Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා
2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා
ඔටිසම් නැත්නම් මනෝවික්ෂිප්තතාවෙන් පෙළෙන දරුවන් අපට අරුමයක් නොවන්නේ මෙරට සිදුවන සෑම දරු උපත් හැටක් අතරින්ම එක් දරුවෙකු එම තත්ත්වය ඇතිව ඉපදීමේ සුලබතාවක් පවතින බැවිනි. අප්‍රේල් මස දෙවැනි දින ලෝක ප්‍රජාව එකලෙස ඔටිසම් දිනය සමරනු ලබන අතර, අපගේ අවධානය එවන් වටපිටාවක යොමුවූයේ ඔටිසම් දරුවන් වෙනුවෙන් මෙරට විද්‍යානුකූලව පවත්වාගෙන යන එකම ආයතනය යැයි හඳුන්වාදිය හැකි 'සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රය' වෙතයි.
රණවිරු පවුල්වල සිටින විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ සංවර්ධනයට අවශ්‍ය අධ්‍යාපනික, ආධ්‍යාත්මික, වෘත්තියමය හා වෛද්‍ය සේවා සැපයීම වෙනුවෙන් ආරම්භ කර ඇති මෙම ආයතනය මගින් විරුදරුවන්ට සේම සිවිල් දරුවන්ටද සේවා රැසක් සැපයෙයි. විශේෂයෙන් මෙම ආයතනය තුළින් ලබාදෙන සේවා ලෙස,
1. ළමා මිතුරු පරිසරයක්
2. විෂය සමගාමී ක්‍රියාකාරකම්
3. අධ්‍යාපන චිකිත්සනය
4. භෞත චිකිත්සනය
5. කථන හා භාෂා චිකිත්සනය
6. ජල චිකිත්සනය
7. බහුවිධ ඉන්ද්‍රීය එළඹුම
8. අනාවරණ පරීක්ෂණ
9. දෛනික ජීවන කුසලතා
10. තොරතුරු තාක්ෂණය
11. ක්‍රීඩා සහ විනෝදජනක ක්‍රියාකාරකම්
12. දෙමාපිය උපදේශනය
13. ගුරු බලවත්කරණය
14. පර්යේෂණ සඳහා අවස්ථා සැලසීම යනාදිය සඳහන් කළ හැකිය.
මෙම සේවාවන්ශිෂ්ය කේන්ද්‍රීයව හා පරිසර කේන්ද්‍රීයව, අවශ්‍යතාවන් අනුව නම්‍යව,ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලිය පර්යේෂණාත්මක එළඹුමකින් යුතුව සිදුකරමින් දිවි පැවැත්ම සඳහා අවශ්‍ය කුසලතා වැඩිදියුණු කිරීමක් සිදුකෙරේ.
නාරාහේන්පිට මැනිං ටවුන්හි මාතා පාරේ පිහිටි සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රය බිහිවීම පිටුපස ඇත්තේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටි උදාරතර රණවිරුවන්ට දාව මෙලොව බිහිවුණු විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ඔවුන්ගේ අවශ්‍යතාවලදී අත්නොහැර, වෙන්නොකර, පර්යේෂණාත්මකව ඔවුනට නව අගයන් හා වටිනාකම් අත්කර දීම වෙනුවෙන් වූ උදාර චේතනාවකි.
එවක යුද හමුදාපති බිරිඳ වූ අනෝමා ෆොන්සේකා මහත්මියගේ සංකල්පයකට අනුව 2006 වර්ෂයේ පනාගොඩ යුද හමුදා කඳවුරෙන් ආරම්භ කෙරෙන මෙම ආයතනය 2009 වසරේ නාරාහෙන්පිට ස්ථාපිතවෙයි. යුද්ධය පැවැති සමයේ රට වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් වැදි රණවිරු පවුල්වල පැවැති මානසික පීඩනයන් පිළිබඳ යම්කිසි පැහැදිලි අවබෝධයක් අවශ්‍ය යමෙකුට, සෙනෙහස අධ්‍යාපන කේන්ද්‍රය ඉතා හොඳ උදාහරණ සපයයි.
අප මෙසේ සඳහන් කරන්නේ යුද්ධය අවසාන වී වසරක් දෙකක් ගතවෙත්ම යුද්ධයක් මෙරට තිබුණාදැයි පවා මතක නැති පිරිසක් වෙසෙන රටක යුද්ධය වෙනුවෙන් තම ජීවිතය පරදුවට තැබූ විරුවන් හා ඔවුන්ගේ පවුල් තවදුරටත් යුද්ධයකට සදාකාලිකව දිවි කැපකර ඇති ආකාරය අපේ දෑසින්ම මෙම ආයතනය තුළදී දැකගන්නට ලැබුණු නිසාවෙනි.
මෙම ආයතනය තුළින් සේවා ලබාගැනීමට අයදුම්පත් ඉදිරිපත් කර ඇති සිසුන් සංඛ්‍යාව 1961ක් පමණ වේ. ඒ අතරට යුද හමුදා 354, නාවික හමුදා 97, ගුවන් හමුදා 35, පොලිස් 218, සිවිල් ආරක්ෂක 677, වෙනත් 580ක් ඇතුළත් වෙති. එසේම මෙම ආයතනය තුළ කේන්ද්‍රගතව යුද හමුදා සාමාජිකයන්ගේ දරුවන් 56 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන්ගේ දරුවන්04 දෙනෙකු, ගුවන් හමුදා සාමාජිකයන්ගේ දරුවන්06 දෙනෙකු, ශ්‍රී ලංකා පොලීසියේ සාමාජිකයන්ගේ දරුවන් 10දෙනෙකු, සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන්ගේ එක් දරුවෙකු හා වෙනත් සේවාවන් හා වෘත්තීන්හි යෙදෙන්නන්ගේ දරුවන් 48 දෙනෙකු සේවා ලබාගනිති.
එමෙන්ම මෙම ආයතනයෙන් සේවා ලබාගැනීමට සිටින දරුවන් සංඛ්‍යාව 1024 දෙනෙකි. මෙම ආයතනයෙන් සේවා පහසුකම් ලබා දරුවන් 35 දෙනෙකු ඉවත්ව ගොස් ඇත. කොළඹ නගරය තුළ මෙම ආයතනය පිහිටා තිබීම නිසා කොළඹ අවට වෙසෙන රණවිරු පවුල්වල විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට හා විශේෂ අවශ්‍යතා සහිත සිවිල් ප්‍රජාවේ දරුවන්ට බහුල වශයෙන් සේවා සැපයෙයි. නමුත් මෙම ආයතනය කොළඹින් බැහැරව දරුවන් 777 දෙනෙකුට සේවා සපයා ඇත.
මෙම ආයතනයට විශේෂ අවශ්‍යතා ඇති දරුවන් යොමුවූ විට විශේෂඥ වෛද්‍යවරුන් විසින් පරීක්ෂාවට ලක්කෙරෙන අතර, ඉන්පසුවදරුවන්ට අවශ්‍ය විශේෂ අධ්‍යාපන අවශ්‍යතා හඳුනාගැනේ. ඒ අනුව මෙම ආයතනයෙන්
1. ඉගෙනුම් දුබලතා( learning disabilities)
2. චර්යා සහ චිත්තවේගී ගැටලු (behavioral and emotional problems)
3. කථන භාෂා සහ සන්නිවේදන දුබලතා (speech language and communication disabilities)
4. මස්තිෂ්ක ආඝාතය(cerebral palsy)
5. ශ්‍රවණ ඌනතා (hearing impairment)
6. දෘෂ්ඨි ඌනතා ( visual impairment)
7. බහුවිධ දුබලතා ( multiple disabilities)
8. වර්ධන ප්‍රමාදය ( developmental delay)
9. ඔටිසම් ( autism)
10. ඩවුන්ස් සහලක්ෂණය ( down’s syndrome)
11. බුද්ධිමය දුබලතා ( intellectual disabilities)
ආදී තත්ත්වයන්ට මුහුණදෙන දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාදෙනු ලබයි. මේ සඳහා විශේෂ පුහුණුව ලත් භෞතික චිකිත්සකවරයන්, කථන හා භාෂා චිකිත්සකවරයන්, උපදේශකවරයන් හා කාර්යමණ්ඩලයක් සේවා සපයයි.
මෙම ආයතනයට යොමු කෙරෙන දරුවන්ට ලබාදෙන සේවාවල විශේෂත්වය වන්නේ මේ ආකාරයෙන් පවත්වාගෙන යන ආයතනවල මෙන් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ සෞන්දර්යාත්මක හැකියා පමණක් වර්ධනය කිරීමෙන් නොනැවතී ඔවුන්ට ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය හැකියාව හා පුරුද්ද ලබාදීමය. විශේෂයෙන් මෙවන් දරුවෙකු සිටින පවුලක දෙමාපියන් තම දරුවන් වයසින් වැඩෙත්ම අනාගතයේ යම් දිනක ඔවුන් තනිව කටයුතු කරගන්නේ කෙසේද යන ප්රශ්නය ඇතිව තැවෙනු දැකගත හැකිය.
එම ප්‍රශ්නයට යම් සහනයක් එක් කරමින් මෙම දරුවන්ට ඇති හැකියාවන් හඳුනාගෙන ඒවායෙන් තනිව නැගී සිටීමට අතහිත දීමක්ද මෙම ආයතනයෙන් සිදු කෙරේ. උදාහරණ ලෙස මෙම ආයතනය තුළ දරුවන්ගේ ජීවන කුසලතා වර්ධනය කිරීම වෙනුවෙන් නිවසක ආකෘතියකට සැකසූ පන්ති කාමර යොදාගනී. මේ අනුව නිවසේ ඇඳ සකස් කිරීම, තමන්ගේ ඇදුම් වැඩිහිටියන්ගේ උපකාරයෙන් තොරව ඇඳගැනීමට, කෙටි ආහාරයක් සකසාගැනීමට, පිළිවෙළකට කාමරය තබාගැනීමට ආදී හැකියාවන් පුහුණු කරනු ලබයි.
තවද ඉන් නොනැවතී මෙම දරුවන්ට වෘත්තීයමය මට්ටමේ පුහුණුවක් ලබාදෙමින් ඔවුන් තවදුරටත් දෙමාපියන් මත, සමාජය මත, රජය මත යැපෙන්නන් නොවන, තමාගේ හැකියාවන්ගෙන් මුදලක් ඉපැයිය හැකි, සමාජයට බරක් නොවන පුරවැසියන් පිරිසක් බවට පත්කරනු ලබයි. සැබැවින්ම මෙරට ජීවත්වන විශේෂ අවශ්‍යතා ඇතිව ඉපදෙන්නන්ට යැපීමට මුදල් ආධාර ලබාදෙනවාට වඩා ඔවුන් රටට බරක් නොවන පිරිසක් බවට පත්කිරීම වෙනුවෙන් රජයක් විසින් සිදුකළ යුතුව ඇත්තේ කුමක්ද යන්න පිළිබඳ හොඳ නිදර්ශනයක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන මෙම ආයතනය මගින් ලබා දී ඇතිබව නොකිවමනාය.
ආයතන ප්‍රධානී ලුතිනන් කර්නල් ප්‍රසන්න හෙට්ටිආරච්චි
සෙනෙහස ආයතනය අනෝමා ෆොන්සේකා මැතිනියගේ සංකල්පයක් අනුව යුද්ධයේ තීරණාත්මක කාලය තුළ රණවිරුවන් මුහුණදුන් ගැටලුවලට, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් එක්ක ඔවුන්ට උරුම වූ කඳුළු කතාවලට නිමාවක් තබන්න එතුමිය මැදිහත්ව ගත් වැඩසැලැස්මක් ලෙස හඳුන්වාදෙන්න පුළුවන්. යුද හමුදා දරුවන් මූලික කරගෙන මෙය ආරම්භ කළා.
පසුව එතුමිය තීරණය කළා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ දරුවන්ටත්, පොලීසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්ගේ මෙන්ම සිවිල් පුරවැසියන්ගේ දරුවන්ටත් සේවය සැපයීමට මෙය විවෘත කරන්නට. ඒ අනුව දැන් රට පුරා සිටින සියලුම විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට සේවා සැපයිය හැකි ආකාරයට මේ ආයතනය සකස්වී තිබෙනවා. දරුවෙකුගේ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා හඳුනාගැනීම සඳහාසිටින විශේෂ අධ්‍යාපන සම්බන්ධීකාරකවරුන් ළමයා හඳුනාගැනීමෙන් පසු ඒ සඳහා මැදිහත්වන එකම ආයතනය ලෙස සෙනෙහස ආයතනය හඳුන්වාදිය හැකියි.
නිශ්චිතවම ළමයෙකු හඳුනාගැනීමට වැඩපිළිවෙළක්, දියුණු තාක්ෂණික ක්‍රමවේද අප සතුයි.ඒ අනුව ළමයාගේ අනාගතය දක්වා ළමයාව කෙසේ ගෙන යා යුතුද? කියන දේ ගැන අපි සැකැස්මක් සකස් කර දෙමාපියන්ට ලබාදීමක් සිදුකරනවා. අපි දරුවන්ට ලබාදෙන මේ සේවාවන් නොමිලයේ ලබාදීමක් සිදුකරනවා. ඒ වගේම රටේ විවිධ ප්‍රදේශවල අපි විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හඳුනාගැනීම වෙනුවෙන් කඳවුරු පවත්වනු ලැබුවා.
ඒ වගේම ලංකාවේ ඕනම ප්‍රදේශයක සිටින දෙමාපියෙකුට අපේ ආයතනයට ඇවිත් දරුවාට අවශ්‍ය භෞත චිකිත්සන සේවා, කථන චිකිත්සන සේවා ආදිය ලබාගැනීමට හා දරුවන්ට එම සේවා ලබාදීමට දෙමාපියන්ට පුහුණුව පවා ලබාගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ එක්කම මේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ දෙමාපියන් සන්තෝෂයෙන් අනාගතයේ යම් දවසක මියයන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට අපි උත්තර හොයනවා. මේ නිසා අපි මෙවැනි දරුවන්ට ස්වාධීනව කටයුතු කරන ආකාරය, ඔවුන් යැපෙන්නන් නොව ආයෝජකයන් බවට පත් කරන ආකාරය අපි සොයමින් පවතිනවා.
ඒ අනුව අපි මේ මධ්‍යස්ථානය තුළ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්, නැත්නම් ජීවිත කර්මාන්ත ශාලාවක් ආරම්භකරන්න බලාපොරොත්තු වෙනවා.ඒ කර්මාන්ත ශාලාව තුළ අපි ඒ ඒ හැකියාවන් අනුව එකම නිෂ්පාදනයක කොටස් අනුව දායකත්වය ලබාදෙන්නට ඔවුන්ට හැකිවන ආකාරයට කටයුතු සලස්වන්නට අදහස් කර තිබෙනවා. මේ නිෂ්පාදන අපි වෙළෙඳ පොළට යවලා ඒ ආදායම් ලබන තත්ත්වයට පත්කරන්නට කටයුතු සකස් කරනවා. ඒ අනුව මේ දරුවන්ටත් වැඩකරන්න, ඒ වැඩවලට සරිලන වැටුපක් ලබන්න හැකියාව ලැබෙනවා.
එයින් ඔවුන් කොන්කිරීම, වෙන්කිරීම වෙනුවට අනෙක් අය සමග එකට එක්ව ජීවත්වන පරිසරයක් නිර්මාණය කිරීමයි අපේ අපේක්ෂාව.දැනට අපට මේ කටයුතු සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සියලු මගපෙන්වීම් හා පහසුකම් සලස්වනවා. අපි රටක් විදිහට ඔටිසම් තත්ත්වයේ දරුවන් පිළිබඳ ගැටලුවකයි සිටින්නේ. මොකද දරුවන් හැට දෙනෙක් ඉපදෙනකොට එයින් එක් අයෙක් ඔටිසම් දරුවෙකු වීමේ අවදානමක අපි ඉන්නේ.මේ දරුවන්ට තිබෙන්නේ ආබාධිත තත්ත්වයක් නොවේ.
නමුත් ආබාධිත තත්ත්වයක් ලෙස සලකලා කටයුතු කරන නිසා පවුලෙන් කොන්වෙලා, අධ්යාපනයෙන්කොන්වෙලා, පාසල්වලින් ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් ඇතිවෙලා තිබෙන්නේ. ඇත්තටම ඔටිසම් තත්ත්වය අපි දකින්නේ පුද්ගල ස්වභාවයක් ලෙසයි. උස, මිටි, කළු, සුදු වගේ ස්වභාවයක් මේක. ඒ ස්වභාවයත් එක්ක සමාජය තුළට මේ දරුවන් කළමනාකරණය කර ගළපාගන්නේ කොහොමද කියන එකයි කළයුත්තේ.
ඒ අනුව ජාතික ඔටිසම් කළමනාකරණ වැඩසටහනක් පවත්වාගෙන යන්නේ අපේ ආයතනය තුළයි. මහාචාර්ය හේමමාලි පෙරේරා මැතිනිය, ස්වර්ණා විජේතුංග මැතිනිය, සමන්මලී සුමනසේන මැතිනිය ආදී ප්‍රධාන පෙළේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය රංජිත් ධනපාල මහතා, ආචාර්ය අනෝමා අල්විස් මහත්මිය ඇතුළු දැවැන්ත කණ්ඩායමක් එකතු වෙලා මේ කටයුතු මෙහෙයවමින් සිටිනවා.
ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු, ළමා මානසික විශේෂඥ වෛද්‍යවරු, භෞත චිකිත්සකවරු, කථන චිකිත්සකවරු, අධ්‍යාපන චිකිත්සකවරු ආදී කණ්ඩායමක් විසින් එකට එකතුවයි මෙහෙට එන ළමයෙකු ගැන තීරණ ගන්නේ. මේ ආයතනය ආරම්භ කරද්දිදරුවන් 4 දෙනයි හිටියේ. අද වෙද්දි අපේ සේවාවන් ලබන දරුවන් 1600කට අධිකයි. මේ කටයුතු මේ දක්වා අඛණ්ඩව සිදුකරගෙන යාමට මේ දක්වා පත්වූ යුද හමුදාපතිවරුන් හා ආරක්ෂක ලේකම්වරුන්සහයෝගය ලබා දී තිබෙනවා.
සෙනෙහස දෙමාපිය සංගමයේ සභාපතිනි - සන්ධ්‍යා කරුණාසේන
මේ ආයතනය තුළ සේවය ලබන දරුවන් විශේෂිත දක්ෂතාවන්ගෙන් යුතු නිසා වෘත්තීය පුහුණුවකින් පසු කර්මාන්ත ගම්මානයක් හදන්නට අපි සැලසුම් කළා. එහි සැලැස්ම සකස් කළෙත් දරුවෙකුගේ පියෙකු විසින්. ඒ අනුව මේ ගම්මානය හදන්න රුපියල් මිලියන පහළොවක් පමණ වැය වනු ඇති බවට අපේක්ෂා කර තිබෙනවා. ඉතින් මේ මුදල සොයාගන්න දෙමාපියන්ට ශක්තියක් නැහැ.
අපි කොහොමහරි මේ සංකල්පය ක්‍රියාත්මක කරන්න උත්සාහ ගනිමින් සිටියදී අපේ ආයතනයට මුල්ලේරියාව ප්‍රදේශයේ පිහිටා තිබුණු එවැනි ආයතනයක පුහුණුව ලැබූ දරුවෙකු ඇතුළු කරනු ලැබුවා. දැන් එම ආයතනය වසා දමා සමාජසේවා දෙපාර්තමේන්තුව විසින් පවරාගෙන ඇති බව වාර්තා වෙනවා. අපට මේ ආයතනයේ ගොඩනැගිලි ලබාගත හැකිනම් අපේ සංකල්පය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් ලැබෙනවා.
මොකද ඒ ආයතනය නිර්මාණය කරලා තිබෙන්නේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන්. ඉතින් අපට අලුතින් වියදම් කරලා තැනක් හදනවාට වඩා ඒ වෙනුවෙන් හදලා තිබෙන මේ ආයතනය ලබාගන්න තිබෙනවා නම් හොඳයි. නමුත් සමාජ සේවා දෙපාර්තමේන්තුව ඒ ආයතන පරිශ්‍රය ගණිකාවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනක් වෙනුවෙන් වෙන්කරන්නට යෝජනා කර ඇති බව වාර්තා වෙනවා.
අපේ දරුවන් වෙනුවෙන් සලකලා බලලා ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් සිදුකරන ආයෝජනයක් ලෙස සලකලා වෘත්තීය ගම්මානය ආරම්භ කරන්න මේ පරිශ්‍රය වෙන්කරගන්න ලැබෙනවා නම් අපි අතිශයෙන්ම සතුටු වෙනවා. මොකද මේකෙන් රජයට මෙන්ම සමාජයටම යැපෙන්නන් පිරිසක් වෙනුවට ආර්ථිකයට දායක වෙන දරුවන් පිරිසක් ගොඩනගන්නට හැකියාවක් ලැබෙනවා.
සෙනෙහස ආයතනයේ පළමු සිසුවියගේ මව
මගේ මහත්තයා යුද හමුදා සන්නද්ධ බළකායේ කෝප්රල්වරයෙකු ලෙස සේවය කළා. යුද්ධය පැවැති කාලයේ 2004 වර්ෂයේ මගේ පළමුවෙනි දරුවා බිහිවුණේ. දරුවා ඉපදුණු වෙලාවේ වෛද්‍යවරුන් කිව්වා දරුවා ආබාධිත තත්ත්වයෙන් ඉපදී ඇති බව. ඉන්පසු මම යන්න පුළුවන් හැම තැනකටම මගේ දරුවව අරන් ගියා. ඒ වෙද්දි මේ ආයතනය ආරම්භ වෙලා තිබුණෙ නැහැ. පසුව මේවගේ දරුවන් වෙනුවෙන් ආයතනයක් හදනවා කියලා දැනුම් දී තිබුණා.
ඒ වෙලාවේ මේ ආයතනය හදන්න ඉඩමක්වත් වෙන්කරලා තිබුණෙ නැහැ. අපි දරුවාගේ විස්තර කියලා ජායාරූප එක්ක අයදුම් පතක් යොමු කළා. දරුවාට අවුරුදු 03ක් වගේ වෙද්දී කැඳවීමක් ආවා මේ ගැන දැනුවත් කරන්න. මේ ආයතනය ආරම්භ කළාට පසු සතියේ දවස් පහක් මම දරුවාව මෙහෙට අරගෙන එනවා. මගේ දරුවා ගොඩක්ම දුර්වල දරුවෙක්.
නමුත් මේ ආයතනයට ආවට පස්සෙ පුද්ගලයන් හඳුනාගැනීමට පවා ඇයට හැකියාව ලැබුණා. ඇයට අවශ්‍ය චිකිත්සන කටයුතු මේ ආයතනයෙන් නොමිලයේ ලැබෙනවා. මේ ආයතනය ආරම්භ කරන්න කලින් අපි මේ සේවා ලබාගත්තේ මුදල් ගෙවලා. දැන් දරුවාගේ දියුණුවක් මම දකිනවා. ඒ අතින් විශාල සතුටක් මම මවක් ලෙස ලබනවා.
ඡායාරූප - සරසි නෙත්මිණි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd