ජගත් ආදිවාසී දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ආදිවාසී දින උත්සවය මහියංගණය දඹාන, කොටබකිණිය ආදිවාසී ගම්මානයේදී ඌව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ එම්.පී. ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (09දා) පැවැත්විණි.
දඹාන, රතුගල, වාකරේ, හෙනානිගල, දලුකාන හා පොල්ලබැද්ද යන ආදිවාසී ගම්මානවල සිට පැමිණි ආදිවාසීන් පෙරදා (08දා) පැවැති වරිග සභාවට සහභාගි වීමෙන් පසු මොරබැද්දේදී පැවැති උත්සව සභාවටද සහභාගි වූහ.
එහිදී අදහස් දැක්වූ ඌව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ එම්.පී. ජයසිංහ මහතා, ''සැමට සමානාත්මතාව ලබාදෙමින් පළාත සංවර්ධනය කිරීමේදී, ආදිවාසී උපාධිධාරී තරුණ තරුණියන් වෙතද ගුරු පත්වීම් ලබාදී ඔවුන් මෙම ප්‍රදේශයේම පාසල්වල සේවයට යොදවා දඹාන ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළට යොමුකිරීමට ලැබීම සතුටට කරුණක්.
'වැද්දා' යන්නෙහි අරුත 'විදීමට දක්ෂයා' යන්නයි. එම නිසා අපි ආදිවාසීන් සැලකිය යුත්තේ යම්කිසි ශිල්පයක් සම්බන්ධව විශේෂිත වූ දක්ෂතාවක් ඇති ජන කණ්ඩායමක් ලෙසයි.
මෙරටේ පැරණිම ඉතිහාසය තිබෙන්නේද මෙම ජනතාවටයි. දඹාන අපේ ජාතික උරුමයක් ලෙසින් සැලකීම අප හැමදෙනාගේම වගකීමක්. රටට විදේශ විනිමය ලබාගැනීම සඳහාත් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේදීත් දඹාන ප්‍රදේශය ආකර්ෂණීය ස්ථානයක් බවට පත්ව තිබෙනවා.
මින් ඉදිරියටද ආදිවාසීන් පිළිබඳ විශේෂ සැලකීමකින් අවධානය යොමුකරනවා. මෙම ආදිවාසී ජනතාවගේ අනන්‍යතාව රැකෙන පරිදි ඔවුන්ගේ අවශ්‍යතා හා ගැටලු පිළිබඳ සොයාබැලීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමටද පළාත් සභාව අවධානය යොමු කරනවා* යැයි පැවසීය.
මේ අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි, ඌව පළාත් සභා මන්ත්‍රී උපාලි සේනාරත්න, ඌව පළාත් ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් කේ.එම්.එස්. අබේසුන්දර, ආණ්ඩුකාරවරයාගේ ලේකම් එච්.එම්. සෝමතිලක හා මහියංගණය ශ්‍රීලනිප ආසන සංවිධායක කේ.පී. ගුණවර්ධන යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.