ජපාන රජයේ නිල ඇරයුමින් ජපානයේ රාජ්‍ය සංචාරයක යෙදෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (13දා) දිනයේදී විශේෂ කාර්යයන් රැසකට එක්විය.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය තවදුරටත් තහවුරු කිරීම සිදු කෙරෙන මෙම සංචාරයේදී ශ්‍රී ලංකාවට වාසිදායක අවස්ථා රැසක් උදාකර ගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වෙයි.
ජනාධිපතිවරයා ජපාන අධිරාජ්‍යයා හමුවෙයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (13දා) උදෑසන ටෝකියෝ නුවර පිහිටි ඉම්පිරියල් මන්දිරයේදී ජපාන අධිරාජ්‍යයා වන අකිහිතෝ අධිරාජ්‍යයා සහ මිචිකෝ රැජින හමුවිය. මේ අවස්ථාවට ජනපති ආර්යා ජයන්ති සිරිසේන මහත්මියද එක්වූවාය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉතා සුහදශීලී මෙන්ම උණුසුම් ආකාරයෙන් පිළිගත් ජපාන අධිරාජ්‍යයා සහ රැජින පසුව ජනාධිපතිවරයා සහ ජනපති ආර්යාව සමග සුහද සාකච්ඡාවකට එක්වූහ.
එහිදී තමන්ගේ තරුණ අවධියේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ තමන් දුටු ශ්‍රී ලංකාවේ සුන්දරත්වය පිළිබඳ විස්තර කළ අධිරාජ්‍යයා ශ්‍රී ලංකා ජනතාවගේ සුහදත්වය තමන්ට ලබාදුන් පිළිගැනීම පිළිබඳ සිය මතකය අවදි කළේය. ජපානය ස්වාභාවික ආපදාවන්ට ලක්වූ බොහෝ අවස්ථාවල ශ්‍රී ලංකාව මිත්‍රත්වයෙන් තමන් සමග කටයුතු කළ ආකාරය අගය කරන බවද ජපාන අධිරාජ්‍යයා පැවසීය. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම මොහොතකදී ජපානයේ සහාය ලබාදෙන බවද අධිරාජ්‍යයා පැවසීය.
මෙම අවස්ථාවේදී ජපානයේ හොඳ හිත සහ මිත්රශීලීත්වය පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අධිරාජ්‍යයාට සිය ස්තුතිය පළකළ අතර, දෙරට අතර සමාජ සහ සංස්කෘතික සම්බන්ධතාව තවදුරටත් ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය කටයුතු කිරීමට තමන් උපරිම උත්සාහය ගන්නා බවද පැවසීය.
ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව හමුවීම
ජපාන අධිරාජ්‍යයාගේ හමුවෙන් පසුව ටෝකියෝහි ඉම්පීරියල් හෝටලයේදී ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරමින් පැමිණි 12 දෙනෙකුගෙන් යුතු පිරිසක් හමුවීමටද ජනාධිපතිවරයා කටයුතු කළේය. පසුගිය සති කිහිපයේදී ශ්‍රී ලංකාවේ ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්විය. සියලු ජාතීන් අතර සහෝදරත්වය ගොඩනැගීමට පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන මේ අවස්ථාවේදී සුළු පිරිසකගේ ක්‍රියාවක් නිසා සිදු වූ මෙම නොසන්සුන්තාව පිළිබඳ තමන් බෙහෙවින් කනගාටු වන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
තමන් 2015 ජනවාරි 08 වැනිදා වෙනසට ඉතා කැමැත්තක් දක්වන පිරිසක් බවත්, එහිදී තමන් බලාපොරොත්තු වූයේ සාමය සහ සහජීවනය ඇති ශ්‍රී ලංකාවක් බිහිවනු දැකීම බවත් එහිදී අදහස් දැක්වූ මුස්ලිම් නියෝජිතයෝ පැවසූහ.
එහිදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ මුස්ලිම් නියෝජිතයන්ගේ අදහස වූයේ, ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ ආගම යන අංශ දෙක එකක් ලෙස නොගත යුතු බවයි. දියුණු වූ රටවල් දෙස බලා ශ්‍රී ලංකාවේ අනාගතය නිවැරදි අයුරින් සකස් විය යුතු බවද ඔවුහු පැවසූහ. මෙම සාකච්ඡාවට විදේශ අමාත්‍ය තිලක් මාරපන, ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය ධම්මික ගංගනාත් දිසානායක යන මහත්වරුද එක්වූහ.
ශ්‍රී ලංකා ආයෝජන සමුළුව
ජනාධිපතිවරයා ඊයේ (13දා) පස්වරුවේ ටෝකියෝහි ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී ඇරඹි ශ්‍රී ලංකා ආයෝජන සමුළුවටද සහභාගි විය. සියයකට අධික ජපාන සහ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් මෙම අවස්ථාවට සහභාගි වූ අතර, සමුළුව සඳහා ඉතා ඉහළ උනන්දුවක් දැකගත හැකි විය.
සමුළුව ඇමතූ සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සඳහන් කළේ, ජපානය සහ ශ්‍රී ලංකාව අතර දශක ගණනාවක් පුරා විවිධ අංශයන්හි ඇති සහයෝගීතාව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ජපාන සංචාරයත් සමග තවදුරටත් වර්ධනය වනු ඇති බවයි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර රැසක නව ආයෝජන අවස්ථා ඇති වී තිබෙන බවද, එම ක්ෂේත්රයන්හි ආයෝජනය කිරීමට තමන් ජපාන ආයෝජකයන්ට ආරාධනා කරන බවද හෙතෙම පැවසීය.
ශ්‍රී ලංකාවේ වරාය, වාරිමාර්ග සහ ගුවන්තොටුපළ සංවර්ධනය සඳහා ජපාන ලබා දුන් සහායද වර්තමානයේ ව්‍යාපෘති සඳහා ලබාදෙන සහයෝගයද ඔහු අගය කළේය. දේශීය ආදායම් පනතේ නව සංශෝධන සමග ආයෝජන අවස්ථා වඩාත් පහසුවනු ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
දෙරට ආයෝජකයන් සහ ව්‍යාපාරිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම සමුළුවේදී දෙරට අතර ආර්ථික බැඳීම තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ පුළුල් අවධානය යොමු කෙරිණි. ජපානයේ ආර්ථික, වෙළෙඳ හා කර්මාන්ත උප ඇමති මසකි ඔගුෂි මහතාද මෙම හමුවට එක්ව සිටියේය.
බෞද්ධ විහාරස්ථානවල නායක හිමිවරුන් හමුවෙයි
ජපානයේ පිහිටි ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා වැඩ සිටින විහාරස්ථානවල නායක හිමිවරු ඊයේ (13දා) සවස ජනාධිපතිවරයා මුණ ගැසුණහ. බෞද්ධාගමික ප්‍රචාරය වෙනුවෙන් ජපානයේ සිට උන්වහන්සේලා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සිය ගෞරවය ප්‍රකාශ කිරීමට මෙහිදී ජනාධිපතිවරයා කටයුතු කළේය. තරුණ පරපුරට අපේ යහපත් සංස්කෘතික වටිනාකම් අවබෝධ කර දෙමින් සියලුම ශ්‍රී ලාංකික දරු පරපුර යහපත් සහ සදාචාරවත් පරපුරක් ලෙස ගොඩනැගීමේ අවශ්‍යතාව මෙහිදී ජනාධිපතිවරයා පැහැදිලි කළ අතර, එහිදී ආගමික නායකයන්ට සුවිශේෂ කාර්යයක් පැවරෙන බවද පැවසීය.
ජපානයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙයි
ජපානයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවේ නියෝජිතයන්ගේ විශේෂ හමුවක් ඊයේ සවස ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී පැවැත්විණි. ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කළ මෙම හමුවට ජපානයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් සහභාගි වූහ. මෙහිදී ජපානයේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ගේ සංගමය, විද්වතුන්ගේ සංගමය, වාහන අපනයනකරුවන්ගේ සංගමය, වෘත්තිකයන්ගේ සංගමය සහ ජපානයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමය යන සංගම්වල නියෝජිතයන් අදහස් දැක්වූ අතර, ඇතැම් සංගම් රටේ සහ අනාගත
ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් සිය යෝජනා ජනාධිපතිවරයාට බාර දුන්නේය.
මෙහිදී ජනාධිපතිවරයා ජපානයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව රට වෙත දක්වන උනන්දුව සම්බන්ධයෙන් ස්තූතිය පළකළ අතර, රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ යම් අදහසක්ද ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙත පළ කළේය.