ජනතාව කොමියුනිස්ට්වාදීන් වුවත්, ආගමික වශයෙන් අන්තවාදී වුවත්, විවිධ භාෂා කතා කළත් අපි ඔවුන්ව බලා ගත යුතු වෙනවා, ඔබ මෙය සිදු කරන්නේ නැතිනම් ඔබගේ රට සෑමදාමත් ගරාවැටුණු තත්ත්වයක තිබේවි
- සිංගප්පූරුවේ පළමු අග්‍රාමාත්‍ය ලී ක්වාන් යූ
සටහන චානක චන්ද්‍රසේකර/ ඡායාරූප සමිත් බෝධිපක්ෂ (සිංගප්පූරු සංචාරයකින් පසු)
ශ්‍රී ලංකාව 1948 පෙබරවාරි මස 04 වැනිදා බ්‍රිතාන්‍යයෙන් නිදහස් වෙයි. 1963 අගෝස්තු 31 වැනිදා බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලබන සිංගප්පූරුව ඊට දින 16කට පසු එනම් 1963 සැප්තැම්බර් මස 16 වැනිදා මැලේසියාව සමග ඒකාබද්ධ වෙයි. කෙසේ වෙතත් වසර දෙකක පමණ කාලයක් මෙම දීගය පැවැති අතර 1965 අගෝස්තු 09 වැනිදා මැලේසියාවෙන් වෙන්වූ සිංගප්පූරුව තනි රටක් බවට පත්විය.
එම ඓතිහාසික මොහොතේ සිංගප්පූරුවේ අග්‍රාමාත්‍යවරයා වන්නේ ලී ක්වාන් යූය. කෙසේ වෙතත් මෙම වෙන්වීම ලී ක්වාන් යූට පහසු කරුණක් නොවීය. ඒ මේ වනවිට මෙම කුඩා දිවයිනේ ආර්ථිකය අන්තයට පිරිහී තිබූ නිසාය. සෛවරී රාජයක් බවට පත්වුවද ජාතික ආරක්ෂාව වෙනුවෙන් එදින සිංගප්පූරුව ආරක්ෂා කිරීමට පලපුරුදු එකදු හමුදා භටයෙකු නොසිටියේය. කිසිවෙකු විශ්වාස නොකරමින් සිය ආත්ම ශක්තිය පමණක් පිළිබඳව විශ්වාස කරමින් සිංගප්පූරුව ලෝකයේ සමෘද්ධිමත් රටක් බවට පත්කිරීමට ලී ක්වාන් යූ සමත් වූයේය. අඛණ්ඩව වසර 25කුත් දින 111 ක් සිංගප්පූරුවේ අග්‍රාමාත්‍ය තනතුර දැරූ ලී ක්වාන් යූ සිය දේශපාලන දිවියෙන් විශ්‍රාම ගත්තේ සිංගප්පූරුව ලෝකයේ සමෘද්ධිමත්ම රටක් බවට පත්කරමිනි.
ලෝකයේ අංක එකේ ගුවන් තොටුපොළ වන චැන්ගි ගුවන් තොටුපොළ, වසරකට බහාලුම් බිලියනයක් හසුරුවන වරායක් සහිතව ලෝකයේ නිදහස්ම ආර්ථිකයක් ඇති රටක් වශයෙන් සිංගප්පූරුව ජාත්‍යන්තරයේ සිය නම තබාගෙන සිටියි.
වරක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ සිංගප්පූරුවේ හිටපු අග්‍රාමාත්‍ය ලී ක්වාන් යූ සඳහන් කළේ ඔහු සිංගප්පූරුවද ශ්‍රී ලංකාවේ කොළඹ මෙන් දියුණු කරන ලබන බවයි. එම දැක්ම යටතේ සිංගප්පූරුව ගොඩනැගීමට ඔහු සමත්වූ අතර, දැන් අපට සිදුව ඇතතේ සිංගප්පූරුව දෙස බලා දියුණු වීමටය. වර්තමානයේ සිංගප්පූරුවේ ඒකපුද්ගල දල දේශීය ආදායම ඩොලර් 85,253 කි. එය තෙවැනි වන්නේ පිළිවෙළින් කටාර් හා ලක්ෂම්බර්ග් යන රාජ්‍යයන්ට පමණි. වෙනකක් තබා සිංගප්පූරුව යටත් කරගෙන සිටි එංගලන්තය (25) හා ලෝකයේ බලවත්ම රට බවට පත්ව ඇති ඇමෙරිකාව (10) පවා ඉක්වමා යාමට සිංගප්පූරුව සමත්ව තිබේ. සිංප්පූරුවේ සම්පූර්ණ ජනගහනය මිලියන 5.53 කි. වර්ග කිලෝමීටර 719 ක් පුරා විසිරී ඇති සිංගප්පූරුවේ සෑම බිම් අඟලක්ම ඔවුන් මනාව සැලසුම්ව ගොඩනංවා තිබේ.
තම සීමිත භූමි භාගයෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඇති සිංගප්පූරුව දැන් සිය සංවර්ධන කටයුතු කරන්නේ පොළොව යටය. මහාමාර්ග මෙන්ම දුම්රිය මාර්ග පොළොව යටින් පවතියි. තව තවත් වරාය පුළුල් කරන්නේ මුහුද ගොඩකරමිනි. සිංගප්පූරුවේ සෑම දෙයක්ම මනාව සැලසුම් සහගතව නිමවා ඇති අතර, එය නගර නිර්මාණය පිළිබඳව උනන්දුවක් දක්වන මෙන්ම, ඒ පිළිබඳව ඉගෙනගන්නා ඕනෑම අයෙකුට තක්සලාවකි.
සිංගප්පූරුවට ගොඩබට අයෙකුට එම රටෙහි වෙනස සිංගපූරුවේ චැන්ගි ගුවන් තොටුපොළේ සිටම දැනෙන්නට පටන් ගනියි. ලී ක්වාන් යූගේ ප්‍රකාශ අතර ප්‍රකට කියමනක් වන්නේ 'ඔබට ඔබගේ අරමුණු හා සිහිනවලට ළඟාවීමට අවශ්‍ය නම් එය විනයක් නොමැතිව කළ නොහැකිය' යන්නයි. එම දැක්ම සිංගප්පූරුව දියුණු රටක් බවට පත්කර ඇති අතර සිංගපූරුවේ චැන්ගි ගුවන් තොටුපොළින් පිටත ක්‍රියාත්මක ටැක්සි සේවයේ පටන් සිංගප්පූරු ජනතාවගේ විනය හොඳාකාරවම දැකිය හැකිය.
පොදු වැසිකිළි භාවිතයේ සිට සෑම දෙයකම එය දැකිය හැකිය. මාර්ගවල ගමන්ගන්නා වාහන කිසිම අයුරකින් වාහන නීති උල්ලංඝනය නොකරයි. සිංගප්පූරුවේ පොදු මගී ප්‍රවාහන සේවාවල ආහාර ගැනීම තහනම්ය. ටැක්සි රථ රියදුරන් පවා විනය අතින් ඉහළින් සිටියි. සිංගප්පූරු සංචාරයේදී වරක් අප ටැක්සි සේවකයන් ගමන් කරන විට අපගේ කාණ්ඩයේ අයෙකු එම රථයේ ඇති රේඩියෝව ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීම් කරන විට එය ප්‍රතික්ෂේප කළ රියදුරු පැවසුවේ 'මුලින්ම රාජකාරිය' යන්නයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සිංගප්පූරු සංචාරය ආවරණය සඳහා එහි ගිය අවස්ථාවේදී මෙම සිදුවීම සිදු වූ අතර, අප ඒ ඉල්ලීම කරන විට අග්‍රමාත්‍යවරයාගේ මාධ්‍ය ආවරණයක් සඳහා පිටත් වෙමින් සිටියෙමු. කෙසේ වෙතත් එම රාජකාරිය නිමවා එනවිට රියදුරු ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කළේය. ඒ අපේ මෙන් කන් පැලෙනා අයුරින් නොවේ. ඇසෙන නොඇසෙන ගාණටය. එම සිදුවීම සිංගප්පූරුවේ විනය පිළිබඳව කීමට ඇති හොඳම උදාහරණයක් වෙයි.
ලෝකයේ කාර්යබහුලම රටක් වන සිංගප්පූරුවේ දහවල් කාලයේ මාර්ගවල ඇවිදින ජනතාව දැකිය හැක්කේ ඉතාමත් අල්ප වශයෙනි. ඒ ඔවුන් සිය රාජකාරි ආරම්භ කළ අවස්ථාවේ පටන් ඒ පිළිබඳව අවධානය යොමු කරමින් කටයුතු කරන හෙයිනි. දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ක්රියාත්මන වන රටක් වශයෙන් සිංගප්පූරුව ලෝකයේ ප්‍රසාදය දිනාගෙන තිබේ. සිංගප්පූරු වැසියෝ තමාගේ පෞද්ගලික ජිවිතය ගැන සිතන අයුරින්ම රට ගැනද සිතති. ඇතැම් විට ඔවුන්ගේ අංක එක රටය. සිංගප්පූරු වැසියන්ගේ මෙම දර්ශනය රට පිරිසුදුව තබාගැනීම සඳහා ප්රමුඛ වශයෙන් බලපා තිබේ. තැන තැන කුණු ගොඩවල් නොවේ. උදෑසන 8.00 පමණ වනවිට සියලුම ස්ථාන පිරිසුදුව තිබේ.
ආසියාවේ ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක්ද වන සිංගප්පූරුව සංචාරක පාරාදීසයක්ද වෙයි. එසේම සිංගප්පූරුව ලෝකයේ ප්‍රධානතම සූදු මධ්‍යස්ථානයක්ද වෙයි. කෙතරම් ආකාරයක සංවර්ධනයක් ළඟා කරගත්තද, අහස උසට දැවන්ත ගොඩනැගිලි දැකිය හැකිවුවද සිංගප්පූරුවේ සෑම තැනකම පාහේ ගහකොළ දැකිය හැකිය. ගොඩනැගිල්ලක ඉහළ මාලයක සිට බලන්නෙකුට සෑම තැනකම හරිත පැහැය දැකිය හැකිය. ඒ හේතුවෙන් උද්‍යානයක් තුළ පිහිටි නගරයක් ලෙසින්ද සිංගප්පූරුව ඇතැම් ස්ථානවල හැඳින්වෙයි. අප එහි සංචාරය කරන විටත් මහාමාර්ග දෙපසේ ඔවුන් ගස් වවන අයුරු දැකිය හැකි විය.
සිංගප්පූරුවේ භූමි අයිතිය සම්පූර්ණයෙන්ම රජය යටතේ පවතියි. ඇතැම් අවස්ථාවලදී සින්නකර ඉඩම් අයිතිකරුවන්ද දැකිය හැකිය. ව්‍යාපාර සඳහා 99 අවුරුදු බදු පදනමින් ඉඩම් ලබාදෙයි. සෑම සිංගප්පූරු වැසියෙකුටම නිවසක් පවතී. එසේ වුවත් තනි තනි නිවෙස් නොදැකිය හැකි තරම්ය. තට්ටු නිවාස සංකීර්ණවල ඔවුන්ගේ දිවිය ගතවෙයි. ඒ ඒ ආදායම් මට්ටම් සඳහා උචිත අයුරින් මෙම නිවාස ගොඩනංවා තිබේ.සිංගප්පූරුවේ සෑම තැනකම දැකිය හැක්කේ ආර්ථික වටිනාකමින් යුතු ස්ථානයි. වෙතක් තබා සිංගප්පූරුවේ ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියාත්මක වන ගොඩනැගිල්ලේ පහත මහල්වල පවා ආපන ශාලා ඇතුළු විවිධ ව්‍යාපාර දැකිය හැකිය.
පෙර - අපර දෙදිගම සංචාරකයන්ට පාරාදීසයක් බවට පත්ව ඇති සිංගප්පූරුවේ ගණිකා වෘත්තියේ සිට සෑම දෙයක්ම ක්‍රියාත්මක වෙයි. ඒ සඳහා වෙන් වූ ප්‍රදේශද ඇත්තේය. ලාභ භාණ්ඩයේ සිට මිලෙන් අධිකම සියලු දෑ සිංගප්පූරුවේ අලෙවි වෙයි. කෙසේ වෙතත් ඒවා 'Made in Singapore' නොවේ. චයිනා ටවුන්වලින්, ලිට්ල් ඉන්දියාවලින් මෙන්ම මුස්තාෆා මාකට්වලින් අඩු වියදම් සංචාරකයා වෙනුවෙන් අවශ්‍ය ඕනෑම දෙයක් මිලදීගැනීමේ අවස්ථාව තිබේ. මේ අතරින් මුස්තාෆා වෙළෙඳ සංකීර්ණය බොහෝ දෙනෙකුගේ ප්‍රධාන තේරීමක් වෙයි. අල්පෙනෙත්තේ සිට සෑම දෙයක්ම අඩුම මිලකට මෙහිදී මිලදී ගත හැකිය.
සිංගප්පූරුවට පැමිණෙන සංචාරකයන්ගේ අංක එකේ ස්ථානයක් වන්නේ 'සෙන්තෝසා' දිවයිනයි.
සිංගප්පූරුවේ පරිවාරක ද්වීපයක් වන මෙහි විවිධ සංචාරක ආකාර්ෂණයන් පිහිටා තිබේ. එසේම සිංගප්පූරුවට ගිය බොහෝ දෙනෙකු ඔචාඩ් ප්‍රදේශයේ සංචාරය කරන අතර එහි මිලෙන් අධික භාණ්ඩ මිලදීගැනීමේ අවස්ථාව තිබේ. ඕචාඩ් යනු පලතුරු උයනක් වන අතර, පාර දෙපසේ පදික වේදිකාවේ පිත්තලින් කළ පලතුරු දැකීමටද අවස්ථාව එහිදී උදා වෙයි. සිංගප්පූරුවේ දැකිය හැකි තවත් විශේෂිත කරුණක් වන්නේ එහි පාසල්වල ඉගැන්වීම ඉංග්‍රීසි මාධ්‍යයෙන් කිරීමයි. විශ්ව භාෂාව ලෙස සැලෙකෙන ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කිරීමෙන් ලී ක්වාන් යූ සිය රට ලෝකයට ගමන් ගන්නා මාර්ගය සකස් කළේය.
ලෝකයේ දෙවැනි විශාලම භාෂාව ලෙසින් ගැනෙන චීන මැන්ඩරින් භාෂාව ඉගෙනීමද එහි අනිවාර්ය කර තිබේ.මේ ආකාරයෙන් සිංගප්පූරුව විවිධ වෙනස්කම් සිදුකරමින් ලෝකයේ ප්‍රබල රාජ්‍යක් බවට පත්ව තිබෙද්දී සියවස් ගණනක ප්‍රෞඩ ඉතිහාසයක් ඇතිවාක් මෙන්ම සිංගප්පූරුවටත් පෙරාතුව නිදහස ලැබ, ලෝකයේ සමෘද්ධිමත්ම ස්වාභාවික සම්පත් සහිත ශ්‍රී ලංකාව සිටින ස්ථානය පිළිබඳව ඕනෑම අයෙකුට සිතා ගත හැකිය. ඒ සඳහා බලපා ඇති ප්‍රධානම හේතුව වන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය මෙන්ම ජනතා දැක්මයි. අප සිංගප්පූරුවක් බවට පත්වීමට නම් අපි අලුත් ජාතියක් වශයෙන් නැගී සිටිය යුතුය. දේශපාලනය පසෙක දමා රට අංක එකේ තබා කටයුතු කළ යුතුය. මේ දේශපාලනය හා සිය අරමුණු පිළිබඳව ලී ක්වාන් යූ කියූ ප්‍රසිද්ධ කියමනකි. 'මම හැමවෙලාවෙම උත්සාහ කළේ නිවැරදි වෙන්නයි. නමුත් ඒ දේශපාලනික වශයෙන් නොවෙයි'
මනා දැක්මක් සහිතව සිංගප්පූරුව ගොඩනැංවූ ලී ක්වාන් යූ පසුගිය වසරේ සිය දිවියෙන් සමුගත්තේය. මේ වනවිට සිංගප්පූරුවේ අගමැතිවරයා වන්නේ ලී ෂියෑන් ලූන්ය. ඔහු ලී ක්වාන් යූගේ ජ්‍යෙෂ්ඨ පුතා වෙයි. 2004 වසරේ පටන් ලී සිංගප්පූරුව පාලනය කරමින් තිබේ. ඔහු බලයට පැමිණ ඇත්තේ වසර 20 ක හමුදා දිවියක් මෙන්ම ක්‍රමවත් දේශපාලන ගමන් මගක් හරහාය.