ශ්‍රී ජයවර්ධනපුර අගනගරයේ පාර්ලිමේන්තුවට ආසන්නයේ වන කිඹුලාවල ප්‍රදේශයේ මීට වසර කිහිපයකට පෙර තිබූ තත්ත්වයත්, අද වන විට ඇති තත්ත්වයත් අතිශයින්ම වෙනස්ය. මෙම ප්‍රදේශය හා ඒ අවට ප්‍රදේශ අගනුවරට අයත් වුවද, නිසි සංවර්ධනයක් ඒවායේ සිදුනොවිණි. 2012 වසරේදී රජය ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩපිළිවෙළ ජන ජීවිත පවා යම් තත්ත්වයකට ගෙන ඒමට සමත්ව තිබේ. සාමාන්‍යයෙන් අගනුවර ආශ්‍රිතව ජීවත් වන ජනතාවට සිය මානසික සුවය සඳහා සුදුසු පරිසරයක සංචාරය කිරීමට යම් අපහසුතා තිබුණද, එම සංවර්ධනය ඔස්සේ සිදුකළ යම්යම් ව්‍යාපෘති එම තත්ත්වය වෙනස් කිරීමට සමත් විය. පසුගියදා අප එම ප්‍රදේශයේ සංචාරය කළේ එහි වත්මන් තත්ත්වය පිළිබඳ විමසා බැලීමටය.
එහි ඉදිකර තිබෙන ඇවිදින මංතීරුව, ළමා උද්‍යානය හා එළිමහන් ශරීර සුවතා මධස්ථානය ආදිය ප්‍රදේශවාසීන් පවසන ආකාරයට යම් ආකාරයක අභාවයට යෑමක් පෙන්නුම් කරමින් පවතී.
2012 වසරේ ඉදිකරන ලද ළමා උද්‍යානයේ බොහෝ අංග අබලන් හා විනාශයට පත්ව තිබෙන්නේ එහි පැමිණෙන දරුවන්ටද අවදානමක් මතු කරමින්ය. එළිමහන් ශරීර සුවතා මධ්‍යස්ථානයේද ඇතැම් උපකරණ අබලන්ව තිබේ. ප්‍රදේශවාසීන් පවසන අන්දමට මෙහි පවතින ඇවිදින මංතීරුව අයාලේ යන සුනඛයන්ට මෙන්ම සවස් කාලය වනවිට බීමත් පුද්ගලයන්ට, අශීලාචාර පෙම්වතුන්ට සහ විවිධ සමාජ විරෝධී ක්‍රියාවන්ට මේ වන විට විවෘත වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් අප සමග අදහස් පළකළේ මේ අයුරිනි.
ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණ විහාරයේ විහාරාධිපති මහමෙවුනාවේ මංගල හිමි
'මේ විහාරස්ථානය ආරම්භ කළේ මීට වසර 12කට පමණ පෙර 2005 වර්ෂයේදීයි. ඒ කාලසීමාවේදී මේ අවට සම්පූර්ණයෙන්ම තිබුණේ තලපත්පිටිය, තලවතුගොඩ කියන ප්‍රදේශවල ජනතාව ඉස්සර කුඹුරු කරපු වෙල්යායවල් පමණයි. ඒවා අත්හැර දමලා තිබුණු නිසා ගොඩක් දුරට කැලේ වැවිලයි තිබුණේ. මේ කුඹුරු එවකට පැවැති රජයන් මගින් පවරාගෙන තිබුණේ ජයවර්ධනපුර රෝහල ඉදිකරද්දි ඒ රෝහල සඳහා අවශ්‍ය මාර්ගය ඉදිකරන්න. මාර්ගය ඉදිකළාට පස්සේ අවශේෂ ඉඩම් පහත්බිම් විදියට තිබුණා. පාරෙන් උඩ කොටස යම්යම් සංවර්ධන කාර්යයවලට යෙදවුණත් පහළ කොටස කැලෑවැදී තිබුණා. අගනුවර වුණත්, පාර්ලිමේන්තුවට ආසන්න වුණත් මේ ප්‍රදේශයේ ඉස්සර තිබුණේ කිසිදු සංවර්ධනයක් නොදුටු තත්ත්වයක්.
සාමාන්‍යයෙන් රාත්‍රිය වෙද්දි මිනිස්සු එළියට බැස්සේ ගොඩක් අඩුවෙන්. කෙටියෙන්ම කිව්වොත් සවස පන්සලේ බෝධි පූජාවට වුණත් එන මිනිස්සු ඉක්මනින් ගෙවල්වලට ගියා. පොදු ප්‍රවාහනය වුණත් තිබුණේ හවස හය හෝ හත වෙනකම් විතරයි. ඒ කාලයේ මේ ප්‍රදේශයේ විවිධ අපරාධ බහුලව සිදුවුණා වගේම විවිධ අපරාධ සඳහා මේ ප්‍රදේශය යොදාගෙන තිබුණා. සොරකමේ ඉඳලා සමහර වෙලාවට මිනිස්සු මරලා දාලා මෙහෙට ගෙනත් දැම්මා. අපරාධවලට යොදාගත්ත වාහන මේ පාරවල්වල දාලා ගිහින් තිබුණා. ඇතැම් දවස්වලට මම පිණ්ඩපතේ වඩින කොට ඕවා දැකලා මිරිහාන පොලීසිය දැනුවත් කරලා තියෙනවා. ඒ වගේ විශාල අනාරක්ෂිත බවක් මේ ප්‍රදේශවල තිබුණා. මේ ගම්වාසීන් වගේම අපිත් මුහුණදුන් විශාල පීඩාවක් තමයි වසරකට තුන්හතර වතාවක්ම සුළු වැස්සකටත් ඇතිවන ගංවතුර තත්ත්වය.
යුද්ධය අවසන් වෙලා 2012 වසර පමණ වනවිට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මූලිකත්වයෙන් තමයි මේ ප්‍රදේශ සංවර්ධනය වෙන්න පටන් ගත්තේ. අපි දැනුවත්ව එතුමාත් නිරන්තරයෙන් පැමිණ මෙහි සිදුවුණු සංවර්ධන කටයුතු නිරීක්ෂණය කළා. ඒ සංවර්ධන කටයුතුවලින් පස්සේ කලින් තිබුණු අනාරක්ෂිත තත්ත්වය නැතිවෙලා ගියා. මේ විහාරස්ථානය දෙපස තිබෙන වැව, පාරෙන් එහා පැත්තේ තියෙන ඇළ මාර්ගය ආදී ජල කළමනාකරණ පද්ධතියක් සකස් කරලා කලින් කලට ඇතිවුණු ගංවතුර තත්ත්වය සම්පූර්ණයෙන්ම නැතිකළා. ඒ වගේම මේ ප්‍රදේශයේ සිදුවූ අපරාධත් නැති වෙන්න පටන් ගත්තා. එවකට රජය මේ කැලෑවැදිලා තිබුණු පහත්බිම් ටික නැවත සකස් කරලා ගොවිතැන් කටයුතු කරන්න ඉදිරිපත් වූ ගම්වාසීන්ට නැවත ඒවා ලබාදුන්නා. අද වෙද්දි මේ කුඹුරු නැවත හොඳින් අස්වද්දනවා. ඒ සංවර්ධන කටයුතු සිදුවුණා වගේම නිසි ආකාරයෙන් නඩත්තු කිරීමත් සිදුවුණා. නඩත්තු කටයුතු සිදුවුණේ හමුදාව අතින් නිසා ඉතාමත් කාර්යක්ෂමව සහ නිසි පි‘ළිවෙළකට ඒවා සිදුවුණා. කවුරු කළත් ඇත්තෙන්ම මේ සංවර්ධනය ඉතාමත් ප්‍රශංසනීයයි.
දැන් තත්ත්වය ගත්තොත් මේ ප්‍රදේශයේ දකින්න තියෙන්නෙත් රටේම තියෙන තත්ත්වයමයි. දැන් මේ වැව් සුද්ධ පවිත්‍ර කිරීම වුණත් නිසි ආකාරයෙන් සිදු වෙන්නේ නැහැ. මේවායේ නඩත්තුව ඉස්සර තරම් කාර්යක්ෂමව සහ විධිමත් ආකාරයෙන් සිදුවෙන්නේ නැහැ. සෑම පැත්තකින්ම පරිපාලනය දුර්වල වෙලා තියෙනවා කියලා තමයි පේන්නේ. ඒ නිසා වගකිවයුත්තන්ට කියන්න තියෙන්නේ කවුරු කළත් මේ සිදුකරලා තියෙන්නේ ජනතාවගේ යහපත වෙනුවෙන් කරපු ව්‍යාපෘතියක් නිසා ඒවා නිසියාකාරයෙන් එලෙසම පවත්වාගෙන යෑම තමන්ගේ යුතුකමක් කියලයි.'
නිහාල් මහතා
'මේ ඇවිදින මංතීරුවේ සමහර විදුලි පහන් වැඩ කරන්නේ නැහැ. එළිමහන් ශරීර සුවතා මධ්‍යස්ථානයෙත් අඩුපාඩු තියෙනවා. නඩත්තුව මදියි. ඉස්සර මේ අවට එක කුණු කෑල්ලක් දාන්න දුන්නේ නැහැ. මිනිස්සු දාන්නෙත් නැහැ. අද හැමතැනකම වගේ කුණු. ඉස්සර මේ හැම තැනකම වගේ තිබුණේ කැලෑව නිසා අපරාධත් යම් ප්‍රමාණයකින් තිබුණා. ඒ වගේම මේ තරම් ජනාකීර්ණ තත්ත්වයක් තිබුණෙත් නැහැ. ඒත් සංවර්ධනයත් එක්ක ඒ තත්ත්වය ගොඩක් වෙනස් වුණා. අද මේ අවට තියෙන ඉඩමක් ගත්තොත් එහෙම ගොඩක් ගණන්.'
සරනේරිස් මහතා
'ඉස්සර මේ පැත්තේ තිබුණේ බොහොම ගැමි පරිසරයක්. මේ ඔක්කම අපි අස්වද්දපු කුඹුරු. ඒවා ජේ.ආර්. මහත්තයලාගේ කාලයේ අඩු ගාණට පවරා ගත්තෙ. සමහර තැන් සංවර්ධනය වුණා. සමහර තැන් කැලෑවට ගියා. එක එක ආණ්ඩු පත්වෙලා විවිධ වැඩකළා. ඒ වුණාට පොඩි අපට ලොකු අවධානයක් ලැබුණේ නැහැ. 2012 අවුරුද්දෙදි මේවා සංවර්ධනය කරන්න පටන් ගත්තාම අපි හිතුවේ අපට තියෙන කුඹුරු ටිකත් නැතිවෙයි කියලා. ඒ වුණාට ගෝඨාභය මහත්තයා මේ වැව් ටිකයි, ඇළයි හදවලා කැලෑවට ගිය කොටස් සුද්ධ කරලා වළවල් ගොඩ කරලා ඒවත් කුඹුරු කරලා අපට පර්චස් 100 ගාණේ බෙදලා දුන්නා වගා කරගන්න කියලා. ඒ විතරක් නොවෙයි වසවිස නැතුව වගා කරන්න කියලා ඒවාට ඕන පහසුකම් පවා දුන්නා. ඇත්තටම ඒක ගොඩක් වටින වැඩක්. මේ විදියට අද වෙද්දි අක්කර 102ක වගේ වපසරියක කුඹුරු කරනවා. අනික නියම කාලෙට හැමෝම මේවා වපුරන්න ඕන. දැන් ඒ මුකුත් නැහැ. එක එක්කෙනා හිතුමතේට වපුරනවා. බලධාරීනුත් පැත්ත බලන්නෙ නැහැ.'
රොෂාන් මහතා
'ඒ දවස්වල මිනිස්සුත් මේ තරම් නැහැ. සංවර්ධනය වුණාට පස්සේ ගොඩක් දේවල් වෙනස් වුණා. සමහර තැන්වල ඉඩම් ගත්තොත් පර්චස් එක ලක්ෂ 10ටත් වැඩියි. මේ ළමා උද්‍යානය තියෙන තැන කලින් තිබුණේ අත්හැරලා දාපු වෙලක්. දැන් මේකත් ටිකටික විනාශ වීගෙන යනවා. ළමයින්ට සෙල්ලම් කරන්න තියෙන ඔංචිල්ලා ඇතුළු අනෙක් දේවල් හොඳටම අබලන් වෙලා තියෙන්නේ. නඩත්තුව නම් ගොඩක් අඩුයි. කලින් ගොඩ දෙනෙක් ළමයි එක්කගෙන ආවා මෙතැනට. දැන් ඒක අඩුවෙලා. මොකද මේවා අබලන් නිසා ළමයි අනතුරුවලට ලක්වෙනවා. මගේ ළමයටත් එක පාරක් අනතුරක් වුණා. අනෙක හවස් වෙද්දි දැන් මේවාට එන්න අමාරු තත්ත්වයකුත් තියෙනවා.'
භෞතික පරිසරය ජනතාවට සිත්ගන්නා ආකාරයෙන් සංවර්ධනය කරමින් ජනජීවිත සහ ජනතාවගේ මානසික තත්ත්වය සංවර්ධනයකට පත්කිරීම බටහිර රටවල් පවා අනුගමනය කරන තවත් එක් සංවර්ධන ක්රමවේදයකි.
නමුත් මෙරට එවැනි ව්‍යාපෘතියක් සිදුකර තිබේ නම්, පසුගිය රජයේ නම යන නිසා පවතින රජය නිසි ආකාරයකින් ක්‍රියාත්මක නොකරන තත්ත්වයක් දකින්නට ලැබේ. එය එසේ සිදුවිය යුතු නොවේ. එම ව්‍යාපෘති පවතින්නේ ජනතාවගේ යහපත වෙනුවෙන් නම්, එය අඛණ්ඩව පවත්වාගෙන යෑම ජනතාව විසින්ම පත්කළ සෑම රජයකම වගකීම විය යුතුය. එම නිසා කුහකත්වය දේශපාලනයෙන් ඉවත් කරගත යුතු බව වගකිව යුත්තන්ට සිහිපත් කිරීමට කැමැත්තෙමි.