මනුසත් ආත්මයට කොතරම් වටිනාකමක් තිබේවිද? ගැටලුවලට සියදිවි හානි කර සිව්රියනක් යට පැනවිය යුතුද? ප්‍රශ්න ඉදිරියේ එකම පිළිතුර එය නම් මේ වනවිටත් ලෝකය සුසාන භූමියකි. මරණයට නොව ජීවිතයට ආදරය කරන්න. මරණයට වඩා වැඩි එඩිතරකමක් ජීවත් වීමට වුවමනා බව ප්‍රකාශ කළේ නැපෝලියන් බොනපාට්ය.
ජීවත් වීම අපට ප්රශ්නයකි. එහෙත් මව් කුස පිළිසිඳගන්න දා පටන්ම මානව ජීවියා ජීවිතය ගත කිරීමට මුහුණ දෙන්නා වූ ප්‍රශ්න හා අභියෝග කන්දරාව එමටය. එයට විසඳුම හෝ ඉන් පළා යාම මරණයද? සියදිවි හානිකර ගැනීම එඩිතරකමක් බවට කිසි ලෙසකින්වත් පත්වන්නේ නැත. සියදිවි නසා ගැනීම යනු තම කැමැත්තෙන්ම තම ප්‍රශ්න නැතිකර ගැනීමයි. මානව ශිෂ්ටාචාරයේ ප්‍රාථමික අවස්ථාව වන ගෝත්‍රික අවධියේ සිට මේ මොහොත දක්වාම සියදිවි නසාගැනීම පවතී.
බොහෝ රටවල භූගෝලීය විවිධතාව හා විෂමතාව අනුව සියදිවි නසාගැනීමේ ප්රශ්නය වෙනස්වන බව එඩ්වඩ් වෙස්ටර්මාන් නම් විද්‍යාඥයාගේ මතයයි.
ඇතැම් සාම්ප්‍රදායික සමාජයන්හි සියදිවි නසාගැනීම එම සමාජ ක්‍රම‘යේ ඇති චාරිත්‍ර වාරිත්‍ර ඉටුකිරීමක් බවද මෙහිදී සඳහන් කළ යුතුය. උදාහරණයක් ලෙස අප සඳහන් කළොත් ඉන්දියාවේ පවතින සති පූජාව එවැන්නකි. මීට බොහෝ ඉහතදී මහජන චීනයේද මෙයට සමාන පූජා ක්‍රම පැවති බව සඳහන් වෙයි. කෙනෙකු දියේ ගිලී මියගියහොත් ඔහුට ජලයේ වාසය කළ හැකි බවත්, වස බී ජීවිතය හානිකර ගතහොත් වස ලී වලින් තැනූ නිවස් වල වාසය කළ හැකි බවත් දූපත් මානසිකත්වයෙන් යුතු ගෝත්‍රික කණ්ඩායම් වල මතවාද පවතී.
සමාජ සංස්කෘතික සාධක හමුවේ මෙලෙස ජීවිතය නැති කර ගැනීම බරපතළ අර්බුදයකි. ශ්‍රී ලංකාවේ වසරකට සියදිවි නසාගැනීම් දස දහසකටත් වැඩි ප්‍රමාණයක් වාර්තා වෙයි. සියදිවි නසාගැනීම පිළිබඳ සමාජ විද්‍යාඥයෙකු වන එමිල් චුර්නයිම් යුරෝපීය රටවල් විශාල ප්‍රමාණයක් අධ්‍යනය කරමින් වර්ගීකරණයක් ඉදිරිපත් කර ඇත.
01 ආත්මීය හෙවත් මමායනික සියදිවි නසා ගැනීම
02 අනෝමීය සියදිවි නසාගැනීම
03 පරහිතකාමී සිය දිවි නසාගැනීම
නූතන සමාජ ප්‍රවාහය තුළදීද පුද්ගලයෙකු තම අරමුණ ඉටුකර ගැනීම සඳහා අඛණ්ඩව අරගලයක නිරත වෙයි. තමන් තුළින් සමාජයට සිදුවිය යුතු මෙහෙවර පසෙකට දමා සමාජයෙන් තමන්ට සිදුවිය යුතු මෙහෙවර ගැන විපරම් කරයි. සාමූහිකත්වයක් එහි නැත. අපි කියනවා වෙනුවට එහි ඇත්තේ තම අරමුණ කරා ගමන් කිරීමකි. එම නිසාම මගේ යැයි සිතනා අරමුණු සංතෘප්ත කරගත නොහැකි තැන ජීවිතය නැති කර ගැනීමට ඔහු සූදානම්ය. අපේක්ෂිත පිළිවෙළ ක්ෂණිකව බිඳවැටීම තුළ පුද්ගලයාට ඔරොත්තු නොදෙන තත්ත්වයක් යටතේ දිවි නසාගැනීම සිදුවෙයි.
මනෝ විද්‍යාවේ පියා වන සිග්මන් ප්‍රොයිඩ් ඉදිරිපත් කරන මනෝ විද්‍යාත්මක විග්‍රහය වන්නේ සියදිවි නසාගැනීම යනු කෙනෙකු තවකෙකු කෙරෙහි ඇති විය හැකි ආක්‍රමණශීලී සිතුවිල්ලක් තමා වෙතට යොමුකර ගැනීමකි. මෙය මාරක ඇල්මක් බවට ඔහු දක්වයි. මෙය මානසික ආබාධයක් බව ඔහු දක්වයි. මෙලෙස අවපීඩක මානසික තත්ත්වයකට ගොදුරු වන පුද්ගලයෙකු තුළ තමන් පිළිබඳ කලකිරුණු ස්වභාවයක් ඇතිවෙයි. ජීවිතේ අර්ථය කුමක්ද? මේ ජීවිතය මරණයෙන් අඩපණ කරගත හැකිද? මා තනිවී සිටිනවා නේද? වැනි සිතුවිලි පහළ වන බව දැනගත හැකිය.
ජීවිතයේ ප්‍රශ්නවලට හොඳම විසඳුම මරණය යැයි කියා ඇතැමුන් ජීවිතය නැති කර ගැනීමේදී ඒක මොන මෝඩකමක්දැයි කියන බොහෝදෙනෙක් ඉතා පහසුවෙන් විසඳාගත හැකි ගැටලුවක් මහමෙරක් තරම් උසට ගෙන ජීවිතයට සමුදෙන අවස්ථා අපි කොතෙකුත් දැක තිබේ. පරපෝෂිතයෙකු ලෙස ජීවත් වන කාලයේ වුවද නොදන්නා ප්‍රේමයක් ගැන වේදනාවක් ඇති කරගෙන ජීවිතය නැති කරගන්නා පුවත් අපි ඕනෑතරම් අසා ඇත. බලාපොරොත්තු වන සියල්ල ජීවිතයේ ඉටුවන්නේ නැත. එසේ ඉටුවනවා නම් ඒ ජීවිතයේ වැඩක්ද නැත. අටලෝ දහම පිරි ජීවිතයේ යථාර්ථය තේරුම් ගත හැක්කේ එවිටය. ජීවිතයේ දිග පළලක්, වේදනාවේ දිග පළලක් තේරුම්ගත යුතුය.
මනුසත් බව ලැබෙන්නේ කොතරම් පුණ්යවන්තයින්ටදැයි ඔබ හොඳින් දනී. එලෙස ලැබූ මනුසත් බවට සමුදෙන්නට තීරණය කරන්නේ ඇයි? මොනම කාරණයක් නිසා හෝ ඇතිවන වේදනාවක කාලයට වඩා ඔබට බොහෝ කාලයක් ජීවිතය වෙනුවෙන් වෙන්ව තිබෙයි. එබැවින් දැල් වී නිවී යන පහනක් බඳු වේදනාවන්ගෙන් පළා යාම පිණිස ජීවිතය නැතිකර ගැනීමට උත්සාහ කිරීම දුර්වලකමකි. මිහිපිට නුහුලන ශාරීරික වේදනා ආත්ම ශක්තියෙන් දරාගෙන ජීවිතයට උත්තුංග ලෙස සාධාරණයක් කරන අය පවා ඉතාම සියුම් වේදනාවකින් ජීවිතය නැතිකර ගැනීමට යොමුවෙයි.
සියලු වේදනාවන් වලට හොඳම ඖෂධය ඉවසීමයි. අපහසුතා දරා දුක් කම්කටොලු විඳ ජීවිතයට උපේක්ෂා සහගතව මුහුණදීම ශක්තිමත් පෞරුෂයක් ඇත්තෙකුගේ ලක්ෂණයකි. එලෙස එඩිතර ලෙස කටයුතු කරන්නන් අර්ථවිරහිතව මියයන්නන් නොවෙයි. එළැඹෙන සෑම වේදනාවක්ම, සමාජ නින්දාවක්ම, අපහසුතාවක්ම දරාගෙන ඒ සියල්ල තාවකාලික ගැටලු පමණක් බව සිතා කටයුතු කළ යුතුය. යථාර්ථය අප සිතනතරම් රළුද සුමුදුද නැත. ජීවිතය සුන්දර වන්නේ එළඹෙන දුක් කම්කටොලු අභියෝග නිසාමය. ඒ සියල්ල හමුවේ ඔබ මිය යා යුතුද? නැත. ජීවිතයේ සුන්දරත්වය විඳිමින් ජීවත් විය යුතුය.