දරුවන් වටිනා සම්පත් කොට සැලකූ යුගය කාලයත් සමග වියැකී යනවාදැයි සිතෙන තරමට ශ්‍රී ලංකාව තුළ කුඩා දරුවන් දූෂණය කිරීම, පැහැරගෙන යෑම, මරා දැමීම දක්නට ලැබේ. පසුගිය පාලන සමය තුළද නිමානොවූ දරුවන්ගේ අවාසනාව වත්මන් යහපාලනයෙන්වත් නිමාවේදැයි බලා සිටියද එයද තවමත් එතැනය. යහපාලනයේ පෙරගමන් යන ජනපතිතුමනි, අගමැතිතුමනි රටේ හෙට දවස සුරැකීම වෙනුවෙන් මේ ඔබේ අවධානය පිණිසයි.
පුංචි දියණියක් මීට දෙතුන් දිනකට පෙර කාගේ හෝ වරදින් ජීවිතයට සමුදුන්නාය. කිසිවක් නොදන්නා ඇය ගෙන්දගම් පොළවේ රළුපහස නිරුවත් සිරුර පුරා විඳිමින් කටු අකුලක නිහඬව වැතිර සිටියාය. වරදකරුවා කවුරුන් වුවද, කවුරුන් කාට ඇඟිලි දිගු කළද සිඟිති දියණියක පස්වසක් පිරෙන්නටද මත්තෙන් වේදනාත්මකව මරණය අත්දුටුවාය.
මේ වනවිට මෙරට මෙවැනි සිදුවීම් නුපුරුදු අලුත් අත්දැකීම් නොවේ. මීට පෙරද මෙවන් අකල් මරණයන් කෙතරම් සිදුවුවද ඒවා කාලයත් සමග වැළලී ගියේ කිසිවෙකුට කිසිවක් නොවූ අයුරිනි. දේශපාලකයෝ වේදිකාවල ඒ පුංචි එවුන්ගේ මළකඳන් අලෙවි කළෝය. ඒ මළ දරුපැටවුන්ගේ නාමයෙන් මනාප පෙට්ටියට මනාප පුරවාගත්තෝය. දරුවන්ට එසේ නොකරන්නෙමු යැයිද, කරන්නට ඉඩ නොතබන්නෙමු යැයිද සපථ කළෝය. එහෙත් ළමා හිංසනය, දූෂණය, මරාදැමීම වළක්වන්නට කිසිදු නීතියක් හැදුණේ නැත. නීතියේ දැල පුරා විසිරුණු සිදුරුවලින් දූෂකයන්, මිනීමරුවන් රිංගා යද්දී දේශපාලකයෝ, ප්‍රතිපත්ති සම්පාදකයෝ, ධන කුවේරයෝද නීතියේ කාන්තාවගේ දෑස් බැඳි රෙදිකඩ තදින් සිරකොට අල්ලාගෙන සිටියෝය.
සදාචාරය විසින් බැඳ දැමිය නොහැකි මිනිසා නීතියෙන්වත් බැඳ දැමිය යුතු යැයි අප කියන්නේ මේ තත්ත්වය යටතේ අනාගත පරපුර සුණුවිසුණු කරන්නට ඉඩනොදිය යුතු නිසාය.
ගම්පහ කොටදෙණියාවේ සේයා සදෙව්මි පුංචි දැරිය මිය යන්නේ නිවසින් අතුරුදන්ව දිනකට පසුව ඇළක් අයිනේය. නිරුවත වසා ලැජ්ජාව බිය හුරුකර අම්මා කෙනෙකු ගැහැනු දරුවෙකු හදන්නේ කවදා හෝ ගුණයහපත් සොඳුරු ගැහැනියක් බවට පත්කිරීමේ පරම අභිලාෂයෙන් වුවද පුංචි සේයා නිරුවතින්ම වැතිර සිටියාය. දහස් ගණනක් ලෝකයා ඉදිරියේ පුංචි දැරිය මරා දමා නිරුවත් කොට යන්නට හැකි වූ කුමන හෝ පුද්ගලයා මවු කුසක් තුළ කළලයක්ව නොසිටියේද?
පුංචි දැරියගෙන් කුමන හෝ ආවේගයක් පිටකරගත් මිනීමරුවා පස්වසක්වත් නොපිරූ කෙළිකවට සිනා පිරි ඇගේ ජීවිතය යම්තරම්වත් ඉතිරිකර තබා යා යුතු යැයි නොසිතුවේ ඇයි? වරදට දඬුවමක් විනා විකල්පයක් අවශ්‍ය වන්නේ නැත. වරදකරුවා ඇප මත නිදහස්ව නිදැල්ලේ යැවීම, නිදොස්කොට නිදහස්ව දැරියක මරා නොදැමූ ලෙසින් ජීවත්වන්නට ඉඩලබාදීම අපරාධකරුවා හැර වෙන කිසිවෙකුත් අපේක්ෂා නොකරන්නේය.
මේ දැරිය මියගියේ පළමු බිල්ල ලෙසින් නම් නොවේ. දූෂණය යනුවෙන් අන්තර්ජාලයේ විමසා බලන්නේ නම් පිටු ගණන් හමුවන දූෂණය කර මියගිය දැරියන්ගේ නම් අතර, මෙය සමීපතම පුවත පමණක්ම වන්නේය.
යාපනය පුන්කුඩිතිව්හි සිවලෝගනාදන් විද්‍යා ශිෂ්‍යාව මිය යන්නේ වධහිංසා මධ්‍ය‘යේ අපයෝජනය කිරීමෙනි. පෞද්ගලික ආරවුල් හෝ දේශපාලන ආරවුල්වත්, ව්‍යාපාරික ආරවුල්වත් සිදුවූවාට ඒවාට දරුවන් පළිනැත. උන් ඒවායේ වගක්වත් දන්නේද නැත. එහෙත් විද්‍යාද කෙලෙසී මිය ගියාය. රටේ නීතිය කුමක් වුවද, විද්‍යාට සිදුවූ හිංසනයට එරෙහිව කටයුතු කරන්නැයි ඉල්ලා යාපනයේ හඬ නැගීමවත් අගය කළ හැකිය. දකුණේ මිය ගිය අපේ අහිංසක දැරියන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා හඬ නැගුවෝ කවුරුන්ද? ඒ ගැන සිතා හෝ හැඬුවේ පවුල් සමීපතමයන් පමණි. දකුණට වඩා උතුරට දැනුණු මනුෂ්‍යත්වයේ සුවඳ නමින් හෝ විද්‍යාට සාධාරණයක් වනවා නම් එය රටටම පරමාදර්ශයක් වනු ඇත.
කලකට ඉහත ගම්පහ ප්‍ර‘දේශයේ ප්‍රධාන බාලිකා විදුහලක 13 වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක දූෂණය කර රූගත කර අන්තර්ජාලයේ ප්‍රචාරය කළ ඇයගේම උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගැනුණි. තිලාන් සේනානි රූපසිංහ නමැති ගුරුවරයා තම දියණියක වන් දැරියකට එසේ සිදුකරන්නට ශක්තිය සැපයූවේ සවිබල නොවූ නීතියමදැයි සිතාබැලිය යුතුය. හොඳ නරක පෙන්වා දෙන ගුරුවරුන්ම දරුවන් දූෂණය කරන්නේ නම් දරුවන් විශ්වාස කළ යුත්තේ කවුරුන්ද?
දෙණියාය ප්‍රදේශයේ 34 හැවිරිදි සිවුදරු පියෙකු අවුරුදු 16 ක පාසල් දැරියක දූෂණය කර ටයි පටියෙන් ගෙල සිරකොට මරාදැමුවේය. 2007 පෙබරවාරි මාසයේ සිදුකළ මෙම අපරාධයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ 2015 වසරේ මුල් මාසවලය. වසර ගණනක් පුරා අපරාධකරුවන් තවත් අපරාධ කරන්නට පවා පෙළඹවිය හැකි තරම් දිගු කාලයක් ගන්නා මෙවන් තත්ත්වයකදී නීතියේ සාධාරණත්වය වලංගුවන්නේ කාටදැයි සිතාබැලිය යුතුය. දූෂණයෙන් පසු දැරිය මිය නොගියේ නම් වසර 08 කට පසු අපරාධකරුට දඬුවම් ලැබෙද්දී දැරිය වයස අවුරුදු 24 ක තරුණියකි. එසේ වූවා නම් තරුණියක ලෙස ඇයට කොතරම් අපහසුතාවක් ඇතිවන්නට තිබුණාද? දූෂකයන්ට හා අපරාධකරුවන්ට එරෙහි නීතිය මීට වඩා වේගවත් විය යුතු යැයි අප කියන්නේ එබැවිනි.
කිලිනොච්චියේ වයස අවුරුදු 3 ක දැරිය දූෂණය කර ගෙල සිරකර මරන්නේ අවුරුදු 14 ක පිරිමි දරුවෙකු විසිනි. ලිංගිකත්වය, ලිංගික අපයෝජනය, දූෂණය ආදී දේ ලොකු මිනිසුන්ගේ සමාජයෙන් පුංචි දරුවන් අතරටද ගොස් ඇති බවට එය හොඳම සාක්ෂියකි. එසේ නොවන්නට 08 වසරේ ඉගෙන ගන්නා දරුවෙකුට අවුරුදු 03 ක ළදැරියක දූෂණය කර, මේකි කාටවත් කියයිද දන්නේ නෑ යන ආකල්පයෙන් ගෙල සිරකර මරා දමන්නට තරම් මානසිකත්වයක් ලැබුණේ කාගේ වරදින්ද?
අක්මීමණ 08 හැවිරිදි දැරිය දූෂණය කර මරා දමා ගියේද පුංචි දියණියකගේ කෙළිකවට බව හඳුනානොගත් 28 හැවිරිදි නරුමයෙකු විසිනි. අතෘප්තිකර මානසිකත්වය මෙන්ම හයහතර නොදත් ළපටි දැරියක දූෂණය කිරීමට ඇතිවන හැඟීම මේ මිනිසුන් කරා කොහෙන් ආවේදැයි දන්නේ දෙවියන් පමණි.
මාහියම්ගම ගමේ නිමල් ජයසිංහ නමැති පියා තමාට ජාතකව තම ලෙයින් උපන් 08 හැවිරිදි දියණිය දූෂණය කර නිවසේ මුළුතැන්ගෙය තුළ වළලා දියණිය අතුරුදන්වී යැයි පොලීසියට කියා නිහඬව කඳුළු සලමින් ඉන්නට තරම් සාහසික වූවේය. තම ලෝකයේ වීරයාවූද ආදරණීය උණුසුම වූද පියා තමා දූෂණය කරාවි යැයි දියණියක සිතන්නේ කෙසේද? තත්ත්වය එපරිදි නම් දියණියක තම පියාට ආදරය කරන්නේ කෙසේද? එසේ වනවිට සිදුවන්නේ දරුවන් අතින් විශ්වාසය ගිලිහී යාමක් පමණි.
වැලිකඩ පොලීසියේ වරක් පැමිණිල්ලක් ලියැවෙන්නේ වසර 2 ක් පුරා ඒ වනවිට දස හැවිරිදිව සිටි දියණිය පියා විසින් විටින් විට දූෂණය කර ඇති බවයි. මව විසින් පොලීසියට කළ පැමිණිල්ලෙන් පසු පියා වස බී සිය දිවි හානි කරගෙන තිබේ.
පෙරකී ලෙසම තම දියණිය වසර දෙකක් පුරාවට ලිංගික අපයෝජනයට ලක්කරන්නට තරම් පියෙකුට හැකියාව ලැබුණේ කෙසේද? මෙසේ විනාශ කෙරන්නේ සියලු දියණිවරුන් සියලු පියවරුන් කෙරෙහි තබා තිබෙන විශ්වාසයයි.
ක්රිෂ්ණ කුමාර් දුශ්‍යන්ති දැරිය සය හැවිරිදි වියේදී දූෂණය කර මරා දැමූ පුංචි සිරුර සොයාගන්නේ කිරුළපන ඇල මාර්ගයක තිබියදීය. කාතන්කුඩිහි විසූ 12 හැවිරිදි සාබ්දීන් ෆාතිමා දැරිය දූෂණය කර මරාදමන්නේ පදියතලාවේ විසූ දෙදරු පියෙකු වූ ඇගේ මාමා විසිනි.
තවද බොහෝ දෙනා පවසන්නේ දරුවන්ගේ ආරක්ෂාව දෙමාපියන් විසින් සැලසිය යුතු බවකි. එහෙත් මෑතක සිට අසන්නට ලැබෙන පරිදි පියා විසින් තමන්ගේම දරුවා දූෂණය කර මරා දමයි නම් හෝ මව සහ පියා එකතු වී තම දරුවා මරා දමයි නම් දෙමාපියන් දරුවන්ගේ ආරක්ෂාව සැලසීම ගැන ගැන තවත් කුමන කතාද?
මීට අමතරව පෙම්වතුන් ලෙසින් සමීපව හිඳ දූෂණය කරනුද, දූෂණය කර ඝාතනය කරනුද දක්නට ලැබේ. එවන් තත්ත්වයකදී නම් ගැහැනු දරුවාටද යම් අවබෝධයක් තිබිය යුතුය. එමෙන්ම දරුවන්ට ලිංගිකත්වය පිළිබඳව අවබෝධයක් ලබාදීමෙහි ලා සමාජයටද විශාල කාර්යභාරයක් පැවරේ.
කඩුගන්නාවේදී 17 හැවිරිදි පෙම්වතා 14 හැවිරිදි අචලා ප්‍රියදර්ශනී නමැති පෙම්වතිය දූෂණය කර ටයිපටියකින් ගෙල සිරකර මරාදැමුවේය. නායකත්ව පුහුණුව අතරතුර හමුවූ හමුදා සෙබළා කොළඹ විශ්වවිද්‍යාලය අසලට පැමිණ හමුවී කතාකර සිසුවිය දුෂණය කර පළාගියේය.
මහියංගණයේ 28 හැවිරිදි පෙම්වතා 16 හැවිරිදි දැරිය දූෂණය කර ගණිකා වෘත්තියේ යෙදීවය. අලුත්ගම කන්දේ විහාරයේ හිමිනමක ගිහි නමකින් පෙනී හිඳ විවාහ කරගන්නා බව පවසමින් පාසල් දැරියක් දූෂණය කර තිබේ. මේ ව්‍යසනකාරී තත්ත්වය වෙනස් කරන්නට සමාජයට විශාල වගකීමක් කාර්යභාරයක් පැවරී තිබේ.
ලිංගික අපයෝජනයට එරෙහිව නීතිය මීට වඩා සවිමත් විය යුතුය. දරුවන්ට වටිනාකමක් හිමි විය යුතුය. පසුගිය පාලන සමවලදී දරුවන්ගේ අනාගතය මැනෙවින් සුරක්ෂිත කර දුන්නේ නැත. ස්ත්‍රී දූෂකයන් ළමා අපයෝජකයන් එළියට ආවේ දේශපාලකයන්ගේ සවියෙනි. දේශපාලකයෝද ළමා අපයෝජකයෝ වූහ. ඒ යුගය වෙනස් කළ යුතුව තිබේ.
යහපාලනය යැයි කියා මිනිසුන් අපේක්ෂා කළේ ඒ සුරක්ෂිත අනාගතය හා හෙට දවසයි. යහපාලනයේ නියමුවන් වූ ජනපතිවරයාටත්, අගමැතිවරයාටත් අනාගත පරපුර ගොඩනැගිමෙහිලා දැවැන්ත වගකීමක් පැවරී තිබේ. යහපාලනය තිබෙන්නේ කුඩුකාරයන් හා එතනෝල්කාරයන් ඇල්ලීමට පමණක් නොවේ.
ළමා අපයෝජකයන් හා මිනීමරුවන්ද අල්ලා ගත යුතුය. ඔවුන්ට මේ සමාජයේ යළිත් වැරදි නොකරන්නට නීති සකස් විය යුතුය. මිනීමරුවෙකු ටික දිනකින් එළියට විත් යළිත් එයම කරන්නේ නම් නීතියෙන් ඇති ඵලක් නොවේ. එහෙයින් ඒවාට දැඩි නීති සකස් විය යුතුය. වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක වෙනු දකිද්දි වැරදි කරන්නට සමාජය බිය වන තැනට පත්කළ යුතුය.
සුළු වරදටත් දරුණු දඬුවම් ක්‍රියාත්මක වන ලෝකයේ මෙරට අනාගතය වනසන නරුමයන්ට නීතියෙන් දඬුවම් දිය නොහැකි මන්දැයි අසන්නේ ජනපතිතුමනි, ඔබතුමාගෙනි. දරුවන් කෙරෙහි ඔබේ ආදරයද කැමරාව ඉදිරියේ මාධ්‍ය සංදර්ශනයක් වන්නේ නම් රටේ ජනතාව දිනක ඔබටද සාපකරනු ඇත. එය දරුවන්ගේ අනාගතය රැකවල් කරන්නට බඳින මහා පවුරක් වී දරුවන් සුරක්ෂිත කළ යුතුය. දරුවන්ගේ ලෝකයේ රජෙකු වී ඔබේ දෑතින් ඒ දරුවන්ගේ ලෝකය සෙවණ කළ යුතුය. එය ඔබේ වගකීමක් කොට සලකා කටයුතු කරන දිනයේදී මේ රටේ කුඩා දරු පැටවුන්ගේ අනාගතය සොඳුරු වනු ඇත.
ජනපතිතුමනි, ළමා දූෂකයන් වෙනුවෙන් වහාම දැඩි දඬුවම් ක්‍රියාත්මක කරන්න!