Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා
2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා
කර්මාන්ත හා කාර්මික ක්ෂේත්රයන් අද කෙතරම් දියුණු තත්ත්වයක පැවතියද එහි අතුරුඵල ලෙස සිදුවන පාරිසරික හානිවලට නිසි විසඳුමක් නොමැති නිසා මිනිසා අද ලක්ව ඇති අර්බුදයන් බොහෝය. ශ්‍රී ලංකාවටද පසුගිය කාලය තුළ මෙහි අනිටු විපාකයන්ගෙන් පීඩා විඳි අවස්ථා බෙහෝය.
මීට විසඳුමක් ලෙස පවතින පරිසර හිතකාමී තිරසාර නිෂ්පාදන ක්‍රියාවලියක අවශ්‍යතාව පිළිබඳ විග්‍රහයක් 'අද' වෙත ගෙන එන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිෂ්පාදන හා කර්මාන්ත ඉංජිනේරු අධ්‍යයනාංශයේ ආචාර්ය අසේල කුලතුංග මහතාය.
''17 වැනි සියවසේ සිදුවූ කාර්මික විප්ලවය මානව සංහතිය නව ගමන්මගක් නිර්මාණය කරන්නට සමත් වූ කරණයක්. මේ නිසා එතුවක් කාලයක් මිනිස් ශ්‍රමය, සත්ත්වයන්, මුහුදු සුළං, සහ ජලමාර්ග මත පදනම් වුණු ගමනාගමනය, කර්මාන්ත සහ කාර්මික යන ක්ෂේත්‍ර යන්ත්‍ර සූත්‍ර භාවිතයට ඒමත් සමග වඩා කාර්යක්ෂමව වගේම ගුණාත්මක ආකාරයට ක්රියාකරන්නට පටන් ගත්තා.
මීට අමතරව 20 වැනි සියවසේ 70 - 80 දශකවල සිදුවෙච්ච ගෝලීයකරණයේ පුළුල් වීම නිසා අලෙවිකරණය සහ ඒ ආශ්රිත ක්‍රියාදාමයන් තුන්වැනි ලෝකයේ රටවල් වෙත ව්‍යාප්ත වෙලා මිනිසාගේ පරිභෝජන රටාවන්ට ලොකු බලපෑමක් සිදුවුණා. මෙම බලපෑම නිසා සමස්ත ලෝකයේම භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදුවුණා.
විශේෂයෙන්ම තුන්වන ලෝකයේ රටවලින් අඩු වියදමෙන් අමුද්‍රව්‍ය, මානව සම්පත් ආදී නිෂ්පාදන කාර්යයන් සඳහා අවශ්‍ය සම්පත් අඩු මිලට ලබා ගැනීමට හැකි වීම නිසා නිෂ්පාදන ක්‍රියාවලි පහසුවෙන් හා කාර්යක්ෂමව කිරීමට හැකියාව ලැබුණා. මෙම ක්‍රියාවලිය අධිකව සිදුවීමත් සමග අපද්‍රව්‍ය එක්රැස් වීම හා බලශක්තිය භාවිත වීම අධිකව සිදුවෙන්න ගත්තා.
ඕනෑම නිෂ්පාදනයක් සිදුකරන්න මූලික වශයෙන් යෙදවුම් අවශ්‍ය වෙනවා. මූලික යෙදවුම් වශයෙන් නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය භාවිත කරද්දි සම්පත් හායනය වීමක් සිදුවෙනවා. ඒ නිසා නිෂ්පාදන ක්‍රියාවලියේදී මේ යෙදවුම් යම්කිසි පරිවර්තනීය ක්‍රියාදාමයකට ලක්කර එහි මූලිකාංග අගය වැඩිකිරීමක් සිදුකිරීම වැදගත් වෙනවා. මෙම අගය එකතු කිරීමේ ක්‍රියාවලියට අනෙකුත් යෙදවුම් වශයෙන්, ශක්තිය (විදුලි හා තාප), මිනිස් ශ්‍රමය, ජලය යනාදිය අවශ්‍ය වෙනවා.
නිෂ්පාදන ක්‍රියාවලියේ මූලිකාංග
සාමාන්‍යයෙන් නිෂ්පාදන ක්‍රියාවලියේදී භාණ්ඩ නිෂ්පාදනයට අමතරව, ඝන අපද්‍රව්‍ය (දිරාපත් වන අපද්‍රව්‍ය සහ පහසුවෙන් නොදිරන අපද්‍රව්‍ය), ද්‍රවමය අපද්‍රව්‍ය සහ වායු විමෝචනය යනාදී තුන් ආකාරයකින් අපද්‍රව්‍ය පරිසරයට නිකුත් කිරීමක් සිදුවෙනවා. මීට අමතරව, නිෂ්පාදන ක්‍රියාවලිය වෙනුවෙන් අධික ලෙස පාවිච්චියට ගන්න බලශක්තිය නිපදවීමේදී පරිසරයට විෂ වායූන් අධික ලෙස මුදා හැරෙනවා.
මේ විදියට නිෂ්පාදන ක්‍රියාවලියේදී කිහිප ආකාරයකින්ම පරිසරයට හානි වෙනවා. මේ ක්‍රියාදාමයන් සමහර අවස්ථාවල කර්මාන්ත ශාලා අවටත්, ඊට පරිබාහිර ප්‍රදේශයන්වලත් සිදුවෙනවා.
උදාහරණ විදියට නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්කාශනය කිරීමේදීත්, නිෂ්පාදනය සඳහා භාවිත කරන්න පෙර තාවකාලික වශයෙන් ගබඩා කර තිබීමේදීත්, ප්‍රවාහනයේදී හා බලශක්තිය නිෂ්පාදනයේදීත් සිදුවෙන පරිසර දූෂණය කර්මාන්ත ශාලාවට පරිබාහිරව සිදුවන පරිසර දූෂණය විදියටත්, නිෂ්පාදනයේදී සිදුවෙන දූෂණය හා අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීමේදී වගේම නිෂ්පාදිත උපකරණ හා භාණ්ඩ භාවිත කිරීමේදී සිදුවන පරිසරයට අහිතකර දේ කර්මාන්ත ශාලාව අවට සිදුවන පරිසර දූෂණය විදියටත් පෙන්වා දෙන්න පුළුවන්.
නිෂ්පාදන ක්‍රියාවලිය තුළ සිදුවන පරිසර බලපෑම්
කාර්මික විප්ලවයෙන් පස්සේ අධිකව සහ අඛණ්ඩව පරිසරයට මේ අයහපත් බලපෑම් ගැන ලෝක ප්‍රජාවගේ අවධානය 1970 දශකයේ සිට ක්‍රමක්‍රමයෙන් යොමුවුණා.
විශේෂයෙන්ම, හරිතාගාර ආචරණය නිසා සිදුවන කාලගුණික විපර්යාස, අපද්‍රව්‍ය අක්‍රමවත්ව බැහැර කිරීම නිසා සිදුවන පරිසර දූෂණය, ඛනිජ සම්පත් සඳහා අක්‍රමවත් භූමි කැණීම නිසා සිදුවන පාරිසරික බලපෑම් ආදී අහිතකර තත්ත්වයන්වලට විසඳුම් සොයන්න 1983දී එක්සත් ජාතීන්ගේ සංවිධානය නෝර්වේ රාජ්‍යයේ හිටපු අග්‍රාමාත්‍යවරියක වුණු 'ග්‍රෝ හාර්ලෙම් බ්රූට්ලන්ඩ්'ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළා.
එම කමිටුව විසින් 1987 වසරේදී ඉදිරිපත් කරපු 'අපගේ පොදු අනාගතය' (Our Common Future) හෙවත් 'බ්රූට්ලන්ඩ් වාර්තාව' මගින් තමයි මුල්වරට තිරසර සංවර්ධනය කියන සංකල්පය හඳුන්වා දුන්නේ.
ඒ තිරසාර සංවර්ධන සංකල්පයේ මූලික පරමාර්ථය බවට පත්වුණේ ආර්ථික හා සමාජයීය සංවර්ධනය, අවම පාරිසරික බලපෑමක් යටතේ අනාගත පරම්පරාවන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට බාධාවක් නොවන ආකාරයෙන් සිදුකිරීම.
ඒ අනුව සංවර්ධන ක්‍රියාවලියේදී අතීතයේ සැලකිල්ලට ගත් ආර්ථිකමය අභිලාෂයන්ට අමතරව නිෂ්පාදන ක්‍රියාවලිය පාරිසරික සහ සමාජයීය දිශානති ඔස්සේත් විමසීමකට ලක්කරලා පවතින අහිතකර ප්රතිඵලයන් හඳුනා ගෙන ඒවා අවම වන ආකාරයෙන් සිදුකිරීම තිරසාර නිෂ්පාදන ක්‍රියාවලිය ලෙස අර්ථ දක්වන්න පුළුවන්.
මේ නිෂ්පාදන කාර්යයන්වල ආර්ථික අභිලාෂයන් විදියට නිෂ්පාදන පිරිවැය අවම කිරීම, ව්‍යාපාර දියුණුව, රැකියා අවස්ථා ජනනය කිරීම ආදිය සැලකිය හැකියි.
පාරිසරික අභිලාෂයන් විදියට දේශගුණික විපර්යාසයන් කෙරෙහි වන බලපෑම අවම කිරීම, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සහ අසීමිත සම්පත් පරිභෝජනය අවම කිරීම, සමාජයීය අභිලාෂයන් විදියට යටිතල පහසුකම් දියුණු කිරීම, අයිතිවාසිකම් සුරැකීම, සහජීවනය වර්ධනය කිරීම, සමාජ සමානාත්මතාව වර්ධනය කිරීම සහ අධ්‍යාපන හා සෞඛ්‍ය සේවාවන්ගේ උන්නතිය සැලකිය හැකියි.
ඒ අනුව විශේෂයෙන්ම යම් ව්‍යාපෘතියකින් හරි සංවර්ධන ක්‍රියාවලියකින් හරි තිරසාර සංවර්ධනයේ මූලිකාංග සපුරන්න නම්, ඒ ව්‍යාපෘතියේ පමණක් නොවයි, සමස්ත සමාජයේම ආර්ථික, සමාජයීය සහ පාරිසරික උන්නතිය පිළිබඳ අවධානය යොමුකිරීම වැදගත් වෙනවා.
මේ වෙනුවෙන් නිර්මාණශීලීත්වය, අධ්‍යාපනය, නිසි පුහුණුව හා නවෝත්පාදන ක්‍රියාදාමයන් භාවිත කරන්න අවශ්‍යයි. මෙම ක්‍රියාවලිය ආර්ථික, පරිසර සහ සමාජ යන අංශවල තෙවැදෑරුම් ප්‍රතිපත්තියක් මත පදනම් වෙනවා.
තිරසාර සංවර්ධනයේ තෙවැදෑරුම් ප්‍රතිපත්තිය
මෙම තෙවැදෑරුම් ක්‍රියාදාමය, නිෂ්පාදන ක්‍රියාවලි, ඒ සඳහා බැඳී ඇති නිෂ්පාදන පද්ධති හා නිෂ්පාදනය වන භාණ්ඩ අතර, අන්තර් සමායෝජනයක්.
ඒ කියන්නේ භාණ්ඩ නිෂ්පාදනය සඳහා උපයෝගී කරගන්න යන්ත්රසූත්ර, උපකරණ, ගොඩනැගිලි, පරිගණක හා මානව සම්පත ආදියෙන් සමන්විත වූ පද්ධතියත්, ඒවා උපයෝගී කරගෙන සිදුකරන නිෂ්පාදන ක්‍රියාවලිත්, ප්‍රතිඵලය වන භාණ්ඩයද අතර වන අන්තර් සම්බන්ධතාව අවබෝධ කර ගනිමින් ආර්ථිකමය, පාරිසරික හා සමාජයීය වටිනාකමකින් යුතු නිෂ්පාදන ක්‍රියාවලියක් පවත්වා ගැනීම මේකෙදි අරමුණු කර ගන්නවා.
තිරසාර සංවර්ධනයේ පදනම
තිරසාර සංවර්ධන මූලධර්ම සමාජගත වුණාට පස්සෙ කෘෂිකර්මාන්ත, ප්‍රවාහන, නිවාස, වත්කම් හා කළමනාකරණය, නිෂ්පාදන, සමාගම් සහ ව්‍යාපාර, වාස්තු විද්‍යා සහ සැලසුම්, ඉදිකිරීම් සහ ගොඩනැගිලි සහ බලශක්ති ආදී විවිධ ක්ෂේත්රවලට තිරසාර සංවර්ධන මූලධර්ම යොමුවුණා.
තිරසාර සංවර්ධන සංකල්පය විවිධ ක්ෂේත්‍ර වෙත ව්‍යාප්ත වීම
මෙම ප්‍රවණතාව 21 වැනි සියවසේ මුල් භාගයේ ඉඳලා නිෂ්පාදන ක්ෂේත්රය වෙත ව්‍යාප්ත වුණා. ඒකට මූලික වශයෙන් බලපෑවේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ සිදුවන අධික පාරිසරික බලපෑම.
එක් එක් යුගවලදී නිෂ්පාදන ක්‍රියාවලිය තුළ සිදුවූ වෙනස්කම්
කාර්මික විප්ලවයට පෙර තිබූ ගෘහාශ්‍රිත කර්මාන්ත ශාලාවල නිෂ්පාදනයේ ඉඳලා කාර්මික විප්ලවයේ ප්‍රතිඵල වශයෙන් සහ පසුකාලීනව සිදුවූ ගෝලීයකරණයේ බලපෑම මත මහා පරිමාණ නිෂ්පාදන ක්‍රියාවලියත්, ඉන්පසු පෞද්ගලික තෝරාගැනීම් ඔස්සේ පාරිභෝගික අවශ්‍යතා මත නම්‍යශීලී නිෂ්පාදන ක්‍රියාවලිය ඉඳලා මේ දශකය වෙනකොට ඒ සියල්ල තිරසාර නිෂ්පාදනය කරා යොමුවීම සිදුවෙලා තිබෙනවා.
තිරසාර සංවර්ධන සංකල්පය නිසා නිෂ්පාදන පාර්ශ්වකරුවන්ගේ වටිනාකම ශීඝ්‍රව ඉහළ යනවා. මේ ක්‍රමය ඉදිරි අනාගතයටත් විකාශනය වීමෙන් මේ දක්වා තිබුණු සෙසු නිෂ්පාදන ක්‍රියාමාර්ගවලට වඩා වැඩි හොඳ ප්‍රතිඵල ළඟාකර ගත හැකි වෙනවා කියලා එක්සත් ජනපදයේ කෙන්ටාකි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අයි. එස්. ජවාහීර් විසින් සිදු කරන ලද සාර්ථක පර්යේෂණ ගණනාවකින්ම ඔප්පු වුණා.
තිරසාර නිෂ්පාදන ක්‍රියාවලියේ විකාශනය (ජවාහීර්, 2010)
තිරසාර නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් මූලික කරුණු තුනක් මත පදනම් වෙලා තියෙනවා. එනම් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩය, නිෂ්පාදන ක්‍රියාවලිය සහ ඒ හා බැඳී පවතින නිෂ්පාදන පද්ධතිය වශයෙන්.
මෙහිදී භාණ්ඩය සැලසුම් කිරීමේ ක්‍රියාවලිය තුළ ධරණීය නිෂ්පාදන හා සංවර්ධන මූලධර්ම පිළිබඳව සැලකිලිමත් වීම, නිෂ්පාදන ක්‍රියාවලියක් තෝරා ගැනීමේදී ඉහත නිෂ්පාදන පද්ධති (ගබඩා කිරීම, සැපයුම් දාම, ප්‍රවාහනය, මිනිස් ශ්‍රම කණ්ඩායම් සම්පාදනය) යනාදිය ගැන සැලකිලිමත් වීම මගින් තිරසාර නිෂ්පාදන අරමුණුවලට පහසුවෙන් ළඟාවෙන්න පුළුවන්.
ධරණීය සංවර්ධන මූලධර්ම අනුව සිදුවන නිෂ්පාදන ක්‍රියාවලිය
තිරසාර සංවර්ධනය ළඟාකර ගනිද්දි නිෂ්පාදන ක්‍රියාවලි පරිසර හිතකාමී ක්‍රියාවලි බවට පත්කිරීම ඉතා වැදගත්. එහිදී යම්කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කරද්දි එයින් පරිසරයට ඍජුව හෝ වක්‍රව සිදු වන හානි පිළිබඳ සොයා බැලිය යුතුය.
ඒ සඳහා යොදාගත හැකි නවීනතම සහ විශ්වසනීයම ක්‍රමවේදය වෙන්නේ ජීවන චක්‍ර විශ්ලේෂණය. එයින් යම් නිෂ්පාදනයක පූර්ව නිෂ්පාදන, නිෂ්පාදන භාවිත කිරීම සහ භාවිතයෙන් පසු බැහැර කිරීම යන පියවර හතර තුළදීම සිදුවන පාරිසරික බලපෑම ප්‍රමාණාත්මක, ගුණාත්මක යන දෙයාකාරයටම ලබාදෙනවා වගේම, එම ප්‍රතිඵල මත පදනම් කරගෙන පවතින පරිසර හානිය අවම කිරීමට පියවර ගන්න පුළුවන්.
තවදුරටත් ජීවන චක්‍ර විශ්ලේෂණය මගින් ලැබෙන තොරතුරු ආශ්රයෙන් පරිසර හිතකාමී සැලසුම්, පරිසර හිතකාමී නවොත්පාදන සඳහා යොමුවීමේ හැකියාව පවතිනවා.
ජීවන චක්‍ර විශ්ලේෂණය කියන ක්‍රියාවලිය තුළ මුලින්ම නිෂ්පාදන ක්‍රියාවලියේ සමස්ත ජීවන චක්‍රය විශ්ලේෂණය කිරීමක් සිදුකරනවා. ඒකෙන් ලැබෙන ප්‍රතිඵල අනුව නිෂ්පාදන ක්‍රියාවලියේ පවතින සුවිශේෂී පාරිසරික බලපෑම් නිසි විමර්ශනය කිරීමක් සිදුකරනවා. ඒ විමර්ශනය මගින් නිෂ්පාදන ක්‍රියාවලියේ කුමන පියවර තුළදී අධික පාරිසරික බලපෑමක් සිදුවන්නේ දැයි සොයා බලන්න පුළුවන්.
පාරිසරික සුවිශේෂී බලපෑම් තත්ත්වයන් විමර්ශනය කිරීමෙන් පසු නිෂ්පාදන ක්‍රියාවලිය පරිසර හිතකාමී බවට පත්කිරීමට ක්‍රියාමාර්ග ගැනෙනවා. එහිදී නිෂ්පාදන ක්‍රියාවලියේ එක් පියවරක් විතරක් පරිසර හිතකාමී බවත් පත්කරනවා නම්, ඒක යළි සැලසුම් කිරීම හෙවත් පරිසර හිතකාමී සැලසුම් කිරීම ලෙස හඳුන්වනවා.
සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියම පරිසර හිතකාමී නවෝත්පාදනයක් බවට පත්කරනවා නම්, ඒක පරිසර හිතකාමී නවෝත්පාදනය වශයෙන්ද හඳුන්වනවා. නිෂ්පාදන ක්‍රියාවලිය තුළ තියෙන පාරිසරික බලපෑමේ තත්ත්වය හා ප්‍රමාණය අනුව මේ ක්රියාමාර්ගයන්ගෙන් කුමන ක්‍රියාමාර්ගය අනුගමනය කරන්නේදැයි සොයා බලනවා.
එමෙන්ම නිෂ්පාදන ක්‍රියාවලියේ පාරිසරික බලපෑම් අවම කර එය පරිසර හිතකාමී බවට පත්කිරීමට භාවිත කරන විවිධ උපක්‍රම අතර තිරසාර අමුද්‍රව්‍ය භාවිත කිරීම, ප්‍රතිචක්‍රීකරණය සහ පරිසර හිතකාමී බලශක්තිය භාවිත කිරීම උදාහරණ වශයෙන් දැක්විය හැකියි.
නිෂ්පාදන ක්‍රියාවලියේ ජීවන චක්‍ර විශ්ලේෂණය තුළ පාරිසරික අංශය පමණක් නොවෙයි තිරසාර සංවර්ධන සංකල්පයේ අනෙකුත් කුලුනු වන ආර්ථික හා සමාජ අංශ පිළිබඳවද විශ්ලේෂණයන් කරනවා. මෙම පාරිසරික, ආර්ථික සහ සමාජ යන සියලු අංශයන් එකවර ජීවන චක්‍ර විශ්ලේෂණයට ලක්කිරීම අපහසු වන නිසා මෙම අංශයන් වෙන්වෙන් වශයෙන් ජීවන චක්‍ර විශ්ලේෂණය කිරීම සිදුවෙනවා.
නිෂ්පාදන ක්‍රියාවලියේ ආර්ථිකමය තත්ත්වය අධ්‍යයනය කිරීමට ජීවන චක්‍ර පිරිවැය විශ්ලේෂණ ක්‍රමවේදය යොදා ගැනීමේදී යම්කිසි භාණ්ඩයක් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමේ පිරිවැය, නිෂ්පාදන ක්‍රියාවලියේ පිරිවැය, භාණ්ඩ බෙදා හැරීමේ පිරිවැය, පරිභෝජනයේදී සිදුවන පිරිවැය සහ පරිභෝජනයෙන් පසු ඉවත් කිරීමේදී සිදුවන පිරිවැය පිළිබඳව විශ්ලේෂණය කරනවා.
මූලික වශයෙන් මෙහි අරමුණ වෙන්නෙ පිරිවැය අධික ක්‍රියාවලීන් මෙන්ම අනවශ්‍ය පිරිවැයක් ජනනය කරන ක්‍රියාවලීන් හඳුනාගෙන, ඒවා ප්රශස්ත මට්ටමකට ගෙන ඒමයි.
ඒ වගේම සමාජයීය බලපෑම අධ්‍යයනය කිරීමේදී එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන විසින් ඉදිරිපත් කර ඇති සමාජයීය ජීවන චක්‍ර විශ්ලේෂණ ක්‍රමවේදය යොදා ගත හැකියි. එමගින් නිෂ්පාදන ක්‍රියාවලියේ පාර්ශ්වකරුවන් වන ශ්‍රමිකයන්, පාරිභෝගිකයන්, ස්ථානීය ප්‍රජාව, සමාජය සහ අගය දාම ක්‍රියාකරුවන් මගින් සහ ඔවුන් කෙරෙහි වන බලපෑම විධිමත් ලෙස අධ්‍යයනය කෙරෙනවා. මෙවැනි අධ්‍යයනයක් හරහා හඳුනා ගන්නා තොරතුරු අනුව කර්මාන්තයක සමාජයීය සාධක එහි තිරසර සංවර්ධනය කෙරෙහි යොමුකළ හැකි වෙනවා.
එමෙන්ම පාරිසරික, සමාජයීය මෙන්ම ආර්ථිකමය තත්ත්වයන් කෙරෙහි බලපාන තාක්ෂණික තත්ත්ව පරීක්ෂා කර බැලීම සඳහා තාක්ෂණික අවශ්‍යතා අධ්‍යයනයක්ද සිදුකරන්න පුළුවන්.
නිෂ්පාදන ක්ෂේත්රය තුළ සිදුවන නවෝත්පාදනයන් තිරසාර නිෂ්පාදන ක්‍රියාවලියට විශාල පිටුවහලක් සපයනවා. නවෝත්පාදන පදනම් කරගත් තිරසාර නිෂ්පාදනය මගින් විවිධ අංශ අර්ථ දැක්වෙනවා.
එනම්, තිරසාර බව නවෝත්පාදනය සඳහා මග පෙන්වන බවත්, නිෂ්පාදනයේ වැඩිවීම නවෝත්පාදනයන් මගින් වැඩි කරන බවත්, සමාජයීය යහපැවැත්මේ සහ මූල්‍ය උත්පාදනයෙහි යාන්ත්‍රණය වන්නේ නිෂ්පාදනය වන බවත්, සමාජයීය යහ පැවැත්ම සහ ආර්ථික දියුණුව අධ්‍යාපනයෙහි සහ පුහුණුවෙහි ගුණාත්මක බව හා මට්ටම මත වැඩි වශයෙන් රඳා පවතින බවත් පෙනී යනවා.
තිරසාර නිෂ්පාදනකරණයේ පවතින තාක්ෂණික අභියෝග සහ අවස්ථා පෙන්වා දෙන්න පුළුවන්,
තිරසාර නිෂ්පාදන සඳහා අවශ්‍ය වන නව අමුද්‍රව්‍ය නිපදවීමේ තාක්ෂණය - තිරසර නිෂ්පාදනයන් සූක්ෂම පරිදි කළ හැකි ලෙස වන නව අමුද්‍රව්‍ය නිපදවීමේ තාක්ෂණය
තිරසාර නිෂ්පාදන නවෝත්පාදනය ඇතුළු නිෂ්පාදන සැලසුම්කරණය සඳහා වන තිරසාර නිෂ්පාදන පරිමාණයන් භාවිතය
තිරසාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය නිෂ්පාදන ක්‍රියාවලි නවෝත්පාදනය - පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලි සංවර්ධනය කිරීම.
නිදසුනක් ලෙස විෂ ද්‍රව්‍ය, උපද්‍රව ආදියෙන් තොර ආරක්ෂිත හා සුරක්ෂිත තාක්ෂණික ක්‍රම, ලෝහ වැඩ සඳහා භාවිත කරන ද්‍රව, රසායනික ද්‍රව්‍ය, ශක්ති පරිභෝජනය, ජලය හා වෙනත් සම්පත්වල අවම භාවිතය.
සැපයුම් හා අගය දාම ක්රියාවලිවල නවෝත්පාදනය සහ නිර්මාණය, තිරසාර බව, තිරසාර සැපයුම් දාම ක්‍රියාවලීන්, නිෂ්පාදනය සඳහා වන තිරසාර ගුණාත්මක පද්ධති සඳහා ඒකාබද්ධ නිෂ්පාදන ක්‍රම, පද්ධති භාවිතය
තිරසාර නිෂ්පාදනය සඳහා ආර්ථික විශ්ලේෂණය හා ව්‍යාපාර අවස්ථා ඇති කිරීම - තිරසාර නිෂ්පාදන හා ක්‍රියාවලි සඳහා ව්‍යාපාර ආර්ථික තත්ත්වය හා වෙළෙඳ පොළ උපායමාර්ග
තිරසර නිෂ්පාදනකරණයෙහි සුරක්ෂිත බව, මහජන ක්‍රියාමාර්ග සහ රෙගුලාසි, සෞඛ්‍ය හා සම්බන්ධ ගැටලු
අධ්‍යාපන සහ පුහුණු අවස්ථා ඇතිකිරීම
දැනට සිදුකර ගෙන යනු ලබන නිෂ්පාදන ක්‍රියාවලි තිරසාර නිෂ්පාදනයන් වෙත යොමු කිරීමට ප්‍රථමයෙන්ම ඒවා කොතෙක් දුරට තිරසාරව පවත්වා ගෙන යන්නේදැයි විශ්ලේෂණය කළ යුතු වෙනවා. ඒ සඳහා යම් කර්මාන්ත ශාලාවක තිරසාර බව තහවුරු කර ගැනීම සඳහා විවිධ වූ ක්රමෝපායන් විවිධ පර්යේෂකයන් සහ ආයතන විසින් මෑත කාලයේදී හඳුන්වාදී තිබෙනවා.
ඒ අතර රසායනික ඉංජිනේරුවරුන්ගේ ආයතනය, ගෝලීය වාර්තාකරණයේ මූලාරම්භය සඳහා වන රාමුව, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන වැඩසටහන වැනි ආයතන සහ ක්රමෝපායන් විසින් හඳුන්වා දුන් දැනට භාවිතයට ගන්නා ජනප්‍රිය ක්‍රමවේදයන් ලෙස පෙන්වා දෙන්න පුළුවන්.
මේ සෑම ක්‍රමවේදයක්ම නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම පියවරකම ආර්ථික, පාරිසරික සහ සමාජයීය බලපෑම් තුන් වර්ගය කෙරෙහිම අවධානය යොමුකර තිබෙනවා.
නමුත් එම ක්‍රමවේද භාවිතයෙන් තිරසාර නිෂ්පාදනයන් සිදුකිරීමේ ගැඹුරු අධ්‍යයනයන් වෙත යොමුවීම අපහසු වන නිසා ඒ සඳහා ප්‍රධාන වශයෙන් කලින් සඳහන් කළ ජීවන චක්‍ර විශ්ලේෂණ ක්‍රමය පදනම් කරගන්න පුළුවන්.
ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ රටක නිෂ්පාදන ක්‍රියාවලියක තිරසාරත්වය මැන බැලීමට සහ වර්ධනය කර ගැනීමට සුදුසු ක්‍රමවේදයක් සොයා ගැනීමේදී වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරන්න පුළුවන්.
එනම් නිෂ්පාදන ක්‍රියාවලියක තිරසාරත්වය මැන බැලීමට සහ වර්ධනය කර ගැනීමට සැලසුම් කිරීමේදී භාණ්ඩය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය, නිෂ්පාදනය කරන ආකාරය, නිෂ්පාදනයෙන් පසු භාණ්ඩය භාවිත කරන ආකාරය සහ භාවිතයෙන් පසු බැහැර කිරීම යන අවස්ථා සියල්ල තිරසාර සංවර්ධනය කෙරෙහි බලපෑම අධ්‍යයනය කර ඒ අනුව භාණ්ඩය සැලසුම් කිරීමයි.
මෙම ක්‍රමය වඩාත් යෝග්‍ය වන්නේ නව භාණ්ඩයක් වෙළෙඳ පොළට හඳුන්වා දෙන අවස්ථාවකදීයි. ඒත් දැනට නිෂ්පාදනය කරමින් පවතින භාණ්ඩයක නිෂ්පාදනයේ තිරසාර බව ළඟා කරගන්න නම් නිෂ්පාදනය කිරීම සඳහා අමුද්‍රව්‍ය ලබාගැනීම, ඒවා ගබඩා කර තබාගැනීම, පෙර සැකසුම් කිරීම, කර්මාන්ත ශාලාව තුළ සිදුවන නිෂ්පාදන ක්‍රියාවලිය, පසුව භාණ්ඩය බෙදා හැරීම ආදිය ගැන අවධානය යොමුකරන්න වෙනවා.
නමුත් ලංකාවේ කර්මාන්ත ශාලා තුළ නිෂ්පාදනය වන භාණ්ඩ බොහොමයක් සැලසුම් කිරීමේ පියවර තුළ තිරසාර නිෂ්පාදන බිහිකිරීම සඳහා වන අවධානය මඳ බවකින් යුක්තයි. ලංකාවේ නිෂ්පාදනය කරන ගොඩක් භාණ්ඩවල සැලසුම් කිරීමේ කාර්යය සිදුවන්නේ විදේශ රටවලදී. එම භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සහ තාක්ෂණය ගොඩක් වෙලාවට ලැබෙන්න පිට රටවලින්.
ඒ නිසා ලංකාවේ කර්මාන්ත ක්ෂේත්රය තුළ තිරසාර නිෂ්පාදනයන් සිදුකරන ආකාරය සහ ඒ ක්‍රියාවලියේ වෙනසක් අනාගතයේ අවශ්‍ය වෙනවා.
තිරසාර නිෂ්පාදන ක්‍රියාවලිය යම් යම් මට්ටම්වලින් ලංකාව තුළ 2008 වර්ෂයේ සිට ක්‍රියාත්මක වූ මේ සඳහා යොමු වීමේ වඩා ස්ථිරසාර ක්‍රියාමාර්ගයක් වශයෙන් තිරසාර නිෂ්පාදන ක්‍රම පිළිබඳ අධ්‍යයනය සහ පර්යේෂණයන් සිදුකිරීමේ අරමුණින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිෂ්පාදන හා කර්මාන්ත ඉංජිනේරු විද්‍යා දෙපාර්තමේන්තුව මගින් පිරිනමන උපාධි පාඨමාලාවෙහි විෂය මාලාවට තුළට තිරසාර නිෂ්පාදන ක්‍රමවේදයන් අන්තර්ගත කිරීම දැනට වසර කිහිපයකට පෙර සිදුවුණා.
එහි ප්‍රධාන අරමුණ වෙන්නේ නිෂ්පාදන සහ කර්මාන්ත ඉංජිනේරු උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන්ට තිරසාර නිෂ්පාදන ක්‍රමවේද පිළිබඳව දැනුවත් බව ලබාදීම හරහා ලංකාවේ කර්මාන්ත හා නිෂ්පාදන ක්ෂේත්රය තිරසාර බවට පත්කරවීමයි.
ඉංජිනේරු උපාධි පාඨමාලාව හඳුන්වා දීම සඳහා එක්සත් ජනපදයේ කෙන්ටාකි විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය ෆස්ලිනා බදුර්ධීන් මහත්මිය සහ ඒ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අයි.එස්. ජවාහීර් මහතාගෙන් ලැබුණු දායකත්වය අගය කළ යුතු වෙනවා.
කොහොම වුණත් තිරසාර නිෂ්පාදන ක්‍රමවේදයන් සහ එහි තාක්ෂණය සමාජගත කිරීම, අධ්‍යාපනය ලබාදීම තුළින්ම සිදුකිරීම අපහසුයි. ඒ නිසා තිරසාර සංවර්ධන සහ තිරසාර නිෂ්පාදන සංකල්පයන් වඩාත් ප්‍රායෝගිකව ගැළපෙන ආකාරයට හඳුනා ගන්න අපි ක්‍රියාමාර්ගයන් අරගෙන තිබෙනවා.
දැනට අපේ මූලිකත්වයෙන් විශ්වවිද්‍යාල පර්යේෂණ අරමුදල, ජාතික පර්යේෂණ සභාව ආදියේ මූල්‍යමය හා වෙනත් පහසුකම් යටතේ තිරසාර නිෂ්පාදන ක්‍රමවේද දේශීය කර්මාන්ත ක්ෂේත්රයට යොදා ගැනීම පිළිබද පර්යේෂණ සිදුකරනවා.
ජාතික පර්යේෂණ සභාවේ මූල්‍ය සහ වෙනත් පර්යේෂණ පහසුකම් සහිතව දේශීය සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තවල වත්මන් නිෂ්පාදන ක්‍රියාවලිය තිරසාර බවට පත්කරන්න පර්යේෂණ හා අධ්‍යයන කටයුතු සිදුකරනවා.
ඒ පර්යේෂණ දේශීය අමුද්‍රව්‍ය මත වඩාත් පදනම්ව නිෂ්පාදන කටයුතු සිදු කරන උළු, පිඟන් මැටි, දේශීය තේ, දේශීය වැනි නිෂ්පාදන ක්ෂේත්‍ර කිහිපයක් තෝරා ගෙන තිබෙනවා. ඒ අනුව එම කර්මාන්තයන්ගේ දැනට සිදුකරන නිෂ්පාදනයන් සඳහා සුදුසු තිරසාර සැලසුම් ක්‍රම, තිරසාර නිෂ්පාදන තාක්ෂණික ක්‍රම යනාදිය හඳුන්වා දීමේ කාර්යයන් මේ වනවිට සිදුකරමින් පවතිනවා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ආධාර මත අපි කරන පර්යේෂණය දේශීය පාරම්පරික කර්මාන්තයක් වන පිත්තල කර්මාන්තය සඳහා සිදුකරනවා.
ඒ අනුව පාරම්පරික පිත්තල කර්මාන්තය තුළ තිරසාර නිෂ්පාදනයන් බිහිකිරීමට අපි සිදුකරන පර්යේෂණවලින් ලැබෙන ප්‍රතිඵල අනුව තිරසාර නිෂ්පාදන සැලසුම්, තාක්ෂණික උපකරණ හා ක්‍රමවේද පිළිබඳ දැනුවත්භාවය හා නිපුණතාව පිත්තල කර්මාන්තයේ නිරත ශිල්පීන්ට ලබාදීමට වැඩමුළු පැවැත්වීම මේ වනවිට සිදුකර තිබෙනවා.
කෙසේ වුවත් දේශීය කර්මාන්ත පිළිබඳව කටයුතු කරන විවිධ රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය ඉහළ යාම අත්‍යවශ්‍ය වෙනවා. අපි සිදුකළ පර්යේෂණ මගින් ලැබුණු ප්‍රතිඵල ලෝකයේ සුප්‍රසිද්ධ පර්යේෂණ සමුළුවලදී ප්‍රකාශයට පත්කළා. එමගින් අපේ රටට විශාල කීර්තියක් ලැබිලා තියෙනවා.
ආචාර්ය අසේල කේ. කුලතුංග,
නිෂ්පාදන හා කර්මාන්ත ඉංජිනේරු අධ්‍යනාංශය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd