නව යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අස්ගිරි මල්වතු මහා විහාර කාරක සංඝ සභාවද සිය බලවත් විරෝධය දක්වා ඇත. මේ වනවිටත් මල්වතු මහානායක හිමි විදෙස්ගතව සිටියදී සහ අස්ගිරි මහානායක හිමියන්ගේ ඍජු දායකත්වය නැතිව උන්වහන්සේලාත් මෙම තීරණය ගත් බව ඇතැම් ජනමාධ්‍ය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්ද අගමැති රනිල් වික්‍රමසිංහ ඔක්තෝබර් 20 දින ජනමාධ්‍යට සිය අප්‍රසාදය පළ කළේය. එය අදාළ මහානායක හිමිවරුන්ගේ අනුදැනුම අනුව සිදු කළ බවට අස්ගිරි නිකායේ මහා ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝ පසුගිය 19දා ප්‍රසිද්ධ ජනහමුවකදී පැවසූහ.
කෙසේ වුවද ව්‍යවස්ථා යෝජනාව සම්බන්ධයෙන් මතුව ඇති යෝජනා චෝදනා ගණනාවකි. එකක් රාජ්‍යයේ ස්වභාවය ඔරුමිත්ත නොව ඒකීය විය යුතුය යන්නය. දෙවැන්න බුද්ධාගමට හිමි තැන අහිමිවීම පිළිබඳ ප්රශ්නයකි. මෙයට පෙර සමලිංගිකත්වය (කුලය යන කරුණද විවාදිතය) පිළිබඳ කරුණු ගණනාවක් ප්‍රකාශ වුවද එය ජනාධිපතිවරයාගේ විරෝධය නිසා බැහැර වූ පුවතක්ද ඇසුණි.
කෙසේ හෝ ඒකීය යන වචනය වෙනුවට ශ්‍රී ලංකා රජය යන වචනය යෙදීම එක් අර්බුදයක් බව ඇතමුන්ගේ තර්කයකි. එසේම දෙමළෙන් ඒකීය යන වචනයට විරුද්ධ අදහසක් තහවුරු වන වචනයක්ද ඉංග්‍රීසියෙන් එය එක්සත් රාජ්‍යයක් වශයෙන් අර්ථ ගන්වා ඇතැයිද විරුද්ධ පාර්ශ්වයන් තර්ක කරති. රට පෙඩරල් ක්‍රමට ගෙනයාම සඳහා පළාත් වශයෙන් කැබලි කිරීමේ උත්සාහයක ආරම්භය ලෙසද ඇතමෙකු චෝදනා කරති. ඒ අතර පාර්ලිමේන්තුවේ බලය ඉක්මවා යන දෙවන සෙනෙට් සභාවක් පත් කිරීම පිළිබඳ වන යෝජනාවද විරෝධයට තවත් හේතුවකි. එහෙත් රටේ පවතින නීතිය අනුව වෙනත් භාෂාවන්ගෙන් කුමක් සඳහන් වුවද නීතිය ඉදිරියේ වලංගු වන්නේ සිංහල පිටපතේ සඳහන් වචනය යටතේ අර්ථ පැහැදිලි කිරීම යැයි ආණ්ඩු පක්ෂය අවධාරණය කරති. නව යෝජනා කෙරෙහි ජනතා විරෝධතාවක් ඇතිවීම බලපා ඇති කරුණු ගණනාවකි.
එකක් මේ පනත් කෙටුම්පත හදිසියේම සම්පාදනය කිරීමේ සහ සම්මත කර ගැනීමේ අවශ්‍යතාව රජයට ඇත්තේ ඇයි ද යන්නය. දෙවැන්න ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ විදේශීය බටහිර සිවිල් සංවිධාන අනුව යැපෙමින් මෙම නව යෝජනා ඇතුළත් ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමේ උත්සාහයක් පවතින බවට සැකයකි. තවත් කරුණක් වන්නේ දෙකෝටියකට ආසන්න ජනගහනයක් වෙසෙන රටක පාසල් සිසුන්ටද අදහස් යෝජනා දැක්වීමට අවස්ථාව සපයා දී තිබුණේ නම් සමස්ත ජන සමාජයෙන් දහයෙන් එකක්වත් නියෝජනය නොවූ අදහස් යෝජනා ඇතුළත් කර අපි ජනසම්මතය ඇසුරෙන් නව කෙටුම්පත සකස් කළා යැයි කෙටුම්පත් සම්පාදකයන් නගන තර්කය සාධාරණ නොමැති තර්කයකි. ඒ අතර තවත් යෝජනාවකින් පැවසෙන්නේ රටට අවශ්‍ය නව ව්‍යවස්ථාවක් නොව පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයෙකු පත්කර ගැනීම වැනි අත්‍යවශ්‍ය සංශෝධන ඇතුළත් කළ යුතු අදහසකි.
ඒ අතර තවත් තැනක කනින්කොනින් ඇසෙන පුවත් පවසන්නේ එදා චන්ද්‍රිකා මහින්දලා මෛත්රීලා විධායක ක්‍රමය අහෝසි කළ යුතුයි පැවසුවද ඒ තැනට අද දක්වා කටයුතු සම්පාදනය නොවීමෙන් දේශපාලකයන් පවසන දේ පිළිබඳ පැහැදිලි විවරණයක් සිදු නොවූ පුවතකි.
මේ සියල්ල තුළ ඇසෙන්නේ බටහිරට අවශ්‍ය පරිදි එන්ජීඕකාරයන් සහ වාමාංශික නායකයන් විසින් තමන්ගේ අභිමතය වෙනුවෙන් කුලය, සමලිංගිකත්වය, සංහිඳියාව, බලය බෙදීම වැනි වචන තුළට රිංගා එමගින් රටේ සංස්කෘතික අනන්‍යතාවටත් දේශපාලන භෞමික අඛණ්ඩතාවටත් ඒකීය බවටත් යම් හානියක් සිදු කරන බවට බරපතළ චෝදනාවකි.
හැම තර්කයක් තුළම යම් සත්‍යයක් ඇතැයි දුම්රිය බස්රිය මහමග ඇසෙන සංවාද සනාථ කරති. ජනතාවට ඒ සැකය අවිශ්වාසය මතුවන්නේ දේශපාලකයන් විසින් උසිගන්වනු ලබන ප්‍රකාශකයන් හරහා ඇසෙන මාධ්‍ය හෝ වේදිකා සරසන කතාබහ හේතුවෙනි. එසේත් නැතහොත් සිවිල් සංවිධානයන්ට අවශ්‍ය පරිදි ඔවුන් ගොතන කතාබහ ජනතාව අනිවාර්යයෙන්ම ඒත්තු ගත යුතුය යන බලපෑම නිසා යැයි තවත් චෝදනාවකි.
ආගමට හිමි තැන සම්බන්ධයෙන් නැගෙන චෝදනාව වෙනුවෙන් ආණ්ඩුවේ පාර්ශ්වය පවසන්නේ පවතින ව්‍යවස්ථාවේ 9 වැනි ව්‍යවස්ථාව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන පුවතකි.
එසේනම් දැන් රජය කළ යුත්තේ තවත් සංශෝධන හෝ වෙනස් කිරීම් නොව පවතින ව්‍යවස්ථාවෙ එම වගන්ති ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යනවා යැයි සනාථ කිරීම බව ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව කරුණු දක්වන පාර්ශ්ව පවසති. එහෙත් රජය එබඳු එකඟතාවක් පිළිගන්නා බවට තහවුරු නොකිරීම සැක සහිත යැයි බහුතරයක් වූ ගිහිපැවිදි පාර්ශ්වයන් චෝදනා කරති. එසේනම් පවතින 9 වැනි ව්‍යවස්ථාව ඒ ආකාරයෙන්ම පවතින්නේ යැයි ආණ්ඩුව පැත්තෙන් තනි පිළිතුරක් නොදීම යෝජිත ව්‍යවස්ථාවේ වැදගත් අංශ කෙරෙහිද යම් සැකයක් මතුවීමට හේතුවී ඇතැයි ජනතාව පෙන්වා දෙති.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යන කරුණේදී කෙතරම් මහජන මතය පරීක්ෂා කළද රටේ පවතින සංස්කෘතික ජාතික අනන්‍යාතාව සහ ආගමික ජාතික දැක්මෙන් බැහැරව එයට කරුණු ගැට ගැසීම ජනතාවගේ මූලික අයිතියට සිදු කරන හානියකි. ආණ්ඩුවක් අවුරුදු හතරෙන් පහෙන් වෙනස්විය හැකිය. දේශපාලකයන් අගමැතිවරු, ජනාධිපතිවරු කලින් කළ වෙනස් වෙති. එහෙත් රටේ ව්‍යවස්ථාව හැමදාමත් වෙනස් කළ නොහැකිය. ව්‍යවස්ථාවකට රටේ ජාතික අනාගාමික අනන්‍යතාව සහ තමන් දිවි හිමියෙන් රැකගත් රට වෙනුවෙන් පවතින ජනතා ආකල්ප වෙනස් කළ නොහැකිය.
එනිසා ආණ්ඩුව සිය උද්දච්ඡකම නිසා ජනමතය නොසලකා හරින්නේ නම් එය අර්බුදයක් වනු ඇත. ඇතමෙකුට ජාත්‍යන්තරය සතුටු කරවීමට රටේ ව්‍යවස්ථාව වෙනස් කිරීමේ අවශ්‍යතාවක් පවතින්නේ නම් එය රටේ මෙතෙක් යම් තරමකින් හෝ පැවති නිදහස් නිවහල් දැක්මට බරපතළ හානියකි. බලය වෙනුවෙන් මන්ත්‍රීන්ට වරදාන දෙමින් සම්ම්ත කර ගන්නා ව්‍යවස්ථාව තුළින් නැති අර්බුද ඇති කර ගන්නේ නම් එයද ආණ්ඩුව වලිගය පටලවා ගැනීමකැයි ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පෙටිගොඩ නායක හිමියෝ පවසති.
අනෙක් අතට සමාජය සහ දේශපාලන වේදිකා හෝ වෙනත් මාධ්‍ය හරහා නව යෝජිත ව්‍යවස්ථාවට එරෙහිව ආ චෝදනාවලදී ආණ්ඩුව පැත්තෙන් කළේ අවස්ථාවට ගැළපෙන පොදු සරල ප්‍රකාශයක් ලෙස එහෙම වන්නේ නැහැ හෝ එහෙම කරන්න දෙන්නේ නැහැ යන කතාවකින් ලිස්සා යාම පමණකැයි සියල්ල දෙසා බලා සිටින ජනතාවද සාක්ෂි දරති.
ලංකාවේ කිසිදු පාලකයෙකු හෝ දේශපාලකයෙකුගේ ප්‍රකාශ පිළිබඳ විශ්වාසයක් නැතැයි ජනතාව අවධාරණය කරති. ඒ අවිශ්වාසය තහවුරු කිරීමට අවශ්‍ය අඩුවැඩිය සපයා දෙන්නේද ඒ ඇත්තන්ම යයි ජනතාව සාක්ෂි සහිතව පෙන්වා දෙති. එනිසා අදටත් මහත්වරුන්ගේ දේශපාලනයක් නොදකින රටක අවසානයේදී ව්‍යවස්ථාව සම්මත වූ පසු රාජ්‍ය භාෂාව දෙමළ සහ සිංහල ද්විත්වයක් වන නිසා එම භාෂා දෙකේම තියෙන දේ පිළිගත යුතු යැයි කියන තැනට බලාත්මක වීමේ හැකියාවක් ඇතැයිද ජනතාව පවසති.
පැහැදිලිවම වැරදි යැයි පෙන්වා දෙන හෝ නිදොස් කළ යුතු යැයි ජනතාව පවසන දේ ආණ්ඩුව පිළිගත්තේ නැත. සියයට 68 ක් බහුතර ජනතාව පවසන අපේ රට, අපේ ජාතිය, සිංහලකම, බුද්ධ ධර්මය යන තර්කය පිළිගැනීමට ආණ්ඩුවට නොහැකිවී යැයි ජනතාව චෝදනා කරති. බටහිර හෝ උතුර හෝ කොටි ත්රස්තයන් හෝ එන්ජීඕ කියන කරන දේට ඇහුම්කන්දීමේ විපාකය අවසානයේ සංඝයා වහන්සේලා දැඩි තීන්දුවකට ගෙන ඒමට අනුබලයක් කළේද ආණ්ඩුවේ නොහැකියාව මිස භික්ෂූන් වහන්සේලාගේ අයථා ඇඟිලි ගැසීමක් නොවන බව ජනතාවද තේරුම් ගෙන සිටිති.
නව ව්‍යවස්ථාව තුළ පවතින රෝගී අයිතිවාසිකම් වැනි යෝජනා යහපත් දේ ලෙස ජනතාව දකිති. එවැනි යෝජනා ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමේ විකල්ප ක්රමයක අවශ්‍යතාවද ජනතාව අවධාරණය කරති. අස්ගිරි මල්වතු මහා කාරක සංඝ සභාව ව්‍යවස්ථාවට විරුද්ධව ගත් තීරණය සනාථ කරන්නේද එබඳු අවිශ්වාසයක් සහ විනිවිදභාවය වෙනුවෙන් ආණ්ඩුව පැත්තෙන් මෙතෙක් කල්මැරීමේ විපාකය බවද උන්වහන්සේලා පෙන්වා දෙති. ආණ්ඩුව ජනමතයකට ගොස් ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට යන්නේ යැයි ඇසේ. එහෙත් ජනතාවගේ මතය තුළින් ඔවුන්ගේ විශ්වාසය දිනා නොගෙන එය කිසිවිටෙක කළ නොහැකි වනු ඇත. එහිදී විපක්ෂයද ජාති වාදය ආගම්වාදය සහ පටු කෝන්තර පිරිමසා ගැනීම වෙනුවෙන් අගනා යෝජනා සහ සංශෝධනයන්ට ඇති අවස්ථාවටද අවහිර කරන්නේ නම් එය නැවත රටේ ඒකාධිපතිවාදය වෙනුවෙන් 18 ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට නොදෙවෙනි වනු ඇතැයි ජනතාව පවසන කරුණද බැහැර කළ නොහැක. අද මහින්දට බැණවඳින ඇතැම් ඇමතිවරු එදා මහින්ද ගෙනා 18 වැනි අපරාධයක් නම් එය සම්මතයට අනුමැතිය දී මුනිවත රැකි ආකාරය ඒකාබද්ධ විපක්ෂයේ ඇතමුන් අවධාරණය කරති. වාසියට කට වසාගෙන සිටින ආණ්ඩුවේ දේශපාලකයන් පිළිබඳ ජනතාවට ඇත්තේ එබඳු සැකයකි. ආණ්ඩුව නිහතමානී විය යුතුය. සවන්දිය යුතුය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් දැකිය යුත්තේ ගෝනි බිල්ලෙකු හෝ රාක්ෂයෙකු නැතහොත් රට ජාතිය කන පරාස්සයෙකු නොව අපේකම අපේ උරුමය සහ රටේ මානුෂීය ගුණධර්ම රකින ආදරණීය ඇමතුමක් බව ජනතාවට දැනිය යුතුය. නැතහොත් යමක් සඟවා ඇත්ත වසන් කරමින් තම දේශපාලන බලය වෙනුවෙන් නොමනා ප්‍රකාශ කිරීම හෝ තීන්දු ගැනීම තුළ සිදුවන මේ වරද නැවත දිනයක කෙසේවත් නිවැරදි කළ නොහැකි බව පමණක් පැහැදිලිය.