මෙරට මුල් සිංහල වාසීන්ගේ ආදිවාසී ජනාවාසයක් වූ ගෝණගම්තොට සිංහලයන් අතර ප්‍රසිද්ධව ඇත්තේ ත්‍රිකුණාමලය යන නමිනි. ගෝණ යන නමට මුලින් ශ්‍රී යන අරුත දෙන තීරු යන්නත්, අගින් කන්ද යන අරුත් ඇති මලෛ යන්නත් එක් කොට දමිළ ජනයා තිරුකෝණ මලෛ යන්න ව්‍යවහාර කළහ. මේ දමිළ වචනය ත්‍රිකුණාමලය යැයි සිංහලයෝ උච්චාරණය කළහ. මෙම ගෝණ තොටින් ඇරඹි මුල් ජනපද අතරින් එක් ජනපදයක් වන්නේ වෙල්ගමය. එහි ඉදි කළ පුරාණ සිද්ධස්ථානයක් වන්නේ වෙල්ගම් වෙහෙරය. ත්‍රිකුණාමල නගරයේ වයඹින් සැතපුම් හතක් පමණ දුරින් පිහිටා ඇති මෙය කට්ටුකුලම් පත්තුව බද පෙරියකුලම් නම් ගම්මානයේ පිහිටි පෙරියකුලම් වැවේ බටහිර දෙසට වන්නට පිහිටා තිබේ. අතීතයේදී මෙරට ආක්‍රමණය කරන ලද විදේශිකයන් විසින් බෞද්ධ වෙහෙර විහාර විනාෂකර දමනු ලැබීය. මේ අතර ඔවූහු පූජනීය ස්ථාන කොල්ලකෑමට යොමු වූහ. එහෙත් මෙම පුදබිම චෝල ආක්‍රමණිකයන් විසින් ආරක්ෂාකර පුදපුජා පැවැත් වූ සිද්ධස්ථානයක් බව මෙහි තිබී හමු වූ ද්‍රවිඩ ශිලා ලිපිවලින්ද වෙනත් පුරාවිද්‍යා සාධකවලින් ද හෙළිවෙයි.
ගමන් මාර්ගය
ත්‍රිකුණාමලයට පැමිණෙන බොහෝ සංචාරකයෝ සේරුවාවිල විහාරය, තිරියාය හිරිහඬු සෑය, ලංකාපටුන විහාරය, තිරුනේෂ්වරම් හින්දු කෝවිල වැනි ආගමික සිද්ධස්ථානවලට ගමන් කරන අතර, කින්නියා උණුදිය උල්පත්වලින් ගිමන් වෙහෙස නිවා ගනිමින් වෙල්ගම් වෙහෙරටද පැමිණෙති.මෙහි පැමිණෙන්නන්ට ගමන් මාර්ග කිහිපයකි. කින්නියා උණුදිය උල්පත් පිහිටා ඇති තැන සිට සැතපුමක් ඉදිරියට ගිය විට වෙල්ගම් වෙහෙර මංසන්ධිය හමු වෙයි. එසේත් නැත්නම් ත්‍රිකුණාමලයේ සිට අනුරාධපුරයට ගමන් ගන්නා මාර්ගයේ 106 වැනි සැතපුම් කණුවට නුදුරින් ඇති මංසන්ධියෙන් උතුරු දෙසට ගමන් කර මෙම විහාරස්ථානයට ළඟා විය හැකිය. වාහනයකින් ගමන් කර හැකි මාර්ගය එය වන අතර අනෙක් මාර්ගය එතරම් හොඳ තත්ත්වයක නොපවතියි. එම මාර්ගය නම් ත්‍රිකුණාමලයේ සිට නිලාෙව්ලි දක්වා යන මාර්ගයේ 6 වැනි සැතපුම් කණුව ආසන්නයේ ඇති මංසන්ධියෙන් බටහිර දෙසට ඇති මාර්ගයේ සැතපුම් දෙකක් පමණ ගමන් කළ විට මෙම විහාරස්ථානයට ළඟා විය හැකිය.
වෙල්ගම් වෙහෙරේ විශේෂ සොයා ගැනීම
පෙරියකුලම වැවට නුදුරින් පිහිටි මිටි කඳුවැටියක් ඇසුරු කොට මහ වනයෙන් වැසී තිබූ නටබුන්වලට පෙරියකුලම් දමිළ ගම්වාසීහු විසින් “නාතනාර් කෝවිල්* නමින් හඳුන්වමින් පුදපුජා පැවැත්වූහ. ඔවුන් සිතුවේ මෙය ඊශ්වර දේවාලයක නටබුන් කියාය. ත්‍රිකුණාමල ප්‍රදේශයේ සිංහල බෞද්ධ ජනතාව විසින් මෙය විහාරස්ථානයක් ලෙස සලකන ලදී. ඉන් අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ බව දැනගෙන මෙය පරීක්ෂා කිරීමට සෙනරත් පරණවිතාණ මහතා යොමු කළේය. එහි නටබුන් පිරික්සීමේදී සෙල්ලිපි කිහිපයක් හමු වී ඇත. දේවානම් පියතිස්ස රජතුමන් විසින් දෙතිස් ඵල බෝධි අංකුරයක් රෝපණය කර වෙල්ගම් වෙහෙර ඉදිකර බව වංශ කතාවල සඳහන් වෙයි. එමෙන්ම මෙහි ඇති සෙල්ලිපි කියවීමේදී මෙම විහාරස්ථානයේ නම වෙල්ගම් වෙහෙර යැයි හඳුනාගෙන ඇත. එසේම මෙම ස්ථානය රක්ෂිත භූමියක් බවට ප්‍රකාශ කරන ලදී. මෙරට දෙමළ සෙල්ලිපි ලැබුණ එකම බෞද්ධ විහාරය ද මෙය වෙයි. මුදල් පරිහානිය හා දෙවන ලෝක සංග්‍රාමය හේතුවෙන් පුරාවිද්‍යාත්මක මෙහි කැණීම් කටයුතු කල් ගියේය. පසුව නිධන් සොරුන් විසින් හාරා වනසන ලද මෙම පුදබිම යුද සමයේදී ද විවිධ අයුරින් හානියට ලක්විය.
නටබුන් හා තොරතුරු
වෙල්ගම් වෙහෙරේ වැදගත් ගොඩනැගිලි සමූහය පවුරකින් වට කරන ලද සම චතුරශ්රාකාර කොටුවක් තුළ පිහිටා තිබෙයි. මේ තුළ මහ පිළිමගෙය, ඔත්පිළිමගෙය, දාගැබ සහ බෝකොටුව යැයි සිතිය හැකි විහාරාංග පවතී. විහාරස්ථානයට ඇතුළු වන දොරටු පහක් වෙයි. මෙහි මහ පිළිමගෙය 1953දී ද, දාගැබ 1954දී ද කැණ පාදා තහවුරු කරගෙන ඇත. වෙල්ගම් විහාරයේ ප්‍රධාන පිළිමගෙය විහාර චතුරශ්‍රාකාරයට හරි මැදින් උතුරු දොරටුවෙහි සිට දකුණු දොරටුව කරා විහිදෙන උතුරු දකුණු රේඛාවක දෙපස සමබරව පිහිටන ආකාරයට ගොඩනගා තිබෙයි. එමෙන්ම ඔත්පිළිමගෙය, නටබුන් දාගැබ් තුනක්, මහත පොකුණක්, දොර කොටු ගෙයක්, පැරණි ළිඳක් මෙහි දැකගත හැකිය.
මෙහි ධාතු ගර්භය සොරුන්ගේ ග්‍රහණයට නතුව ඇති නමුත් ධාතු නිධානය ඔවුන්ට හමුවී නැත. එයට හේතුව මෙහි ධාතු නිධානය විශේෂ ක්‍රමයකට තැන්පත් කර තිබීමයි. පුරාණ දාගැබ්වල ගර්භය පතුලේ ගලින් කළ මහාමේරු පර්වත ආකෘතියක තැන්පත් කිරීම සිරිත විය.
විහාරස්ථානයට පෙරදිගින් පිහිටා ඇති පෙරියකුලම් වැව වෙල්ගම කුඹුරු යායට ජලය සැපයූ ජලාශයයි. මනාමතු වැව ලෙස පුරාණේ හැඳින් වූ මෙය අසල 11 වැනි සියවසේදී පමණ යුද කඳවුරක් පැවති බව සඳහන් වෙයි. සොලී පාලන සමයේ මේ කඳවුරේ සිටි භටයන් වෙල්ගම වෙහෙර දියුණු කළ බව සඳහන් වෙයි. මෙහි එක් කොටසක මේ වන විට දෙමළ ජනයා වී වගා කරන අතර, අනෙක් කොටස වනගතව තිබෙයි.
කලාත්මක නිර්මාණ
මහ පිළිමගෙය ලෙස හඳුන්වන මෙහි දෙමළ විහාරයක නටබුන් ලැබුණු එකම ස්ථානය ලෙස මෙය හඳුනා ගැනෙයි. මෙහි බෞද්ධ පිළිම ගෙවල් ලක්ෂණවලට වඩා එම කාලයට අයත් හින්දු කෝවිල්වල නිර්මාණාත්මක ලක්ෂණ දරයි. දාගැබ් මෙන්ම ප්‍රතිමා ශිල්පය තුළද කිරිගරුඬ කැටයම් පුවරු, බෝසත් පිළිම, කුවේර පිළිම දැකගත හැකිය. ගල් කැටයම් අතර සැරසිලි මෝස්තර, නළුවන්ගේ රූප, යන්ත්‍ර ගල්, කොත්, මුර ගල් දැක ගත හැකිය. එමෙන්ම දේව රූප, ගණ රූප සැරසිලි, ගඩොල් ආදී මැටි රූපද දැක ගත හැකිය. මෙහි ලෝහ භාණ්ඩ ලෙස පිත්තල පහන, යකඩ අයුධ, දොර අගුල්, තාලම් පොට, ධාතු කරඬුවක්, පුරාණ කාසි මෙන්ම, දඹදෙනි කාසි, පන්හිඳක් ද දැක ගත හැකිය. සෙල්ලිපි අතින් ගත් කල මෙහි ඇත්තේ ද්‍රවිඩ බසින් ලියවුණ සෙල්ලිපිය.
වෙල්ගම් විහාරයේ ආදී කර්තෘන්
අපවත් වී වදාළ සිරිපවර අරියවංසාලංකාර නැගෙනහිර තමන්කඩුවේ දෙපළාතේ ප්‍රධාන සංඝනායක මාදුවේ රතනවංස තිස්ස හිමියන් 1952 වසරේදී නටබුන් බවට පත්ව තිබු වෙල්ගම් රජමහා විහාර භූමියට වැඩමවා ඝන වනය මැද තැන වූ පොල් අතු පැලක ලැගුම් ගෙන උරුමයන් රැකගැනීම වෙනුවෙන් මහත් කැපකිරීමකින් ක්‍රියා කර ඇත.
එල්.ටී.ටී.ඊ. යුද සමය හා වත්මන් විහාරාධිපති
පූජ්‍ය අම්පිටියේ සීලවංස නායක ස්වාමීන් වහන්සේ වයස අවුරුදු 10 වන විට එවක වැඩසිටි මාදුවේ රතනවංස ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යයෙකු ලෙස 1959දී පැවිදි දිවියට පත් විය. 1983 නැගෙනහිර යුද සමය ආරම්භ වූ පසු 1985 වර්ෂයේදී වෙල්ගම වෙහෙරටත් ගම්මානයටත් ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල විය. ඉන් අනතුරුව පවුල් එක්දහස් පන්සියයක් පමණ සිටි මෙම ගම්මානයේ සිටි පදිංචිකරුවෝ පිරිසක් රට හැර ගිය අතර තවත් පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.නමුත් විහාරාධිපතීන් වහන්සේ තනිව පන්සලේ වැඩ විසූහ. දානමාන ලබා දීමටවත් කිසිදු පිළිවෙතක් නොවූ නිසා කුසට අහරක් නොමැතිව උන්වහන්සේ දින ගණන් නිරාහාරව සිටීමට සිදු විය. අනතුරුව උන්වහන්සේ රජයට දන්වා යුද කඳවුරක් විහාරස්ථානයේ පිහිටුවා පවුල් කිහිපයක් නැවත පදිංචි කරන ලදී. නැවත යුද සමය ආරම්භ වූ අතර මෙහිදී ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරවලටද ලක්වූ උන්වහන්සේ තුවාල ලැබූහ. ඉන් සුවය ලැබූ පසුත් වසර ගණනක් බංකර්වල සිටීමට උන්වහන්සේට සිදුවූහ. ඉන් අනතුරුව දෙදහ වසරේදී නැවතත් විහාරස්ථානයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කළ අතර එහිදී ත්රස්තවාදීහු උන්වහන්සේට තියුණු ආයුධවලින් බරපතළ තුවාල සිදු කළහ. ඒ අතීතය යටපත්ව අද වෙල්ගම් වෙහෙර වෙත දෙස් විදෙස් සංචාරකයෝ බොහෝ දෙනෙක් පැමිණෙති. එදා වෙල්ගම් වෙහෙර පාළු ගම්මානයක්ව තිබූ මෙහි අද වන විට විහාරාධිපති හිමියන්ගේ මූලිකත්වයෙන් සිංහල පවුල් කිහිපයක්ද පදිංචි කරවාගෙන සිටියි. ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් රජයෙන් හා රාජ්‍ය නොවන සංවිධානවලින් විටින් විට ලැබුණත් එය ප්‍රමාණවත්ද යන්න සොයා බැලිය යුත්තකි.
සටහන - නිදුක් මදුෂික / ඡායාරූප - මිහිර බණ්ඩාර