රටට ගැළපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර රට තුළ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන බවටත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවටත් ජනතාවට පොරොන්දු වූයේ වත්මන් ආණ්ඩුව පමණක් නොවේ. දැනට වසර 25ක පමණ සිට මේ කතාව බලයට පත්වන නායකයන් විසින් ජනතාවට කියනු ලබයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හා මහින්ද රාජපක්ෂ වැනි හිටපු ජනාධිපතිවරුන්ද බලයට පත්වීමට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනවලද නව ව්‍යවස්ථාවක් ස්ථාපනය කරන බවට වැඩි ඉඩකඩක් වෙන්කරමින් ප්‍රකාශ කර තිබිණි. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වන විට ඉදිරිපත් කළ 'මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක්' ප්රකාශනය තුළද එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කළ 'මාස හැටකින් අලුත් රටක්' ප්‍රතිපත්ති ප්රකාශනය තුළද නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් සඳහන් කර තිබේ.
චන්ද්‍රිකා මහත්මියගේ සිට මේ දක්වා මෙම සියලුම ප්‍රතිපත්ති ප්‍රකාශන ජනතාව අනුමත කරමින් ඔවුන් බලයට ගෙන ආවද, නව ව්‍යවස්ථාව සිහිනයක්ම පමණක් විය. වසර විසිපහකට ආසන්න කාලයක් පුරා බහුතර ජනතාවක් ප්‍රකාශ කර ඇත්තේ රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බවයි.
වත්මන් ආණ්ඩුවද නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කටයුතු ආරම්භ කර වසර එකහමාරක් පමණ ගතව තිබේ. ව්‍යවස්ථාව වෙනුවෙන් මහජන අදහස් විමසා පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක්ද පත් කරනු ලැබීය.
එහිදී අනුකමිටු මගින් වාර්තා හයක් සකස් කරන ලද අතර ඒවා පාදක කරගනිමින් මෙහෙයුම් කමිටුවේ අතුරුවාර්තාවක්ද සකස් කෙරිණි. එම අතුරුවාර්තාව පසුගිය බ්‍රහස්පතින්දා අගමැතිවරයා විසින් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරන ලද අතර, එය පාදක කරගනිමින් නව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කරන බවටද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එමෙන්ම මෙම අතුරුවාර්තාව පිළිබඳ රට තුළ දැඩි කතාබහක් ඇතිවිය යුතු අතර, ඒ පිළිබඳ අදහස් ඉදිරිපත් කළ යුතු බවට අගමැතිවරයා පාර්ලිමේන්තුවට පැවසීය.
අගමැතිවරයා එසේ පැවසුවද, නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් වූ මෙම අතුරුවාර්තාව පරිශීලනය කර ඒ පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමට තරමක් මෙරට සාමාන්‍ය ජනයා ඉදිරියෙන් සිටිනවාද යන්න ගැටලුවකි. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු කුමක්දැයි දන්නා පිරිස රට තුළ අල්ප අතර, එය කියවා ඇති පිරිසද ඊටත් වඩා අල්පය. මෙවැනි තත්ත්වයක් තුළ රටේ නීතිය පිළිබඳ පොදු ලියවිල්ල වන ව්‍යවස්ථාව පිළිබඳ මීට වඩා ජනතාව දැනුවත් කළ යුතුව තිබේ.
ව්‍යවස්ථාවක් යනු
රාජ්‍යයේ සියලු නීතීන්ට ඉහළින් ඇති මූලික නීතිය ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැලකේ. රාජ්‍යයේ සංවිධාන ව්‍යූහයේ පදනම එහි ඇතුළත්ය. රාජ්‍යයේ ව්‍යූහය, මූලික කාර්යභාරයන්, බලතල යුතුකම් හා වගකීම්ද එහි අන්තර්ගතය. වර්තමාන ලෝකයේ බොහෝ රාජ්‍යයන්හි පුරවැසි අයිතිවාසිකම් තහවුරු කර සහතික කෙරෙන නීතිමය ලියවිල්ල වන්නේද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය.
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
ශ්‍රී ලංකාවේ දැනට භාවිත කරන්නේ 1978 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් සම්පාදනය කරන ලද ව්‍යවස්ථාවය. එය සම්පාදනය කර මේ වනවිට වසර 38ක් පමණ ගතව ඇති අතර, මේ වනවිට ඒ සඳහා සංශෝධන 19ක් ඇතුළත් කර තිබේ. 1978 ව්‍යවස්ථාව සම්මත කරගත් පසුව එම රජයට විරුද්ධව අදහස් දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන පක්ෂය ආදී පක්ෂ බොහෝමයක් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ආදී පක්ෂද වරින් වර පැවසුවේ නව ව්‍යවස්ථාවක් ඇති කළ යුතු බවටය. පක්ෂ විපක්ෂ සියල්ලන්ගේම දායකත්වය ඇතිව ව්‍යවස්ථාවක් සම්පාදනයට සූදානම් වන ප්‍රථම අවස්ථාව වන්නේද මේ අවස්ථාවය. එබැවින් මෙහි වටිනාකමක් ඇත. මන්දයත් තනි දේශපාලන පක්ෂයක අදහස් මත පමණක් ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට වන ඉඩකඩ ඇසිරී ඇති බැවින් වඩා ජනතා හිතවාදී ව්‍යවස්ථාවක් නිර්මාණය වීමට මෙවර අවස්ථාව උදාවී ඇත.
අතුරුවාර්තාව
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිහිටු වූයේ 2016 වසරේ මාර්තු මස 09 වැනිදාය. මෙහි මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් 20 දෙනෙකු වූ අතර, අගමැති රනිල් වික්‍රමසිංහ එහි සභාපති ධුරය දරයි.
අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, රවුෆ් හකීම්, ලක්ෂ්මන් කිරිඇල්ල, සුසිල් ප්‍රේමජයන්ත, රිසාඩ් බදියුදීන්, පාඨලී චම්පික, ඩී.එම්. ස්වාමිනාදන්, මනෝ ගනේෂන්, මලික් සමරවික්‍රම, ඩිලාන් පෙරේරා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්බන්ධන්, දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද, අනුර දිසානායක, විජයදාස රාජපක්ෂ, බිමල් රත්නායක,
එම්.ඒ. සුමන්තිරන්, ප්‍රසන්න රණතුංග, ජයම්පති වික්‍රමරත්න, තුසිතා විජේමාන්න මෙහි සාමාජිකයෝය.
මෙහෙයුම් කමිටුව වෙත ලැබූ මහජන අදහස් විමසීමේ වාර්තාව සහ අනුකමිටු වාර්තා 06ක්ද ඇසුරු කර ගනිමින් මෙම අතුරුවාර්තාව සම්පාදනය කර ඇත.
මූලික කරුණු
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 01 සහ 02 පරිච්ඡේදවලින් ආවරණය වන කරුණු, බලය බෙදාහැරීමේ මූලධර්ම, රාජ්‍ය ඉඩම්, පළාත් ලැයිස්තුවේ විෂයයන් පිළිබඳ මධ්‍යම නීති සම්පාදනය, අගනුවර භූමිභාගය, දෙවැනි මන්ත්‍රණ සභාව, මැතිවරණ ක්‍රමය, විධායකය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, නිසි කාන්තා නියෝජනය, මහජන ආරක්ෂාව යන කරුණු ඔස්සේ විවිධ යෝජනා ඉදිරිපත් කරමින් අතුරුවාර්තාව සම්පාදනය කර තිබේ.
ඒකීය රාජ්‍යය
ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්වභාවය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 01 හා 02 ව්‍යවස්ථා මගින් විස්තර කෙරේ. ඒ සඳහා යෝජනා කිහිපයක්ම ඉදිරිපත්ව ඇත.
q ශ්‍රී ලංකවේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටුවා ඇති අතර, එය අත්හළ නොහැකි හා බෙදිය නොහැකි වනු ඇත.
q ශ්‍රී ලංකාව නොබෙදුණු හා බෙදිය නොහැකි රටක් වනු ඇත.
q බලය බෙදාහැරීම උපරිම මට්ටමින් සිදුකෙරෙනු ඇත.
යන වගන්ති ඇතුළත්ය.
පරමාධිපත්‍ය
ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇති අතර, අත්හළ නොහැකි බව සඳහන් වගන්ති ඇතුළත් කර තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාව් ජාතික කොඩිය, ජාතික ගීය, ජාතික දිනය පෙර පරිදිම නොවෙනස්ව සඳහන් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශයෙන් කිසිදු කොටසක් වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට හෝ එයට පක්ෂව කතා කිරීමට හෝ ශ්‍රී ලංකාවේ පළාතක් හෝ එයින් වෙන් කිරීමට හෝ කිසිදු පළාත් සභාවක් හෝ වෙනත් අධිකාරියක් කටයුතු නොකළ යුතු බවද සඳහන් වගන්තියක් ඇතුළත් කර තිබේ.
බුදුදහම / 09 වැනි වගන්තිය
මේ සඳහා යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබේ. ඒ මෙසේය.
'ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10 වැනි ව්‍යවස්ථාවෙන් සහ 14 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනුව්‍යවස්ථාවේ (ඉ) ඡේදයේ සඳහන් සියලුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කරදෙන අතර, බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය.
හෝ
ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් සියලු ආගම් හා විශ්වාසයන්ට ගෞරවයෙන් සහ අභිමානයෙන් සලකමින් හා වෙන්කොට සැලකීමකින් තොරව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කොට ඇති මූලික අයිතිවාසිකම් සියලුම පුද්ගලයන්ට සහතික කරමින් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය.' ලෙස වගන්ති එකතු කර තිබේ.
බලය බෙදාහැරීමේ මූලධර්ම
බලය බෙදාහැරීමේ මූලික ඒකකය පළාත විය යුතු අතර, පළාත් දෙකක් හෝ වැඩි ගණනක් එක ඒකකයක් ලෙස කටයුතු කිරීම පිළිබඳ මහජනයාගේ ජනමත විචාරයක් අවශ්‍ය බවද සඳහන් කර ඇත.
එමෙන්ම පළාත් ඒකාබද්ධ කිරීමක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සැලැස්වීමක් නොකළ යුතු බවටද යෝජනාවක් ලෙස අන්තර්ගත කර තිබේ.
ආණ්ඩුකාරවරයා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ආණ්ඩුකාරවරයාට නිශ්චිතවම බලතල ලබාදී ඇති අවස්ථාවකදී හැර ඔහු අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් අනුව ක්‍රියාකළ යුතු බවද මෙහෙයුම් කමිටුව අදහස් එක්කර ඇත.
එමෙන්ම ආණ්ඩුකාර ධුරයේ කටයුතු කරමින් සිටින අතරතුර පක්ෂ දේශපාලනයෙහි නිරත වීම තහනම් කිරීම සඳහා අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය විධිවිධාන සැලැස්විය යුතු බවද මෙහෙයුම් කමිටුව දක්වා ඇත.
දෙවැනි මන්ත්‍රණ සභාව
පාර්ලිමේන්තුවට අමතරව ප්‍රධාන වශයෙන් පළාත්වලට නියෝජනයක් ලැබෙන ආකාරයට දෙවැනි මන්ත්‍රණ සභාවක් ස්ථාපිත කළ යුතු බවට පොදු එකඟතාවකට පැමිණ ඇත.
දෙවැනි මන්ත්‍රණ සභාව සමාජිකයන් 55 දෙනෙකුගෙන් සමන්විත වියයුතු අතර, ඉන් 45 දෙනෙකු පළාත් සභාවලින් හා 10 දෙනෙකු පාර්ලිමේන්තුවෙන් තෝරාගත් සාමාජිකයන් විය යුතු බවට යෝජනාවක් ඇතුළත් වී තිබේ.
එම සාමාජිකයන් 10 දෙනා මහජනතාව අතර හෝ වෘත්තීමය වශයෙන් දස්කම් විදහා පෑ කීර්තිමත් හා අවංකභාවයෙන් යුතු පුද්ගලයන් විය යුතු බවද සඳහන් කර ඇත.
විශේෂ බහුතරයක් (2/3) සහිතව පාර්ලිමේන්තුව හා දෙවැනි මන්ත්‍රණ සභාව යන දෙකෙන්ම සම්මත වී නැත්නම්, කිසිදු ව්‍යවස්ථා සංශෝධනයක් සම්පාදනය නොවිය යුතු යන වගන්තියද ඒ සමගම එක්කර ඇත.
මැතිවරණ ක්‍රමය
සමානුපාතික බව සහ කොට්ඨාස ක්‍රමය ඇතුළත් මිශ්‍ර මන්ත්‍රී සමානුපාතික ක්‍රමයක් විය යුතු බවට යෝජනා වී ඇත. 60෴ක් කේවල ක්‍රමයට හා 40෴ක් සමානුපාතික ක්‍රමයටද වන පරිදි ආසන බෙදිය යුතු බව දක්වා තිබේ.
කේවල ආසන පුරවනු ලබන්නේ සෑම මන්ත්‍රී කොට්ඨාසයකම වැඩි ඡන්ද සංඛ්‍යාව ලබාගන්නා අපේක්ෂකයන්ගෙන් බවද මේ තුළ සඳහන්ව ඇත.
විධායකය
පවතින විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවට පොදු එකඟතාවක් ඇති වූ බව අතුරුවාර්තාවේ සඳහන් කර තිබේ.
එමෙන්ම නියම කර ඇති අවස්ථාවලදී පළාත් සභාවලට අදාළ බලතලද ඇතුළත් බලතල ජනාධිපතිවරයාට ලබාදිය යුතු බවටත්, ජනාධිපතිවරයා නියමිත ධුර කාලයක් සඳහා පාර්ලිමේන්තුව මගින් තෝරා පත්කර ගත යුතු බවටත් යෝජනා ඇතුළත් කර ඇත.
අග්‍රාමාත්‍යවරයා
අග්‍රාමාත්‍යවරයා ඍජුවම ඡන්දයකින් තෝරා ගැනීමට හෝ පූර්ව නම් කිරීමෙන් පත්කිරීම හෝ වෙස්ට්මිනිස්ටර් ක්‍රමයට අග්‍රාමාත්‍යවරයා පත්කිරීම කළ යුතු බවට යෝජනා තුනක් ඇතුළත්ව තිබේ.
කාන්තා නියෝජනය
සියයට පනස් එකකට වැඩි කාන්තා ජනගහනයෙහි නිසි නියෝජන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් සියලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය, ව්‍යස්ථාමය හා ව්‍යවස්ථාපිත ආයතනයන්හි නිසි නියෝජනය සඳහා අවස්ථාව ලබාදීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂිත ප්‍රතිපාදන ඇතුළත් කළ යුතු බවට නිර්දේශයක් ඇතුළත් කර ඇත.
ඉදිරිය
මෙහෙයුම් කමිටු සමාජිකයන් හා දේශපාලන පක්ෂ විසින් නව ව්‍යවස්ථාව පිළිබඳ ඉදිරිපත් කරන ලද යෝජනා ඇසුරින් මෙහෙයුම් කමිටුව විසින් මෙම අතුරුවාර්තාව සකස් කර තිබේ. එමෙන්ම ව්‍යවස්ථා බිල්ලන් මවමින් රට තුළ ව්‍යවස්ථාවට බියක් ඇතිකරනු වෙනුවට මේ තුළ අන්තර්ගත කරුණු පිළිබඳ පැහැදිලි විවාදයක් අදහස් දැක්වීම් රට තුළ ඇතිවන්නේ නම්, එයද යහපත්ය.
අතුරුකමිටු වාර්තාවෙන් පසුව එහි අදහස් ගෙන ව්‍යවස්ථා සභාව විසින් නව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමට නියමිතය. ඊට ප්‍රථම මෙම අතුරුවාර්තාවේ කරුණු අතරින් රටට යහපත් සහ අයහපත් දේ තෝරා ගනිමින් ඒවා පෙන්වීමට ජනතාව මෙන්ම පාලකයන්ද උත්සාහ ගන්නේ නම්, සාර්ථක ව්‍යවස්ථාවක් බිහිකර ගැනීමට අවස්ථාව උදාවනු ඇත.