තාක්ෂණික වශයෙන් අද වන විට ලෝකය ශීඝ්‍ර දියුණුවක් කරා යමින් සිටී. ඒ පිළිබඳ කතාබහ කිරීමේදී යුදමය හා සන්නිවේදන තාක්ෂණික අංශයන්ට වැඩි අවධානයක් යොමු වුවද මෙම ලිපිය තුළින් කතාබහ කෙරෙන්නේ ලෝකයේ කෘෂිකර්ම ක්ෂේත්රයේ සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ විශාල දියුණුවක් ඇති කරමින් මානව සංහතියේ තවත් යෝධ පිම්මක් ලෙස සැලකෙන නවීන ජෛව තාක්ෂණය පිළිබඳවයි. ජෛව තාක්ෂණය භාවිතය අතින් ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ යම් ප්‍රාථමික මට්ටමක වුවද, එම ක්ෂේත්රයෙන් සුළු මට්ටමකින් හෝ යම් ප්‍රගතියක් ලබා තිබීම සතුටට කරුණකි.
නවීන ජෛව තාක්ෂණය සහ ජාන විකරණය කළ ජීවීන්
සරලව පැහැදිලි කළහොත් නවීන ජෛව තාක්ෂණය යනු ජීවීන්ගේ ස්වාභාවික ජාන සැකසුම වෙනස් කිරීම මගින් නව ලක්ෂණයක් ලබාදීම සඳහා යොදාගන්නා නවීන සහ සංකීර්ණ තාක්ෂණික යෙදවුමකි. එම තාක්ෂණය භාවිත කිරීම මගින් නිපදවනු ලබන ජීවීන් ජාන විකරණය කළ ජීවීන් ලෙස හඳුන්වනු ලබයි.
වඳ වීමට ගිය ගවයන් සහ ඌරන් ගලවාගත් නවීන ජාන තාක්ෂණය
අද ලෝකයේ අත්‍යවශ්‍යම ඖෂධයක් ලෙස භාවිතයට ගන්නා ඉන්සියුලින් එන්සයිමය නිපදවීමේ සිට නියඟයට සහ පළිබෝධකයන්ට ඔරොත්තු දෙන ශාක විශේෂ නිපදවීම දක්වා මිනිසාගේ යහපත සඳහා මෙම නවීන ජෛව තාක්ෂණය දායක වී තිබෙන අතර, මිනිසාගේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමටත් උපකාරීව තිබේ. මුල් කාලයේ ඉන්සියුලින් ලබාගැනීම සිදුකළේ ගවයන්ගෙන් සහ ඌරන්ගෙනි. නමුත් ශීඝ්‍රයන් ඉහළ ගිය ඉල්ලුමත් සමග එය කිසි විටෙකත් ප්‍රායෝගික ක්‍රමයක් නොවීය. වාසනාවකට මෙන් නවීන ජෛව තාක්ෂණය උපයෝගී කරගනිමින් ඉන්සියුලින්, බැක්ටීරියාවක් තුළ නිෂ්පාදනය කිරීමට පර්යේෂකයන්ට හැකියාව ලැබිණි. එසේ නිෂ්පාදනය කරන ඉන්සියුලින් පාරිභෝගික පරිහරණය සඳහා 1982 වසරේදී මුල් වරට අනුමැතිය හිමි විය. ඉන්සියුලින් යනු ප්‍රෝටීනයකි. එම ප්‍රෝටීනය නිෂ්පාදනය කරන ආකාරය ඇතුළත් වෙන්නේ එහි ජානය තුළය. බැක්ටීරියාව මේ ජානය තුළට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන්සියුලින් ප්‍රෝටීනය නිපදවීමට එම බැක්ටීරියාවට හැකියාව පවතියි. ඒ ආකාරයෙන් පිරිපහදු කර ලබාගන්නා ප්‍රෝටීන ඉන්සියුලින් ලෙස යොදා ගනී.
නවීන ජෛව තාක්ෂණයේ ප්රතිලාභ
නවීන ජෛව තාක්ෂණයේ ප්රතිලාභ ඉන්සියුලින්වලට පමණක් සීමා නොවේ. මෙහි ප්රතිලාභ කෘෂිකර්මය හා වෛද්‍ය විද්‍යාව ඇතුළු විශාල කර්මාන්ත ප්‍රමාණයක වපසරියකට ව්‍යාප්තව තිබේ. ප්‍රධාන වශයෙන් වෛද්‍ය විද්‍යා ක්ෂේත්රය සහ කෘෂිකර්ම ක්ෂේත්රය පිළිබඳ සලකා බැලීමේදී ඵලදායී වූත්, කාර්යක්ෂම වූත් එන්නත්, චිකිත්සීය ප්‍රතිදේහ වර්ග, ප්‍රතිජීවක සහ වෙනත් ඖෂධ වර්ග නිපදවීම සඳහා නවීන ජෛව තාක්ෂණය වෛද්‍ය විද්‍යාව වෙත විශාල දායකත්වයක් මේ වන විට ලබා දී තිබේ.
භෝගයන්වල හා ගොවිපළ සත්ත්ව විශේෂයන්ගේ අස්වැන්න ඉහළ නැංවීම, පෝෂණ අගය සහ කල් තබාගත හැකි කාලසීමාව වැනි තත්ත්වයන් ප්රශස්ත මට්ටමකින් ඉහළ නැංවීම සඳහා නවීන ජෛව තාක්ෂණය කෘෂිකර්ම ක්ෂේත්රයේදී සිය දායකත්වය ලබාදීමට සමත්ව තිබේ. අදටත් කෘෂිකර්මාන්තයේ ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන ගැටලුවක් වන්නේ පළිබෝධකයන්ගෙන් වගා කටයුතු වෙත වන හානිදායක තත්ත්වයන්ය. මෙම පළිබෝධකයන් මර්දනය කිරීම සඳහා ප්‍රමාණය ඉක්මවා අධික ලෙස පළිබෝධනාශක භාවිතය හේතුවෙන් කෘෂිකර්මාන්තයට හිතකර ජීවීන් විනාශ වීම, පස නිසරුභාවයට පත්වීම, මිනිස් සිරුරට අහිතකර තත්ත්වයන් ඇතිවීම ආදී තත්ත්වවලට අපට මුහුණදීමට සිදුව තිබේ.
මේ පිළිබඳව පර්යේෂණ කටයුතු කළ විද්‍යාඥයන් %බැසිලස් තුරින්ජීන්සීස්^ (BT) නම් බැක්ටීරියාව නිපදවන එක්තරා ප්‍රෝටීන් වර්ගයක් පළිබෝධකයන්ට විෂ සහිත බව හඳුනා ගැනීමට සමත්විය. ඒ ඔස්සේ නවීන ජෛව තාක්ෂණය යොදා ගනිමින් දිගින් දිගටම පර්යේෂණ සිදුකළ විද්‍යාඥයන් එම බැක්ටීරියාව ඇතුළත් කරමින් භෝගයන් නිෂ්පාදනය කිරීමට සමත් විය. එසේ නිෂ්පාදනය කළ භෝග වගාවන් සඳහා පළිබෝධනාශක භාවිත කිරීමට අවශ්‍ය නොවන්නේ පළිබෝධකයන්ට එම ෙභා්ගවල විෂ සහිත තත්ත්වයක් පවතින නිසාවෙනි. මිනිසාගේ පරිභෝජනයට හෝ සෞඛ්‍ය වෙත ඉන් කිසිදු හානියක් නොවීය. මේ වන විටත් ඉන්දියාව ඇතුළු කලාපීය රටවල් කිහිපයකම ජාන විකරණය කර නිපදවන ලද ශාක විශේෂ වන කපු හා වම්බටු භාවිතයට ගනු ලබයි.
එදිනෙදා අප මුහුණ දෙන තවත් ගැටලුවක් වන්නේ කසළ කළමනාකරණ ගැටලුවයි. කාලයාගේ ඇවෑමෙන් කසළ වියෝජනය වීම සිදුවන්නේ ඒ මත තිබෙන බැක්ටීරියා වර්ග සහ දිලීර වර්ගවල ක්‍රියාකාරීත්ව මතය. මෙම බැක්ටීරියා සහ දිලීර වර්ග කසළවල පවතින විශාල ප්‍රමාණයේ අණු, කුඩා අණු බවට පත් කර සිය ආහාර සඳහා යොදා ගනී. ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ජීවත්වන පෙට්‍රෝලියම් වැනි විශාල කාබන් අණු කුඩා අණු බවට පත්කළ හැකි බැක්ටීරියාවක් හඳුනාගන්නා පර්යේෂකයන් ඒ ඔස්සේ නවීන ජෛව තාක්ෂණය යොදාගනිමින් කළ පර්යේෂණ අනුව කසළ වියෝජනය සඳහා උපකාරී වන බැක්ටීරියා සහ දිලීර වර්ගවල කාර්යක්ෂමතාව වඩාත් ඉහළ මට්ටමකට ගෙන එමින් කසළ වියෝජනය වේගවත් කිරීමට සමත් වී තිබේ.
නවීන ජෛව තාක්ෂණයේ පවතින අවදානම් තත්ත්ව
පරමාණු හා සම්බන්ධ වූ තාක්ෂණය මිනිසාගේ යහපත වෙනුවෙන් යොදාගැනීමට හැකි වුවද මිනිසා ප්‍රථමයෙන්ම සිදුකළේ පරමාණු බෝම්බයක් නිපදවා මිනිස් ජීවිත ලක්ෂ ගණනක් විනාශයට පත් කිරීමයි. එසේම ඕනෑම තාක්ෂණයක් මිනිසාගේ යහපත වෙනුවෙන් මෙන්ම මිනිසාගේ විනාශය වෙනුවෙන්ද යොදාගැනීමට හැකියාව පවතියි. විද්වත් මතය අනුව නවීන ජාන තාක්ෂණයෙන් ඇතිවිය හැකි අහිතකර තත්ත්ව ඉතාමත්ම අවම මට්ටමක පවතියි. දැනට පවතින නවීන ජාන තාක්ෂණයේ භාවිතයන් අනුව ජාන විකරණය කළ ආහාරපාන පිළිබඳ සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ ආසාත්මික ප්‍රතික්‍රියා ඇතිකරන ප්‍රෝටීන් වර්ග ඒවායේ අඩංගු වීමට හැකියාවක් පවතින නිසාවෙනි. එමෙන්ම විවෘත ක්ෂේත්රයේ වගා කරනු ලබන ජාන විකරණය කළ ශාක පිළිබඳ අවධානයක් යොමු කළයුතු වන්නේ ඒවායේ පවතින විකරණය කළ ජාන, පරාග හරහා වෙනත් වල්පැළ දර්ශවලට හුවමාරු වුවහොත් එමගින් මර්දනය කිරීමට අපහසු %සුපිරි වල්පැළෑටි^ ඇතිවිය හැකි නිසාවෙනි.
ජෛව සුරක්ෂිතතාව
ඉහතින් සඳහන් කළ අවදානම් තත්ත්වයන්ගෙන් ඇති විය හැකි හානිදායක තත්ත්ව වළක්වා ජෛව සුරක්ෂිතතාව ඇති කිරීම මගින් නවීන ජෛව තාක්ෂණය හිතකර අන්දමින් පවත්වාගෙන යාමට හැකියාව තිබේ. ජෛව සුරක්ෂිතතාව යනු ජාන විකරණය කළ ජීවීන්ගෙන් සිදුවිය හැකි හානිකර බලපෑම්වලින් මානව සෞඛ්‍ය සහ පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීමට පවතින අවශ්‍යතාවයි. නවීන ජෛව තාක්ෂණයේ හා ඒ ආශ්රිත නිෂ්පාදනවලින් මතුවිය හැකි අවදානම් තත්ත්ව අවම කිරීමට හා මුලිනුපුටා දැමීමට ගත හැකි ප්රයත්නයන් හා යොදාගන්නා ක්‍රමවේද මෙහිදී අවධානයට ලක් කෙරේ.
ජෛව සුරක්ෂිතතාව වෙනුවෙන් කාර්ටජිනා සන්ධානය
මෙය මිනිසාගේ යහපත වෙනුවෙන් යොදාගත හැකි මෙම අද්විතීය තාක්ෂණය සම්බන්ධ ජෛව සුරක්ෂිතතාව පවත්වාගෙන යාම සඳහා ලෝකය සිය අවධානය යොමු කළ අවස්ථාවක් ලෙස පෙන්වාදිය හැකිය. ජෛව සුරක්ෂිතතාව පිළිබඳ කාර්ටජිනා සන්ධානය යනු, ජෛව විවිධත්වයට අහිතකර වූ බලපෑම් ඇති කිරීමට හැකියාව පවතින සහ මානව සෞඛ්‍යය කෙරෙහි අවදානමක් මතුකළ හැකි, ජාන විකරණයට ලක් කළ ජීවීන් සුරක්ෂිතව හැසිරවීම, ප්‍රවාහනය සහ භාවිතය තහවුරු කිරීම අරමුණු කොටගත් ජාත්‍යන්තර එකඟතාවකි. ශ්‍රී ලංකාව මෙම සන්ධානයට 2000 වර්ෂයේදී අත්සන් තබා ඇති අතර, 2004දී අපරානුමත කරන ලදී. තාක්ෂණික ධාරිතාව ප්‍රමාණවත් නොවීම හා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාකාරී පරිපාලන හා මෙහෙයුම් පද්ධතියක් නොමැති වීම ශ්‍රී ලංකාවේ ජෛව සුරක්ෂිතතාව වෙනුවෙන් වූ විධිමත් හා සක්‍රීය වැඩසටහනක් ස්ථාපනය වීම ප්‍රමාද වීමට හේතු වී තිබිණි.
ජාතික වශයෙන් මේ සඳහා කටයුතු කිරීම වෙනුවෙන් ජාතික ජෛව සුරක්ෂිතතා මූලාකෘතිය (NBF) සහ ජෛව සුරක්ෂිතතාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය 2005 වසරේදී ගෙන එන ලදී. එමෙන්ම ජෛව සුරක්ෂිතතා පනතේ අවසන් කෙටුම්පත සකස් කිරීමද සිදු වී ඇති අතර, එය මේ වසරේදී ක්‍රියාත්මක වීමට නියමිතය. මේ අනුව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය කාර්ටජිනා සන්ධානය ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජාතික කේන්ද්‍රස්ථානය වන අතර, එහි විෂය පථය යටතේ එන ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය විසින් මෙම කටයුතු ක්‍රියාත්මක කිරීම සහ නියාමනය සිදුකරනු ලබයි.
ජාතික ජෛව සුරක්ෂිතතා ව්‍යාපෘතිය සහ එහි අරමුණු
ජෛව සුරක්ෂිතතාව පිළිබඳ කාටර්ජිනා සන්ධානයට අනුකූලව යමින් ජෛව සුරක්ෂිතතා මූලාකෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ජෛව සුරක්ෂිතතා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. එය ක්‍රියාත්මක වන්නේ ජගත් පාරිසරික පහසුකම (GEF) සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහයෝගය හා අරමුදල් මතය.
මෙම ව්‍යාපෘතියේ අරමුණ වී තිබෙන්නේ ජාතික ජෛව සුරක්ෂිතතා මූලාකෘතිය ඵලදායී මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නියාමන, ආයතනික හා තාක්ෂණික ධාරිතාව ශක්තිමත් කිරීමයි. එමෙන්ම අවදානම් ඇගයීම, අවදානම් කළමනාකරණය හා අවදානම් සන්නිවේදනය සඳහා වූ පද්ධතිය වැඩිදියුණු කිරීම, ජාන විකරණය කළ ජීවීන් අනාවරණය හා හඳුනාගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම් වර්ධනය කිරීම සහ ජෛව සුරක්ෂිතතාව පිළිබඳ දැනුම හුවමාරු කර ගනිමින් මහජනතාවද දැනුවත් කිරීම මෙම ව්‍යාපෘතියේ අපේක්ෂාව වී තිබේ.
(මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කර්යාලය සහ ජෛව සුරක්ෂිතතා ව්‍යාපෘතිය මගින් පැවැත්වූ මාධ්‍ය වැඩමුළුව ඇසුරිණි)