සෑම සරත් සෘතුවකම ජපානයේ කුඩා දරුවන් සිටින පවුල් 'ෂිචි-ගෝ-සන්' නමින් හඳුන්වන සාම්ප්‍රදායික මෙන්ම විචිත්‍රවත් උත්සවයක් සමරනවා. ජපන් භාෂාවෙන් 'ෂිචි-ගෝ-සන්' යන්නෙන් අදහස් කරන්නේ '7-5-3' යන්නයි. එනම් වයස අවුරුදු 3 සහ 7 පිරුණු ගැහැනු ළමයින් සඳහා මෙන්ම අවුදුරු 5 පිරුණු පිරිමි ළමයින් වෙනුවෙන් සමරන උත්සවයට තමයි 'ෂිචි-ගෝ-සන්' කියන්නේ. ඔවුන්ගේ අනාගත සුරක්ෂිතතාව සහ සෞඛ්‍ය සම්පන්න බව වෙනුවෙන් දෙමාපියන් සහ පවුලේ සෙසු සාමාජිකයන් සමග පන්සලකට හෝ ආගමික සිද්ධස්ථානයකට ගොස් ආගමික වතාවත් සිදුකරමින් ආශිර්වාද ලබාගැනීම මෙහිදී සිදුවෙනවා. එය සෑම වර්ෂයකම නොවැම්බර් මස 15 වැනිදා සමරනු ලබන අලංකාර උත්සවයක්.
ජපන් ජන සමාජය අවුරුදු තුන, පහ හා හත යන කාලයන් දරුවෙකුගේ වර්ධනයේ වැදගත් අවධීන් ලෙස සලකන අතරම ඔත්තේ සංඛ්‍යාද වාසනාවන්ත සංඛ්‍යා ලෙස විශ්වාස කරනවා. නොවැම්බර් 15 වැනිදා %ෂිචි-ගෝ-සන්^ සැමරීමට තවත් හේතුවක් තියෙනවා. ඒ තමයි තුන, පහ හා හත යන අංක තුනේ එකතුව 15 වීමත්, එය සුබ දිනයක් ලෙස සැලකීමත්. කෙසේ වෙතත් අතීතයේ පටන් නොවැම්බර් 15 වැනිදා %ෂිචි-ගෝ-සන්^ සමරනු ලැබූවත් නූතනයේ පවතින කාර්යබහුල දිවිපෙවෙත නිසා දැන් දැන් බොහෝ නාගරික පවුල් එය සති අන්තයේදී හෝ නිවාඩු දිනයකදී සමරන්නට පටන් අරන්.
නූතන 'ෂිචි-ගෝ-සන්' වෙනුවෙන් ළමයින් අලුත් හා හොඳම ඇඳුමින් හැඩවැඩ කරන්නට දෙමාපියන් මහත් වෙහෙසක් ගන්නවා. විශේෂයෙන්ම මව මේ වෙනුවෙන් වැඩි උනන්දුවක් දක්වන බවයි වාර්තා වෙන්නේ. මෙදින ගැහැනු දරුවන් සාම්ප්‍රදායික %කිමෝනෝවෙන්^ හැඩවෙන අතර, පිරිමි දරුවන් %හකාමා^ ඇඳුමෙන් හැඩ වෙනවා. එසේ හැඩ වූ දරුවන් තම දෙමවුපියන් සමග ඔවුන්ගේ ෂින්ටෝ සිද්ධස්ථානය වෙත හෝ පන්සලකට ගොස් ආගමික වතාවත්වල යෙදෙමින් දරුවාගේ වර්තමාන මෙන්ම අනාගත නිරෝගී බව වෙනුවෙන් ආශිර්වාද ලබාගන්නවා. ඒ වාගේම දෙමාපියන් විසින් දරුවන්ට මෙදින රසකැවිලිද ලබාදෙන අතර, එය %චිටොසෙ-අමෙ^ නමින් හඳුන්වනවා. එහි වචන අර්ථය %අවුරුදු දහසක රසකැවිලි^ යන්නයි. අතීතයේදී, විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජපන් ජන සමාජය විවිධ රෝගාබාධයන්ට වැඩි වශයෙන් ගොදුරු වූ කාලයක් වුණා. එකල ළදරු මරණ අනුපාතිකයද බරපතළ ලෙස ඉහළ අගයක් ගත්තා. එබැවින් %ෂිචි-ගෝ-සන්^ ළදරුවන්ගේ දිවියේ වැදගත් සංධිස්ථානයන් ලෙස සලකන්නට ජපන් ජන සමාජය ක්‍රමක්‍රමයෙන් හුරු වී තිබෙනවා.
ජපන් බිලිඳෙකුගේ උපතින් දින හතකට පසුව හිසකේ බූගෑම අතීතයේ පටන්ම පැවති සම්ප්රදායක්. වර්තමානයේදී එය එතරම්ම දැකගැනීමට නොහැකි වුවත් ඉඳහිට එවැනි බිලිඳෙකු දැකගැනීමට හැකියි. එතැන් පටන් දරුවාට වයස අවුරුදු තුන වනතුරු හිසකේ බූගෑම ජපානයේ පැරණි සිරිත විය. එය දරුවාගේ වැඩීමට අවශ්‍ය කරන ශක්තීන් මනා ලෙස ලැබෙන බව ජපනුන් තුළ පැවති විශ්වාසයක්. ඒ අනුව හිසකේ බූගෑම නතර වන්නේද වයස අවුරුදු තුන පිරුණු පසුවයි. එය මෙම සාම්ප්‍රදායික චාරිත්‍රවල අවස්ථාවයි. එය %කමිඕකි^ නමින් හඳුන්වනවා. මෙතැන් පටන් බිලිඳාගේ හිසකේ හොඳින් වර්ධනය වන බව ජපනුන් විශ්වාස කරන්නක්.
මෙහි දෙවැනි චාරිත්‍රය 'හකාමගි-නො-ගි' යනුවෙන් හැඳින්වෙනවා. එනම් 5 හැවිරිදි පිරිමි දරුවන්ට සාම්ප්‍රදායික 'හකාමා' ඇඳුම (ලිහිල් කලිසම්) පළමු වරට අඳින්නට අවස්ථාව හිමි වීමයි. තවද මෙදින සිට පිරිමි දරුවන්ට සිය කාර්යභාරය හා වගකීම් පිළිබඳ අවවාද ලබාදීමක්ද සිදුවන අතර, ඒ වෙනුවෙන් ඔවුන් හුරුපුරුදු කරන්නේ ද මෙදින සිටයි. තෙවැනි උත්සවය, 'ඕබිටෝකි-නො-ගි' වේ. මෙය අවුරුදු 7 ක් වයසැති ගැහැනු ළමයින් සඳහා පවත්වනු ලබන අතර, ගැහැනු ළමයින්ට මෙදින පළමුවරට සාම්ප්‍රදායික 'ඔබි' ඇඳුමෙන් සැරසෙන්නට අවස්ථාව ලැබෙනවා. මෙය ගැහැනු දරුවන් ක්‍රමයෙන් කාන්තාවන් බවට පත්වෙමින් සිටින බව සංකේතවත් කරන්නක්. 'ඔයිටොකි-නො-ගි' ආරම්භය කමකුරා යුගය දක්වා දිවයන්නක්. එකල එය ගැහැනු දරුවන්ට වයස අවුරුදු 9 සපිරුණු විට සැමරුවත් 'එඩෝ' යුගයේදී මෙය නැවත වරක් වයස අවුරුදු 7 දක්වා අඩු විය.
මේ සෑම අවස්ථාවකදීම අර්ථ ගන්වන්නේ දරුවන් පියවරෙන් පියවර වැඩිහිටියන් ලෙස සමාජයට පැමිණෙමින් තිබෙන බවයි. ඒ වගේම ඔවුන් ජපන් සමාජ සම්ප්‍රදායන්ට අනුව වගකීම් දැරීමට සුදුසු තත්ත්වයට පත්වෙමින් ඒ සඳහා හුරුව ලබාගැනීමයි.
කෙසේ වෙතත් ඉහතින් සඳහන් කළ අතීත විශ්වාසයන්ට හා සාම්ප්‍රදායික වටිනාකම්වලට වර්තමාන ජපන් ජන සමාජය තුළ පවතින ඉඩ පිළිබඳ යම් සැකයක් මතු වුවත් ඔවුන් එය සැමරීමට අමතක නොකරයි. වර්තමානය වන විට %ෂිචි-ගො-සන්^ චාරිත්‍රය හුදෙක් එක් සැමරුමක් බවට පරිවර්තනය වී තිබුණත්, චාරිත්‍රයක් ලෙස ආගමික ස්ථානයන් වෙත යන ජපන් දෙමාපියන් තම දරුවන් වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා පමණක් එය භාවිත කරයි. තවද මෙය විසිතුරු ඇඳුමින් දරුවන් හැඩ කරවා ඡායාරූප ලබාගැනීමට යොදා ගන්නා තවත් අවස්ථාවක් ලෙසද පෙනෙන්නට තිබේ.