Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 20 වන සඳුදා
2025 ජනවාරි මස 20 වන සඳුදා
වෙසක් උත්සවය ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උතුම්ම මංගල්‍යය ලෙස සැලකේ. මෙහිදී සිදුහත් බෝසතාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම සිහිකර බෞද්ධයෝ ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වෙති. බුදුන් වහන්සේගේ තෙමඟුල සිදු වූ ආකාරය, එම කාලය, භාවිතයට ගැනුණු ස්වභාවික සම්පත් ආදිය ආයුර්වේද හා දේශීය වෙදකමට අදාළව විද්‍යාත්මකව විමසා බලමින් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සංවර්ධන අංශයේ වෛද්‍ය නිලධාරි පරාක්‍රම විජයනාග මහතා සමග කරන ලද සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සකස් කෙරුණි.
සිදුහත් වහන්සේගේ ඉපදීම, බුදු වීම, පිරිනිවන් පෑම, සිදු වූ දිනය ලෙස ලෝකවාසී බෞද්ධ ජනතාව වෙසක් පොහොය දිනය සමරනවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, භූතානය, කාම්භෝජය, බංග්ලාදේශය, සිංගප්පූරුව, තායිලන්තය, මියන්මාරය, මලයාසියාව වැනි රටවල් තෙමඟුල සිදුවූ දිනය ලෙස වෙසක් දිනය (මෙවර මැයි10) සැමරුවත් ඉන්දුනීසියාව වෙසක් දිනය ලෙස පසු දිනය (11) සමරනවා. වෙසක් යන වචනය පාලි හා සංස්කෘත භාෂාවට නිර්මාණය වී ඇත්තේ වෛයි ශාක්‍ය යන්නෙන්.
මෙහි තේරුම බුදුන් වහන්සේගේ දිනය යන්නයි. වෙසක් දිනය චීන කැලැන්ඩරයේත් සඳහන් වෙනවා. නමුත් චීනය වෙසක් දිනය සමරන්නේ නැහැ. චීනයේ “ලාබා”උත්සවය වෙසක් උත්සවයට සමාන එකක්. බුරුමයේ “බෝධි වන්දනාව” උත්සවයත් වෙසක් උත්සවයට සමානයි. වෙසක් උත්සවයේ ආරම්භය දැන සිටීමත් වැදගත්. 1950දී ලෝක බෞද්ධ සමුළුවක් ශ්‍රී ලංකාවේදී තිබුණා.
එහිදී තීරණය කළා වෙසක් පොහොය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර බුදුන් වහන්සේගේ තෙමඟුල බෞද්ධයන්ගේ මංගල කරුණක් ලෙස සලකා වෙසක් උත්සවය පවත්වන්න. 1999 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්සත් ජාතීන්ගේ දිනයක් ලෙසත් නම් කළා. වෙසක් උත්සවය උපත ලබන්නේ එහෙමයි.
චන්ද්‍ර මාස ක්‍රමය පදනම් කර ගත් හින්දූන්ගේ දින දර්ශනයට අනුවත් වෙසක් දිනය උත්සව දිනයක් ලෙස නම් කර තිබෙනවා. බෞද්ධ දින දර්ශනයට අනුවත් වසර 2500කට පමණ පෙර සිටම වෙසක් දිනය උත්සව දිනයක් ලෙස සමරා ඇති බව පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව තහවුරු වෙනවා.
ඉපදීම හා පිරිනිවන් පෑම පිළිවෙළින් ලුම්බිණි හා උපවත්තන සල් උයන්වලදී සල්ගස් යටදීත් බුදුවීම බෝගස යටදීත් සිදුව තිබෙනවා. ඉපදීම හා පිරිනිවන් පෑම සිදු වූ උයන්වල තිබුණේ දැනට ලංකාවේ බහුලව තිබෙන සල්ගස නොවෙයි. එම උයන් වල තිබුණ වර්ගයේ සල්ගස් දෙකක් දැනට පේරාදෙණිය උද්භිද උද්‍යානයේත් ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යායතන භූමියේත් තිබෙනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකම සල් ගසෙන් විශාල සිසිලසක් දැනෙනවා.
සල් ගසෙන් හොඳින් සෙවණ ලැබීම මෙන්ම එය සෞන්දර්යාත්මක බවිනුත් ඉහළයි. සල් ගසේ ඇති සියලුම කොටස් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොදා ගන්නවා. තුවාල සුව කිරීම වේගවත් කිරීම, දියවැඩියාව වැනි රෝග සඳහා සල් ගසේ කිරි, පොතු ආදිය යොදාගන්නවා. මෙය බොහෝ විට බුද්ධ ප්‍රාර්ථනාවක් විය හැකියි. බෝ ගසේ කොළ වල තුඩ පොළොව දෙසට හැරී තිබෙනවා. ඒ නිසාම පොළොව හා බෝගස අතර ආකර්ෂණ ශක්තිය නිරන්තරයෙන්ම සිදුවෙනවා. බුදුන් වහන්සේ ශාකවලට පිටදීම තුළින් සිය උත්සාහයන් සඳහා ස්වභාවික ශක්තිය උපයෝගී කරගත්තා විය හැකියි.
බෝ ගසත් කිරි සහිත ශාකයක්. ආයුර්වේද වෙදකමේදී බෝ ගසේ පොතු විවිධ කසාය සකස් කරන්න යොදා ගන්නවා. අර්ශස් වැනි රෝගවල ලේ යන අවස්ථාවේදී ප්‍රතිකාර කිරීම සඳහාත් බෝ ගසේ කොටස් යොදා ගන්නවා. ආකර්ෂණය, විකර්ෂණය හා චලනය වීම හිරු, සඳු හා වාතයෙන් සිදුවන ස්වභාවික ක්‍රියාවලියක් බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. සඳ ඇති කාලයේදී ආකර්ෂණ ශක්තිය වැඩියි. උන්මාද (පිස්සු) රෝගය සඳ මෝරන කාලයට වැඩි බවට සමාජයේ මතයක් තිබෙනවා.
බල්ලන් උඩු බිරීම, නරි හූ කීම, මුහුදේ වඩදිය ඇතිවීම ආදිය සඳ මෝරන කාලයට වැඩියි. පුන් සඳ තිබෙන විට ඇති වන ආකර්ෂණ ශක්තිය මිනිසාට යහපත් ආකාරයට මෙන්ම අයහපත් ආකාරයටත් බලපානවා. මෙය විද්‍යාත්මකව පවා තහවුරු වී තිබෙනවා. සඳේ ආකර්ෂණ ශක්තිය අධ්‍යාපන කටයුතු සඳහා මෙන්ම දැනුම වර්ධනය කරගැනීම සඳහාත් යොදාගත හැකියි. බුදුන් වහන්සේගේ තෙමඟුලත් සඳ ඇති දිනක සිදුවීම ස්වභාවික ක්‍රියාවලියක් වුවත් ඒ සඳහා සඳේ ආකර්ෂණ ශක්තියත් බලපෑවා විය හැකියි.
බුදුන් වහන්සේගේ ප්‍රධාන කාර්ය වූයේ මිනිසාගේ යථා ස්වභාවය, ස්වයං අවබෝධයක් මගින් වටහාගෙන එයට අදාළ සාර්ථක, පරිපූර්ණ විසඳුමක් මිනිස් වර්ගයා වෙත ප්රදානය කිරීමයි. මිනිසාගේ යථා ස්වභාවය යනු ස්වභාවික ක්‍රියාවලියක්. ආයුර්වේදයේ සඳහන් වන ආකාරයටත් මිනිසා වයසට යෑම, ලෙඩ වීම, මරණයට පත්වීම ස්වභාවික රෝග ලෙස හඳුන්වනවා. ආයුර්වේදය ජීවන දර්ශනයක්. දර්ශනයක අවසාන අරමුණ විමුක්තියයි. ආයුර්වේදය නිර්මාණය වී ඇත්තේ ඉන්දියානු සෘග්, යජුර්, සාම, අතර්වන් යන වේද පදනම් කරගෙනයි.
මෙයට අමතරව ඉන්දියාවේ බිහි වූ විශිෂ්ටතම දාර්ශනිකයන්ගේ අදහස්ද (සාංඛ්‍ය, යෝග, මිමන්සා වැනි) දායක වෙලා තිබෙනවා. බෞද්ධ දර්ශනයේ අවසානයත් විමුක්තිය ළඟාකර ගැනීමයි. නමුත් මෙය එකිනෙකට වෙනස් කාරණා දෙකක්. බෞද්ධ දර්ශනයේ විමුක්තිය යනුවෙන් අදහස් කරන්නේ ඉපදීම, ජරාව (වයසට යෑම), ව්‍යාධිය (ලෙඩ වීම) හා මරණය යන කාරණාවලින් මිදීමයි. එනම් නිවන අවබෝධ කරගැනීමයි. නමුත් ආයුර්වේදයේ වේදයන් සමග සම්බන්ධ වූ ආත්මවාදී විමුක්තියක් අපේක්ෂා කරනවා.
වෙසක් (මැයි), වසන්තයට පසුව එන මාසයයි. එය ග්‍රීස්ම සෘතුව ආරම්භ වන මාසයයි. වෙසක් මාසයේ වසන්තයේ තිබුණ ලක්ෂණ තවදුරටත් පෙන්නුම් කරනවා. ගස්වල මල් පිපිල, ඵල බර වෙලා. වියළි වුණත් සිසිල් ස්වභාවයක් තිබෙනවා. මේ කාලයේ මිනිසුන් සතුටින් ඉන්නේ. ඒ නිසාම මිනිසුන්ගේ සිතුවිලි යහපත්. ග්‍රීස්ම කාලයේ ජීවීන්ගේ ක්‍රියාකාරිත්වයේ වැඩිවීමක් තිබෙනවා.
බුදුදහම තුළත් ආයුර්වේදයේ හා හෙළ වෙදකම තුළත් මේ කාලය ජීවීන්ගේ විකෘති තත්ත්වයන් ප්‍රකෘති තත්ත්වයට පත්වන කාලයක් බව සඳහන් වෙනවා.මේ කාලය තුළ ඇතිවන කායික රෝග හා මානසික රෝග පිළිබඳවත් සඳහන් වෙනවා. ක්‍රියාකාරිත්වය හොඳ අතට මෙන්ම නරක අතට සිදුවෙන්නත් පුළුවන්. යථාර්ථය අවබෝධ කරගැනීම හොඳ අතට සිදුවූවක් මෙන්ම උන්මාදය ඇතිවීම නරක අතට සිදු වූවක් ලෙස පෙන්වාදිය හැකියි.
බුදුන් වහන්සේ වෛද්‍යවරයෙක්. මහා වෙදදුරාණෝ නමින් බුදුන් වහන්සේ හඳුන්වනවා. ලෙඩ රෝග 48ක් පිළිබඳව බුදුදහමේ සඳහන් වෙනවා. ව්‍යාධි (ලෙඩ රෝග) වලින් මිදෙන්න බුදුන් වහන්සේ යොදාගෙන තිබෙන්නේ විපස්සනා භාවනා ක්‍රමයයි. එහි දස සංඥා නැමැති භාවනා දසකයට අයත් එක් අංගයක් වන්නේ ආදීනව සංඥා කමටහන්. ආදීනව ලෙස මෙහි හඳුන්වන්නේ මෙම රෝග 48 යි. ආයුර්වේදයේ කායික රෝග මෙන්ම මානසික රෝග තිබෙනවා. මානසික රෝග රජස් හා තමස් ලෙස හඳුන්වනවා.
රාගික සිතුවිලි රජස් ගුණය ඇති කර ගෙනත් මෝහය (මෝඩ කම) තමස් ගුණය ඇති කර ගෙනත් ඇති වෙනවා. වෙසක් සමයේ වෙසක් කූඩු, ඉටි පහන් මැටි පහන් දැල්වීම, තොරණ ඉදිකිරීම, පෙරහර පැවැත්වීම ආදියෙන් මෙන්ම ඒවා දැකීමෙන් රජස් හා තමස් ගුණය අඩු වෙනවා. එය මානසික සුවයට බෙහෙවින් යෝග්‍යයයි.
ශරීරය පවත්වා ගෙනයෑමට වාත, පිත, කඵ ප්‍රධාන වෙනවා. තමස් අවස්ථාවේදී වාතය ප්‍රධාන වෙනවා. රජස් තත්ත්වයට පිත ප්‍රධාන වෙනවා. පිත යනුවෙන් අදහස් කරන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ශරීරයේ තැනුම් ඒකකයක්. වාතයත් ශරීරයේ තැනුම් ඒකකයක්. මුදිතා, කරුණා,උපේක්ෂා ඇති කරන සත්ත්ව ගුණය අඩංගු සිතුවිලි කඵ ප්‍රධාන කරගෙන ඇති වෙනවා. කඵ ද ශරීරයේ තැනුම් ඒකකයක්.
නිරෝගීවීමට නම්, ප්‍රසන්න වූ ආත්මයක් ඉන්ද්‍රයන් මනසක් තිබීම අනිවාර්ය වෙනවා. යහපත් සිතුවිලි ඇති වන්නේ මනසේ සත්ත්ව ගුණයට අදාළවයි. ප්‍රසන්න වූ ආත්මයක් ඉන්ද්‍රයන් මනසක් තිබෙන විට රජස් හා තමස් ගුණයන් අඩු වෙනවා. මේ නිසා මිනිසාට මානසික සුවයක් දැනෙනවා. නිරෝගී කම පරම ලාභය ලෙස ධම්ම පදයේ 204 වන ගාථාවේත් සඳහන් වෙනවා. බුදුන් වහන්සේ වඩාත් අගය කර ඇත්තේ ප්‍රතිපත්ති පූජාවයි. ඒ තුළ රජස් හා තමස් අඩු වී සිතේ සත්ත්ව ගුණයට අදාළ සිතුවිලි වැඩි කරගන්න අවස්ථාව සැලසෙනවා.
බුද්ධ ධර්මය තුළ සේඛියා ලෙස හඳුන්වන කොටසක් තිබෙනවා. එයින් පෙන්වා දී ඇත්තේ නොකළ යුතු දේවලුයි. ජලයට කෙල ගැසීම, ජලයට මුත්‍රා කිරීම වැනි දේවල් මෙහි සඳහන් වෙනවා. ප්‍රතිපත්තිගරුක වුණාම සත්ත්ව ගුණය වැඩි වෙනවා. මේවා අවබෝධ කරගෙන වසර පුරාම එම ප්‍රතිපත්ති රැකීමට වෙසක් පොහොය දිනයේ අදිටන් කරගත හැකියි.
ජීවිතය හිතායු, සුඛායු, දිඝායු ලෙස ගත කළ යුතු බවත් ආයුර්වේදයේ සඳහන් වෙනවා. හිතායු යනුවෙන් අදහස් කරන්නේ හිතවත් වූ ආයුෂයි. සැප සම්පත්වලින් පිරුණ ආයුෂ, සුඛායු වෙනවා. මෙම කාරණා දෙකම සහිතව දීර්ඝායුෂ විඳීමයි වැදගත්. ලෙඩ ඇදේ, දුප්පත් කමට දීර්ඝායුෂ විඳීමෙන් ඵලක් නොවන බවයි එයින් අදහස් කරන්නේ.
ආයුර්වේදයේ පදනම සකස් වී ඇත්තේ චරක, සුශ්‍රැත, අෂ්ඨාංග හෘද යන සංහිතා ග්රන්ථ ඇසුරු කරගෙනයි. මෙහි විශේෂයෙන්ම චරක සංහිතා ග්‍රන්ථය සකස් කරන ලද චරක සෘෂිවරයා බුදුන් වහන්සේ ලොව පහළ වූ ක්‍රි.පූ. 06 වන සිය වසට පෙර පහළ වූ අයෙකු බව විද්වත් මතයයි. නමුත් චරක සංහිතා ග්‍රන්ථයේ වමන කර්මය කිරීම සඳහා බුද්ධ මන්ත්‍රයක් ඇතුළත්ව තිබෙනවා. ඒ නිසාම සමාජයේ තිබූ යහපත් කාරණා, පෙර බුදුවරුන් භාවිත කළ කාරණා, ගෞතම බුදුන් වහන්සේත් ඉදිරියට ගෙන යන්නට ඇතැයි සිතිය හැකියි.
මේ නිසාම ආයුර්වේදය, බෞද්ධ දර්ශනයත් සමග එකට වෙලී ඇති බවක් දැකිය හැකියි. ආයුර්වේදයේ ප්‍රධානතම අරමුණ වන්නේ රෝගී වූ අය නිරෝගී කිරීමත් නිරෝගී අය රෝගවලට ගොදුරුවීමෙන් වළක්වා ගැනීමත් බව කිව හැකියි. එනම් ආයුර්වේදය නිරෝගී පුද්ගලයන් ගැන කතා කරන ජීවන දර්ශනයක්. බුදුදහමත් මිනිසුන්ගේ විකෘර්තිය, ප්‍රකෘර්තිය බවට පත්කිරීමට මිනිස් පැවැත්මේ යථා ස්වභාවය අවබෝධ කරගෙන එයට අදාළ සාර්ථක හා පරිපූර්ණ විසඳුමක් ලබාදෙන දර්ශනයක්.
බුදුදහමේ වෙදකම, විනය හා සූත්‍ර පිටකවල සඳහන් වෙනවා. ගිරිමානන්ද පෙල විස්තර වල රෝගයක් ඇතිවීම, රෝග පිළිබඳ විස්තර සඳහන් කර තිබෙනවා. විනය පිටකයේ භේසජක්ඛණ්ඩකයේ රෝගවලට ප්‍රතිකාර බුදුන් වහන්සේ නියම කර තිබෙනවා. කිසා ගෝතමිය දරුවා රැගෙන එන විට බුදුන් වහන්සේ දරුවාවත් කිසා ගෝතමියගේ මානසික තත්ත්වයවත් පරීක්ෂා කළේ නැහැ.
බුදුන්වහන්සේ එක කාරණයකින් දරුවාට සිදුව තිබෙන දේ අවබෝධ කරගන්නට සැලැස්සුවා. වර්තමානයේ කාන්තාවක් කිසා ගෝතමිය පැමිණි ස්වරූපයෙන් දරුවෙක් රැගෙන ආවොත් දරුවා පරීක්ෂා කිරීමත් ඊට අමතරව එම කාන්තාවගේ මානසික මට්ටම පරීක්ෂා කිරීමට පරීක්ෂණ රැසකුත් සිදු කරාවි. අවසානයේ දරුවා රැගෙන පැමිණි කාන්තාව මානසික රෝහලකට යොමු කිරීමත් සිදුවිය හැකියි.
අද දියුණුව පවතින වෛද්‍යමය දැනුමත්, බුදුන් වහන්සේගේ වෛද්‍යමය දැනුමත්, ඊට සමකාලීනව වර්ධනය වූ ආයුර්වේද වෙදකමත් පිළිබඳව පූර්ණ සාකච්ඡාවක් සිදු විය යුතුයි. වෙසක් කාලයේ මහ ජනතාවගේ කායික හා මානසික නිරෝගී භාවය ආරක්ෂා කරගැනීමට කාලය යොමු කිරීම වැදගත්. මේ මගින් වෙසක් දිනයේසැබෑ අරුත ළඟා කරගැනීමට හැකිවෙනවා.
නමුත් අද වෙසක් මංගල්‍යය, වෙසක් දිනය, වාණිජ ආකාරයෙන් පවත්වන ප්‍රදර්ශන දිනයක් බවට පත්වෙලා තිබෙනවා. එය අද මුදලාලිගේ දිනයක්. මේ නිසා අද වෙසක් දිනයෙන් වෙන්නේ ප්‍රතිපත්තිමය වශයෙන් අඩු කර ගත යුතු රජස් හා තමස් තව තවත් වැඩි වීමයි. නිරෝගී දිනයක් උදා කරගැනීම සඳහා සිතුවිලි භාවිතාවේ යෙදවීමට තිබෙන වෙසක් දිනය ජනයා තව තවත් රෝගීන් බවට පත්කරන දිනයක් බවට පත් වෙලා තිබෙනවා.
දන්සල්වලින් ජනතාවට ලබා දිය යුත්තේ ලබන්නාට (දානය) යහපත් වන ආකාරයේ හා නිරෝගී බව ආරක්ෂා වන ආකාරයේ ආහාරයක්. නමුත් අද දන්සල් වලින් ලැබෙන්නේ වැඩි වශයෙන් ජනතාව තව තවත් රෝගී වන ආකාරයේ ආහාරයි. රස කාරක අඩංගු ආහාර, කෘත්‍රිම ආහාර, රස කාරක අඩංගු පැණි බීම වර්ග, ගුණාත්මක භාවයෙන් පිරිහුණ අයිස් ක්‍රීම් ආදිය අද දන්සල්වල බහුලයි. නූඩ්ල්ස්, පාන්, කෝලා වර්ග ආදිය ලබාදෙන දන්සල් වලින් නිරෝගී දිවිය රැකෙන්නේ නැහැ.
කල් ඉකුත්වීමට ආසන්න ආහාර අඩු මිලට තොග වශයෙන් ලබාගෙන දෙන දන්සල්ද තිබෙනවා. මේවා බුදුදහමට මෙන්ම ආයුර්වේදයටත් පටහැනියි. මේවායින් සිදුවන්නේ පින් සිදුවීමකට වඩා පව් සිදුවීමක්. බෙලිමල්, කෝපි, වස විසෙන් තොර දේශීය පලතුරු ආදිය ලබාදෙන්න දන්සල් පවත්වන අය සිටින්නේ අල්පවශයෙන්. බෙලිමල් දන්සල් ළඟ සෙනඟ නැති වුණත් පාන් දන්සල් ළඟ දිගු පෝලිම් දකින්න පුළුවන්. බෙලිමල්, දේශීය ආහාර දන්සල් ලබාදීමට වැඩි වශයෙන් ජනතාව උනන්දු කළ යුතුයි.
එසේ වුණොත් හිතායු, සුඛායු, දිඝායු සලසා ගන්න පුළුවන්. වෙසක් කාලයේ වැඩියෙන්ම අලෙවි වන්නේ පිටරටවලින් ගෙන්වන කෘත්‍රිම ආහාර බව තහවුරු වී තිබෙනවා. වෙසක් කාලයේ රටේ විශාල ධනයක් පිටරටට ඇදී යන බවත් පෙනීයනවා. ඒ නිසාම බුදුදහමටත් ආයුර්වේදයටත් පටහැනි ජනප්‍රිය වෙසක් නිරිමාණය කරන්න වැඩි වශයෙන් වෙහෙසෙන්නේ මේ වෙසක් භාණ්ඩ, කෘත්‍රිම ආහාර ආනයනය කරන වෙළෙන්දන්.
ඔවුන් බොහොමයක් බෞද්ධයන්ද නොවෙයි. මේ තත්ත්වය මෙවර වෙසක් දිනයේදීවත් රට අවබෝධ කරගැනීම වැදගත්. ඒ නිසා දේශීයත්වය අගය කරන වෙසක් දිනයකට එකතු වී ආධ්‍යාත්මික සුවය ළඟ කරගැනීමට පෙළ ගැසෙන ලෙසට සියලු ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
තමිඳු මධුසර ලියනගේ - අහුන්ගල්ල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd