සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට මේ වසර තුළ ඩෙංගු රෝගය නිසා මියගොස් තිබෙන්නේ ඩෙංගු වැලඳුණු ප්‍රමාණයෙන් සුළු ප්රතිශතයකි. එසේ බැලුවහොත් සෞඛ්‍ය ඇමැතිවරයාට එය ඉතාමත් සතුට දනවන කාරණයක් විය යුතුය. එහෙත් මේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඩෙංගු රෝගය කී දෙනෙකුට මේ වසර තුළ වැලඳී ඇත්දැයි ප්‍රකාශ කරන්නේ නැත.
සෞඛ්‍ය බලධාරීන් පෙන්වාදෙන ආකාරයට මේ වසරේ ගෙවීගිය දින 180ක කාලය තුළදී ඩෙංගු රෝගය වැලඳුණු කුඩා, බාල, මහලු පුද්ගලයන් 75,000කට අධික ප්‍රමාණයක් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබාගෙන තිබේ.
එහෙත් රජයේ වෛද්‍ය මධ්‍යස්ථාන, රෝහල්වලට වඩා වැඩි පෞද්ගලික අංශයේ රෝහල්ද ඇතුළුව පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවලින් ඩෙංගු රෝගය සඳහා කොපමණ පිරිසක් ප්‍රතිකාර ලබාගෙන ඇත්ද යන්න පිළිබඳ ගණනය වීමක් නැත.
ගෙවීගිය දින 180ක කාලය තුළ ඩෙංගු වැලඳුණු රෝගීන් 75,000කට අධික ප්‍රමාණයක් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබාගන්නා විට ඩෙංගු රෝගය නිසා ජීවිත 205ක් බිලිගෙන තිබෙන බව වාර්තා වේ.
මේ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන සුළු ප්‍රතිශතය සංඛ්‍යා ලේඛනයක් ලෙස ගෙන බැලුව හොත් මිය ගිය ප්‍රමාණය විශාල සංඛ්‍යාවකි.
ඩෙංගු උවදුර වර්තමාන ආණ්ඩු සමයේ ආරම්භ වූවක් නොවන බව සැබෑය. එහෙත් රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීම පත්වන සෑම ආණ්ඩුවකම ප්‍රධාන වගකීමකි. ගෙවීගිය දශකයක දෙකක කාලයක් ගතහොත් සිදුවූයේ ආණ්ඩුව නොහොත් පාලකයන් එම වගකීමෙන් කෙමෙන් කෙමෙන් ඈත් වීමයි. මේ නිසා ජනතාවට නිරපරාදේ මිය යන්නට සිදුව තිබේ.
ජනතාවට මේ ආකාරයට මියයන්නට සිදුව තිබෙන්නේ, රෝහල් නඩත්තුවට හා සෞඛ්‍ය අංශ නියෝජනය කරන සියලුම දෙනා නඩත්තු කිරීමට දිනපතා විශාල මුදලක් බදු මුදල් වශයෙන්ද ගෙවමිනි. නිදහස් සෞඛ්‍ය සේවාවක් ගැන දේශපාලඥයන් මහ ඉහළින් කෑමොර දුන්නද, ජනතාවගේ පැත්තෙන් බලන කල අප රට තුළ නිදහස් සෞඛ්‍ය සේවාවක් නොමැති බව නම් පැහැදිලිය.
මාරාන්තික ඩෙංගු රෝගය තුළින් ජීවිත බිලිගත්තත් එය මර්දනය කිරීමට දේශපාලඥයන් කටයුතු නොකරන්නේ මේ නිසාය. ඩෙංගු රෝගය මිනිස් ජීවිත බිලිගෙන මේ රට විශාලා මහ නුවරක් බවට පත්කරමින් තිබියදීත්, මේ රටේ පාලකයන් සිදුකරනු ලබන්නේ ඒ හරහා මුදලක් සොයාගැනීමට යාමය.
මේ නිසා ඩෙංගු යනු මෑත කාලීනව බිහි වූ ආණ්ඩුවලට හා වර්තමාන ආණ්ඩුවට හිඟන්නාගේ තුවාලය වැන්නකි.
නියපොත්තෙන් කපන්නට තිබූ දෑ පොරොවෙන් කපන්නට ගිය හොත් සිදුවන දේ අද ඩෙංගු උවදුරටද සිදුව තිබේ. එනම් ඩෙංගු රෝගය ජීවිත එක දෙක බිලිගන්නා අවස්ථාවේදී මෙය රට තුළින් තුරන් කිරීමට කටයුතු කළේ නම් දිනකට ජීවිතයක් දෙකක් බිලිගන්නා තත්ත්වයට ඩෙංගු රෝගය වර්ධනය වන්නේ නැත. ඒ තත්ත්වයට පත්වීම ඉතාමත් බරපතළ තත්ත්වයකි.
මේ නිසා ඩෙංගු මර්දන වැඩසටහන් කරන බව පවසමින් ගෙවීගිය කාලය පුරාම ඩෙංගු මර්දන එක්දින වැඩසටහන්, තුන් දින වැඩසටහන්, සති, මාස වශයෙන් ඩෙංගු මර්දන වැඩසටහන් රට තුළ ක්‍රියාත්මක විය.
එහෙත් ගෙවීගිය කාලය පුරාම සිදුකළ වැඩසටහන් මාධ්‍ය සංදර්ශනවලට පමණක් සීමා විය. මෙම වැඩසටහන් හරහා ඩෙංගු බෝ කිරීමට අවශ්‍ය පරිසරයන් තිබූ බව පවසමින් ජනතාවට දඩ පිට දඩ ගසන්නටත් පාලකයෝ කටයුතු කළහ.
මේ නිසා මෙතෙක් සිදුකළ කිසිදු වැඩසටහනකින් ඩෙංගු මදුරුවා රට තුළින් තුරන් කිරීමට හැකියාව ලැබුණේ නැත.
මීට අමතරව වර්තමානය වනවිට දෙහිවලින් ඩෙංගු පන්නමු, ජා ඇලින් ඩෙංගු පන්නමු වැනි දේශපාලන වැකි ඉදිරියට දමාගෙන තවත් ඩෙංගු මර්දන වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක වෙයි. මේ කටයුත්ත අඳුරේ අතපත ගෑමක් වැනිය. මන්දයත් එක දවසට කුමන හෝ ප්‍ර‘දේශයක ඩෙංගු මර්දන වැඩසටහන් කිරීම තුළින් ඩෙංගු උවදුර රටින් තුරන් කිරීමට නොහැකි නිසා සිදුවිය යුත්තේ ඩෙංගු මර්දනය කිරීම සඳහා රට තුළ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමයි.
ඒ සඳහා රටේ සියලුම දෙනා සහභාගි කරගත යුතු අතර, එම වැඩපිළිවෙළ ඩෙංගු තුරන් කරනතුරු ක්‍රියාවට තැන්විය යුතුය.
එහෙත් වර්තමාන ආණ්ඩුවේ පාලකයන්ට එවැනි අදහසක් තිබෙන ආකාරයක් දැනගන්නට නැත. වර්තමාන ආණ්ඩුවේ දැක්ම වී තිබෙන්නේ රාත්‍රියට දකින හීනය. දවල්ට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා හෝ පාර්ලිමේන්තුවට ගොස් ප්‍රකාශ කිරිමය.
රෑට දකින හීනය දවල්ට කීම යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා මීට ටික දිනකට පෙර සඳහන් කළේ ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදනය කර තිබෙන ඩෙංගු මර්දන බැක්ටීරියාවක් මෙරටට ගෙන එන බවයි. එහෙත් එම බැක්ටීරියාව තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින දෙයක් බවට තහවුරු කර තිබේ. මේ නිසා එම පරීක්ෂණ සාර්ථක වුවහොත් එය රටට ලැබෙන්නේ තවත් වසර හතරක් පහක් ගත වූ පසුවය.
මීට අමතරව ඩෙංගු මදුරුවාගේ කීට අවස්ථාව ආහාරයට ගන්නා ශාක භක්ෂක මදුරුවෙකු ගැන ප්‍රකාශයක් ද ඔහු සිදු කළේය. මෙවැනි මදුරුවකු රට තුළ සිටියා නම් ඩෙංගු උවදුර මෙතරම් දුරදිග යන්නේ නැත. මීට අමතරව මෙවැනි මදුරුවෙකු පිළිබඳ කීට විද්‍යා අංශය හෝ වෙනත් පර්යේෂණ ආයතනයකින් සොයාගත් බවට ප්‍රසිද්ධ වූයේ නැත. මේ නිසා සෞඛ්‍ය අමාත්‍යවරයා සිදු කරන්නේ විහිළුවක්ද යන්න රට හමුවේ තිබෙන ප්රශ්නයකි.
සෞඛ්‍ය ඇමතිවරයා මෙරටේ ජනතාවගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ ඉහළින්ම වගකිවයුතු පුද්ගලයාය. රෝග මර්දනයට මුල් තැන දෙනවා සේම රෝගී ජීවිත සුරක්ෂිත කිරීම සඳහාත් මූලිකව කටයුතු කළ යුත්තේ සෞඛ්‍යය භාර දේශපාලඥයාය.
එහෙත් අද දවස වනවිට රෝග මර්දනය කිරීමේ දේශපාලන නායකත්වය හෝ සෞඛ්‍ය ඇමැතිවරයා විසින් ගෙන නැත. අඩුම තරමින් රෝගී තත්ත්වයට පත්ව රෝහලකට යන ජනතාවට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය මූලික පහසුකම් හෝ ලබා දී තිබේද යන්න ගැටලුවකි. සෞඛ්‍ය අමාත්‍යවරයා තම යුතුකම ඉෂ්ට කළේ නම්, රෝහල් ඇඳන් උඩ රෝගීන් දෙතුන් දෙනා සිටින්නට හැකියාවක් නැත.
මීට අමතරව රට තුළ ඖෂධ හිඟ බවට සෞඛ්‍ය වෘත්තීය සමිතිවලට මාධ්‍ය සාකච්ඡා පවත්වා ප්‍රකාශ කරන්නට සිදුවන්නේ නැත. දිනෙන් දින ඩෙංගු උවදුර රටේ ජනතාවගේ ජීවිත බිලිගත්තද රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කරන ඖෂධ දින 03කට පමණක් පසුගිය මාසයේදී සීමා වී තිබිණි.
ජාතියේ වාසනාවකට හෝ මෙම තත්ත්වය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයෙකුට වාර්තා වී තිබිණි. මේ පිළිබඳ බලධාරීන් දැනුවත් කළද එයට ප්‍රතිකාර නොමැති තැන ඔවුහු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඒ ගැන රටට හෙළි කළහ.
මේ නිසා කලබලයට පත් සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු බලධාරීහු දින 03ක් තුළ අදාළ ඖෂධ රටට ගෙන්වන බවට පොරොන්දුවක් ලබාදුන්හ. මෙම සිද්ධිය හරහා අපට පැහැදිලි වන්නේ සෞඛ්‍ය බලධාරීන් හා සෞඛ්‍ය අමාත්‍යවරයා තම වගකීම් පැහැරහැර ඇති ආකාරයයි.
ඕනෑම දෙයක් මාධ්‍යයෙන් දකින්නට පුරුදු වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ජනතාව ඩෙංගු උවදුරට ලක්වෙමින් තිබෙන බවට සඳහන් මාධ්‍ය වාර්තාවක් දැක තිබෙන ආකාරයක්ද දක්නට ලැබෙන්නේ නැත.
ඩෙංගු උවදුර ගැන දන්නා ආණ්ඩුවේ දේශපාලඥයන් පවා ඩෙංගු උවදුර ගැන ඇසූ විට දෙන්නේ, යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරය. සෞඛ්‍ය ඇමැතිවරයාත් පසුගියදා එවැනි උත්තරයක් දුන්නේය.
ඔහුගේ අදහසට අනුව ඩෙංගු උවදුර ඉහළ ගොස් තිබෙන්නේ රට සංවර්ධනය වීම නිසාය. එසේ නම් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට ඩෙංගු මර්දනය කිරීමට නම් රටේ සංවර්ධනය නවත්වා දැමිය යුතුය. ජනතාව බැහැර කරන කැළි කසළ කළමනාකරණය කිරීමට නොහැකිව තිබෙන ආණ්ඩුවේ සංවර්ධනය ගැන ජනතාව හොඳටම දනිති.
අද වනවිට දේශපාලඥයන් ඩෙංගු ගැන සැහැල්ලුවෙන් කතා කරන්නේ, ඔවුන්ගේ නිවසට හෝ වත්තට ඩෙංගු මදුරුවෙකු හෝ සුළඟේ පාවෙන කුරුළු පිහාටුවක්වත් නොවැටෙන බව දන්නා නිසාය.
ඔවුන්ගේ ජීවිත එතරම් සුඛෝපභෝගීය. මේ නිසා ඔවුන්ට ඩෙංගු උවදුර ගැන බියක් නැත. යම් හෙයකින් උණක් හෙම්බිරිස්සාවක් වැලඳුණත් බියට පත්වන්නට කරාණා නැත. ඒ ජනතා මුදලින් සිංගප්පූරුවේ හෝ ඇමෙරිකාවේ රෝහලකින් ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව ඇති හෙයිනි. මේ නිසා සෞඛ්‍ය ඇමතිවරයාට හෝ වෙනත් දේශපාලඥයන්ට ඩෙංගු මර්දනය කිරීමට අවශ්‍යතාවක් නැත.
සෞඛ්‍ය ඇමැතිවරයාට ඩෙංගු උවදුර මර්දනය කිරිමට අවශ්‍යතාවක් තිබුණා නම් ඩෙංගු රෝගීන් වෙනුවෙන් රෝහලක් හදන්නට කතා කරන්නේද නැත. ඩෙංගු රෝහලක් හදන්නට කතා කිරීමට තුළින් පැහැදිලි වන්නේ ඩෙංගු මර්දනය කිරීමට උවමනාවක් වර්තමාන ආණ්ඩුවට නොමැති බව නොවේද?
රෝහලක් ඉදිකිරීම සඳහා ආසන්න වශයෙන් වසර තුන හතරක් ගත වෙයි. මේ නිසා සිදුකළ යුතු වන්නේ සතියක් දෙකක් සියලුම දෙනාම එකට එකතු වී ඩෙංගු උවදුර රටින් තුරන් කිරීමට කටයුතු කිරීමය.
මෙම කටයුත්ත ජනතාවට, රාජ්‍ය නිලධාරීන්ට හෝ ත්‍රිවිධ හමුදාවට තනිව කළ නොහැක. මේ නිසා ආණ්ඩුව මෙම කටයුත්තට නායකත්වය ලබාදිය යුතුය. විද්වතුන් සමග එක්ව ඊට අදාළ සැලසුම් සකස් කළ යුත්තේ ආණ්ඩුව විසිනි. එම වගකීම පැහැර හරින තාක්කල් මේ රටේ ඩෙංගු ගැන කතා කිරීමට සිදුවනු ඇත.
තේරුම්ගත යුත්තේ මෙම යථාර්ථයයි. මේ රටේ දේශපාලන නායකයන් සියලු දෙනාම ජනතාව විසින් පත් කර ජනතා මුදලින් නඩත්තු කරනු ලබන්නේ තමන්ගේ ජීවිත සුරක්ෂිත කරගැනීම සඳහාය. මේ නිසා ජනතා මුදලින් නඩත්තු වන දේශපාලඥයන් එම වගකීම ඉටු කරනවාද යන්න පිළිබඳව තම තමන්ගේ හදවතට තට්ටු කර සොයා බැලිය යුතුය.