගැටලුව විසඳන බවට පසුගිය කාලය පුරාම වර්තමාන ආණ්ඩුව ජනතාවට පොරොන්දු පිට පොරොන්දු ලබා දුන්නේය. මෙම පොරොන්දුවලට අනුව දින 100 ආණ්ඩුවෙ 57 වැනි වගන්තිය තුළින් පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේ ගැටලුවලට විසඳුම් ලබාදෙන බවට පෙන්වා දෙනු ලැබිණි. මීට අමතරව ළමයින් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කරන බවටද පොරොන්දු පිට පොරොන්දු ලබා දුන්නේය.
මෙලෙස ලබාදුන් පොරොන්දුවලට මේ වනවිට වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් ප්‍රශ්නයට තවමත් විසඳුම් ලැබී නැත.
මේ නිසා මේ වසරට අදාළව පළමු වසරට ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනීමේදී ජනප්‍රිය හා ජනප්‍රිය ජාතික පාසල් 36 ක ගැටලු ඇති වී තිබෙන බව ගුරු වෘත්තීය සමිති පෙන්වා දෙයි. පාසල් විසි හයක මෙවැනි ගැටලු පවතින බව අධ්‍යාපන අමාත්‍යවරයා පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණි.
මේ අනුව කොළඹ රාජකීය විද්‍යාලයේ පළමු වසරට ළමයින් ඇතුළත් කිරීම කළේය. එහිදී ළමයින් 31 දෙනෙකු ව්‍යාජ තොරතුරු මත පාසලට ඇතුළත් කර ඇතැයි හෙළි වූ අතර, එම ශිෂ්‍යයන් 31 දෙනා පාසලෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි. මෙම ඉවත් කිරීමට අනුව අලුතින් ළමයින් 31 දෙනෙකු පාසලට ඇතුළත් කරගනු ලැබිණි. එහෙත් එම ඇතුළත් කර ගැනීමේදීත් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හටගෙන ඇති බව ගුරු වෘත්තීය සමිති පෙන්වා දෙයි.
එනම් පළමු වසරට ළමයින් ඇතුළත් කිරීමේදී අදාළ නාමලේඛන පාසල තුළ ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමවේදය මෙම ළමයින් 31 දෙනා සම්බන්ධයෙන් අනුගමනය නොකිරීමයි. මීට අමතරව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට තවත් පාසල් 25කට ළමයින් ඇතුළත් කිරීමේදී ගැටලු මතු වී තිබේ. එහෙත් ඒවා පිළිබඳ සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් උනන්දුවක් දක්වන ආකාරයක් පෙනෙන්නට නැත.
මීට අමතරව දින 100 වැඩපිළිවෙළ යටතේ පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන බවට ලබාදුන් පොරොන්දුව ගැන හෝ අද කතා කරන්නේ නැත. ලංකාව තුළ වර්තමානය වනවිට පාසල් 10,222 ක් පවතින අතර, ඉන් 350 ක් ජාතික පාසල්ය. පවතින ක්‍රම‘වේදය අනුව මෙම පාසල් සියල්ලටම නිදහස් අධ්‍යාපනයේ ප්රතිලාභ ලැබිය යුතුය. එහෙත් දේශපාලඥන් හා වෙනත් ප්‍රභූවරුන් පිනවීම සඳහා පාසල් 40 - 50 ක් සඳහා පමණක් සුපිරි වරප්‍රසාද ලබාදෙමින් තිබේ. මෙලෙස සුපිරි වරප්‍රසාද ලැබෙන පාසල්වලින් පාසල් 36 ක් පමන අති ජනප්‍රිය පාසල් බවට පත් වී ඇත.
මේ නිසා අති ජනප්‍රිය පාසලකට ළමයෙකු ඇතුළත් කිරීමට දෙමාපියන් සැලසුම් කරන්නේ දරුවෙකු පිළිසිඳ ගැනීමටත් පෙර සිටය. තම දරුවෙකු ජනප්‍රිය යැයි සම්මත පාසලකට ඇතුළත් කර ගැනීම සඳහා සමහර දෙමාපියන් නොකරන දෙයක් නැත. මේ නිසා සමහර පාසල් ජාවාරම්කාරී ක්‍රියා සිදුවන ස්ථාන බවට පත්ව තිබේ. ඒ තුළ ලක්ෂ ගණන් මුදල් හුවමාරු වීම, භාණ්ඩ හුවමාරු වීම, විදේශ සංචාර ප්රදානය කිරීම ආදිය අඩු නැතිව සිදු වෙයි.
මීට අමතරව ලිංගික අල්ලස් ලබාගැනීම පිළිබඳවද පසුගිය කාලයේ වාර්තා විය. ලිංගික අල්ලස් ගැනීම පිළිබඳ සිද්ධියක් දෙකක් යම් යම් අවස්ථාවල හෙළි වුවද, හෙළි නොවන සිද්ධීන් ප්‍රමාණය බොහෝය. තම දරුවෙකු පාසලට ඇතුළත් කර ගැනීම සඳහා මවකට ලිංගික අල්ලසක් ලබාදීමට සිදුවනවා නම්, මෙරට තුළ නිදහස් අධ්‍යාපනයක් ක්‍රියාත්මක වන බවට දේශපාලඥයන් හා බලධාරීන්ට කටක් හැර කතා කළ හැකිද?
එහෙත් අද වනවිට එම තත්වය උදා වී හමාරය. මේ නිසා ලබන වසරට ළමයින් ඇතුළත් කිරීමේදී හෝ ගැටලුකාරී තත්ත්වයකින් තොරව පාසල ආසන්නයේ පදිංචි දරුවන්ට තම ළඟම පාසලට ඇතුළත්වීමට හැකි පරිසරයක් සකස් කිරීම අද සිටම ආරම්භ කළ යුතුය. මන්දයත් මෙම ජාවාරම නිසා ජනප්‍රිය යැයි සම්මත පාසලක අල්ලපු ඉඩමේ සිටින දරුවෙකුට පවා පාසලට ඇතුළත් වීමට දැඩි වෙහෙසක් ගැනීමට සිදුව ඇති නිසාය.
මේ නිසා මෙම ගැටලුවට විසඳුම් ලබාදීමද රජයේ වගකීමකි. පළමු වසරට ළමයින් ඇතුලත් කිරීමේ ජාවාරම් ක්‍රියාවලට අමතරව 02 වසරේ සිට 10 වසර දක්වා පාසල්වලට ළමයින් ඇතුළත් කරගැනීමේ ජාවාරම් ක්‍රියාද සිදුවන බව ගුරු වෘත්තීය සමිති පෙන්වා දෙයි. පවතින ක්‍රමවේදයට අනුව විශේෂ කාරණයක් නොමැති නම් පළමු වසරෙන් පසු පාසලකට දරුවෙකු ඇතුළත් කළ හැක්කේ හයවන ශ්‍රේණියටය. ජනප්‍රිය පාසල්වල හය ශ්‍රේණියට දරුවන් ඇතුළත් කරගැනීම බොහෝ විට සිදුවන්නේ පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල මතය.
එහෙත් පළමු වසරට අමතරව දෙවැනි, තෙවැනි හා හතර වැනි වසරවලට හොර රහසේ දරුවන් ඇතුළත් කිරීම නිසා ශිෂ්‍යත්වය සමත් දරුවන්ට ජනප්‍රිය පාසලකට ඇතුළත් වීමේ අවස්ථාද මේ වනවිට සීමා වී තිබේ. එනම් ජනප්‍රිය පාසලකට ශිෂ්‍යත්වය සමත් පිරිස් ඇතුළත් කරගනු ලබන්නේ පාසලේ පවතින පුරප්පාඩු ගණනය කිරීමෙන් පසුව වීම නිසාය. මේ නිසා බොහෝ පාසල්වලට ශිෂ්‍යත්ව විභාගය සමත්වීමේ පදනම මත ඇතුළත් වීම සඳහා ශිෂ්‍යත්ව විභාගයේ විෂයයන් දෙකට ලකුණු 160 - 170 හෝ 180 ක් ලබාගත යුතු අවස්ථාද තිබේ. විෂයයන් දෙකට ලකුණු 180 ක් ලබාගැනීමට නම් ආසන්න වශයෙන් විෂයයකට ලකුණු 90 ක් හෝ ලබාගත යුතුය. මේ නිසා මෙම ජාවාරම් ක්‍රියාද නවතා දැමිය යුතුය. ඒ සඳහා 02 වසරේ සිට 05 වසර දක්වා ළමයින් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් දැඩි නීති සකස් කළ යුතුය.
මේ නිසා පාසල්වලට සැලකීමේදී පවතින විෂමතා ඉවත් කර දමා සෑම පාසලකටම සමාන පහසුකම් ලබාදීම තුළින් ජනප්‍රිය පාසලකට දරුවෙකු ඇතුළත් කළ යුතු බවට දෙමාපියන් දරන මතය පරාජයට පත් කළ හැකිය.එහෙත් අධ්‍යාපනයට 6%ක් වෙන්කර නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරන බවට පොරොන්දු ලබාදෙමින් බලයට පත්වූ ආණ්ඩුවද එවැනි දෙයක් සිදුකරන බවක් දක්නට ලැබෙන්නේ නැත. වර්තමාන ආණ්ඩුව අධ්‍යාපනය දියුණු කිරීමට අවශ්‍ය කටයුතු නොකළද, පාසල් නඩත්තුව සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කළ හැකි චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමතක කළේ නැත.
මීට අමතරව මෙතෙක් පැවැති පාසල් කොට්ඨාස තරග අවලංගු කර දමා පාසල් ක්‍රීඩා ඉසව් පැවැති වයස් සීමාවද වෙනස් කිරීමට කටයුතු කර තිබේ. පාසල් ක්‍රීඩා තරග පැවැත්වීමේදී මෙතෙක් අනුගමනය කළ ක්‍රියාපිළිවෙත වූයේ 11 න් පහළ, 13 න් පහළ, 15 පහළ, 17 පහළ, 19 පහළ සහ 21 පහළ යන වයස් ඛාණ්ඩ තරග පැවැත්වීමය. මෙලෙස පැවැත්වෙන තරගවලින් ජයගන්නා දරුවන්ට කොට්ඨාස තරගවලට ඉදිරිපත් වී සහතිකයක් ලබාගැනීමට අවස්ථාව හිමිවිය. කොට්ඨාස තරගවලින් ජයගත හොත් කලාප තරගවලට ඉදිරිපත් වී ජයග්‍රහණ හිමි කරගැනීමට ඔවුන්ට අවස්ථාව හිමි විය. මේ නිසා විශාල පිරිසකට කුමන හෝ ක්‍රීඩා සහතිකයක් ලබාගැනීමට අවස්ථාව අහිමි විය.එහෙත් නව චක්‍ර‘ලේඛයට අනුව ක්‍රීඩා ඉසව් පැවැත්වීමේ වයස් සීමාව සංශෝධනයකට ලක්කර තිබේ. මේ අනුව මින් ඉදිරියට ක්‍රීඩා තරග පැවැත්වෙන්නේ 12 න් පහළ, 14 න් පහළ, 16 පහළ, හා 18 පහළ සහ 20 පහළ වශයෙනි.
මේ අනුව වයස අවුරුදු 20 වැඩි දරුවන්ට ක්‍රීඩ තරගවලට ඉදිරිපත් වීම අහිමිකර දමා තිබේ. මීට අමතරව වයස අවුරුදු 10 - 11 ක් වන දරුවන්ට තරග කිරීමට සිදුවන්නේ වයස අවුරුදු 12 දරුවෙකු සමගය. ජත්‍යන්තර ප්‍රමිතියට ක්‍රීඩා තරග පැවැත්වීමේ අරමුණින් මෙම කටයුතු සිදුකළ බවට අධ්‍යාපන අමත්‍යාංශය නිවේදනය කර තිබේ.
ජාත්‍යන්තර ප්රමිතීන්වලට අනුව වයස් කාණ්ඩ වෙනස් කරනු ලැබුවද මෙරටේ බොහෝ පාසල් දරුවන්ට ක්‍රීඩා කිරීමට ක්‍රීඩාංගණයක් හෝ නැත. අඩුම තරමින් ක්‍රීඩා කිරීමට අවශ්‍ය උපකරණ පවා නිසි ලෙස නැත. එවන් තත්ත්වයක් තුළ වයස් සීමාව පමණක් ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව සිදු කිරීමෙන් මෙරටේ පාසල් ක්‍රීඩාව දියුණු කළ නොහැක. මෙරට තුළ බිහි වූ සෑම ජාතික මට්ටමේ ක්රීඩකයෙකුම බිහි වූයේ පාසල් ක්‍රීඩා තරගවල දක්ෂතා දැක්වීමෙන් ලබාගත් පන්නරයෙනි. මේ නිසා ක්‍රීඩාව දියුණු කිරීම සඳහා පාසල් ක්‍රීඩාව දියුණු කරනවා නම් එය සිදුකළ යුත්තේ යම් සැලැස්මකට අනුවය. එහෙත් අද කටයුතු කරන්නේ හදිසියේ නින්දෙන් ඇහැරුණු පුද්ගලයෙකු කටයුතු කරන ආකාරයටය.
මීට අමතර නිලඇඳුම් ලබාදීම යටතේ වවුචර් පතක් ලබාදීම වර්තමාන ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක කළ වැඩසටහනකි. මෙම වැඩපිළිවෙළ හරහා මේ වසරට අදාළ වුවචර ලබාගැනීමට යාමේදීත් පසුගිය වසරට අදාළ වවුචර් පත් ලබාගැනීමට යාමේදී විවිධ දුෂ්කරතාවන්ට පත්විය. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ එම ක්‍රමය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවය. එහෙත් මෙම ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න පිළිබඳ නැවත වරක් සෙයා බැලිය යුතුය. එසේ නොමැතිව තනි මතයට සියලු වැඩ කටයුතු කිරීමට ගියහොත් එතුළින් අධ්‍යාපනය අර්බුදයකට ලක්වීම කිසිවෙකුටත් වළක්වාගත නොහැකි වනු ඇත.