ගමනක් යෑමට මාර්ගයට පිවිසෙන ඕනෑම පුද්ගලයෙකුට තම ගමන ඉක්මනින් යෑමට අවශ්‍ය නම්, කුලී රථයක් ගෙන්වා ගැනීම වර්තමානයේ මෙරට පුද්ගලයන්ට පුරුද්දක් වී තිබේ. බස් රථවල තෙරපී, පැය ගණන් වැයකරනවාට වඩා ඊට පොඩි මුදලක් එකතු කර කුලී රථයක් හෙවත් 'ටැක්සියක්' ගෙන්වා ගැනීමට මිනිසුන් පෙළඹෙන්නේ පොදු ප්‍රවාහනයේ ඇති යම් යම් දුර්වලතා නිසාය. ලංකාවේ කොළඹ අවට තදාසන්න ප්‍රදේශවලත් මෙම තත්ත්වය නිරන්තරයෙන් දැකිය හැකිය. එබැවින් දුප්පත්, පොහොසත් භේදයකින් තොරව කොයි කවුරුත් කුලීරථවල ගමන්බිමන් යෑමට දැන් පුරුදු වී හමාරය. මෙහි ප්‍රගතියට සමානව ඒ ආශ්රිත දීර්ඝකාලීන සහ කෙටිකාලීන වශයෙන් විවිධ ගැටලුවලට දැන් මුහුණපෑමට සිදුවන්නේ එහි ව්‍යාප්තියේ පුළුල් බවත් සමගිනි.
මිනිසා නොයෙක් නව නිපැයුම් මගින් තමන්ගේ දෛනික කටයුතු පහසුකර ගැනීමට නිරන්තරයෙන් ගවේෂණශීලී වේ. මේ නිසා මිනිසාගේ ව්‍යවහාරික අවශ්‍යතා ඉතා අඩු කාලයකින් නිමා කිරීමට නවීන තාක්ෂණය හමුවේ ඔවුන් සමත් වී හමාරය. අප බක්කි කරත්තයෙන් ගමන් කර, අතීතයේ සිට පරිණාමය වී අද වනවිට පොදු ප්‍රවාහන ක්‍රමවේදයෙන් මඳක් ඈත්ව කුලී රථ සේවා සඳහා යොමුවීමේ ප්‍රවණතාවක් පවතී. මිනිසුන් පහසුව හා ඉක්මන සොයන්නේ වර්තමානයේ පොදු ප්‍රවාහනයේ පවතින දුර්වලතා නිසාය. එබැවින් අද වනවිට ලංකාව තුළ කුලී රථ සේවාව වටා පාරිභෝගිකයන් විශාල ප්‍රමාණයක් රැඳී සිටීම අනිවාර්යයෙන් සිදුවන්නකි.
අද වනවිට ශ්‍රී ලාංකිකයන්ට කුලී රථ නැතුවම බැරිවී හමාරය. ඒ සඳහා බලපානු ලබන කාරණා කිහිපයකි.
පොදු ප්‍රවාහනයේ ඇති ගැටලු සහගත බව
ලංකාවේ පොදු ප්‍රවාහනය රාජ්‍ය සහ පෞද්ගලික මට්ටමින් ක්‍රියාත්මක වන අතර, මෙහි නොයෙක් දුර්වලතා නිසා මගීහු විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙති. විශේෂයෙන්ම එම රථවල ප්‍රමාණයට වඩා මගීන් රැගෙන යෑමේදී බොහෝ අපහසුතා ඇතිවිය හැකිය. ඇතැම් අවස්ථාවන්හිදී උදෑසන කාර්යාලයට, සම්මුඛ පරීක්ෂණයකට හෝ ඉතා වැදගත් කාර්යයක් සඳහා මෙලෙස තෙරපෙමින්, පොඩිවෙමින් බස් රථවල ගමන් කළ නොහැකිය.
ඇතැම් බස් රථ ගමනේ වේලාවට වඩා බොහෝ වේලාවක් නිකරුණේ බස් නැවතුම්පොළවල නවතා තැබීමෙන් අනවශ්‍ය කාලය කාදැමීමක් සිදුකරයි. එයින් වැයවන මිනිත්තුව වුවද බස් රථයේ බොහෝ පුද්ගලයන්ට ඉතා වටිනවා විය හැකිය. බොහෝ විට බස් රථවල ගමන් ගන්නේ නොයෙක් සමාජ තරාතිරම් සහ නොයෙක් සමාජ පන්ති නියෝජනය කරන මිනිසුන්ය. ඒ නිසා ඇතැම් විට යම් මගියෙකු හෝ පිරිසක් විසින් එම බස් රථයේ ගමන් ගන්නා මගීන්ට හිරිහැරයක් වන අයුරින් හැසිරෙන අවස්ථාද නැතුවාම නොවේ. විිශේෂයෙන් කාන්තාවන්ට සිදුවන හිරිහැරද ඒ අතර අදාල වේ. මේ නිසා අද වනවිට කුලී රථ භාවිතයේ වර්ධනයක් දැකිය හැකිය.
අප විසින් කුලී රථ වශයෙන් මීටර් ත්‍රිරෝද රථ, රික්ෂෝ, කැබ්, මිනිකැබ් හා කුලී බස් රථ ආදිය හඳුනා ගනු ලැබේ. අතීතයේ 'ට්රෑම් රථ' සුලබව භාවිත කළද, වර්තමානයේදී මෙම කුලී රථවලින් බහුලව භාවිත වන්නේ ත්‍රිරෝද රථ සේවයයි. මීටර් සවිකළ ත්‍රිරෝද රථ මගින් මිනිසුන් ගමන්බිමන් යෑමට ප්‍රවේසම් වන්නේ ස්ථාවර මිලක සිට තම ගමන පහසුවෙන් යෑමටය. 1978 වර්ෂයේ සිට නොනවත්වාම ත්‍රිරෝද රථ මෙරටට ගෙන් වුවද, මේ වනතෙක් ඒවා නියාමනය හෝ පාලනය කිරීමට රජය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. නමුත් 2018 අයවැය යෝජනා මගින් වාහන ගෙන්වීම පාලනය කිරීම සඳහා කාබන් බද්ද, ඩීසල් ත්‍රිරෝද රථ හැකි තරම් අවම කිරීම වැනි යෝජනා කිරීම් එක් අතකින් ඒවා පාලනය උදෙසා ගත් ක්‍රියාවකි. එය නියාමනය මෙන්ම පරිසර හානිය අවම කිරීමටත් ඉදිරිපත් කළ යහපත් යෝජනාවකි. නමුත් ඉන් ත්‍රිරෝද රථ හිමියන්ට විකල්ප හඳුන්වා දිය යුතු අතර, නැතහොත් ගැටලුව තවත් උග්‍ර වනු නොඅනුමානය.
කිසියම් දෙයක අවශ්‍යතාවේ ප්‍රමාණත්මක අගයක් දළ වශයෙන් ප්‍රකාශ හැකි අතර, එකී ප්‍රමාණය ඉක්මවා ගිය පසු එම ක්ෂේත්‍ර පිළිබඳ සමාජ, ආර්ථික, අන්තර්ජාතික ආදී නොයෙක් අංශයන්ගෙන් ගැටලු ඇතිවීම නොවැ‘ළක්විය හැකි කරුණකි. ප්‍රතිපත්ති හැකි ඉක්මනින් ක්‍රියාවට නංවා මීටර් ක්‍රමය සෑම ත්‍රිරෝද රථයකම ක්‍රියාත්මක කළ යුතුය. එවිට මෙම ගැටලුව යම්තාක් දුරකට පාලනය කළ හැකිය. නැතහොත් අභිමත ගණන් යටතේ කුලිය අයකර ගන්නා ත්‍රිරෝද රථ හිමියා අබියස අපහසුතාවට පත්වන්නේ පාරිභෝගිකයාය.
ලංකාවේ කුලී රථ ක්රමයේ වර්ධනයත් සමග ත්‍රිරෝද රථ පමණක් නොව ඉන් පසුව මෝටර් රථ, කැබ්ස්, කුලී බස් රථ ආදිය බිහිවන්නට විය. එයට සාපේක්ෂව ලංකාවේ විවිධ කුලී රථ මෙහෙයවන සමාගම් ආරම්භ වූ අතර, එමගින් නොයෙක් වාසි යටතේ පාරිභෝගිකයන්ට තම සේවාව භුක්ති විඳීමට හැකියාව ලැබී තිබේ. නවීන තාක්ෂණය භාවිත කරන ඔවුන් සාම්ප්‍රදායික කුලී රථ හිමිකරුවන්ට අභියෝගයක් වුවද, එම සේවාව ලබාගන්නා පුද්ගලයාට පහසුවකි.
'GPS' තාක්ෂණය හරහා ඔවුන් තම සේවාදායකයා හා සම්බන්ධ වන අතර, ඔහුගේ මුදලද යන දුර ප්‍රමාණය මත තක්සේරු වන හැකි බැවින් සේවාදායකයාට අපහසුවකින් තොරව තම ගමනේ වියදම පිළිබඳ සැහීමකට පත් විය හැකිය.
හදිසියකට හෝ වැදගත් ගමනක් යන විට, උත්සව අවස්ථාවකට සහභාගි වනවිට, මිනිසුන්ට මෙය ඉතා වටින දෙයකි. මිනිසුන් බාහිරව සමාජ තරාතිරම මනින එක් සාධකයක් ලෙස ඔහු හෝ ඇය භාවිත කරන වාහනය හඳුනා ගනී. නමුත් මෙය දැන් වෙනස් වී තිබෙන්නේ කුලී රථ සේවාවේ ආගමනයත් සමගය. දැන් සමාජයේ ධනවතුන්ට පමණක් නොව ඕනෑම පුද්ගලයෙකුට කුලී පදනම යටතේ කැබ් රථවල, මෝටර් රථවල ගමන් කළ හැකි බැවින් මෙම නිගමනය අදට සාධාරණීකරණය කළ නොහැකිය.
නමුත් සැමට පොදු වූ මෙම සේවාව ජනතාවගේ ඉල්ලුමට සරිලන අයුරින් පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට සමත්ද, නැද්ද, යන්න පිළිබඳ අප විමර්ශනය කළ යුතුය.
'GPS' තාක්ෂණය මුසු මෙම සේවාවන් සපයන ලංකාවේ බොහෝ ආයතනය තිබෙන අතර, ඒවායෙන් 'Pick me', 'Uber' ආදී ආයතන කැපී පෙනේ. 'Pick Me' තුළින් ක්‍රියාත්මක වන්නේ කුලී රථ සේවාවකි. ඒ අතරට ත්‍රී රෝද රථ, මෝටර් රථ, වෑන් රථ හා සුභෝපබෝගී මෝටර් රථ අයත් වේ. මෙම පහසුකමට අදාළ යෙදවුමක් (App) තම ජංගම දුරකථනයට බාගත කිරීම (Download) තුළින් සේවාව ලබාගත හැකිය. 'Uber'ද එවැනිම ක්‍රියාවලියක් අනුගමනය කරන අතර, එමගින් අපට රියදුරු පැමිණීමට ප්‍රථම සියලු විස්තර දැන ගැනීමට හැකිය.
මෙම සමාගම ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්තව පවතින අතර, ඔවුන් ලොව පුරා මෙතරම් සේවයක් සැපයුවද ඔවුන් සන්තකයේ කිසිදු වාහනයක් නොමැති වීමද විශේෂත්වයකි. එමෙන්ම ඔවුන්ගේ සේවාව තුළින් පාරිභෝගිකයා භාවිත කරන කුලී රථ මගින් සුහදත්වය, කාර්යක්ෂමතාව ආදී බොහෝ දෑ ලබාගත හැකි බැවින් ඔවුන්ගේ ගමනාන්තයටම පහසුවෙන් ළඟාවීමේ හැකියාව පවතී.
මේ ක්‍රියාත්මක වන කුලී රථ සේවාව තුළින් ලබාදෙන සේවාව පිළිබඳ සේවාදායකයා තෘප්තිමත් වන්නේද යන්න තවත් ගැටලුවකි. තම සේවාදායකයා සිටිනුයේ රියදුරාට මඳක් දුරින් නම්, ඔහු ඇතැම් අවස්ථාවලදී ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම සිදුවේ. එමෙන්ම ඇතැම් විට දුර ගමන් සඳහා ඉල්ලීම් කරන අවස්ථාවේ බොහෝ රියදුරන් දුර ගමනක් යෑම සඳහා එතරම් කැමැත්තක් නොදක්වයි. එවන් අවස්ථාවන්හිදී පාරිභෝගිකයා අසරණ තත්ත්වයකට පත්වේ. මෙහිදී කාන්තාවන්ගේ ආරක්ෂාව ගැනද විශේෂයෙන්ම සිතිය යුතුය. කාන්තාවන් පොදු ප්‍රවාහන රථවල ගමන් කිරීමේදීද ගැටලුකාරී, හිංසනික ක්‍රියාවලට ලක්වේ. ඔවුන්ගේ ආරක්ෂාව සහ පහසුව සඳහා කුලී රථ භාවිතයට ගත්තද, එම රථ තුළද 100%ක් ආරක්ෂාව රථවක් තහවුරු කිරීමට නොහැකිය. රියදුරන්ගේ විශ්වාසනීයත්වය පිළිබඳ පාරිභෝගිකයාට නිශ්චිතව දැනගත හැකි ක්‍රමවේදයක්ද නොමැත. මේ නිසා ලෝකයේ බොහෝ රටවල කාන්තාවන් සඳහා ඔවුන්ටම ආවේණික කුලී රථ සේවා ක්රමයන් ක්‍රියාත්මක වීම දැකගත හැකිය. රියදුරා ලෙස සිටින්නේද කාන්තාවකි. එම නිසා කුලී රථයක යෑමේදී ඇයගේ ආරක්ෂාවට සඳහා තවත් කෙනෙකුට යෑමේ අවශ්‍යතාවක් නොමැත. නමුත් මෙය ලංකාවේ තවමත් ක්‍රියාත්මක නොවේ.
මේ කරුණු අනුව ලංකාවේ ක්‍රියාත්මක වන කුලී රථ ක්‍රමය පිළිබඳ ප්රමිතීන් හෝ පොදු ක්‍රමවේදයක් සකස් කර ගැනීමේ අවශ්‍යතාව පැනනැගී තිබේ. එයට හේතු ගණනාවකි.
කුලී රථ සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වීම
ලංකාවේ කුලී රථ ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී. නමුත් මේවා වාරණය හෝ පාලනය කිරීම පිළිබඳ නිශ්චිත නිර්ණායක හෝ සීමාවන් නොමැතිකම හේතුවෙන් ඉදිරියේදී මෙය ඉතා ප්‍රබල ගැටලුවක් වනු නොඅනුමානය. පොදු ප්‍රවාහන ක්රමයේ පවතින දුර්වලතා නිසා මිනිසුන් කාර්යක්ෂම සේවාවක් සලසා ගැනීම සඳහා කුලී රථවලට යොමුවේ. නමුත් මෙහි ඇතිවන අතුරු ප්‍රතිඵලය වන්නේ මාර්ගයේ ප්‍රමාණය ඉක්ම වූ රථවාහන ප්‍රමාණයක් ඇතුළු කිරීම මගින් රථවාහන තදබදයක් ඇති වීමය. එයින් දැනටමත් ලංකාව පීඩා විඳින නිසාවෙන් තවත් අර්බුදයකට පෙර අවශ්‍ය ක්‍රියාමාර්ගයන් කඩිනමින් ගත යුතුය.
මිල පිළිබඳ නිශ්චිත සම්මතයක් නොමැති වීම
'GSP' තාක්ෂණය භාවිත කරමින් සිදුකරන කුලී සේවා සඳහා මෙන්ම මීටර් සවිකර ඇති කුලී සේවා සඳහා නිශ්චිත මිල පාලනයක් සහිතව ප්රමිතීන් සකස් කළ යුතුය. එවිට පාරිභෝගිකයා හට ගැටලුවක් ඇති නොවේ. ඇතැම් විට අවිධිමත් ලෙස තිබෙන කුලී රථ සේවාව මෙමගින් විධිමත්ව ස්ථාපිත කළ හැකිය.
පාරිභෝගිකයාගේ ආරක්ෂාව කුලී රථවලින් 100%ක්ම සහතික කිරීමට ඇති නොහැකියාව
ඇතැම් අවස්ථාවල රියදුරන් හඳුනා නොගන්නා විට කුලී රථවල ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවේ. ඇතැම් විට කුලී රථ රියදුරන්ගේ හැසිරීම පාරිභෝගිකයාට හිරිහැරයක් විය හැකිය. එම නිසා ඔවුන් සම්බන්ධ ආචාරධර්ම පද්ධතියක් සකස් කළ යුතු අතර, ඒවා අනුගමනය කිරීම සඳහා රියදුරන් දැනුවත් කිරීම මගින් පාරිභෝගිකයාට විශ්වාසදායී සේවාවක් සලසා දිය හැකිය. මේ සඳහා රියදුරන්ට පුහුණුවක් ලබාදීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකිය.
යථෝක්ත අයුරින් මෙම ගැටලුකාරී අවස්ථා මගහැරවීම තුළින් සාර්ථක කුලී රථ ක්‍රමයක් ලංකාවේ පවත්වාගෙන යා හැකිය.
නමුත් ලංකාවේ පවතින කුලී රථ සේවාවේ මුහුණ දෙන තවත් ප්‍රබල ගැටලුවක් වන්නේ ලංකාවේ පවතින රථවාහන තදබදය හේතුවෙන් එවැනි වේලාවල් තුළදී පාරිභෝගික ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම සුලබව සිදුවන්නකි. එම නිසා මෙවැනි අවස්ථාවල කුලී රථ රියදුරා මෙන්ම පාරිභෝගිකයාද අපේක්ෂාභංගත්වයට පත්වේ. එය පරිපාලනය විසින් විසඳිය යුතු කාරණයකි. ඒ සඳහා, පොදු ප්‍රවාහන ක්‍රමය දියුණු මට්ටමක ගෙන ඒම, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ප්‍රවාහන ඉල්ලුම් මනා ලෙස කළමනාකරණය කිරීම සහ පරිසරයට හිතකර පාලන ක්‍රමයක් ඇති කිරීම මගින් මෙම තත්ත්වය අවම මට්ටමකට ගෙන ආ හැකිය.
අයවැය මගින්ද විශේෂ යෝජනා රැසක් රථවාහන සම්බන්ධයෙන් පැමිණීම අප කාගෙත් අවධානය ලක්වූවකි. ඉදිරියේදී කුලී ක්‍රමය මත පදනම් වන ත්‍රිරෝද රථ හිමියන්ට මෙය එක් ආකාරයක වාරණයකි. එයින් සිදුවන අනෙක් වාසිය නම් හිතකර පරිසර තත්ත්වයක් ඇති වීමය. අනාගතයේදී විදුලි රථවාහන ගෙන්වීම මගින් සුඛෝපභෝගී සේවාවක් ලබා ගැනීමට ලාංකේය පාරිභෝගිකයන්ට හැකියාව ලැබේ. මේ සෑම කාරණාවක්ම එකින් එක සංසන්ධනය කිරීමේදී පැහැදිලි වන්නේ කුලී රථ බිහිවීම නිසා ප්‍රගතියක් සේම ඊට සාපේක්ෂව ගැටලුකාරී තත්ත්වයක්ද උදාවී ඇති බවයි. එම නිසා ගුණාත්මක කුලී සේවාවක් සඳහා මෙකී ගැටලු අවම කිරීමට කටයුතු කළ යුතු අතර, සමස්තයක් ලෙස මේ සඳහා පොදු ප්‍රතිපත්තියක් සකස් කරන්නේ නම්, කුලී රථ සේවාව ප්‍රමිතියකින් යුතුව පවත්වාගෙන යාහැකි අතර, එවිට පාරිභෝගිකයන්ට ඇති වන ගැටලු බොහෝමකට විසඳුම් ලැබෙනු ඇත.