Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා
2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා
යාපනයේ ගොවීන් හරිම ශක්තිමත්ය. කඩිසරය. ස්වෝත්සාහයෙන් වැඩකටයුතු කරන ජන කොට්ඨාසයකි. ඔවුන්ට වයස් භේදයක් පවා නැත්තේය. යාපනයේ තරුණියන්ට මෙන්ම වයසින් මෝරා ගිය කාන්තාවන්ට හා පිරිමින්ට තවමත් සිතේ ශක්තිය මෙන්ම ගතේ ශක්තියද ඇති බව එයින් මැනවින් පසක් වේ. වගාබිමිවල සිටි ගොවීන්ගෙන් බහුතරයක් වයසින් හා අත්දැකීමෙන් මුහුකුරා ගිය අයයි. ඔවුන් ලංකාවේ අනෙකුත් සෙසු ගොවීන් මෙන් නොව, නව කාල රාමුවක් යටතේ වර්ෂය පුරාම අස්වැන්න නෙළා ගැනීමට හැකිවන පරිදි භෝග වගා කරයි.
යුද්ධයෙන් බොහෝ පිරිමින් මියයෑම නිසා යාපනයේ වගාකටයුතුවලට වැඩි දායකත්වයක් දක්වන්නේ යාපනයේ කාන්තාවන් විසිනි. නිවසේ කටයුතු හමාර කර ඔවුන් වගාබිම් වෙත පැමිණ සිය කටයුතු ආරම්භ කරයි. යාපනය භෝගයට සෞම්‍ය වුවත් මිනිසුන්ට නම් කර්කෂ දේශගුණයක් සහිත ප්රදේශයකි. දැඩි හිරු රශ්මියෙන් පීඩා විඳිමින් දහඩිය වගුරා ඔවුන් වගාකටයුතු සිදුකරන්නේ හරි හැටි ජලය ලබා ගැනීමේ පහසුකමක්වත් නොමැතිවය. නමුත් සෑම වගා භූමියකම වගාළිඳක් අනිවාර්යයෙන් තිබීම දැකගත හැකිය.
ඔවුන්ට රජයෙන් කියා ලැබෙන්නේ පොහොර සහනාධාරය පමණි. නමුත් එය වගාවන් සඳහා කිසිවිටකත් ප්‍රමාණවත් නොවන බව ඔවුන්ගේ මතයයි. මේ නිසා ඔවුන් තම වගා සඳහා කාබනික පොහොර බහුලව යොදා ගනියි. ඔවුන් පස සකස් කිරීමේ සිට එළවළු වගා කර ඵලදාව නෙළා ගැනීම දක්වා මේ ක්‍රියාමාර්ග අනුගමනය කරයි. ඔවුන් %සනෙල්^ නම්වලින් හඳුන්වන පැළෑටි වගාකර භෝග වගා කිරීමට මත්තෙන් පසේ පෝෂණය සඳහා පසට එක්කරයි. එමගින් පස සාරවත් කරගන්නා ඔවුන් තල, මුං, අමුමිරිස්, මාළුමිරිස්, වැටකොළු, ලූනු, බණ්ඩක්කා, වට්ටක්කා, ගෝවා, තක්කාලි ආදී සෑම දෙයක්ම වගා කරන්නේ කිසිදු කම්මැළිකමකින් තොරවය. එහිදී පසේ තිබෙන විෂ උරා ගනිමින් කෘමි උවදුරුවලින් ශාකය ආරක්ෂා කිරීම සඳහා %උළුදු^ නම් ශාකය වගාව අතරතුර පැළ කරයි. ඔවුන් යම් හෙයකින් ඵලදාව වැඩිකර ගැනීමට, ඉක්මනින් ඵලදාව නෙළා ගැනීමට හෝ කෘමි උවදුරුවලින් බේරෙන්නට රසායනික පොහොර භාවිත කරනවා නම් ඒ ඉතාම අල්ප වශයෙනි. ඒ නිසා වස විසෙන් තොර රටක් හදන්නට යන අපට අපේ රටේ උතුරුකරය කදිම ආදර්ශයකි.
යාපනයේ ඵළවළුවලට ඉහළ ඉල්ලුමක් තිබෙන්නේ ඔවුන් නියමිත ප්‍රමිතියෙන් වගා කරන නිසාවෙනි. ඔවුන් දින 45න් නෙළා ගැනීමට තිබෙන අස්වැන්න නියමිත දිනය පැමිණෙන තුරු නෙළා ගන්නේ නැත. එමෙන්ම ඒවා සඳහා නිශ්චිත වගා ක්‍රමවේද ඔවුන් අනුගමනය කරයි. වගාවට හොඳින් සාත්තු කරයි. මේ නිසා හොඳ ඵලදාවක් නෙළා ගැනීමට ඔවුන්ට හැකිවීම අරුමයක් නොවේ. යාපනයේ සෑම ගොවියෙක් තුළම ඔවුන්ට ආවේණික වූ ප්‍රෞඪත්වයක් ගැබ්ව තිබේ. ඔවුන් එය ආරක්ෂා කර ගනිමින් ස්වකීය කෘෂිකාර්මික කටයුතු සිදුකරයි.
ඵලදාව නෙළා වෙළෙඳ පොළට දැමීමේදී ගොවියන්ට බොහෝ ගැටලුවලට මුහුණ දීමට සිදුවන්නේ මිල ප්රශ්නය නිසාවෙනි. බහුතරයක් ගොවීන් කාර්ගිල්ස් වෙත ස්වකීය එළවළු ලබාදෙන අතර, ඇතැමුන් කොළඹින් යන ලොරි මුදලාලිලාට එළවළු ලබාදීම සිදුකරයි. ඔවුන් රජයෙන් අනිවාර්යයෙන් ලැබිය යුතු දේවල් ලෙස කිසිවක් කිසිම විටකදීවත් අපේක්ෂා කර ඉල්ලීම් නොකරයි. ඔවුන් පවසන්නේ නිදහසේ තම ගොවිතැන් කටයුතු සිදුකිරීමට හොඳ වටපිටාවක් සකස් කර දෙන ලෙසයි. යුද්ධය නිසා කොළඹ සිටි ඇතැම් පිරිස්ද දැන් නැවත තමන්ගේ ගම්බිම්වලට පැමිණ ගොවිතැන් කටයුතු ආරම්භ කර තිබීම තවත් සතුටට කාරණයකි. යුද්ධයෙන් පසුව මුඩුබිමක්ව තිබූ යාපනය දැන් සරුසාර භූමියක් වී අවසානය. එහි කිසිවෙකුත් කාලය නාස්ති නොකරයි. ඔවුන්ට ලැබෙන සුළු වේලාවේ වුවද ඔවුන් වගා කටයුතුවල නියුතු වේ. ආදායම් මාර්ගයක් ලෙස නොවූවත් ඇතැම් පිරිස් දෛනික පරිභෝජනය සඳහාද එළවළු වගා කිරීම ඒ ප්‍රදේශයේ සුලබව දැකගත හැකිය.
ගුණරත්නම් කමල් යෝගේෂ්වරම්
චුන්නාකම් ව්‍යවසායක
සංගමයේ ලේකම්
&කෘෂි පර්යේෂණ ආයතනයට යවලා මේ භූමිය වගා කිරීමට සුදුසු පසක්ද යන්න ප්‍රථමයෙන් දැනගත්තට පස්සේ තමයි අපි වගා කිරීම ආරම්භ කරන්නේ. මම දැන් වගා කරන්න පටන්ගෙන අවුරුද්දක් විතර වෙනවා. එදා ඉඳන් අද වෙනකම් මම ලූනු, ගෝවා, මාළුමිරිස්, අමුමිරිස් වගේ දේවල් තමයි වගා කරන්නේ. මම අමුමිරිස් වගා කරන්නේ නොවැම්බර්, දෙසැම්බර් කාලවලට. ලූනු වගා කරන්නේ පින්න වැටෙන්නේ නැති කාලයට. මොකද පින්න වැටුණම ලූනු කුණු වෙන නිසා.
මගේ එළවළු ටික විකුණගන්න මට වැඩි ගැටලුවක් පැනනගින්නේ නැහැ. මේ වගා කරන හැම දෙයක්ම කාගිල්ස් එකට ගිහින් දෙනවා. ඔවුන්ගෙන් සහතික කළ මිලක් මට ලැබෙනවා. මට එහෙම ප්‍රශ්නයක් නැති වුණාට අනෙක් ගොවීන්ට මේක විශාල ගැටලුවක්. කාගිල්ස් එක රුපියල් 105කට මිලදී ගන්න එළවළු කිලෝ එක මාර්කට් එකේ මිලදී ගන්නේ රුපියල් 65ක් වගේ මිලකට. රජයෙන් සහනයකට කියලා ලැබෙන්නේ පොහොර සඳහා දෙන මුදල විතරයි.*
මම අවුරුදු 16 ඉඳලම ගොවිතැන කරපු කෙනෙක්. දැන් මට ලොකුවට ගොවිතැන් කරන්න හැකියාවක් නැහැ. මගේ අත් දෙක වගේම කකුල් දෙකටත් සැත්කම් කරලා තියෙන්නේ. ඒ නිසා මට යන්ත්‍ර සූත්‍රවලින් වැඩ කරන්න බැහැ. මගේ පුතා රස්සාවක් කරනවා. නමුත් ඔහුට ඔහුගේ දරුවන්ගේ වියදමට ප්‍රමාණවත් වැටුපක් හිමිවෙන්නේ නැති නිසා මම එළවළු වගා කරලා අතිරේක ආදායමක් උපයාදෙනවා. ගෙදර වියදම් ඔක්කොම කරන්නේ මේ හම්බවෙන මුදලින් තමයි. මේ වගා කරන භූමිය වුණත් ගෙදරක් හදන්න තියෙන ඉඩමක්. නමුත් ඒ හදනකම් මම වගා කරනවා. අපි මේ හැම භෝගයකටම දාන්නේ කාබනික පොහොර වර්ග. වගා කරන්න වතුර ගන්නේ ළිංවලින්. අපට ළිං දෙකක් තියෙනවා. වගාළිඳෙන් අපි එළවළුවලට වතුර දානවා. අනෙක් ළිඳෙන් තමයි ගෙදර පරිභෝජනයට වතුර ගන්නේ. දුෂ්කර වුණත් කාටවත් අපි අතපාන්නේ නැතිව ජීවත් වෙනවා.
මම මුලින්ම හිටියේ කොළඹ. නමුත් මේක අපේ ගම. ඒ නිසා ආපහු ඇවිත් සතුටෙන් පවුලේ අයත් එක්ක මෙහෙ ඉන්නවා. මගේ අයියලා ඔක්කොම විදේශගත වෙලා ඉන්නේ. අක්කා ගුරුවරියක්. මම විතරයි පවුලේ ගොවිතැන් කරන්නේ. ඔවුන්ගෙන් වුණත් මට විශාල සහයෝගයක් ඒ සඳහා ලැබෙනවා. මම යාපනයට ඇවිත් අවුරුදු 05ක වගේ කාලයක ඉඳලා තමයි වගා කටයුතු කරන්න පටන් ගත්තේ. අමුමිරිස්, තක්කාලි, බටු, ගෝවා, වැටකොළු වගේ එළවළු තමයි මේ කාලයේ වගා කරන්නේ. අපි මේ වගා කරන හැම එළවළුවක්ම කාගිල්ස් එකෙන් ගෙනියන නිසා අපට වෙළෙඳ පොළට දානකොට වගේ ලොකු පාඩුවක් වෙන්නේ නැහැ. අපි මෙහේ වැටකොළු හැදුවට ඒවා උයන්න දන්නේ නැහැ. නමුත් වෙන ප්‍රදේශවල ඉහළ ඉල්ලුමක් තිබෙන නිසා කාගිල්ස් එකෙන් අපිට වගා කරන්න කිව්වා.
හැම ගොවියෙකුටම තමන්ගේ වගා භූමිය තුළ ළිඳක් තිබෙනවා. අපි හැමෝම වගා කටයුතු සඳහා ජලය ලබාගන්නේ ළිංවලින්. සමහර දවස්වලට වැඩ කුලියට මිනිස්සු ගන්නවා. ඒ මිනිස්සු වුණත් කම්මැළි නැතිව වැඩ කරනවා. දවසකට ගැහැනු කෙනෙකුට රුපියල් 600ක්, පිරිමි කෙනෙකුට රුපියල් 800ක් වගේ මුදලක් දෙනවා. හැබැයි අව්ව වැඩි කාලෙට නම් වගා කටයුතු කරන්න ටිකක් අමාරුයි.*
අපි වගා කරන්නේ රතුලූනු. මාස දෙකකට වගේ සැරයක් ලූනු ඵලදාව නෙළාගන්න පුළුවන්. අපි අවුරුද්දට තුන්පාරක් ලූනු වගා කරනවා. ලූනු ගලවලා දින පහ හයක් වේලෙන්න තියලා තමයි අපි සුද්ධ කරලා විකුණන්නේ. කොළඹින් ලූනු ගෙනියන්න මුදලාලිලා එනවා. ඒගොල්ලන් වගා කරන තැනටම ඇවිත් ගෙනියනවා. යාපනයේ ලූනු කිලෝග්‍රෑම් එකක් සාමාන්‍යයෙන් රුපියල් 120ක් වගේ වෙනව.
යාපනයේ වගා කරන බහුවාර්ෂික භෝග ලෙස මිදී, කෙසෙල් හා අඹවලට ඇත්තේ ඉතාම ඉහළ ඉල්ලුමකි. එයිනුත් ආර්ථික භෝගයක් ලෙස මහා පරිමාණ වශයෙන් මිදි වගා කරන්නේ ශ්‍රී ලංකාවේ යාපනය අර්ධද්වීපය තුළ පමණක් වීම තවත් සුවිශේෂී කාරණයකි. පැළ සිටුවා අවුරුද්දෙන් ඵලදාව නෙළා ගැනීමට හැකි යාපනයේ මිදි වතුවලින් මාසයක් පාසා ඉතා හොඳ ඵලදාවක් නෙළාගත හැකිය. වර්ෂාව නැති කලට එතරම් ඇඹුලක් නොමැති මිදි යාපනයේ තිබෙන එක් ප්‍රාදේශික අනන්‍යතාවකි. එමෙන්ම මිදිවලට මෙන්ම මිදි වයින්වලටද යාපනය වැඩි ප්‍රසිද්ධියක් උසුලයි.
හුණුගල් දිගේ ගලා එන ජලය නිසා යාපනයේ ජලය වෙනත් ප්‍රදේශවල ජලයට වඩා වෙනස් රසයක් ගනියි. එකී වෙනස යාපනයේ සංචාරය කරන ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් යන දෙයකි. යාපනයේ කෙසෙල් රසින් වැඩි වීමට හේතුවක් ලෙස යාපනය වැසියන් දක්වන්නේ එම ජලයේ රසයයි. කන්කසන්තුරේ පැත්තට යන විට චුන්නාකම්, කෝපායි වැනි ප්‍රදේශවල යායට කෙසෙල් අක්කර ගණනින් වගාකර තිබීම දැකගත හැකිය. කෙසෙල් යනු ඕනෑම කාලයක් තුළ වගා කළ හැකි භෝගයක් නිසා වසරේ සෑම කාලයකදීම යාපනයේ කෙසෙල්වල හිඟයක් ඇති නොවේ. අච්චුවේලි, තින්නවේලි ආදී මාර්කට්වලට ගොවියෝ තම කෙසෙල් ගෙන ගොස් දෙන අතර, ඇතැමුන් කොළඹින් එන ලොරි සඳහා තොග වශයෙන් කෙසෙල් අලෙවි කරයි. ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් ගත නොහැකි යාපනයට පමණක් ආවේණික, එමෙන්ම වෙනස් වූ රසයෙන් යුත් යාපනයේ අනන්‍යතාවක් ලෙස මිදි, කෙසෙල් හා අඹ ආදී පලතුරු අපට හඳුනාගත හැකිය.
මිදි පැළ වගා කරලා අවුරුද්දක් වගේ කාලයකින් ඵලදාව ලබාගන්න පුළුවන්. ඊටපස්සේ මාසයෙන් මාසයට මිදි අස්වැන්න තිබෙනවා. වැස්ස කාලයට නම් මිදි ටිකක් ඇඹුල්. නමුත් හොඳට අව්ව තියෙන කාලයට මිදිවල වැඩි ඇඹුල් රහක් නැහැ. යාපනයේ මිදිවලට අපි කාබනික පොහොර විතරයි භාවිත කරන්නේ. ඒ නිසා වස විසක් නැහැ.
උතුරුකරය පිළිබඳ කතා කරන ඕනෑම කෙනෙක් තල් ගස් ගැන කතා කරන්නට කිසිවිටකත් අමතක නොකරයි. දකුණේ කප්රුක පොල් ගස මෙන්ම උතුරේ කප්රුක ලෙස තල් ගස අපට හඳුනා ගැනීමට පිළිවන. එය ජනජීවිතය හා සබැඳි සංස්කෘතික අනන්‍යතාවක් ලෙසින් හඳුනාගත හැකිය. අනෙක් අතින් එය ආර්ථික භෝග අතරින් ප්රමුඛස්ථානයක් ගනියි. තල් මුලේ සිට තල් කොළය දක්වා සෑමදෙයක් මගින්ම කුමන හෝ නිෂ්පාදනයක් සිදුකිරීමට යාපනයේ කාන්තාවන් මෙන්ම පිරිමින්ද සමත් වේ. ගස් යට වැටී තිබෙනා හරකුන් විසින් උලා කා අවසන් වූ තල් ගෙඩි ගෘහණියන් විසින් එක්රැස්කොට ගොඩගසා තබන්නේ එයට උඩින් පස් දමාය. වැසි කාලයේ ඒවා පැළවෙන අතර, තල් අල ලෙසින් විකුණන්නේ ඉන්පසුවය.
තල් කොළවලින් ගෘහණියන් ඇසුරුම් පෙට්ටි, මලු, වටාපත්, තොප්පි, හැඹිලි, පැදුරු, වට්ටි, ඉදිආප්ප වට්ටි, කූඩ ආදී විසිතුරු දේවල් බොහෝමයක් සිදුකරනු ලබයි. පොලිතින් මගින් සිදුවන අහිතකර පාරිසරික බලපෑම් නිසා තල් ආශ්රිත මෙවන් නිෂ්පාදන ඇත්තෙන්ම අප ප්‍රවර්ධනය කළ යුතුය. පොලිතින් තහනමත් සමග දේශීය දේ අගය කරමින් තල්මලු ලංකාව පුරා ව්‍යාප්ත කිරීමට අවශ්‍ය නම් හැකිය. එය යාපනයේ ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නගාසිටුවීමට මහත් පිටිවහලක් වන්නා සේම පරිසරයටද අහිතකර බලපෑමක් සිදුනොවේ.
එමෙන්ම තල් ආශ්රිත ආහාර සංස්කෘතියක්ද උතුරු පළාත තුළ ගොඩනැගී තිබේ. තල් දොදොල්, තල් කැවුම්, තල් පිනාටු, තල් බිස්කට්, තල් ජෑම්, තල් යෝගට්, තල් හකුරු, තල් පැණි, තල් බීම ආදී වශයෙන් රැසක් දැකගත හැකි අතර, ගසෙන් බාගත් තල් කුරුම්බා ඉතා රසවත් පානයකි.
තල් රා කැපීමත් යාපනයේ සංස්කෘතියේ කොටසකි. පොල් ගසක නගිනවාට වඩා තල් ගසක නැගීම පහසු කාර්යයක් නම් නොවේ. කර්කෂ බව ජන ජීවිතයේ සෑම තැනකම වෙළා පවතින බව පසක් කරමින් තල් ගස පවා සෑදී තිබේ. ඒ නිසා තල් රා කැපීම ප්‍රවේශමෙන් කළ යුතුය. උදෑසන හා සවස් කාලයේ පිරිමින් තල් ගස් නැග තල් රා කපයි. යාපනයේ තල් රා එකතු කරන මධ්‍යස්ථාන පිහිටා ඇති අතර, ඒ සමුපාකාර සමිතිවලින් ලබාගන්නා තල් රා බෝතල් කර ඔවුන් ගැනුම්කරුවන්ට ලබා දේ. මීට අමතරව තල් අරක්කු සහ තල් වයින්ද එයින් පිළියෙල කරනා අනෙකුත් නිෂ්පාදනයන්ය.
මෙම සමුපාකාර සමිති මගින් තල් ආශ්රිත නිෂ්පාදන කිරීම සඳහා ගෘහණියන්ට සහ පුරුෂ පාර්ශ්වයට වෘත්තීය පුහුණු වැඩසටහන්ද ක්‍රියාත්මක කෙරෙන අතර, ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය අනෙකුත් සේවාවන් සිදුකිරීමටත් මෙම සමිති බැඳී සිටියි.
මෙම පළාතේ නිවාස සෙවිලි කිරීමට වැඩි වශයෙන් බෝතල් කළ තල් රා යොදා ගන්නේ තල් කොළයි. එමෙන්ම වැටවල් වලින් වට වූ නිවෙස් යාපනය පුරාම දැකගත හැකිය.
අපේ ආයතනයෙන් සිදු කරන්නේ තල් ආශ්රිත නිෂ්පාදන සඳහා ග්‍රාමීය වශයෙන් අවශ්‍ය පහසුකම්, මාර්ගෝපදේශකත්වය ලබාදීමයි. ගෘහණියන්ට ස්වයං රැකියා සිදුකරන්න අවශ්‍ය පුහුණුව අපි ලබාදෙනවා. ඒ සකස් කළ නිෂ්පාදන විකුණාගැනීම සඳහා අවශ්‍ය වෙළෙඳ පොළ සකස් කරගැනීමට ඔවුන් අපේ සහයෝගය ලබාදෙනවා. ගොවීන්ගෙන් තල් වයින් සඳහා අපේ සමිතියෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගන්නවා විශ්වාසදායී මිල ගණන් යටතේ. ඒවා ඇසුරුම් කර ලේබල් ගසා අපි අලෙවි කරනවා. එසේම අපේ සමුපකාර සමිතියට බැඳී ඇති පිරිසට අපි විශේෂ සේවා රැසක් ඔවුන්ගේ ජන ජීවිතය සාර්ථක කරගන්න ලබාදෙනවා.ඒ තුළින් අපි බොහෝ දෙනාට වයස් භේදයකින් තොරව රැකියා අවස්ථා උදා කර දී තිබෙනවා.
දුම්කොළවල ලාංකේය ඉතිහාසය ලන්දේසි සමය දක්වා දිවයයි. ලන්දේසි යුගයේ මේ වගා කටයුතු සඳහා ඉදිකළ ආඬි ළිං අදටත් යාපනයේ නොයෙක් වගා භූමිවල දැකගත හැකිය. යාපනයේ සිට කන්කසන්තුරේ පාර දක්වා දිගටම දුම්කොළ යායට වගා කර තිබේ. ඒවා අව්වේ වියලාගත් පසු සුරුට්ටු නිෂ්පාදනයට හා බුලත් විට සඳහා දුම්කොළවලට විකුණන ගොවියන්ගේ මතය වන්නේ යාපනයේ මේ සඳහා ඉතා හොඳ ඉල්ලුමක් පවතින බවයි. නමුත් මත්ද්‍රව්‍යවල අහිතකර බලපෑම ඔස්සේ දුම්කොළ නිෂ්පාදකයන්ගෙන් වගාවේ ප්‍රමාණය මත බද්දක් අය කරගනියි. ඒ නිසා දුම්කොළ වගාව අද වනවිට යම් පමණින් සීමා වී තිබුණද මේ මගින් ඉහළ ලාභයක් ලබාගත හැකිබව ඔවුන්ගේ අදහසයි.
අවුරුද්දට එක පාරක් වගේ තමයි දුම්කොළ අපි වගා කරන්නේ. ජනවාරි වගේ වගා කළොත් ජුලි මාසය වගේ වෙනකොට කොළ කපන්න පුළුවන්. වගා කරන්න සීමාවක් කියලා නැහැ. නමුත් වගා කරන්න කරන්න අය කර ගන්න බදු ප්‍රමාණය වැඩියි. ඒත් ඒවායෙන් අපට ලොකු ලාභයක් උපයාගන්න පුළුවන්.
දුම්කොළ කපලා මුලින්ම වේලනවා. වේලපු දුම්කොළ ඒ ඒ නිෂ්පාදකයන් ඇවිත් අරන් යනවා. බොහෝ සුරුට්ටු හා බුලත්විටට දුම්කොළ ගන්න ප්‍රමාණය වැඩියි. යාපනයේ සුරුට්ටුවලට හොඳ ඉල්ලුමක් තිබෙනවා.
අර්ධද්වීපයක් වන යාපනයේ ආර්ථිකයට විශාල දායකත්වයක් මහා සමුද්‍රය නිසා ලබා ගැනීමට හැකිවෙයි. මේ නිසා මාළු, ඉස්සන්, පොකිරිස්සන්, දැල්ලන් වගේම කරවල සඳහා හොඳ ඉල්ලුමක් තිබේ. යාපනය කලපු ආශ්‍රිතව ඉස්සන් කොටු ඉතා සුලබව දැකගත හැකිය. කීරමින්, මඩු ආදී කරවල මාර්ගය දෙපස සකස් කළ වේලන බිම් තීරුවල ඉතා පිරිසුදුව වේලා සකස් කෙරේ. අද යාපනය තුළ ඒ සඳහා හොද වෙළෙඳ පොළක්ද ගොඩනැගෙමින් පවතියි.නමුත් යාපනයේ බොහෝ මිනිසුන් ධීවර කටයුතු කරන්නේ තවමත් සාම්ප්‍රදායික ක්‍රමවලටය. ඒ නිසා තරගකාරී වෙළෙඳ පොළට ඇතුළු වීමට ඔවුන්ට ඇති අවස්ථා සීමිතය.
සටහන හා ඡායාරූප - ෂෙහානි දිල්රුක්ෂිකා / සරසි නෙත්මිණි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd